• ෂුක්රා මෙම ජනවාර්ගික, ආගමික සංකලනයෙන් බිහි වූ දැරියකි. දරු දැරියන්ට මෙවැනි පරිසරයක් ලැබේ නම් ලාංකික සමාජයේ චිත්‍රය කෙසේ වෙයිද?

■ රෝහිණී ඩෙප් වීරසිංහ

‘ලංකාව, සංස්කෘතිය. පරිසරය ආදි හැම එකකින්ම පරිපූර්ණ යි. අසමගිය තමයි අපේ දියුණුවට ලොකුම බාධාව’ මේ, පසුගිය 25 දා, සිරස ලක්ෂපති වැඩසටහනේ, රුපියල් මිලියන දෙකක් ජයග්‍රහණය කළ ෂුක්රා මුනව්වර්, සිරස මාධ්‍යවේදී, රොෂාන් වටවල මහතා නැගූ ප්‍රශ්නයකට දුන් පිළිතුරයි. ප්‍රශ්නය වූයේ, ඇයි අපේ රටට දියුණු වෙන්න බැරි? යන්නයි.
ෂුක්රා තවදුරටත්, මාධ්‍යයට මෙසේ අදහස් දැක්වීය. ‘මට පොඩි කාලෙ ඉඳලාම මේක අපේ රට කියල හැඟීමක් තිබුණා. හැම කෙනෙක්ම අපි ශ්‍රී ලාංකිකයන් කියලා හිතන්න ඕනෑ. අපි බෙදෙන්න හොඳ නෑ. අපි, වෙනම අපේ ආගම් අදහමින්. සංස්කෘතීන් කියා ගනිමින්, පොදුවේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් ක්‍රියාකරන්න ඕනෑ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් වශයෙන් ක්‍රියා කළොත් විශාල බලයක් ගොඩ නගන්න පු`ඵවන්. අනාගත පරපුරට හොඳ රටක් දායාද කරන්න, සමඟිය, සංහිඳියාව තමයි මම දෙන පණිවුඩය’.
‘පරිසරය විනාශ වුණාම අපිට අපේ පෘථිවිය නැති වෙනවා. ඒ නිසා දේශාභිමානය ගැන විතරක් හිතුවට මදි. ලෝකාභිමානය ගැනත් හිතන්න ඕනෑ.’ ෂුක්රාගේ මේ සරල කීමෙන් පැහැදිලි වන්නේ, ලෝක මට්ටමේ පරිසර විනාශය ගැනද ඇය සංවේදී බවයි.
ෂුක්රා මුනව්වර්, ගාල්ලේ මුහුදු වෙරළට ආසන්න කටුගොඩ ගමේ අගහිඟකම් ඇති මුස්ලිම් පවුලක 3 වැනි දරුවාය. ඇයට අක්කලා 2 ද මල්ලී කෙනෙක් ද සිටිති. ෂුක්රාගේ වයස අවුරුදු 17 යි. ඇය මාගාල්ලේ සුධර්ම විදුහලේ ශිෂ්‍යාවකි. ෂුක්රා දැනට අ.පො.ස. උසස් පෙළ පංතියට යාමට බලාපොරොත්තුවෙන් සිටී. ඇය පාසලේ සුවිශේෂ ශිෂ්‍යාවක බව, එම විදුහලේ විදුහල්පතිතුමා සහ ගුරුවරුද මාධ්‍යයට කීහ.
ෂුක්රාගේ පියා, ගමේ පිළිගැනීමක් ඇති උගත්, බහුශ්‍රැතයෙකි. ඔහු කලක සිට රෝගාතුරව සිටින හෙයින් පවුලේ බර දරන්නී අම්මාය.
