මාදනී මල්වත්තගේ


වෙන දෙයක් කරගෙන ඉන්නේ නැතුව ඇයි රගපාන්න ම හිතුනේ? දෙසැම්බර් කාලෙට අපේ පැත්තේ හුළග වැඩියි. මම ගස් උඩ, ගල් උඩ නැගලා ඒ හුළග පරයා යන විදිහට හයියෙන් සිංදු කියනවා. චූටිම කාලේ මට වයලීන් එකකට ආසාවක් තිබුණා. මම ලීයකට ඇණ ගහලා කම්බි ඇදලා තවත් ලීයක් අතුල්ලලා වයලීන් එකක් හදාගෙන හිටියා. ඒක දැකලා තාත්තට දුක හිතිලා එයා මට වයලීන් එකක් ගෙනැත් දුන්නා මතකයි. මුල්ගම්පල එම්.ජී.පී. කලායතනයට ගියා ඔය වයලීන් එකත් අරගෙන. එහි අශෝක පෙරේරා, ආනන්ද පෙරේරා (සිහ ශක්ති* කියන ගුරුවරුන්ගෙන් මම සංගීතය ඉගෙන ගත්තා. අපි ටික ටික ලොකු වෙනකොට අපේ ගෙවල්වල තාත්තාගේ පැත්තේ අය එක් වෙලා අවුරුද්දකට සැරයක්වත් පැදුරුපාටියක් තියන සංස්කෘතියක් තිබුණා. ඒකෙදි පවුලේ හැමෝටම සිංදුවක් කියන්න අවස්ථාවක් ලැබෙනවා.
නමුත් මගේ තාත්තා පේරාදෙනියේ විශ්වවිද්‍යාලයේ වැඩ කරපු කෙනෙක්.

එතකොට පේරාදෙනිය සරසවියේ එලිමහන් රංගපීඨයේ වල සතිය පැවැත්වෙනවා. ඒ කියන්නේ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොදම නාට්‍ය හත ගෙන්නලා දින හතක් පුරා පෙන්වනවා. දයානන්ද ගුණවර්ධන, සුගතපාලද සිල්වා, හෙන්රි ජයසේන, මහාචාර්ය සරච්චන්ද්‍ර වගේ ලංකාවේ බිහි වූ කඩඉම් නාට්‍යකරුවන්ගේ නාට්‍ය එතන රග දැක්වූවා. පෙර පාසල් කාලේ ඉදලා මට ඒ නාට්‍ය බැලීමේ අවස්ථාව උදා වුණා. මම හිතන්නේ එතනින් තමයි මට මේ නාට්‍ය පිළිබද ආසාව ඔළුවට එන්්නේ කියලා.


කොළඹට සංක‍්‍රමණය වෙන්නේ නාට්‍ය හදාරන්නම ද?
උසස් පෙළ කරලා ඉන්න අතරවාරේ මමයි යාළුවෝ ටිකයි දවසක් ඉස්කෝලෙට ගියා. එදා බත් ඔතාගෙන ගිය කොලේ තබුණා ජාතික තරුණසේවා සභාවේ නාට්‍ය හා රංගකලා පාඨමාලාවකට සිසුන් බදවා ගන්නවා කියලා දැන්වීමක්. ඒකට මමයි මගේ දීපිකා කියන යාළුවයි අයදුම් කළා. සම්මුඛ පරීක්ෂණ තුනක් තිබුණා. ඒ තුනෙන්ම සමත් වුණා. මාස හයක පාඨමාලාවක් තිබුණේ. අපේ වාසනාවට යම් යම් හේතු නිසා ඒක වසරක වගේ කාලයක් දක්වා දික් වුණා. එහිදී ඩග්ලස් සිරිවර්ධන, එච්.ඒ. පෙරේරා, නිස්සංක දිද්දෙනිය, කේ.බී. හේරත්, මංගල සේනානායක අතුළු විශාල ගුරු පිරිසකගෙන් ඉගෙනගන්න අවස්ථාව ලැබුණා. ලංකාවේ විවිධ පළාත්වල කොල්ලෝ කෙල්ලෝ බොහෝමයක් එක්ක ඉගෙන ගත්තා. එක කෑම එක බෙදාගෙන කාලා. ගෑනු පිරිමි බේදයක් නැතුව එකට නිදාගෙන. හරිම සහෝදරත්වයෙන් ගෙවී ගිය අවුරුද්දක් ඒක. මුල ඉදලම නළුවෙක් නිළියක් විදිහට ගැහැණු පිරිමි අතර ඒ ගොඩනැගිච්ච අවබෝධය, සම්බන්ධතාවය පසුකාලීනව රංගනයේදී හරිම වැදගත් වුණා. හරිම දුෂ්කර වගේම සුන්දර කාලයක් ඒක.


