මාධවට සංගීත ක්ෂේත‍්‍රයේ සුපර්ස්ටාර් කෙනෙක් වීමේ බලාපොරොත්තුවක් තිබුණේ නැද්ද?
අපි වැඩ කරමින් හිටියේ සමාජ ක‍්‍රියාකාරිකයන් පිරිසක් විදියට. අපි කල්පනා කරමින් හිටියේ ලංකාවේ සමාජය තුළ වෙනසක් කරන්නෙ කොහොමද කියලා. වැඩ කරගෙන යද්දී අපට අර්බුද එනවානේ. එතකොට තමයි අපි හිතුවේ මීට වඩා සමාජගත වෙන්න වැඩක් කරන්න මියුසික්වලින් කරන්න පුළුවන් නේද කියලා. අපට ඕනෑ වුණේ මිනිස්සුන්ට දැනෙන යමක්. ඉතින් ඒ වෙලාවේ මිනිස්සුන්ගෙ රසිකත්වය තියෙන තැන ගැන හෙව්වේ නැහැ. අපි තෝරාගත්තේ සුපර්ස්ටාර් කියන මාවත නෙවෙයි. ඒ නිසා අපට ඒ පැත්ත එක්කෝ අමතක කරන්න වෙනවා. නැත්නම් ඒ ගැන හිතන්නේ පස්සේ මොහොතක කියලා හිතන්න. මම තිලිණ බාලසූරිය කියන යාළුවා එක්ක තමයි මුලින්ම ඒ ගැන කතා කළේ. අපි දෙන්නා වැඬේ එළියට ගෙනියන්න කලින් කාලයක් යන තෙක් මියුසික් නිර්මාණය කරමින් හිටියා. ඊට පස්සෙ තමයි ජොනී, තරිඳු, ප‍්‍රසාද් කියන අයව මුණගැහුණෙ. ඉන්පස්සෙ බෑන්ඞ් එකක් විදියට වැඩ කරන්න පටන්ගත්තා. එතැනින් එහාට අපේ බෑන්ඞ් එක සම්පූර්ණ කරගන්න හැමෝම එක සමාන දායකත්වයක් දුන්නා.

පුංචි කාලයෙ ඉඳන් ගායකයෙක් වෙන්න කැමැත්තක් තිබුණාද?
මම ඉස්කෝලෙදී සංගීතයට යොමුවුණ කෙනෙක් නෙවෙයි. කලාකරුවෙක් වෙන්න කටයුතු කරපු කෙනෙක් නෙවෙයි. ඒක වෙනම වැඩක්. කසුන් කල්හාර වගේ කෙනෙක්ව තමයි සංගීතය වෙනුවෙන් සංගීතය කළ කෙනෙක් විදියට සලකන්න පුළුවන්. අපි සහ කසුන්ලා වගේ අය අතර වෙනසක් තියෙනවා. ඒ කාලෙත් මියුසික් කියලා හිතුවොත් අපි කසුන් ගැන තමයි හිතන්නෙ.

ස්කිට්සෝ කණ්ඩායමේ ගීත අහන අය කියනවා, මේ ගීත ඕනෑම ජනප‍්‍රිය ගීතයක් වගේ රසවිඳන්න පුළුවන් කියලා. විකල්ප සංගීතයේ විකල්ප බව තියෙන්නේ කොතැනද?
සංගීතයට විකල්ප කියලා එකක් නැහැ. සංගීතය කියන්නෙ සංගීතමයි. අපි කරන්නෙ දැනට සංගීතය කියලා තියෙන ප‍්‍රධාන ධාරාවට පිටින් මියුසික් කරන එක. ඒ අර්ථයෙන් තමයි අපි විකල්ප වෙන්නෙ. අපි විකල්පයක් වෙන්නෙ සංගීතයට නෙවෙයි. අපට පස්සේ කාලයක වුවමනාවක් තිබුණා අනෙක් අය කරන දේවල් නොකළත්, ප‍්‍රධාන ධාරාව ඇතුළට යන්න. වැඩි මිනිස්සු ප‍්‍රමාණයක් එක්ක ගනුදෙනු කරන්න. ගීතයේ තියෙන දේශපාලන අදහස වෙනුවට රසවින්දනය පැත්තෙන් අපේ ගීතවලට රසිකයො එකතු කරගන්න. මොකද රසවින්දනය එක්ක නිදහස තියෙන්න ඕනෑ. එහෙම නිදහසක් කලාවෙන් ලබන්න ඕනෑ. ඉතින්, ගීතයේ වචනවල තියෙන දේශපාලනය එක්ක සමීප නොවන කෙනෙක් වුණත් සංගීතය එක්ක ආධ්‍යාත්මික බැඳීමක් නිර්මාණය කරගන්නවා දකින්න අපි කැමතියි.

