චිත්‍රපටි රසිකයෙක් වුණ හැටි මතකද?
දැන් මගේ පුතා උසස්පෙළ කරන වයසේ. එයාගේ සිනමා රසිකත්වය සකස් වෙන හැටි, මගේ සිනමා රසිකත්වය හැදුණු විදියෙන් සීයට සීයක් වෙනස්. දැන් විශ්වවිද්‍යාලයේ පාළු තැනක එකට ඉඳගෙන ඉන්න පෙම්වතුන් යුවළක් ෆෝන් දෙකෙන් වෙන වෙනම චිත්‍රපටි දෙකක් බලන හැටි මා දැකලා තියෙනවා. අද සිනමා රසිකත්වය ඒ වගේ පෞද්ගලිකයි. ඒක පුංචි තිරයක, රසිකයාට සමීප තැනකට මාරු වෙලා. ඒකේ වරදක් නෑ. ඒත් අපි අත්විඳපු සිනමා රසිකත්වය වෙනස්.
මම ගාලු දිස්ත්‍රික්කයේ හිනිදුම්පත්තුවේ හිනිදුම කියන ගමේ තමයි ඉපදුණේ. හැතැප්මවලින් කීවොත්, ගාල්ලෙන් හැතැප්ම තිස්දෙකක් ඇතුළේ පිහිටි පිටිසර ගමක් තමයි හිනිදුම. මම හැත්තෑදෙකේ උපන්නේ. මම පළවැනි සිනමා අත්දැකීම ලැබුවේ ගමට කිට්ටු ප්‍රධාන නගරය වන ගාල්ලේදී. දින වකවානු එක්ක මට මතකයි. හැත්තෑනවයේදී. ගාල්ලේ සරසවි සිනමා ශාලාවේ යසපාලිත නානායක්කාරගේ ‘මොණරතැන්න’ බැලුවේ. ඒකෙ හොඳටම මතක හිටින දේ තමයි ගීත. අම්බරේ දිලී දිලී, සෙවණේ කුඹුක් සෙවණේ වගේ සිංදු. මම ළමයෙක් හැටියටනේ බැලුවේ. මාලනී ෆොන්සේකා ළමා නිවාසයක ළමයෙක් බලාගන්නකොට හඳ හාවුන් හඳේ කියන ගීතයත් හුඟක් වැදුණා. කොටින්ම මගෙ පුතා 2003 ඉපදුණාම, එයා නළවන්න පාවිච්චි කරපු ගීත අතරේ අම්බරේ දිලී දිලී සහ හඳ හාවුන් හඳේ තියෙනවා. සෑහෙන කාලයක් යනතුරු නිදාගන්න යනකොට අම්බරේ කියන්න කියලා එයා ඉල්ලුවා.

ලොකු තිරයේ රූප දැකපු පළවැනි වතාව…
ලොකු තිරයේ නෙවෙයි. කුමන හෝ තිරයක රූප දැකපු පළවැනි වතාව. හැත්තෑනවය වෙද්දී ගමට රූපවාහිනී ඇවිල්ලා නැහැ. ටීවී ලංකාවට ආවෙත් හැත්තෑනවයේදී. අවුරුදු අටක කෙනෙක්ට මහා තිරයේ දැවැන්ත රූප දැකීම පුදුම අත්දැකීමක්. අපට අසූදෙකේදී ජාතික රූපවාහිනිය ආවාට පස්සෙයි, ටීවී ආවේ. ඉතින්, අපේ ලෝකයට මහ තිරයේ කළු සුදු රූපවල ඉන්න දැවැන්ත මිනිසුන් කියන්නේ මාර මායාවක්. මං පුදුමයට පත් වුණා, මේ තරම් විසාල මිනිසුන් කොහෙන්ද කියලා. පුදුමයකට වගේ මං එදා දැක්කේ ලංකාවේ සුරූපීම දේහ සෞන්දර්යයක් හිමි විජය සහ මාලනී. හැමදාම චිත්‍රපටි බැලිය යුතුයි කියන අදහස එදා පැළපදියම් වුණා.