ප‍්‍රසිද්ධ වේදිකාවේ පළමු රංගණය වුනේ මොකක්ද?
ජයලත් මනෝරත්න මහත්තයාගේ කනේරුමල් කියන නාට්‍යයේ තමයි ප‍්‍රසිද්ද වේදිකාවේ පළමුවෙන් රගපෑවේ. අද වෙනකොට මම අවුරුදු විස්සකට ආසන්න කාලයක් රංගන ශිල්පිනියක් විදිහට වේදිකාවේ වැඩ කරලා තියෙනවා. මට වේදිකා නාට්‍ය අතාරින්න බෑ. අවුරුද්දකට එක අලූත් නාට්‍යයකටවත් දායක වෙනවා. මොකද ටෙලිනාට්‍ය රූප රාමුවක් ඇතුළේ එවැනි අභ්‍යාසයක් වෙන්නේ නෑ. චිත‍්‍රපටය ඇතුළෙත් එහෙම වෙන්නේ නෑ. ඒ නිසා රගපාන්න බැරි වෙන තුරුම මම වේදිකාව අත්හරින්නේ නෑ.
අපි වයසට යනවානේ. අනික් දේවල් වගේම ලස්සන කියන එකත් කාලෙකදි නැති වෙනවා. චරිත තෝරාගන්නා විට තමන්ගේ වයසට සුදුසු චරිත තෝරාගන්න නොහැකි අය ඉන්නවා. වයසට ගිහිල්ලා තරුණ චරිත කරන්න බෑ කියන එක ගොඩාක් අය තේරුම් නොගන්නා තත්ත්වයක් තියෙනවා. තරුණ චරිතයක් කරගෙන ඇවිත් වයසට යනකොට ඒ චරිතය අත්හරින්න සූදානම් නෑ.


මුල් කාලීනව අපේ නාට්‍යවල තිබුණු දාර්ශනික බව ක‍්‍රමයෙන් අඩු වෙමින් සරල දේවල් වේදිකාව මත දිගහැරෙන්න පටන්ගෙන තියෙනවා නේද?
සමස්තයක් විදිහට ගත්තෝතින් හැම දේකම බර අඩු වීමක් තිබෙනවා. අපිට කලින් පරම්පරා හා අපේ පරම්පරාව හැම තිස්සේම දෙයක් අධ්‍යයනය කරන්න, පොතපත කියවන්න, අත්දැකීම් හුවමාරු කරගන්න, උත්සාහ ගත්තා. ඒ කාලේ නාට්‍යයක් ඉවර වුණාම ගෙදර යන්නේ නෑ. කට්ටිය එකතු වෙලා ඒ ගැන දීර්ඝව කතා කරනවා. එතකොට අපි තනියම හිතනවාට වැඩියෙන් අනෙක් අයගේ අදහස්වලින් එකිනෙකා පෝෂණය වීමක් සිද්ධ වුණා. නමුත් අද එහෙම නෑ. මට හිතෙනවා මේ හැමදේම අනවශ්‍ය විදිහට සරල වෙලා කියලා. ඒ කාලේ තිබිච්ච කාලය ඵලදායකව භාවිත කිරීම අද කොහොමටවත් නෑ. මිනිස්සු ඒ තරම් කාර්යබහුලයි. මුදල පස්සේම තමයි හැම වෙලේම දුවන්නේ. ඒ නිසා මිනිස්සු එක්ක ගනුදෙනු කරන්න තියෙන කාලය ඉතාමත්ම අඩුයි. ගෙදරක වුණත් අපි එකිනෙකා අතර සම්බන්ධතා ඉතාම අඩුයි. මම හිතන විදිහට සමාජයේ තියෙන මේ තත්ත්වයමයි නිර්මාණ ඇතුළටත් ඇවිත් තියෙන්නේ.