යූටියුබ් වගේ මාධ්‍යවලට එකතු කරලා තියෙන්නේ ස්කිට්සෝ කණ්ඩායමේ ගීත කිහිපයක් පමණයි. ඒ වගේ මාධ්‍යවලට ගීත එකතුකරන්න අදහසක් නැද්ද?
කොහෙ හරි තිබුණු ප‍්‍රසංගයක් පටිගත කිරීම වගේ දේවල් තමයි බොහෝවිට කරලා තියෙන්නෙ. මුල්ම කාලයෙ අපි ගීතයක් දෙකක් යූටියුබ් එකට දාලා තිබුණා. ඊට පස්සෙ අපි යූටියුබ් එකට සිංදු දාන්න උත්සාහ කළේ නැහැ. මොකද අපට ඒ කාලෙ සංගීතය පටිගත කරන ආයතන එක්ක සම්බන්ධකම් තිබුණේ නැහැ. ඒකට ආර්ථික පසුබිමක් තිබුණේත් නැහැ. මේ වෙද්දී අපි හිතනවා හොඳ හඬ ප‍්‍රමිතියක් තියෙන ගීත යූටියුබ් එකට එකතු කරන්න ඕනෑ බව. ඒත් ඒකට විශාල මුදලක් අවශ්‍යයි. අපට තියෙන මුදල් එක්ක අපි ගීත දෙකක් පටිගත කරමින් ඉන්නවා. බොහෝවිට අපි යූටියුබ් එකේ නැති ගීතයක් ගායනා කරද්දී බැණුම් අහන්නත් වෙනවා. අපි සිංදුව කියලා යයි, ඉන්පස්සෙ සිංදුව අහන්න හිතුණොත් කොහෙන්ද සිංදුව හොයාගන්නෙ කියලා අහනවා. ඒ නිසා අපට බොහෝවිට ඔබ හිනාවෙන්නෙ කොහොමද, එක දවසක්, සුභ ප‍්‍රාර්ථනා, තටු මැවුණාද වගේ යූටියුබ් එකේ තියෙන සිංදු ටික තමයි කියන්න වෙන්නෙ. ඒ නිසා ඉදිරියෙදී අපි ගීත අන්තර්ජාලයට එකතු කරන්න බලාපොරොත්තු වෙනවා.

ස්කිට්සෝ කණ්ඩායමේ සාමාජිකයන් සංගීතයෙන් ආදායමක් උපයනවාද?
අපි වෘත්තියක් හැටියට මේක කරන්නෙ නැහැ. ඒක සංගීතයේ තියෙන ගැටලූ‍වක්. මේ වගේ දෙයක් කරන අයට මේකෙන් ජීවත්වෙන්න බැහැ. අපි කරන්නේ පර්යේෂණාත්මක දෙයක්. ලංකාවේ මේ වගේ කණ්ඩායම් තිබිලා නැහැ. ලංකාවේ ඉතිහාසයේදී සංගීත කණ්ඩායමක් කියන්නෙ ජනප‍්‍රිය ගායකයන් දහ පහළොස්දෙනෙකුගේ සිංදු බලාගෙන කියන එක. මුලින්ම පුංචි සාදවල ගායනා කරලා පස්සෙ ප‍්‍රසංග වේදිකාවට යන එකයි ලංකාවෙ සංගීත කණ්ඩායමක් කියන්නෙ. ඒත් සංගීත කණ්ඩායම් කියන්නෙ සමාජයේ තියෙන සංගීතයට වඩා අලූ‍ත් යමක් හොයාගෙන, අලූ‍ත් නිර්මාණ කරලා සංගීතය එක්ක ගැටෙන එකක්. ඉතින්, ඒ වැඬේ කරද්දී අපට ආදායමක් නැහැ. ඒ වගේම මේ වැඬේ කරද්දී අපට වැයවෙන මුදල් ටිකත් අපේ අතින්ම යොදවන්න වෙනවා. අපි මේකෙන් තමයි ජීවත්වෙන්නෙ කියලා දවසක කියන්න පුළුවන් වුණොත් ඒක හොඳයි.

