පේමදාස මහතා සදා දුන් නිවාසක්

ටික කාලයකට පෙර විල්පත්තු වන විනාශයට එරෙහිව යැයි කියමින් පටන්ගත් සටනට දැවැන්ත සමාජ සහයෝගයක් තිබුණි. සියල්ලන් ඒ සටනට හදවතින් එක්ව සිටියෝය. මුලින්ම කතාව පටන්ගත්තේ විල්පත්තු ජාතික වනෝද්‍යානය රිෂාද් බදියුදීන් ප‍්‍රමුඛ මුස්ලිම් ජාතිකයන් විසින් කපා ඇතැයි කියමින්ය. එදා මහා හඬින් නැඟුණු විල්පත්තු සටනේ තිබුණු ඉස්ලාමෝෆෝබියානු අන්තවාදයට එරෙහිව කරුණු මත පදනම්ව ලියන්නට ලියුම්කාරිය පටන්ගත් මොහොතේ කිසිවෙකු අප සමඟ සිටගත්තේ නැත. සියල්ලෝ අපට එරෙහිව විල්පත්තු උන්මාදයෙන් මත්වී සිටියෝය.


එහෙත් අපි ඔවුන්ගේ ව්‍යාජ කරුණු පෙන්වූවෙමු. විල්පත්තු ජාතික වනෝද්‍යානයේ සීමාව ඇතුළත ගම්මාන ඇත. එහෙත් ඒවා සිංහල හා දෙමළ මිශ‍්‍ර ජනතාව වෙසෙන පූක්කුලම් වැනි ගම්මානය. අන්තවාදීන්ගේ විරෝධයට ලක්වෙන මේ ගම්මාන තිබෙන්නේ විල්පත්තු ජාතික වනෝද්‍යානයෙන් කිලෝමීටර් දෙකක් ඈතින්ය. විලපත්තු තියෙන්නේ පුත්තලම් දිස්ත‍්‍රික්කයේය. මේ ගම්මාන තිබෙන්නේ මන්නාරම් දිස්ත‍්‍රික්කයේය. ඉන්පසුව ඔවුන්ගේ සටන්පාඨද වෙනස්විය. විල්පත්තු සටන විල්පත්තු පරිවාර රක්ෂිත රැුකීමේ සටනකට මාරුවිය.


මේ පදිංචිකිරීමේ කටයුතු නව පදිංචිකිරීම් නොව, නැවත පදිංචිකිරීම් බව අපි පෙන්වුවෙමු. පැරණි ගොඩනැඟිලිවල ඡායාරූප පෙන්වුවෙමු. ඒවා වටේට වසර තිහක් තිස්සේ කැලෑව වැවී ඇති හැටි පෙන්වුවෙමු. මෑත දිනයෙක ඒවායේ පදිංචිව සිටි මිනිසුන් අසරණව පැය 24න් නිවාස අත්හැර ගිය හැටිද ලීවෙමු.


ඒ තර්කවලට පිළිතුරු ලෙස ඔවුන් කීවේ මෙම පදිංචිකිරීම් අතර පැරණි ගම්මාන තිබුණත්, අලූත් පදිංචිකරුවන්ද බොහොමයක් සිටින බවය. ඒ කතාව පැහැදිළිව ඇත්තය. නව පදිංචිකරුවන් බොහෝ සිටියි. කොණ්ඩච්චි ප‍්‍රදේශයේ එවැනි පදිංචිකරුවන්ගේ ගම්මානයක්ම ඇත. ඒ ගම්මානයේ පදිංචිකරුවන් සිංහලයන්ය. ඊට අමතරව පැරණි පදිංචිකරුවන් නොවන මුසල්මානුවන්ද සිටියි. එහෙත් ඒ නව පදිංචිකරුවන්ගේ නිවාස පිහිටා තිබුණේද වැඩි වශයෙන් පැරණි ගම්මාන තිබුණු භූමි සීමා වලමය. මුස්ලිම් පවුල් ප‍්‍රමාණය එකල සිටියාට වඩා වැඩිය. ‘මුං පැටව් ගහලාදැයි‘ එක් අයෙකු අනිද්දා ෆෙස්බුක් පිටුවේ කමෙන්ටුවකින් අසා තිබුණි. සිංහලයන්ට මෙන්ම මුස්ලිම් ජනතාවටද ප‍්‍රජනනය කිරීමේ අයිතතියක් ඇත. දැනට නම් සිංහල අන්තවාදී දේශපාලඥයන් විසින් මුසල්මානුවන්ට ප‍්‍රජනනය තහනම් කරමින් නිති සකසා නැත. ඉතින් වසට 40කට පෙර සිටියාට වඩා වැඩි මිනිසුන් ප‍්‍රමාණයක් අද ඇත. ( අනාගතයේ එවැනි නීති තැනීමට උත්සාහ ගන්නා තරම ඉස්ලාමෝෆෝබියාව වර්ධනය වුණොත් පුදුම විය යුතු නැත. *