මුල් යුගයේ ටෙලිනාට්‍යයක් ගත්තොත් ඒ අය නිර්මාණයට අවශ්‍ය වෙලාව අරගෙන නිවාඩුව, විවේක බුද්ධියෙන් පැහැදිලිව ඒවා නිර්මාණය කළ බවක් පෙනෙනවා. අද ඒවායේ නිර්මාණාත්මක තත්ත්වයට වඩා පෙනෙන්න තියෙන්නේ පුදුමාකාර හදිසියකින් එක කරලා තියෙන බවයි. ඒ හැම දේකටම හේතුව අනෙක් දේවල් පස්සට ගිහිල්ලා මුදල ඉස්සර වීම කියලා මම හිතන්නේ. අඩු කාලයකින් වැඩි වැඩක් කරන්න, අඩු වියදමකින් වැඩි ආදායමක් ලබන්න තමයි හැමෝටම උවමනා වෙලා තියෙන්නේ. අලූත් විදිහට හිතන්නේ නෑ. එහෙම හිතන්න වෙලාවක් නෑ.


පෙර පරම්පරාවල නාට්‍යකරුවන් පොතපත පරිහරණය කරලා උසස් නිර්මාණ කළා. දැන් එහෙම නොවෙයි ලෝක දැනුම ලබාගන්න පහසුකම් ඕනෑ තරම් නේද?
අලූත් අය මේවා ගැන සොයනවා. අන්තර්ජාලය හරහා ඕනෑම තොරතුරක් ක්ෂණිකව සර්ච් කරලා හොයාගන්න පුළුවන්. නමුත් ඒ පහසුකම වැඩි වෙන්න වැඩිවෙන්න ඔවුන් කොපි කරනවා වාගේ පැත්තකට යනවා හැරෙන්න. ඒ අය පරිකල්පනය පැත්තෙන් දුර්වලයි කියලා මම හිතනවා. හැබැයි තාමත් විශ්වවිද්‍යාල මට්ටමින් යම් ප‍්‍රජාවක් සිටිනවා හිතලා යම් මට්ටමක හෝ උසස් නිර්මාණ කරන්න උත්සාහ කරන.


රංගනය හැදෑරීම පැත්තෙන් අභ්‍යාස වගේ දේවල් සොයාගන්න, ආයතන හා ඉන්ටර්නෙට් වගේ පහසුකම් අද බහුලයි. නමුත් පැරණි රංගන ශිල්පීන්, ශිල්පිනියන් අද අයට වැඩියෙන් ඉහළ තැනක හිටියා කියලා මම චෝදනා කළොත්?
එහෙම හිත හිත ඉන්නේ නැතිව ඉන්ටර්නෙට් පැත්තෙන් කරුණු හොයාගන්න පුළුවන්. නමුත් දැනුම දෙන්න පුළුවන් ගුරුවරු අද අල්පයි කියල හිතෙනවා. අනෝජා වීරසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ප‍්‍රසන්නජිත් අබේසූරිය වගේ අය දැනට හැදෑරීම් කරමින් නව පරපුරකට මේ දැනුම ලබා දෙමින් ඉන්න අය.
ඒත් අද බොහෝ අය කියනවා අපට ඉගෙන ගන්න තැනක් නෑ කියලා. රංගන ශිල්පිනියන් විදිහට අපිම හිතලා, අපි ම තමයි මුවහත් වෙන්න ඕනෑ. මට අවශ්‍ය දේවල් එහෙම මමම තමයි හොයන්නේ. චරිතයක් ගොඩනැගීම සදහා ඇහෙන දේවල්, පොතපතින්, සිනමා කෘතියකියන්, අහන්න ලැබෙන දේවලින් මම චරිතය පෝෂණය කර ගන්නවා. කෙනෙකුට රංගනය පිළිබද උගන්නන්න පුළුවන් පොඩි ප‍්‍රමාණයයි. ඒක තමන්ගේ සිරුරත් එක්ක කරන අභ්‍යාසයෙන්ම තමයි හදුනාගන්න වෙන්නේ. කෙනෙක්ට පාර පෙන්නන්න පුළුවන්. නමුත් ගමන යන්න වෙන්නේ තනියම ම තමයි. බොහෝ නළුනිළියන් වේදිකාව ටෙලිනාට්‍යවලට යන්න හිණිමගක් කරගෙන ඉන්නවා නේද? ටෙලිනාට්‍යවලින් වේදිකාවට ඇවිල්ලා අපි වේදිකාවෙත් හිටියා කියන අයත් ඉන්නවා ඔය අතරේ. වේදිකාව කියන්නේ ඒක නෙමේ. ඒ තුළ කාලයක් තිස්සේ අභ්‍යාස කරලා, රැුදිලා හදාරලා, ඉදිරියට යන්න ඕනෑ දෙයක්. වේදිකාවේ අභ්‍යාසය ඉවර වෙන එකක් නොවෙයි.


