■ නිත්‍යා සෙව්වන්දි

සංගීත ක්ෂේත්‍රයේ ප්‍රේමනීය රැඩිකල්වාදියා කසුන් කල්හාරයි. ඔහු සංගීතවේදියෙකු මෙන්ම සංගීත ගුරුවරයෙකු වශයෙන් ද කටයුතු කරන අතර ඉදිරියේදී චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ද බලාපොරොත්තුවෙන් සිටියි. මෙවර පිළිසඳර කසුන් කල්හාර සහ ඔහුගේ වැඩකටයුතු සම්බන්ධයෙනි.
‘කොවිඩ් වසංගතය හේතුවෙන් ගොඩක් වැඩ අතරමග නතර වුණා. ඉතින් ඒ කරන්න හිටපු වැඩ නැවත දැන් පටන් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. වොයිස් ටීන් එකේ වැඩයි, රෙකෝඩින්ග්ස් වැඩ කටයුතුත් කරමින් යනවා. ආහාරපාන සහ සිනමාව කියන්නෙත් මම කැමතිම විෂයන් දෙකක්. මේ විෂයන් සමස්තයත් එක්කම තමයි මම සංගීතය හදාරන්නේ. ඒත් එක්කම අලුතින් චිත්‍රපටියක් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
රට තුළ ඇතිවෙලා තියෙන සෞඛ්‍ය ප්‍රශ්න එක්ක අද සිනමා කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳ වැටිලා. චිත්‍රපටි කරලා තිබුණාට සිනමාවකට ප්‍රේක්ෂකයන්ට එන්න තියෙන නොහැකියාවත් එක්ක ඒක ප්‍රදර්ශනය කරන්න බැරි වෙලා තියෙනවා. වේදිකා නාට්‍ය, සංගීත ප්‍රසංග මේවා කරන්න බෑ. මොකද රටේ දැන් තියෙන සෞඛ්‍ය ගැටලුව මත මිනිස්සු එන්නෙ නෑ. ඒක නිසා ලොකු කඩා වැටීමක් තියෙනවා සමස්ත කලා කර්මාන්තයේම. මිනිස්සු ගොඩක් වෙලාවට ගෙවල්වල ඉන්නේ. ඒ නිසා කලින්ට වඩා ප්‍රවණතාවක් තියෙනවා ඩිජිටල් මීඩියාවලින් ශෙයාර් වෙන දේවල්වලට, විශේෂයෙන් නෙට්ෆ්ලික්ස් වගේ මාධ්‍යයන්වලට යොමු වෙනවා. දැන් මිනිස්සු විනෝදාස්වාදය එකතු කරගන්නේ අන්තර්ජාලය ඔස්සේ. සජීවීව බලන්න පුළුවන් ක්‍රම පැමිණීමත් එක්ක ඒ මත යැපීමක් සිදු වෙනවා. මේ විදිහට ප්‍රවණතාවක් ගොඩනැගුණා වුණත් මම විශ්වාස කරන්නේ මිනිස්සු ඊට වඩා කැමැතියි ඉඩ ලද වෙලාවේ හෝල් එකකට ගිහින් ෆිල්ම් එකක් බලන්න, වේදිකා නාට්‍යයක් බලන්න, එළිමහනේ රඟහලකට ගිහින් කොන්ස්ර්ට් එකක් බලන්න මිනිසුන්ට තියෙන වුවමනාව වැඩියි. මිනිස්සු කැමති ඒ වෙලාවේ ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහන්න.’
රැඩිකල් ප්‍රේමය ඔහු අර්ථ දක්වන ආකාරයත් විමසා බැලුවෙමු. ‘ප්‍රේමය කියන සංකල්පය ගොඩාක් සංකීර්ණ එකක්. ඒකට නිර්වචන දෙන්න යන්න ඕනෑ නෑ අපි. ගීතවලින් නාට්‍යවලින්, සිනමාවලින් ප්‍රේමය ගැන නිර්වචන දීලා තියෙනවා නොසෑහෙන්න. ඉතින් එහෙමත් ප්‍රේම තිබුණාදෙන්. මම කවදාවත් අර්ථ දක්වන්නෙ නෑ ප්‍රේමය මෙහෙමයි, ආලය මෙහෙමයි කියලා. මොකද ඒක කලාවට අයිති දෙයක්.’
