සතියක් ගත වන විට, රට 21 වැනි දා පාස්කු ප්‍රහාරය නිසා හටගත් බියෙන් තරමක් මිදී තිබෙන බව පෙනේ. ප්‍රහාරකයන්ට වුවමනා වුණේ, එක වර විශාල හානියක් කර, වර්ගවාදී කැළඹිලි තත්ත්වයක් ඇතිකොට ගෙන එහි ප්‍රතිඵලය නැවතත් තමන්ගේ ප්‍රහාර සඳහා අයෝජනය කරන්නට විය හැකි ය. එහෙත් රටේ බහුතර ජනතාව ඒ වුවමනාවට යටත් නො වී, සන්සුන් ව මේ අවස්ථාවට මුහුණ දුන් නිසා ප්‍රහාරකයන්ගේ වුවමනාව සම්පූර්ණ කර ගත නොහැකි වන්නට ඇත.

රට තවමත් සම්පූර්ණයෙන්ු යථා තත්ත්වයට පත් ව නැත. පාසල් තවමත් විවෘත නැත. විශ්වවිද්‍යාල තවමත් විවෘත නැත. මහජනයාට ආරක්‍ෂාව පිළිබඳ සියයට සියයක හැඟීමක් නැති වුව ද ඔවුහු සාමාන්‍ය පරිදි සිය කටයුතුවල යෙදෙති. අවශ්‍ය වන්නේ ද එයයි. මෙවැනි අවස්ථාවක දී සමූහයක් හැටියට බිය ව මුලු ගැන්වෙන ජනතාවගෙන් කිසිවකු හෝ ඒ මරණීය නිශ්ශබ්දතාව බිඳිය යුතු ය. එසේ නොවී නම්, බියත්, සැකයත් තවත් කාලයක් සමාජය සිය අත්අඩංගුවේ තබා ගනු ඇත්තේ ය.

ප්‍රහාරයෙන් සතියක් ගත වන විට, ඊට වග කිව යුතු පුද්ගලයන් සම්පූර්ණයෙන් ම හෝ එකකු දෙන්නකු හැර අනෙක් සියල්ලන් ම නීතියට යටත් කර ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආරක්‍ෂක හමුදා සමත් වී තිබේ. එය විසින් තවදුරටත් මහජනයාගේ බිය සැකය තුරන් කරනු ඇත.

එහෙත්, මේ මොහොතේත් බලා සිටින්නට බැරි දෙය නම්, දේශපාලකයන් මේ අවස්ථාවෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ගන්නා අවලස්සන උත්සාහය යි. ඒ සඳහා හැකි සෑම දෙයකින් ම දමා ගැසීමට ඔවුහු උත්සාහ දරති.

එහි ප්‍රමුඛයා බවට දැන් පත් වී සිටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ය. ඔහු පෞද්ගලික ව කළ විවිධාකාර ක්‍රියාවන් සහ නොකර හැරීම් නිසා උද්ගත වූ මේ අවාසනාවන්ත තත්ත්වයට තමා වගඋත්තරකරුවකු බව දැන දැනත්, ඔහු ඒ වගකීම අනුන් පිට පටවා සුදනා වීමේ අශිෂ්ට ප්‍රයත්නයක නියැළෙයි. උදාහරණයක් ලෙස, ඔහුගේ සරල නිගමනය වන්නේ, මේ සිදුවීම ආණ්ඩුවේ එක්සත් ජාතික පක්‍ෂ පාර්ශ්වය විසින් බුද්ධි අංශ දුර්වල කරනු ලැබීම නිසා සිදුවූවක් බවයි. කෙතරම් සරල නිගමනයක් ද? බුද්ධි අංශවල කිසිදු බිඳ වැටීමක් තිබුණේ නැති බවත්, ලැබුණු බුද්ධි තොරතුරු අනුව ඉදිරි පියවර ගැනීම පැහැර හැරීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බවත් පෙනි පෙනීම ඔහු කියන්නේ බුද්ධි අංශ දුර්වල කිරීමක් ගැන ය.