මේ තරම් කාලයක් මේ කණ්ඩායම මුදල් උපයන්නේත් නැතිව, එකිනෙකා වෙන් නොවී කටයුතු කළේ කොහෙ ාමද?
අපි මේක පටන්ගත්තේම සමාජය එක්ක ගනුදෙනුවක් කරන්න හිතාගෙන. සමාජය යම් විදියකට ඉහළට ගෙනියන්න. මිනිස්කම ඉහළ අඩියකට ගෙනියන්න. මනුෂ්‍යත්වය ප‍්‍රතිනිර්මාණය කරන්න. ඉතින්, අපට ඒ අරමුණ තියෙන තාක් කල් ඒ වැඬේ කරගෙන යන්න පුළුවන්. අපි නොමිනිස්කම එක්ක කරන සටන තමයි අපව ජීවත්කරවන්නෙ.

සාමාන්‍යයෙන් රූපවාහිනිය, ගුවන් විදුලිය, යූටියුබ් වගේ ප‍්‍රධාන මාධ්‍ය නැතිව සජීවී ප‍්‍රසංගවලම දීර්ඝ කාලයක් ස්කිට්සෝ කටයුතු කරනවා. ස්කිට්සෝ සුපිරි තරු නොවෙන්න පුළුවන්. එහෙත් ස්කිට්සෝ කණ්ඩායමට දැඩිව ආදරය කරන පිරිසක් ඉන්නවා. එවැනි අයගේ ප‍්‍රතිචාර දකිද්දි හැදෙන්නේ මොකක්ද?
අපේ ගීත මුල ඉඳන්ම අහපු, අපේ ප‍්‍රසංගවලට ආ කෙනෙක් මෑතකදී මා එක්ක කතාකළා. අපට කලින් එයාව මුණගැහෙන්න ලැබිලා නැහැ. එයා මට කිව්වා විශ්වවිද්‍යාලයට එයා ආපු කාලෙ තමයි මුලින්ම අපේ සිංදුවක් අහලා තිබුණෙ. ඉන්පස්සෙ අපි ප‍්‍රසංග කරපු හැම තැනටම වගේ එයා ඇවිල්ලා තියෙනවාලූ‍. එයාගෙ ජීවිතය ඇතුළේ ගත්ත වැදගත් තීන්දු, විශේෂ අවස්ථා හැම තැනකම වගේ අපේ ගීත තිබුණු බව ඔහු කියනවා. ඔහුගේ හැම අත්දැකීමක්ම අපේ ගීත ඇතුළෙන් එයා නිර්වචනය කරනවා. අපි කුඩා කණ්ඩායමක් විදියට කටයුතු කළත්, කුඩා පේ‍්‍රක්ෂකාගාර ඉදිරියේ ගීත ගායනා කළත් අපට ගීත ගායනාව නවත්වලා වේදිකාවෙන් බහින්න නොදෙන අවස්ථාවලට මුහුණදෙනවා. තවත් ගීයක් අපෙන් ඉල්ලනවා. ඒ වගේ හැම අවස්ථාවකදීම හිතන්නේ අපේ ගීත එක්ක බැෙ`දන්න පුළුවන් තවත් කෙනෙක් අපි ගැන නොදැන එළියේ ඉන්නවා කියලා. ඒ කෙනා ළඟට යන්නෙ කොහොමද කියලා කල්පනා කරනවා.