එතැනින් චිත්‍රපටි බලන්න පටන්ගත්තා…
ගමේ ඉඳන් ගාල්ලට එන හැම කෙනෙක්ම කරන වැඩ කිහිපයක් තිබුණා. කොටු බැම්ම දිහේ ඇවිදිමින් මුහුද නැරඹුවා. කේඑල්එච් කියන තැනින් අයිස්ක්‍රීම් කෑවා. වෙස්ට් එන්ඩ් කියන ස්ටුඩියෝ එකෙන් හෝ ගීතා කියන ස්ටුඩියෝ එකෙන් පවුලේ කට්ටිය පින්තූරයක් ගැහුවා. පොඩි ළමයා ටීපෝ එකක් උඩ තියාගෙන. පුංචි ළමයෙක් නං අස්සයා ගෝං එකක නැගලා. චිත්‍රපටියක් බැලුවා. ප්‍රසිද්ධ හෝටලයකින් කෑම අරන් දුන්නා. ගාල්ලට ගිහින් එන එක වීර චාරිකාවක් වගේ.
ප්‍රින්ස් ගාල්ල, ක්වීන්ස් ගාල්ල සහ සරසවි ගාල්ල කියලා සිනමාහල් තුනක් තිබුණා. අපේ යාළුවන් අතර ලංකාවේම සිනමා ශාලාවල ලැයිස්තු එකදිගට කියන සෙල්ලමක් තිබුණා. සිත්තම්පලම් අනුරාධපුරය, ඡායා කෑගල්ල, වායු සමනය කළ එම්පයර් ආදී වශයෙන් එකදිගට කිව්වා. ඒකට හේතුව තමයි ගුවන් විදුලියේ යන වෙළඳ දැන්වීම. අහවල් චිත්‍රපටිය ආවා. ඒකේ රඟපාන්නේ අහවල් අය කියලා ලැයිස්තුව. ඊට පස්සේ තමයි පත්තරේට ආවේ. අද නම් ලංකාදීප වගේ පත්තරවල තවමත් සිනමාහල් තීරුව තියෙනවානේ. එදා ඒක මුලින් ආවේ ගුවන් විදුලියෙන්. ඒ කාලයේ අලුත් චිත්‍රපටියක් එනකොට ගුවන් විදුලියෙන් ප්‍රචාරය කළා. කතා රසය නොනැසෙන විදියට කතා වස්තුව කීවා. තිසා වීරාට අන්තිමට සිදුවෙන දේ නරඹන්න නම්, ඔබ නැරඹිය යුතුයි කියලා. චිත්‍රපටියේ රහස හෙළි කළේ නෑ.

ඊට පස්සේ..
සිනමා අත්දැකීමට ඉණිමං බැඳපු… නෑ, විදුලි සෝපාන සවි කරපු අත්දැකීමක් සිද්ධ වුණා. අපේ ගමට පොල් අතු සවි කරපු සිනමාහලක් ලැබුණා.තැනින් තැනට යන කූඩාරම් සිනමාව නෙවෙයි. ස්ථීරව තිබෙන, පොල් අතු සෙවිලි කරපු සිනමාශාලාවක්. සුද්දා අපේ ගම් ප්‍රදේශයට දුන්න නම හේකොක්. හිනිදුම් කන්දට සුද්දාගේ සිතියමේ තියෙන්නේ හේකොක් කන්ද කියලා. ඒ නිම්නයට ‘හේකොක් වැලි’ කිව්වා. අපේ ගමට අල්ලපු ගම තවලම. ඒකේ තමයි ජැස්මින් වැලි තියෙන්නේ. අපේ ගමේ සිනමාහලට මුලපුරපු වැඩහිටියන් හේකොක් සිනමා හිනිදුම කියා දැම්මා. අසූව දශකයේදී, සම්පූර්ණ සිනමා අත්දැකීම ලැබෙන්න ගත්තා.