ජනාධිපතිවරයා එම ධුරයට පත් වූ දා සිට ම පාහේ සිටියේ ඊළඟ ජනාධිපතිවරණයෙන් ද ජය ලබන්නේ කෙසේද යන ක්‍රියාන්විතයෙහි ය. ඒ සඳහා භික්‍ෂූන් ඇතුළු සිංහල බෞද්ධයන්ගේ, හමුදාවල සාමාජිකයන් හා ඔවුන්ගේ පවුල්වල අයගේ ඡන්ද ලබා ගැනීම ගැන විශේෂ උනන්දුවකින් ඔහු කටයුතු කළේ ය. මහජන දේපළ මංකොල්ලකෑම පිළිබඳව ගෝඨාභය රාජපක්‍ෂ හා හිටපු හමුදාපතිවරුන් කිහිප දෙනකුට විරුද්ධ ව නීතිය ක්‍රියාත්මක වන විට ඔහු ප්‍රසිද්ධියේ පෙනීසිටියේ ඒ අපරාධ සැකකරුවන් වෙනුවෙනි. වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගන්නට උත්සාහ කරන විට ජනාධිපතිවරයා හිටියේ කරන්නාගොඩගේ පැත්තේ ය. ඝාතන සැකකරුවකුට සැඟවී පලා යෑමට ඉඩ සැලසුවා යැයි චෝදනා ලබා සිටින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගන්නට සැරසෙන විට, ඔහුට රටින් පිටව යන්නට ජනාධිපතිවරයා දැන දැන ම ඉඩ දුන්නේ ය. අපරාධවලට සැක පිට හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගන්නට හෝ ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට ආරක්‍ෂක අංශ සැරසෙන විට ජනාධිපතිවරයා අපරාධ පරීක්‍ෂණ නිලධාරීන් ගෙන්වා ඔවුන්ට බැන වැදුණේය. බාධා කළේ ය. මේවායින් ඔහු කල්පනා කළේ ආරක්‍ෂක හමුදාවල සාමාජිකයන්ගේ මෙන්ම ඔවුන්ගේ සමීපතමයන්ගේ ඡන්ද ගොඩ තමාගේ පෙට්ටියට දමා ගන්නට ය. ඒ පිළිවෙත යළිත් ඉදිරියට ගනිමින්, අප්‍රේල් 21න් පසු ඔහු ආරක්‍ෂක අංශ බිඳ වැට්ටුවා යැයි අමූලික බොරුවක් තමාගේ ආණ්ඩුවේ හවුල්කාර පක්‍ෂය වෙත එල්ල කළේය. මේ සියල්ලේ ම ඉලක්කය එකකි. කෙසේ හෝ ආණ්ඩුවේ අනෙක් පාර්ශ්වය මහජනතාව ඉදිරියේ අවමානයට පත් කොට තමාගේ ඊළඟ ජනාධිපතිවරණ සිහිනය සැබෑ කරු ගැනීම ය.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, මේ අසීරු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට ලජ්ජා නැති උත්සාහයක යෙදෙමින් සිටින අනෙක් තැනැත්තා ය. අනාගත ජනාධිපති සිහිනය සඳහා මේ මියගිය, ගිලන් වූ මිනිසුන් යොදා ගැනීමට ඔහු දරන උත්සාහය ද දුෂ්ට ය. ඔහු කියන්නේ තමා බලයේ සිටියා නම්, මෙවැනි දේ සිදුවන්නට ඉඩක් නොතබන බවයි. එහෙත්, ඔහු ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා හැටියට සිටින විට, මුළු සමාජය ම අතිවිශාල හමුදා නිරීක්‍ෂණ තත්ත්වයක පවත්වා ගෙන යද්දීත්, ප්‍රභූ ඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නොනැවතී එල්ල වුණු බව රට ම දනියි. සුදු වෑන්වලින් මිනිසුන් පැහැරගෙන ගියේ, අත පය කඩා මහමඟ දමා ගියේ, අහිංසකයන් අතුරුදහන් කෙළේ, යුද්ධයට කිසි ම සම්බන්ධයක් නැති අහිංසකයන් ඝාතනය කෙළේ, නොබිය ව කතා කරන මිනිසුන්ගේ කට වැහීමට විවිධ තර්ජන කළේ, තමා ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් හැටියට සිටි කාලයේ බව ගෝඨාභය රාජපක්‍ෂට දැන් අමතක වී ඇතුවා වත් ද? එහෙව් ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය දා පුවත්පතකට දුන් සම්මුඛ සාකච්ඡාවක දී කියා ඇත්තේ, අද වන විට කතා කිරීමේ නිදහස නැති වී ගොස් ඇති බව ය. ෆේස්බුක් පාවිච්චි කිරීම තහනම් කර ඇති බව ය.


මේ කිඹුල් කඳුළු කා වෙනුවෙන් ද? අනිද්දා පළමුවැනි සංවත්සරයේදී ජනාධිපති නීතිඥ ජේසී වැලිඅමුණ මෙතැනට ගැළපෙන කතාවක් කීවේය. ‘මේ ප්‍රහාරයන් තුළින් දේශපාලන වාසි ලබන්නට තැත්කරන්නන් ත්‍රස්තවාදීන් තරම් භයානක ය.’■