ලක්ශාන්ත අතුකෝරල

ජීවිතය, සමාජය, අනෙකා සහ සත්‍යය පිළිබඳ ගැඹුරු අවබෝධයක්, නිර්මාණ රසයෙහි මුසු කර, සැබෑ කලාව විසින්, මිනිසා වෙත ලබා දෙන්නේයැ’යි මම විශ්වාස කරමි. වසර-දින-පැය සහ විනාඩිවලින් ප‍්‍රමාණ කළ හැකි කෙටි කාල අන්තරයක පවතින ජීවිතය දිනෙක නිවී යන පහන් සිළක් වැන්න. කලාව යනු ඒ සත්‍යය විනිවිදීමෙන් නොනැවතී, පහන් සිළෙන් විහිදෙන දිප්තිය සහ උණුසුමද, එය සුළඟ සමග කරන අරගලයද විෂය කර ගන්නා ක්‍ෂෙත‍්‍රයකි. ජීවිතය ඔහේ පාවෙමින් තිබෙන සැහැල්ලූ යමක් නොව, අනවරත දුෂ්කරතා සහිත ජය මාවතක් සඟවා ගත් රණබිමක් බව දන්නා කලාකරුවෝ ජීවිතාශාවටත්, මානව චිත්ත ධෛර්යයටත් හේතු වන කොතෙකුත් මිහිරි නිර්මාණ ලොවට දායාද කළෝය. සුවහසක් දෙනා තම ජීවිතවල අපේක්‍ෂිත වෙරළ කරා ප‍්‍රාප්ත වීමට ඒවායේ ඇසුර පසුරු කරගත් බව කියනුම කවරේද?
‘විශ්වාසයෙන් යුතුව ඔබේ සිහින ඔස්සේ ගමන් කරන්න. ඔබ සිතින් මවා ගත් ජීවිතයම ගත කරන්න.’
මේ ඇමරිකානු දාර්ශනික හෙන්රි ඬේවිඞ් තෙරෙයු දුන් උපදෙසයි. ‘ජීවිතය සැම විටම තුරුම්පු දැරීමක් නොවන බවත්, ඇතැම් විට ලූහු කාඞ්වලින් සෙල්ලම් කිරීමට If’ සිදුවන බවත්’ ජැක් ලන්ඩන් පැවසුවේය. ජෝන් ලෙනන්ට අනුව ‘ජිවිතයයැයි කියන්නේ අප සැලසුම් සාදමින් සිටින අතර වෙනත් තැන්වල සිදුවන දේට’ය. බොහෝ කවියෝ දුෂ්කර ජීවිතයට බැඳෙන්නට උගන්වති. රඞ්යාඞ් කිප්ලිංගේ ‘ෂෙ. නමැති සුප‍්‍රකට කවිය මෙන්ම එඞ්ගා ගෙස්ට්ගේ Don’t Quit විලියම් අර්නස්ට් හෙන්ලිගේ ‘Invictus’ යනාදි කවි නිදසුන්ය. අපේ රත්න ශ‍්‍රී ‘වස්සානයේ’ මෙසේ ලියූ බව අපි දනිමු.
දුෂ්කරයි කියා හැර යා යුතුද ජීවිතය කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස
දුක්ඛිත අත්දැකීම් ගොන්නකින් මතුවූ කළු ඇමරිකානු කිවිඳිය, මායා ඇන්ජලෝගේ Still Life කවියේ කොටසක් මෙබඳුය.
ලියනු ඇත ඉතිහාසයේ ඔබ තිත්ත දෙපැති මුසාවන් මා ගැන සලකනු ඇත අපසන්ම කසළින් මට. එතකුදු මම නැගිටිමි, දුවිල්ල ලෙසෟ
නොයෙකුත් ජීවන බාධකයන්ට මුහුණ දෙමින් සිටින යමෙකු නැරඹිය යුතුම චිත‍්‍රපටිය වන්නේ 2006 වසරේ තිරගත වූ Pesuit of Happiness බව මට සිතෙයි. විශිෂ්ට ව්‍යාපාරික ක‍්‍රිස්ටෝපර් ගාඞ්නර්ගේ ජීවිත කතාව ඇසුරෙන් ගේබි‍්‍රයෙල් මුසිනෝ අධ්‍යක්‍ෂණයෙන් නිමැවුණු එහි විල් ස්මිත් සහ ඔහුගේ පුත් ජේඞ්න් රංගනයේ යෙදෙති. අපරිමිත ධෛර්යයකින් සතුට සොයා යන අවතැන් වූ අහිංසක එක් දරු පියකුගේ අනවරත අරගලය නෙතට කඳුළු කැඳවන රූපමය වාජීකරණයකි.