සම්පූර්ණ අත්දැකීම කීවේ…
චිත්‍රපටිය ගමට රැගෙන ඒම, ප්‍රචාරණ කටයුතු, විචාරය සහ අනුකරණය. අපේ ගමේ පුංචි ළමයින් මේ වැඩේට වහ වැටුණා. අපේ ගමේ කුඩා තේ ඉඩම් තියෙන්නේ. අපි උදේ අම්මලා එක්ක වතු වල වැඩ කළා. නොයෙකුත් දේවල් කළා. උදේ දහයට එකොළහට හයයි තිහේ චිත්‍රපටියේ ප්‍රචාරණ වෑන් එක ගම පුරා දිව්වා. ගමේ කොල්ලෙක් කතා කළා. සිංහල සිනමාවේ ජනකාන්ත නළු විජය කුමාරතුංගගේ රංගනයෙන් කියලා පටන්ගත්තේ. ඔබ ඇවිත් බලාගන්න කියා ව්‍යවහාරික භාෂාවකින්, ඒ තරුණයාටම ආවේණික විදියට ප්‍රචාරය සිද්ධ වුණා. ගමේ කොළු නඩය වේලාසනින් වැඩේට ලෑස්ති වුණා. රුපියලක වගේ පුංචි ටිකට් එකක්. ශාලාව ටිකක් දිගයි. කදිමට පොල් අතු හෙවිලි කරලා තිබුණා. පන්ති තුනක් තිබුණා. වෙනම කවුළු තුනකින් ඇතුල් කළා. පොල් කොටවල පිට ලෑලි ගහලා බංකු තිබුණා. තේ කඩ, බුල්ටො කඩ, බුලත් විට විකුණන අය එක්ක සිනමාහල වටේට උප සංස්කෘතියක් හැදුණා. හෝල් එකේ සිගරට් බොන්න එපා කියලා නෑ. දුම්වලින් පිරිච්ච, රටකජු සුවඳින් පිරිච්ච සිනමා අත්දැකීමක්. රිදී තැල්ල, තිසා වීරා කතාව, කදිරා නාමලී කතාව ආදී නොයෙකුත් චිත්‍රපටි ගොන්නක් බැලුවේ එතැන.

චිත්‍රපටි පෙන්වන හැටිත් බලන්න ඇති..
අපේ අත්දැකීමේ ලොකුම වීරක්‍රියාව වුණේ ප්‍රොජෙක්ටර් කාමරේට කිට්ටු කරන එක. පොල් අතුවලින් ඒක වෙන් කරලා. ඒක ඇතුළේ ඉන්නේ බරපතලම වීරයෝ. ඒකේ කවුළු දෙකකින් නිල් පාට ආලෝක ධාරාව ආවේ. ගාල්ලේ ඉඳන් හිනිදුමට හවස එන සීටීබී බස් එකේ තමයි සිනමා පට ගෙනත් දැම්මේ. කිරිහට්ටි වගේ එක පිට එක තියපු තැටි, කොහු ලණුවලින් බැඳලා. අපි තමයි මේවා කරගහං යන්න ඉදිරිපත් වුණේ. චිත්‍රපටියේ විවේක කාලය කියන ස්ලයිඩ් එක නැති වුණාම, කුරුටු පෑනකින් විවේක කාලය කියලා නොපිට ලියලා එයාලාම ප්‍රොජෙක්ට් කළා. සමහර වෙලාවට සිනමා පටයේ කෑලි කපලා අයින් කළා. ඔන්න, චිත්‍රපටි කෑලි එළියට විසි වුණා. ඒ කෑලි ගෙදර ගෙනැත්, තාත්තාගේ කෑලි තුනේ ටෝච් එකෙන් බිත්තියට ප්‍රක්ෂේපණය කරන එක තමයි ඊළඟ පියවර.

