උරුවම් බෑම හෙවත් විසිල් කිරීම මා හැදුණු වැඩුණු ළමා කාලයේ සැලකුවේ රස්තියාදුකාර පුරුද්දක් ලෙස ය. කරන්නට වැඩක් නැති අය කරන දෙයක් ආකාරයට ය. වැඩිහිටියෝ අපට කීවෝ එය නොකළ යුතු දෙයක් ලෙස ය. එම නිසා අප කුඩා කාලයේ විසිල් කළේ හොර රහසේ ය. ගැටවර වියට පා තබන විට විසිල් කිරීම අපගේ ස්වාභාවික ප‍්‍රතික‍්‍රියාවක් වූයේ ප‍්‍රතිවිරුද්ධ ලිංගික දර්ශනයක් නෙතට ගැටීමත් සමග ය. එය ද පසු කාලෙක දේශපාලනික ව වැරදි දෙයක් බව දැන ගන්නට ලැබිණ. ඊට කියනු ලැබුයේ ‘වුල්ෆ්-විස්ලින්’ කියා ය.

කාන්තාවකට කායික හෝ ලිංගික ආකාරයකට අපහසුවක් වන ආකාරයට පිරිමියෙකු උරුවම් බෑම වුල්ෆ් විස්ලින් ලෙස හැඳින්වේ. එය කාන්තා හිංසනයේ එක් ආකාරයකි. එය ලිංගික අඩන්තේට්ටම් හෝ එවැනි අඩන්තේට්ටමක පිවිසුම ලෙස සමහර රටවල නීතියෙන් සැලකේ. 2018 ප‍්‍රංසයේ එම්මානුවෙල් මක්රෝන් ජනපති, වුල්ෆ් විසිලින් නීති විරෝධී දෙයක් බවට පත් කළේ කාන්තාවන්ට මගතොට නිදහසේ යාමට ඇති අයිතිය තහවුරු කරන්නට ය.

ප‍්‍රංසයේදී යමෙකු ප‍්‍රසිද්ධ ස්ථානයක කාන්තාවකට එවැනි හිංසනයක් වන ආකාරයට උරුවම් බෑවොත් යූරෝ හත්සිය පනහක දඩයක් කන්නට සිදු වේ.
උරුවම් බෑම සංගීතයේ විටෙක නාද විශේෂයක් ලෙස යොදා ගැනේ. ගොපලූ චිත‍්‍රපට අතර චිර ප‍්‍රසිද්ධ ඩොලර්-ත‍්‍රිත්වයේ ප‍්‍රථම චිත‍්‍රපටය වන, ක්ලින්ට් ඊස්ට්වුඞ් රඟන, ‘ෆොර් අ ෆිව් ඩොලර්ස් මෝ’හි තේමා සංගීත ඛණ්ඩය පදනම් ව ඇත්තේ දීර්ඝ උරුවම් බෑමකිනි. එය චිත‍්‍රපට සංගීත අධ්‍යක්ෂණයේ දැවැන්තයෙකු ලෙස නම් දරා සිටින ඉතාලි ජාතික සංගීතවේදියාගේ විශිෂ්ට නිර්මාණයක් ලෙස සැලකේ.

එච් ආර් ජෝතිපාල විසින් ගයන ලද ‘මේ ජීවනයේ මුළු සංසාරේ’ ගීතයේ අතරින් පතර උරුවම් බෑමේ කොටසක් අසන්නට ලැබේ. විශිෂ්ට ලෙස විසිල් කරන සංගීතඥයෙකු අප අතර කලකට පෙර සිටියේ ය. ඔහුගේ නම නිහාල් සී ජයවර්ධනය. නමුදු ක්ෂේත‍්‍රයේ දැන හැඳින සිටියේ විස්ලින් නිහාල් ලෙස ය. මොහු කළේ ප‍්‍රසිද්ධ හා ජනප‍්‍රිය ගීත අදාළ තාලයට උරුවම් බෑම ය. විස්ලින් නිහාල්ගේ උරුවම් බෑම කෙතරම් දුරදිග ගියේ ද කියතොත් ඔහු කලක දී විසිල්වලින් ම කෙරෙන සංගීත ප‍්‍රසංගයක් පැවත් වී ය. ඒ මත පදනම් ව කැසට් හා සීඞී පට කිහිපයක් ද නිකුත් කෙරිණ.


විස්ල් බ්ලොවර් හෙවත් විසිල් කරන්නා ලෙස සමකාලීන ව හැඳින්වෙන්නේ වාච්‍ය අර්ථයට ඔබ්බට ගිය කර්තව්‍යකට ය. එය අර්ථ ගැන්වෙන්නේ යම් පොදු අගතියක් හෝ වරදක් හෝ විනාසයක් වන්නට පෙර තියා කරන අනතුරු හැඟවීමක් ලෙස ය. අනතුර තව දුරටත් නවතාලන්නට හෝ අවම කරන්නට කල් තියා සමාජය අවදි කරන්නා ලෙස ය.