තරඟය පුරාම ෂුක්රා සිංහල භාෂාව ව්‍යක්ත ලෙස හැසිරවූවාය. බෞද්ධ සාහිත්‍යය ගැන දැනුම විදහාපාමින්, ඇයි උම්මග්ග ජාතකය සහ ගුත්තිල කාව්‍යය ගැන අදහස් දැක්වූවාය. තරඟය අතරතුර කීප වරක්ම අද සමාජ කතිකාවතක් වන කාන්තා ප්‍රශ්නය ද, ඇය ඉස්මතු කළාය. ජන කවියක් පිළිබඳ ප්‍රශ්නයකට ෂුක්රා පිළිතුරු දුන්නේ එම සිවුපදයද නිවැරදිව මිහිරි ලෙස ගායනා කරමිනි. ‘මම එදා සිංහ සීවලී නම්, තාත්තා දාලා යන්නේ නෑ’ යි ෂුක්රා කීවේ, ප්‍රේක්ෂකයන්ගේ ඇස් තෙත් කරමිනි.
ලක්ෂපති වැඩ සටහන, ඉතා පු`ඵල් පරාසයකින් තෝරාගත් ප්‍රශ්න 15 කින් යුක්තය. සෑම ප්‍රශ්නයකටම සංකීර්ණ ලෙස සැකසූ පිළිතුරු 4 කි. ඒ අතරින් නිවැරදි පිළිතුර තෝරා ගැනීමට තරඟකරුවාගේ /කාරියගේ සාමාන්‍ය දැනීම ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුය. මෙවැනි තරඟයක් මෙහෙයවීමට අවශ්‍ය උපකේෂා සහගත බව සහ ඉවසීම, මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා තුළ දක්නට ලැබුනි.
අවසානයේදී, සිරිස ලක්ෂපති ජාත්‍යන්තර මැදිරිය, අත්පොලසන් හඬින් සහ ප්‍රීති ඝෝෂාවෙන් දෙවනත් කරමින් ෂුක්රා තරඟය ජය ගත්තාය.
මෙම සිදුවීම අප සිහිගන්වන්නේ ෂුක්රා අභියෝගාත්මක තරඟයක් ජය ගෙන රුපියල් මිලියන දෙකක් දිනා ගැනීම නිසාම නොවේ. එය ලාංකික සමාජයට දෙන පණිවුඩ කීපයක් නිසාය.
පළමුව ෂුක්රා ඉගෙනුම ලබන්නේ මුස්ලිම් බාලිකා විදුහලක නොවේ. රජයේ පාසලකය. ඒ මාගාල්ලේ සුධර්ම මහා විද්‍යාලයයි. එහි බහුතරයක් සිසු සිසුවියන්ද, ගුරු භවතුන්ද සිංහල බෞද්ධ විය හැකිය. ඒ නිසා ෂුක්රාට ගැවසෙන්නට, මිශ්‍ර වන්නට සිදු වන්නේ ඇයගේ ජනවර්ගයට, සංස්කෘතියට වෙනස් පිරිසක් සමගය. ෂුක්රා මෙම ජනවාර්ගික, ආගමික සංකලනයෙන් බිහි වූ දැරියකි. දරු දැරියන්ට මෙවැනි පරිසරයක් ලැබේ නම් ලාංකික සමාජයේ චිත්‍රය කෙසේ වෙයිද? ළාබාල සහ නවයොවුන් වියේ දරු දැරියන්ගේ පුද්ගල සංවර්ධනයට තදින් බලපාන මානසික, සමාජ, සංස්කෘතික වටපිටාවක් සහ පෝෂණයක් ජනවර්ග සහ ආගම අනුව වෙන් කළ පාසල් ක්‍රමයකට ලබා දිය හැකිද ?
මගේ දැනුමේ හැටියට පිළිතුර නැත යන්නයි. තිරසර සංවර්ධනය, ජනවාර්ගික එකමුතුකම සහ ශ්‍රී ලාංකික අනන්‍යතාව සඳහා අවශ්‍ය පුරවැසියා බිහිකළ හැක්කේ මිශ්‍ර පාසල් ක්‍රමයකටය.