කෙසේ වෙතත් සමස්තයක් ලෙස පෙර තිබුණාට වඩා සුළු වශයෙන් වන සංරක්ෂණ ඉඩම් භූමියේදී අත්පත් කරගෙන ඇතැයි කල්පනා කිරීමට තරම් සාධාරණ හේතු අපටද නොතිබුණා නොවේ. ලංකාවේ සිටින අනෙකුත් දේශපාලඥයන් මෙන්ම රිෂාද් බදියුදීන් ඇමතිවරයාද එවැනි කටයුතු සඳහා සම්බන්ධ වුණායැයි සැක කිරීමට හේතු නැතිවාද නොවේ. එහෙත් ‘වන සංහාරයක්‘ ලෙස නම්කොට හඬා වැළපීමට තරම් ඉඩම් ප‍්‍රමාණයක් අලූතින් නිදහස් කොට නොමැති බව ඉතා පැහැදිළිව, කරුණු මත පදනම්ව අපට කිව හැකිය. මෙය නූතන ඉතිහාසයේ විශාලම වන සංහාරය නොවන බව නම් සක්සුදක් සේ පැහැදිළිය.


ඒ සියල්ල එසේ තිබියදී, නැවත ඒ ප‍්‍රදේශවල වනාන්තර හෙළිකිරීම් සිදුව තිබුණේ නැත. නැවත සටන ඇවිලී තිබෙන්නේ විල්පත්තුවෙන් අක්කර 75ක කර්මාන්තපුරයක් ඉදිකිරීම වෙනුවෙන් හෙළිකිරීම සඳහා රිෂාද් බදියුදීන් ඇමතිවරයා ඉල්ලා ඇතැයි කියමින්ය. ඒ කතාවේ ඇත්තක් නැතිවා නොවේ. එහෙත් කරුණු විකෘති කර ඇත. රිෂාද් බදියුදීන් ඇමතිවරයා විසින් කොණ්ඩච්චි ප‍්‍රදේශයේ අක්කර 25ක් ව්‍යාපෘතියක් සඳහා ඉල්ලා තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපට පැහැදිළිව තහවුරු කළේ දැනට කැලෑව වැවී තිබෙන කිසිදු ඉඩමක් නිදහස් කර නොමැති බවය. එසේ නිදහස් කිරීමේ බලාපොරොත්තුවක්ද නැති බවය. ඒ වෙනුවට දැනටමත් හෙළිකර තිබෙන අක්කර 25ක ප‍්‍රදේශයක් නිදහස් කිරීමට දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර හමාරය. කර්මාන්තපුරයක් එවැනි ප‍්‍රදේශයක බිහිවීම අවශ්‍යද නැද්ද යන්න වෙනම සාකච්ඡුා කළ යුතුය. ඒ ප‍්‍රදේශවලට කර්මාන්තපුරයක් ඕනෑ නැත්නම් කොළඹ සිටින පරිසරවේදීන්ට මන්නාරම්, සිලාවතුර, මුසලි ප‍්‍රදේශවල රැුකියා විරහිතව, ආදායම් විරහිතව සිටින ජනතාව වෙනුවෙන් රැුකියා සොයාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකිය.