චිත්‍රපටි අනුකරණය කරපු බවත් කීවා..
ඒක තමයි ඊළඟ කෑල්ල. රිදී තැල්ල චිත්‍රපටියේ ගල්වලට මුවාවෙලා, පොලීසියට වෙඩි තියන කැලෑ වැදුණු තරුණයෙක් ඉන්නවා. ඒ වගේ තුවක්කු රාශියක් ලීවලින් හදාගත්තා. පිනිජම්බු මල ඇතුළට ඇපල දාලා බට තුවක්කුව කියා එකක් හැදුවා. ලී තුවක්කුවෙන් සද්දය නෑ. බට තුවක්කුවෙන් තමයි සද්දය. ගේ ගාව වන රොදේ කළු ගල් තියෙනවා. හැංගෙමින් වෙඩි තියන්න පුරුදු වුණා. ඒ කාලෙ රස කෑමක් වුණත් කැලෑවේ ඉඳන් කෑවේ. ඒ ශාලාව සෑහෙන කාලයක් තිබුණා. ඒත් ඒක එහෙමම විනාස වුණා.

රූපවාහිනිය ගමට ආවේ කොහොමද?
ඒකත් අලුත් අත්දැකීමක්. කල්යද්දී චිත්‍රපටි බලපු අත්දැකීම සෑහෙන දුරට ටීවී බැලීමට මාරු වුණා. හැම බදාදාම රූපවාහිනියේ චිත්‍රපටි පෙන්වන්න ගත්තා. වෙළඳ දැන්වීම් දෙකතුනයි තිබුණේ. ඇස්ප්‍රීන්, ඩිස්ප්‍රීන්, පැනඩෝල් ආදී දැන්වීම්. සිටුවර මොන්ත ක්‍රිස්තෝ, ටාසන්, මනුතාපය වගේ ටයි මහත්තයා හඬ කැවූ මාලා නාටක යන්න ගත්තා. ඒකත් මහ පුදුම අත්දැකීමක්. ටීවී එකක් තියෙන ගෙවල්වල ටීව වෙනුවෙන් බංකු හැදුවා. ඉස්සරහා මාගල් එළලා පොඩි අය වාඩි කෙරෙව්වා. ගෙවල් දහයක පහළොවක සෙනඟ ආවා. රණ්ඩු නොවී මේ අත්දැකීම ගමේ අය බෙදාගත්තා. ඒ කාලෙ චිත්‍රපටි පැය තුනක් විතර දිගයි. පැය එකහමාරේ චිත්‍රපටි වැඩිපුර ආවේ දෙදාහෙන් පස්සේ වගේ. ඉතින්, රෑ දොළහ විතර වෙනතුරු ඉන්න ඕනෑ. චිත්‍රපටිය අතරමැද්දේ හැලප කෑල්ලක්, වැලිතලප කෑල්ලක් එක්ක තේ දුන්නා. සමහර වෙලාවට චිත්‍රපටිය මැද්දේ අපට නින්ද ගිහින්. වැඩිහිටියන් වඩාගෙනයි ගෙදර එක්කාගෙන ගියේ. අඟල් 12 හෝ 14 ටීවී තිබුණේ. චැනල් දෙකයි. ජාතික එකයි, අයිටීඑන් එකයි. චැනල්වලට ගමේ කිව්වේ එකයි දෙකයි කියලා. අතින් තමයි ටකස්, ටකස් ගාලා චැනල් මාරු කළේ. ටික කලක් යනකොට ඒකේ ප්ලාස්ටික් කෑල්ල කැඩුණා. ටීවී එක ගාව කටර් අඬුව තිබ්බේ ඊට පස්සේ. ඒකෙන් තමයි නාලිකා මාරු කළේ. ටීවී එක වැඩ කරන්නේ කාර් බැටරියෙන්. ඒකේ වතුර මාරු කරන්නට කර තියාගෙන ගිහින්, අපේ කමිසවල හිල් හැදිලා තිබුණා. ඒ මොනවා වුණත්, සිනමාහලට ගිහින් නියම සිනමාව දැකබලාගැනීමත් දිගටම කළා. පසුකාලීනව ටීවී එකෙන් බැලුවේ ටෙලිනාට්‍ය. දේවිකා මිහිරාණි, අනුර මැදගොඩ ඉන්න දිමුතු මුතු හොඳට මතකයි. ලා හිරු දහසක්, මැණික් නදිය ගලා බසී, මවකගේ ගීතය, දූ දරුවෝ වගේ ඒවා ඉතා ජනප්‍රිය වෙන්න ගත්තා. අපි උසස්පෙළ කරපු කාලය වන අනූ ගණන් වෙද්දී ජයන්ත චන්ද්‍රසිරිගේ, ධර්මසේන පතිරාජගේ ටෙලිනාට්‍ය ඇවිත් අත්දැකීම පුළුල් වුණා.