වේදිකාව සජීවී ගුණයෙන් යුක්තයි. අපි පින්තූර රාමු වේදිකා මත රගපානවා. අපේ සම්පූර්ණ සිරුර පේ‍්‍රක්ෂකයාට පේනවා. එහිදී අපට බොරු කරන්න බෑ. කැමරාවේ ඕනෑ තරම් බොරු කරන්න පුළුවන්. වැරදුණොත් ආයේ ගන්න පුළුවන්. නමුත් වේදිකාවේ රීටේක් නෑ. අනික නාට්‍ය පටන්ගෙන ඉවර වෙනකන්ම පේ‍්‍රක්ෂකයා හා තියෙන සම්බන්ධතාව තියනවා. ‘සුද්දෙක් ඔබ අමතයි’ වගේ නාට්‍යයක නළුවා හෝ නිළිය තනියම රංගනය කරගෙන යන්න ඕනෑ. සහායට කිසිම නළුවෙක්, නිළියක් නෑ. සහායට ඉන්නේ පේ‍්‍රක්ෂකයාම පමණයි. ඒ නිසා වේදිකාව මත සජීවී ගුණය පුදුමාකාරයි. රගහලේ කෙරවලේම ඉන්න පේ‍්‍රක්ෂකයාටත් ඇහෙන්න රහස කියන්න ඕනෑ. ටෙලිනාට්‍යයේදී වුණත් මම පෙර පුහුණුවීම් කරලා තමයි කැමරාව ඉදිරියට යන්නේ. නමුත් එහෙම නොකර කැමරාව ඉදිරියේ හිටගන්න අයත් මම දැකලා තියෙනවා.


විදේශීය වේදිකා නාට්‍ය කලාව ගැන අත්දැකීම් කෙබදුද?

මට ගොඩාක් විදේශීය නාට්‍ය නරඹන්න ලැබිලා නෑ. නමුත් බලපු කිහිපයේ දී මම තේරුම්ගත්තේ. ඔවුන්ගේ වේදිකා නාට්‍ය ක්ෂේත‍්‍රය මාර වෘත්තීයයි, දියුණුයි. රගපෑම වෘත්තීය මට්ටමේ දෙයක් වෙලා තියෙනවා. ඒ නිසාද දන්නේ නෑ. පුදුමාකාර විදිහට ඒ වෘත්තියට ඔවුන් අවංකයි, ආදරෙයි. අනෙක් පැත්තෙන් ඒ අයට තියෙන පිළිගැනීම පුදුමාකාරයි. ඒගොල්ලන්ගේ මුදල ඉහළයි. නමුත් ලංකාවේ ඒ මට්ටම ගොඩාක් පල්ලෙහා තියෙන්නේ. සමහර විට ඔවුන් අවුරුද්දකට එකක් රගපෑවාම ඒ අවුරුද්දේ ඔවුන්ගේ වියදම ලැබෙනවා. අපිට යන්තම් ජීවිතේ ගැටගහගන්න පවා වේදිකාවේ, ටෙලිනාට්‍ය තොගයක රගපාන්න වෙනවා.