විල්පත්තු සටන සමඟම වර්ධනය වූ ඉස්ලාම් විරෝධී චින්තනය විසින් ලංකාවේ මහා විනාශයන් කිහිපයක්ම සිදු කළේය. තෙල්දෙණිය හා දිගන සිදුවීම්, ගිංතොට පහරදීම ආදී සිදුවීම් කිහිපයක්ම සිදුවී තිබුණි. මේ අන්තවාදී අදහස් කෙතරම් වර්ධනය වුණාදැයි කිවහොත්, අසරණ වී ලංකාවට ආ දරුවන් සහ කාන්තාවන් ඇතුලත් රෝහින්ග්‍යා සරණාගතයන්ව ලංකාවෙන් එළවන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණයක් කරන තැනටම අන්තවාදය වර්ධනය වී තිබුණි. නවසීලන්තයේ ඛේදවාචකයෙන්ද පසුව මේ වෙද්දී ඉස්ලාමෝෆෝබියාව ලොවපුරා පැතිර යන භයානකම රෝගයක් බව බොහෝ දෙනෙකුට වැටහී හමාරය. මීට පෙර විල්පත්තු සටන හමුවේ නිහඬව සිටි බොහෝ දෙනෙකු අප විසින් මීට පෙර පෙන්වාදුන් කරුණු මත පදනම්ව විල්පත්තු ජාතිවාදයට එරෙහිව සටන්කිරීම සතුටට කාරණයකි. එම කරුණු අතරට තවත් කරුණු කිහිපයක් එකතු කළ යුතුය.

සැබෑ විනාශය


අනිද්දා වෙත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකිවයුතු නිලධාරියෙකු විසින් ලබාදුන් තොරතුරු අනුව 2012 – 2019 කාලසීමාවේදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විවිධ කටයුතු සඳහා නිදහස් කර ඇති ඉඩම් ප‍්‍රමාණය මෙසේය.


විවිධාකාර ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘති සඳහා සම්පූර්ණ ඉඩම් හෙක්ටෙයාර 30,627ක් නිදහස් කර ඇත. මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය වෙනුවෙන් හෙක්ටෙයාර 2,092ක් නිදහස් කර තිබෙන්නේය. කළු ගඟ ජලාශය වෙනුවෙන් හෙක්ටෙයාර 1,779ක් නිදහස් කර තිබෙන්නේය. උමාඔය වෙනුවෙන් හෙක්ටෙයාර 1,228ක් නිදහස් කර තිබෙන්නේය. මාදුරුඔය දකුණු සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන් හෙක්ටෙයාර් 17,400ක් නිදහස් කර තිබෙන්නේය. මේ ආදි වශයෙන් විවිධාකාර ව්‍යාපෘති ගණනාවකට ඉඩම් නිදහස් කර ඇත.


ඊට අමතරව නැවත පදිංචිකිරීම සඳහා ඉඩම් නිදහස් කර ඇත. ඒ වෙනුවෙන් මහා පරිමාණයෙන් ඉඩම් නිදහස් කර තිබුණේ අවස්ථා දෙකකදීය. එකක් මන්නාරම් දිස්ත‍්‍රික්කයේය. අනෙක වව්නියාව දිස්ත‍්‍රික්කයේය. මන්නාරම් දිස්ත‍්‍රික්කයේ ඉඩම් නිදහස් කිරීම විල්පත්තු වන විනාශය යැයි අද මොරදෙන නැවත පදිංචි කිරිමේ ව්‍යාපෘතිය වෙනුවෙන් කළ නිදහස් කිරීමය. වව්නියාවේ ඉඩම් නිදහස් කිරීම අද කිසිවෙකුට නොපෙනෙන මහා විනාශය වෙනුවෙන් කළ ඉඩම් නිදහස් කිරීමය. මේ ඉඩම් නිදහස් කිරිමේ ව්‍යාපෘති දෙක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිල දත්ත අනුව කිසිසේත්ම සමාන නැත.