අද සමහර අය චිත්‍රපටි බැලීම ‘නරක දෙයක්’ කියා හිතනවා…
අපේ තාත්තා අප හැදුවේ ඉතා දැඩි නීතිරීති යටතේ. මම පවුලේ අටවැනියා. ඒත් කිසිම කලෙක චිත්‍රපටි බැලිල්ල සහ ටීවී බැලිල්ල සීමා කළේ නෑ. ඒ කාලෙ මහ රෑ චිත්‍රපටි බලන්න ගියේ හුළුඅතු අරගෙන. ඒ එළියෙන් තමයි ගියේ. මේක අවදානම් ගමනක්. සමහර දවසක ශාලාව ඇතුළෙදී කෙනෙක්ට සර්පයෙක් ගැහුවා. එහෙම වුණත් මහ රෑ වෙනතුරු මේවා බලන එක තාත්තා සීමා කළේ නෑ. මහ රෑ වෙනතුරු චිත්‍රපටි තිබුණා. දොළහයි තිහ දර්ශනය පවා. මට මතකයි ගාල්ලේ දොළහයි තිහ දර්ශනය ඉවරවුණාම ගෙදර එන්නත් සීටීබී බස් එකක් තිබුණා. ඒ කාලෙ ගමනාගමන මණ්ඩලයේ සභාපති අනිල් මුණසිංහ චිත්‍රපටි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ නියෝජිතයෙක්. චිත්‍රපටි බලලා ප්‍රේක්ෂකයා ගෙදර යන්න ඕනෑ නිසා. අපේ පාසල් ගුරුවරු හොඳ චිත්‍රපටි බලන්න කියලා අප පෙළඹවූවා. සිනමා රසිකත්වය කියන්නේ ඒ කාලයේ බොහොම පරෙස්සමෙන් රැකගත්, ගරු කරපු දෙයක්.

දැන් නම් චිත්‍රපටියක් එනකොට සමාජ මාධ්‍යවල යන ඒවා, පූර්ව ප්‍රචාර, ශ්‍රේණිගත කිරීම් බලලා යනවා. ඒත් එදා තත්වය වෙනස්…
දැන් අපි හොඳ සූදානමක් එක්ක ශාලාවට යනවා. අකමැති චිත්‍රපටියක් නොබලා ඉන්න පුළුවන්. ඒත් එදා අපි එන එන චිත්‍රපටිය බැලුවා. අපි විමතියෙන් බලා හිටියා. චිත්‍රපටියක් බලද්දී ඊළඟ චිත්‍රපටියේ පුංචි දර්ශන කිහිපයක් පෙන්වුවා. විශේෂයෙන් කරන්නේ ප්‍රධාන නළුනිළියන් සහ ගීත හඳුන්වන එක. අපට සමාජ මාධ්‍යවලින් හෝ වෙන ක්‍රමවලට ඒ නළු නිළියන් බලන්න ක්‍රම තිබුණේ නෑ. බලනවානම් තිරයෙන් තමයි. මට හොඳට මතකයි සියැසින් මාලනී දැකපු මුල්ම දවස. කතරගම ගිහින් ඉන්නකොට ඇය පාලමේ ඒ පැත්තේ ඉඳන් මේ පැත්තට එමින් හිටියා. මාලනී දැකපු හැටි, හමේ වර්ණය, නළලට වැටුණු කියඹු වැල් දෙක ගැන බොහෝ කාලයක් කතා කළා.■