පසුගිය සතියේ දෙකේ අපගේ පුවත් අතර ආන්දෝලනයක් ඇති කළේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හා ජනප‍්‍රිය නළුවෙකු වන රන්ජන් රාමනායක කළ උරුවම් බෑමකිනි. රාමනායක කලක සිට ම උරුවම් බෑ අයෙකි. ඔහු මුලින් ම තම හඬ අවදි කළේ මැද පෙරදිග වෙසෙන කාන්තාවන්ට සිදුවන අකටයුතු ගැන ය. පසු ව නීති විරෝධී වැලි ගොඩ දැමීම සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කොකේන් ගැසීම දක්වා අනාවරණයන් කළේ ය. මෙවැනි මැදිහත් වීම් නිසා ඔහුට නිතර දෙවේලේ උසාවි ගානේ යන්නට සිදු විය. ඔහු මෑතදී කළ අනාවරණය දෙබරෙකට ගල් ගැසීමක් වන් විය. විදුහල්පති ගාවට කැඳවනු ලබන ඇට්ටර කොල්ලෙකු මෙන් රාමනායක මන්ත‍්‍රීට අරලිය ගහ මන්දිරයට යන්නට සිදු වුණේ අගමැති රනිල් විසින් එවන ලද ලිපියකින් අනතුරු ව ය. විසිල් කළ විෂයේ වැඩිහිටියෝ අම්බරුවා, ගොන් වස්සා, කේප්ප ගොනා ආදි නම්වලින් මන්ත‍්‍රීතුමාට සැලකූ හ; තමන්ගෙන් සමාව ගත යුතු බවට තරයේ කියා සිටිය හ. විසිල් කළ කාරණය පිළිබඳ කවුරුත් කතා නොකළ හ. මාධ්‍ය ද තම මයික‍්‍රපෝන අල්ලන්නේ විසිල්කරුවාට පරිභව කරන පාර්ශ්වයන්ට ය.


යම් නොහොබිනා හෝ නීති විරෝධී තත්ත්වයක් ගැන යට කී මන්ත‍්‍රීවරයා වැනි පූර්ව අනතුරු හඟවන්නන් අනතුරකට හෝ තර්ජනයකට ලක් වීමේ හැකියාව ඇත. එම තත්ත්වයන් තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට නීති රීති සමහර රටවල පනවා ඇත. ඇමරිකා එක්සත් ජනපදය විසින් 1989 හඳුන්වා දුන් විස්ල්-බ්ලොවර්ස් ප‍්‍රටෙක්ෂන් පනත එවැන්නකි. ඉන් ෆෙඩරල් සේවකයන්ගේ අයිතීන් සුරක්ෂිත වේ. යුරෝපීය සංගමය විසින් තම සාමාජික රටවලට එවැනි ම නීතියක් 2014 දී ප‍්‍රටෙක්ෂන් ඩිස්ක්ලොෂර්ස් පනත හඳුන්වා දුන්නේ සේවා ස්ථානයන්හි වන අකටයුතු ගැන අනාවරණය කරන සේවා නියුක්තිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නට ය.


සිවිල් සමාජය විසිල් කිරීම සාධනීය දෙයකි. ඉන් ප‍්‍රතිස්ථාපනය වන්නේ සක‍්‍රිය ප‍්‍රජාතන්ත‍්‍රීය සමාජයකි. මහා අනතුරක් වීමට පෙරාතුව සමාජය දැනුවත් වෙනවා පමණක් නොව එම අනතුර වලක්වා ගන්න ද ඉන් හැකියා ලැබේ. විසිල් කිරීම ලංකාව වැනි අගතිගාමී රටක ලෙහෙසි පහසු දෙයක් නොවේ. ඉන් සිදු විය හැකි අනතුරු හා තර්ජන බොහෝ ය. විසිල්කරුවා ආරක්ෂා කිරීම නීතියේ මෙන් ම සෙසු සමාජයේ ද වගකීමකි. නොඑසේ නම් සිදුවන්නේ නිකමට කළුගලක හිස හප්ප නොගෙන තමන්ගේ පාඩුවේ මිනිසුන් වරද නොදැක්ක සේ සිටින තත්ත්වයකට පසු බැසීම ය; නිර්වින්දනය වීම ය. එය ඉතා ම අවාසනාවන්ත තත්ත්වයකි. වසර පහ හයකට පෙර සමාජයේ එක්තරා කතාවක් තිබුණි. ඒ නම් ‘කට ඇරිය යුත්තේ කන්නට පමණක්’ බවයි. එම යුගය වැරදිලාවත් නැවත පැමිණියහොත් ජනතාවට විසිල් කරන්නට හැකි වන්නේ තදින් දොර වසාගත් නාන කාමරයක පමණි.


ප.ලි : විසිල් කරන සැම දෙනා ම සත්පුරුෂයෝ නොවෙති. සමාජයේ අසාධාරණ අවස්ථාවන් හා පුද්ගලයන් වෙනුවෙන් පැන පැන පෙනී සිටින පෙරකදෝරුවෙක් මෑත කාලයේ ප‍්‍රාදුර්භූත විය. තමන්ට මම නොකියා තමන්ගේ වාසගමින් ම තමන් හඳුන්වාගන්නා (මෙය මානසික තත්ත්වයක් බව මහාචාර්යවරයෙකු සමාජ මාධ්‍යයක අදහස් දක්වා තිබිණ.* මේ පුද්ගලයාගේ විසිල් ගැසීම ගොස් නැවතුණේ රටේ මහ තනතුරකට ඡුන්දේ ඉල්ලන හීනයකිනි. මහජනතාව මෝඩයෝ නොවෙති. ඔවුන් විසින් යට කී ව්‍යාජ විසිල්කරුවා විසික් වී යන තත්ත්වයකට මේ වන විට පත් කර ඇත.x