මන්නාරමේ ඉඩම් අක්කර 2500ක් නැවත පදිංචිය වෙනුවෙන් නිදහස් කර තිබුණි. වවුනියාවේ ඉඩම් අක්කර 8000ක් ඒ වෙනුවෙන් නිදහස් කර තිබුණි. මන්නාරම දිස්ත‍්‍රික්කයේ නිදහස් කළ ඉඩම්වලින් වැඩි කොටස මේ මාතෘකාවට මුල් වූ මුසලි පදිංචිකිරීම් වෙනුවෙනි. වවුනියාවේ තුනෙන් දෙකක්ම බෝගස්වැව වෙනුවෙනි. ඉස්ලාම් විරෝධී අන්තවාදී සිංහලූන්ට නම් අක්කර 2500 ක් යනු 8000ට වඩා දැවැන්ත අංකයක් විය හැකිය. අනෙක් පැත්තෙන් මන්නාරමේ පදිංචිකිරීම් වලින් නිදහස් කළ අක්කර 2500න් වැඩි ප‍්‍රමාණයක් අලූතෙන් නිදහස් කළ ඒවා නොවේ. විලයිත්තිකුලම් රක්ෂිතයෙන් මුසලි ප‍්‍රාදේශීය කොට්ඨාශයේ පදිංචිකිරීම් වෙනුවෙන් නිදහස් කළ ඉඩම් වැඩි ප‍්‍රමාණයක් අතීතයේ පැවති ගම්මාන, පසුව රක්ෂිත ලෙස නම්කර තිබුණි.

විලයිත්තිකුලම්


මේ පදිංචිකිරීම් සිදුකළ ඉඩම් අයිති වී තිබුණේ විල්පත්තු ජාතික වනෝද්‍යානයට නොවේ. විලයිත්තිකුලම් රක්ෂිතයටය. යුද්ධය අවසාන වෙද්දී රක්ෂිත පමණක් නොව සාමාන්‍ය ජනතාව සිටි ප‍්‍රදේශ පවා විශාල වනාන්තර බවට පත්ව තිබුණි. ඒවා වේගයෙන් එළිවෙමින් තිබුණි. එළිවෙමින් පැවති රක්ෂිත ආරක්ෂා කරගැනීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් විය. පෙර කී ලෙස බිම්බෝම්බ එයට බාධාවක් විය. ඒ නිසා චන්ද්‍රිකා ඡුායාරූප භාවිත කර ඒවාට දර්ශනය වන ආකාරයට හොඳින් වැඩුණු වනාන්තර සිතියම්ගත කොට පෙර පැවති රක්ෂිතවල සිතියම්ද යොදාගනිමින් අනුමාන වශයෙන් රක්ෂිත නම් කිරීමට කටයුතු කර තිබුණි. මේවා නිසි මැනීමකින් තොරව සිදුකළ නිසා පෞද්ගලික ඉඩම්ද මේවාට අයිතිවූ අතර මෙය නියමාකාරයෙන් ඉඩම් හඳුනාගන්නා තෙක් කළ තාවකාලික පියවරක් විය.


මෙම ක‍්‍රියාවලිය මඟින් මූලිකව ආරක්ෂාව තහවුරු කර තිබුණි. ඒ අනාගත සැලසුමක් සහිතවය. රක්ෂිත භූමි සමථකරණ ක‍්‍රියාවලිය මඟින් මායිම නිරූපණය කර බිම් මැනුමක් මඟින් භූමියේ මායිම තහවුරු කර මායිම් කණු ස්ථාපිත කර නව රක්ෂිතයක් ලෙස නැවත ගැසට් මඟින් ප‍්‍රකාශයට පත්කිරීමේ අරමුණක් තිබී ඇත. අවන සංරක්ෂණ දෙපාර්තමේන්තුව උතුරේ රක්ෂිත හඳුනාගනිමින් නිදහස් කළ යුතු ඉඩම් ක‍්‍රමයෙන් නිදහස් කරමින් සිටියි.


අවතැන්වූවන් නැවත පදිංචි කිරීම සඳහා ඉහත පැහැදිලි කරන ලද ක‍්‍රමවේදය අනුව මන්නාරම දිස්ත‍්‍රික්කයෙන් නිදහස් කිරීමට කටයුතු කරන ලද ඉඩම් තුළට මෙම පිච්චායි වන්නියාකුලම් (විලත්ති කුලම්* ඉඩම් කොටසද ඇතුළත් වේ. වන සංරක්ෂක ජනරාල්ගේ 2013.04.09 දිනැති ලිපිය මගින් පිච්චායි වන්නියාකුලම් රක්ෂිතයෙන් අදාළ ඉඩම් ප‍්‍රමාණය මැනීම සඳහා මැනුම් නියෝග නිකුත් කරන ලෙස ප‍්‍රාදේශීය ලේකම් වෙත පිටපතක් සහිතව දිසා වන නිලධාරී වෙත දැන්වා ඇත. අදාළ ඉඩම සඳහා ශ‍්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්ත මේන්තුව මගින් එකී භුමි ප‍්‍රදේශය මැන පිඹුරක් සකස් කර ඇත. එහි වපසරිය හෙක්ටෙයාර් 269.8953 වේ. එතැන් සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයට ගුවන් දුර කිමී 12ක් වේ. මෙය ඊයේ පෙරේදා සිදුවූවක් නොව 2013දී සිදුවූවකි. එපමණක් නොව මෙසේ නිදහස් කරගත් ඉඩම්වල දැව ඉවත්කරගැනීමද විල්පත්තු බේරාගන්නට වලිකන්නන් සිතන්නටත් පෙර සිදුවී තිබුණි.