සංගීත ක්ෂේත්‍රය තුළ ඔහු ඔහුටම ආවේණික රිද්මයක් ගොඩනගා ගෙන ඇත. ‘පර්යේෂණාත්මක සංගීතයක හෝ වෙනම කලා ගවේෂණයක ජීවත්වෙන අය ඉන්නවා. අපිත් විටින් විට ඒ දේවල් කරලා තියෙනවා. ඒක හදාගත්ත දෙයක් මත නෙවෙයි, නිර්මාණවලට තමයි වැඩි ඉඩක් දෙන්න ඕනෑ. ඒකෙ ඇතුළෙ ස්ට්යිල්ස් කියන එක අදාළ කාරණාවක් නෙමෙයි. වතුර ඕනෑම භාජනයක හැඩය ගන්නවා වගේ කලාකරුවාටත් ඕනෑම තැනක ඕනෑ හැඩයක් ගන්න පුළුවන්කම තියෙන්න ඕනෑ. හැම සංගීත සංස්කෘතියක් ම කලා සංස්කෘතියක් ම භාවිත කළාට කමක් නෑ. නමුත් අරමුණු කරන්න ඕනෑ අපි කරන ආර්ට් පීස් එකට. ඒක නිසා කවුරුහරි උත්සහ කරනවා නම් ශෛලියක් හරි වෙන සංගීත සම්ප්‍රදායක් හරි ඉස්මතු කරවන්න, ඒක එච්චර වැදගත් කියලා මම දකින්නේ නෑ. හැම එකම ඕනෑ ඒ කටයුත්තට.
අපි අවුරුදු 10කට 15කට කලින් කළ නිර්මාණ දැන් අලුත් පරම්පරාවේ අය ගොඩාක් විඳිනවා. ඒ ගැන ලොකු සතුටක් තියෙනවා. මොකද ඒ දවස්වල සමහරු කිව්වා ඔය කරන වැඩ මිනිසුන්ට දැනෙන්නේ නෑ කියලා. අපිත් හිතුවා එහෙම. ඇත්තටම එහෙම එකක් නෙවෙයි. තව දශකයකට හෝ දෙකකට පස්සේ අපේ නිර්මාණවලට ආදරේ කරන තරුණ කලාකරුවෝ සහ රසික පිරිස් විශාල ප්‍රමාණයක් බිහිවේවි. ලෝකෙ හැටි එහෙම තමයි. දැන් අපි වුණත් දශක දෙක තුනකට කලින් නිර්මාණය වුණ ගීත චිත්‍රපට තාමත් රසවිඳිනවා. ඒකට කාලයක් යනවා.
ඒ ගැන හිතන්න නැතුව වැඩ කරන්න ඕනෑ. තමන් කරන නිර්මාණයෙන් තමන්ට සතුටු වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒක අවංකව වෙන්න ඕනෑ. ආර්ථිකමය හෝ ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් කළොත් ඒක වෙන පැත්තකට යන්නේ. අවංකවම නිර්මාණකරණයට පිවිසිලා කර්මාන්තයේ ජීවත් වුණොත් ඒක ආරක්ෂා කළොත් අවසාන වශයෙන් තත්වයකට එන්න පුළුවන්. මේක වෘත්තියක් විදිහට නෙමෙයි දකින්න ඕනෑ.
සංගීතයටත් නිර්වචන දෙන්න බෑ ප්‍රේමයට වගේම. සංගීතය කියන්නේ ඕනෑම දෙයක් බෙදා ගන්න පුළුවන් තැනක්. සමහර විට අත අරින්න වෙනවා. සමහර විට වැළඳගන්න වෙනවා. සංගීතය ජීවිතේ වගේ කියලා කෙනෙක් කියනවා නම් ඒක එහෙමයි. ජීවිතේදීත් සමහර දේවල් අත අරිනවා. සමහර දේ වැළඳගන්නවා ඒ වගේ. අවශ්‍ය වෙලාවට දැනීම තියෙන පුද්ගලයා ගාවට ඒක ළඟා වෙනවා.
සංගීතයෙන් හැදෙන්නේ මිනිසුන්ගේ ශික්ෂණය. සමාජයේ ජීවත්වන ඕනෑම පුද්ගලයෙකුට ශික්ෂණයක් අවශ්‍යයි. ඒක ඔහුට විවිධ දේවලින් පුරවාගන්න පුළුවන්. කවියකින්, පොතකින්, කතාවකින් වුණත්. ඒ ශික්ෂණය සංගීතයේදීත් හැදෙනවා.’■