සමහර රටවල වේදිකා නාට්‍ය තියෙනවා එකම නාට්‍යය අවුරුදු ගණනාවක් එකම වේදිකාවේ රගදැක්වෙනවා. අපිට අපේ රටේ පුළුවන්ද එකම නාට්‍යයක්, වසර ගණනාවක් එකම රගහලක් තුළ පෙන්වන්න? ඇත්තටම අපේ ජංගම නාට්‍ය කලාවක්නේ තියෙන්නේ. අපේ වේදිකා නාට්‍ය නළුනිළියෝ පුදුම දුකක් විදිනවා. පැය කිහිපයක නාට්‍ය දර්ශනයක් වෙනුවෙන් විශාල වේදිකා පසුබිම්, පසුතල ඈත ප‍්‍රදේශවලට ප‍්‍රවාහනය කරගෙන, නිදි මරාගෙන, පුදුම දුකක් විදලා තමයි මේ නාට්‍ය කලාව පවත්වාගෙන යන්නේ. ඒ මහන්සි වෙන තරමට මුදලක් කොහෙත්ම ඔවුන්ට ලැබෙන්නේ නෑ. විදේශයන්වල නාට්‍ය කලාවට විශාල රාජ්‍ය පිළිගැනීමක්, මැදිහත්වීමක්, අනුග‍්‍රහයක් තියෙනවා. ලංකාවේ එහෙම කිසිම රාජ්‍ය අනුග‍්‍රහයක් තියෙන බවක් මට නම් පෙනෙන්නේ නෑ.


අනෙක් කලාවන්ට සාපේක්ෂව වේදිකා නාට්‍ය මිනිසුන්ව සවිඥානික කරනවා කියලා පිළිගැනීමක් තියෙනවානේ. මිනිසුන් සවිඥානිික වෙන කලාවකට දේශපාලකයෝ අනුග‍්‍රහය දක්වන්න උනන්දු වෙයි කියලා ඔබ විස්වාස කරනවාද?
පාසැල් විෂය නිර්දේශයේත් නාට්‍ය හා රංගකලාව විෂය ඇතුළත් කරලා තියෙනවා. විශ්වවිද්‍යාලවලින් පාස් අවුට් වෙන ගුරුවරු තමයි පාසල්වල නාට්‍ය හා රංග කලාව උගන්වන්නේ. ඔවුන් අනෙක් විෂයන් උගන්වන විදිහටම නාට්‍ය හා රංග කලාවත් උගන්වමින් ඉන්නවා. නමුත් නාට්‍ය හා රංග කලාව කියන්නේ අතිශයින් ප‍්‍රායෝගික විෂයක්. ඒ නිසා ප‍්‍රායෝගික පරීක්ෂණවලදී දරුවෝ ඉතාම දුර්වලයි. සමහර තැන්වල නැටුම් උගන්වන ගුරුවරයා දානවා නාට්‍ය උගන්වන්න. රටක් විදිහට මානව සම්පත හරියාකාරව කළමනාකරණය නොකිරීම මේ ක්ෂේත‍්‍රය තුළත් පෙනෙන්න තියෙනවා. ඉතිං නාට්‍ය කලාව අතහරලා කතා කළත් රජය ගැන කියන්න තියෙන්නේ ඒ දේම තමයි. සරලවම කිව්වොත් වෙන්න ඕනෑ දේවල් කිසි දෙයක් වෙන්නේ නෑ. හැමවෙලාවේම ගොං කතා කියන රජයකින් අපට අනාගතේ දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ. ඒගොල්ලෝ බලයට පත් වුණාම මුල් කාලේ දිවුරුම් දීම් ඒ අයගේ පහසුකම් දියුණුකරගැනීම් වගේ දේවල්වලට කාලය වැය කරනවා. ඒ ටික ඉවර වෙනකොට ඊළග මැතිවරණය කිට්ටු වෙනවා.