වින්සන්ට් ගෲම්ගේ Forrest Gump නවකතාව ඇසුරෙන් රොබර්ට් සෙමෙකිස් විසින් එනමින්ම තැනූ චිත‍්‍රපටිය සහ ස්ටීවන් කිංගේ නවකතාවක් ඇසුරින් ෆ‍්‍රෑන්ක් ඩරබොන්ඞ් The Shawshank Redemption චිත‍්‍රපටිය, ජීවන සැරිය අපේක්‍ෂාවෙන් පුරවන තවත් නිර්මාණ යුග්මයකි. ධෛර්යයට ජීවය දෙන මෙවන් සිනමා කෘතීන් ලොව පුරා සිය දහස් ගණනින් නිර්මාණය වේ. පර්වත විවරයක සිරවී සිට, විශ්වාස කළ නොහෙන ධෛර්යයකින් දිවි ගළවාගත් ආරොන් රැුල්ස්ටන්ගේ සත්‍ය කතාව ඩැනී බොයිල් විසින් සිනමාවට නැගුවේ 127Hoursනමිනි. නවකතා, නාට්‍ය, සිනමා යනාදි කලාවන් තුළ නැවත නැවතත් පෙනී සිටිමින්, මිනිසාගේ දරාගැනීමේ ශක්තිය සහ ධෛර්යය පිළිබිඹු කරන ඩැනියෙල් ඩෙෆෝගේ රොබින්සන් කෲසෝ කෙනෙකුට කිසිදා අමතක කළ හැකිද? 2000 වසරේ තිරගත වූ Cast Away සිනමා කෘතියේ ටොම් හැන්ක්ස් විසින් නිරූපණය කෙරෙන ‘චක් නෝලන්ඞ්’ නම් චරිතය අපට සිහිපත් කරන්නේද රොබින්සන් කෲසෝවයි.
පුද්ගල සංවර්ධන විෂයෙහි සුවිශේෂ කාර්යභාරයක් ඉටුකළ ලේඛකයන්ගේ කෘතීන්ද සෑම කල්හිම කලාවෙන් නිරූපණය වන ජීවිතාපේක්‍ෂණ දර්ශනයන්ට පාදක වන බව හැෙඟ්. සිග්මන් ෆ්‍රොයිඞ්, නෝමන් වින්සන්ට් පීල්, නැපෝලියන් හිල්, ඬේල් කානගී, ඇන්තනි රොබින්ස්, රොබට් කියෝසාකි ඇතුළු ලේඛකයන් අතිවිශාල ප‍්‍රමාණයක් විසින් ගොඩනගා ඇති ධනාත්මක චින්තන විෂය පරාසය දිනෙන් දින නව සංකල්පයන්ගෙන් පෝෂණය වන්නකි.
අවතැන්ව ජීවිතය සමග කළ සටනේදී ක‍්‍රිස් ගාඞ්නර් කීවේ මෙයයි.
‘මට නිවෙසක් අහිමි වුවද, බලාපොරොත්තුව අහිමි නැත. හොඳ කාලය ඉදිරියේදී පැමිණෙන බව මම දනිමි.’
දුපතක තනිවී හසරක් නොදැක සිටිද්දී චක් නෝලන්ඞ් කීවේ මෙසේයි:
‘කාලය තුළ උපදින අපි කාලය තුළ මියෙන්නෙමු. කාලය මත වන අපගේ ධාවන පථය නම් අප විසින් කිසිසේත්ම අහිමි කර නොගත යුතුය.’