දෙවනුව, කොරෝනා වසංගතය සමග හඳුන්වා දෙන ලද ඔන්ලයින් ඉගැන්වීම නිසා, අග හ`ිගකම් ඇති සිසුන්ට සිසුවියන්ට සිදුවෙන අසාධාරණය ප්‍රසිද්ධ වේදිකාවට ගෙනා මොහොතකි ලක්ෂපති තරඟය. දුප්පත් ළමුන්ට ඔන්ලයින් විශාල අරගලයක් බවත්, ඇය ලක්ෂපති වේදිකාවට ආවේ ඔන්ලයින් ඉගෙනීමට ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීමට, රුපියල් ලක්ෂ දෙකක් සොයා ගැනීමට බවත් ෂුක්රා කීවාය. ඔන්ලයින් සඳහා ගම්බද ප්‍රදේශවල සිග්නල් නොමැති නිසා, ලඳු කැලෑ නගින සිසු සිසුවියන් අපි මාධ්‍යයෙන් දකින්නෙමු. විශාල බහුතරයක් ළමුන්ට සිදුවෙන අසාධාරණය නිසා ඔන්ලයින් හැර වෙනත් ඉගැන්වීමේ මාධ්‍යයක් යොදාගත යුතු බව බලධාරීන් කල්පනා කළ යුතුය.
තෙවනුව, අද වන විට ෂුක්රා වැනි නව යොවුන් වියේ සිටින දරු දැරියන්ට, අසන දකින දේ සිතට තදින් කාවදින වයස් ඔවුන් සිටියදී දිවා රෑ අසන්නට, දකින්නට ලැබුණේ, එකම රටක ජනවර්ග දෙකක් අතර සිදුවූ යුද්ධයකි. දැනට යුද්ධය අවසන් වී අවුරුදු 11 ක් ගතවුවත්, ජන වර්ග අතර සුහද බව අන්‍යොන්‍ය අවබෝධය සහ විශ්වාසය, සතුටු විය හැකි ආකාරයට වර්ධනය වී නැති බව ඔවුහු දකිති. සමස්තයක් වශයෙන් වැඩිහිටියන් සියලු දේ අනාගෙන ඇති බව ඔවුන්ට පෙනෙනවා විය හැකිය. ‘මට ඕනෑ සමාජය වෙනස් කරන්න. ඒ වෙනස කරන්න පු`ඵවන් ළමයි හුඟක් ඉන්නවා.’ ඇගේ පරපුර වෙනුවෙන් ෂුක්රා කියන්නේ ඔවුන් අත්දුටු ඒ අමිහිරි කටුක යථාර්ථය නිසා විය හැකිය.
ශ්‍රී ලංකාව බලසම්පන්න රටක් ලෙස නැගී සිටීමට නම්, ජන වාර්ගික අනන්‍යතා රැකෙන ප්‍රබල ශ්‍රී ලාංකික අනන්‍යතාවක් සහ ජාතික සමඟිය ද අනිවාර්යයෙන් අවශ්‍ය බව ෂුක්රා කීපවරක්ම අවධාරණය කළාය.
ෂුක්රා ජාතික සමඟියේ සංකේතයද ?
එසේනම්,
ඉරිතැලී ගිය බිමක,
කහපාට, සොඳුරු, ළපටි උණපඳුරක් ඇත.
එය වරෙක නොකඩවා හමා එන මඳ පවනද,
තවත් වරෙක චණ්ඩ මාරුතයද
වැළඳ ගනී.
නොබිඳී සිටීමට තරම් උණ පදුර ශක්තිමත්ය. නම්‍යශීලිය.
අතු, කොළ, මල්, දඬු, මුල් වර්ණය ආදි රැකගත යුතු සියල්ල රැකගෙන
උණ පඳුර වැඩෙයි.■