ඊට පස්සේ ඒකට ලෑස්තිවෙනවා. රටේ ප‍්‍රශ්න අඳුනාගෙන වැඩ කරන්න වෙලාවක් විතරයි ඒ අයට නැත්තේ. අද දවසේ රට ගැනවත්, හෙට ගැනවත්, මේ ළමා පරපුර ගැනවත් හිතන්න වෙලාවක් හෝ වගකීමක් ඒ අයට නෑ.

ලංකාවේ වේදිකාවේ ප‍්‍රවීණ අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරන්න ඔබට පුළුවන් වුණා. ඔවුන් ගැන අත්දැකීම් කොහොමද?

ලංකාවේ බිහි වූ කඩඉම් නාට්‍ය වන මනමේ, සිංහබාහු, කැලණි පාලම, සුභ සහ යස වගේ නාට්‍යවල ප‍්‍රධාන චරිත කරන්න තරම් මම වාසනාවන්ත වෙලා තියෙනවා. වේදිකාවේදී මම වැඩිම නාට්‍ය ප‍්‍රමාණයක් කරලා තියෙන්නේ ආචාර්ය ජයලත් මනෝරත්න එක්ක. එයා නළුවා, නිළිය මැටි පිඬක් කියලා හිතලා එයාට අවශ්‍ය චරිතය ගොඩ නගන්න සූරයි. සොදුරු ආඥාදායකයෙක් කියන්න පුළුවන්. කේ.බී. හේරත් මහත්තයා එයාගේම පිටපත් තමයි නිෂ්පාදනය කරන්නේ. ධනංජය කරුණාරත්න නළු නිළියන් හැසිරවීම පිළිබදව පුදුම තාක්ෂණයක් තියෙන පරිපූර්ණ අධ්‍යක්ෂවරයක්. බුද්ධික දමයන්ත වෙනත්ම විදියක කෙනෙක්. හේමන්ත ප‍්‍රසාද් ඉතාම හොද නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක්.


සුභ සහ යස නාට්‍යයේදී සයිමන් නවගත්තේගම මහත්තයා එක්කත් වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඒ පරම්පරාවේ අය එක්කත් වැඩ කරන්න මට වාසනාව ලැබුණා. ඒක ලොකු දෙයක්. අවාසනාවකට මනමේ, සිංහබාහු නාට්‍යවලට සම්බන්ධ වෙනකොට මහාචාර්ය සරච්චන්ද්‍ර මහත්තයා මියගිහිල්ලා. කැලණි පාලමේ ආර්. ආර්. සමරකෝන් මහත්තයා එක්ක වැඩ කරන්න ලැබුණා.


දයානන්ද ගුණවර්ධන මහත්තයාගේ ගජමන් පුවත නව නිෂ්පාදනයක් මේ දවස්වල කරගෙන යනවා. ඒකේ ගජමන් නෝනා, එහෙමත් නැත්නම් කොරනේලියා හැටියට රගපාන්න ලැබිලා තියෙනවා. රංගන ශිල්පිනියකගේ පැත්තෙන් විශාල හීනයක් ගජමන් නෝනා වෙනවා කියන එක. චිත‍්‍රපටි, ටෙලිනාට්‍ය වගේ විවිධ නිෂ්පාදන තුළින් අපි ගජමන් පුවත දැකලා තියෙනවා. ඊට අමතරව රත්මලී ගුණසේකර මහත්මිය ගජමන් නෝනා ලෙස රගපානවා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ වලේදී කුඩා කාලේ මම දැකලා තියෙනවා. ඇත්තටම ඒ කවි ගායනය හා රංගනය සුවිශේෂයි. එයාගේ නාට්‍යවල ප‍්‍රධාන චරිත ලැබුණාට දයානන්ද ගුණවර්ධන මහත්තයා මුණගැහෙන්න තරම් අපි වාසනාවන්ත වුණේ නෑ.


ප‍්‍රියන්ජිත් ආලෝකබණ්ඩාර