මන්නාරම දිසා වන නිලධාරී විසින් ඔහුගේ 2013.03.27 දිනැති ලිපිය මගින් රාජ්‍ය දැව සංස්ථාවේ අනුරාධපුර ප‍්‍රාදේශීය කළමනාකරු අමතමින් නිදහස් කිරීමට නියමිත වනාන්තරයේ ඇති වාණිජ වටිනාකමින් යුත් ගස් සියල්ල ලැයිස්තුගත කරන ලෙස දන්වා ඇත. දැව සංස්ථාව මගින් 2013දී ආර්ථික වටිනාකමකින් යුත් ගස් ඉවත් කර ඇත. ගස් කැපුවේ ඒ විදියටය. මහින්ද රාජපක්ෂ යටතේ රාජ්‍ය දැව සංස්ථාවෙන්ය.

පේමදාස මහතා සදා දුන් නිවාස යෝජනා ර්‍කමයේ නාමපුවරුව


මන්නාරම අඩවි වන නිලධාරියා 2013.05.22 දිනැති ලිපියෙන් පිච්චායි වන්නියාකුලම් මාර්ගයට යාබද ඉඩම මුසලි ප‍්‍රාදේශීය ලේකම් වෙත බාර දී ඇත. 2014.10.12 දින මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉඩම් සංවර්ධන ආඥාපනතේ 19(2* වන වගන්තිය යටතේ නිකුත් කරනු ලබන අවසර පත‍්‍ර අවතැන් වූවන් 944 දෙනෙකු වෙත ලබා දී ඇත. මෙම බලපත‍්‍ර ලාභීන් විසින් විවිධ සංවිධානවල මූල්‍ය ආධාර යටතේ තමන්ගේ බිම්කට්ටි තුළ නිවාස ඉදිකිරීම් 2014 වර්ෂයේ සිට ආරම්භ කර මේ වනවිටත් ක‍්‍රියාත්මකව පවතී.


විලත්තිකුලම් රක්ෂිතය විනාශවිය හැකි නිසා මේ වනවිට මායිම කිමී 94ක් මැන අවසන් අතර කණු 2560ක්ද ස්ථාපිත කර ඇත. මෙහිදී මෙම වනාන්තරය හා අඛණ්ඩව පිහිටා ඇති වෙප්පාල්, මාවිල්ලූ හා මරිච්චිකඕඩි යන රක්ෂිත සියල්ලම තනි රක්ෂිතයක් ලෙස අලූතින් ප‍්‍රකාශයට පත්කිරීමට කටයුතු සිදුකෙරෙමින් පවතී. ඉහත කරුණු අනුව මෙම භූමියේ දැව ඉවත් කිරීම් කටයුතු 2014 වසරේ අවසන් කර ඇති අතර මේ වන විට සිදුවනුයේ ඉහත භූමිය තුළ බලපත‍්‍රලාභීන්ගේ බිම් කට්ටි තුළ නිවාස ඉදිකිරීමේ කටයුතු පමණි. මේ සියල්ල යුද්ධයෙන් නැතිව ගිය ගම්මාන නැවත පිහිටුවීම වෙනුවෙනි.

බෝගස්වැව 8000


මෑත කාලයේදී පුද්ගලයන් නැවත පදිංචි කිරීම්වල මුවාවෙන් සිදුකළ දැවැන්තම වන විනාශය ලෙස සැලකිය හැක්කේ බෝගස්වැව ප‍්‍රදේශයේ ගම්මාන වෙනුවෙන් කපන ලද රක්ෂිත කැලෑ ප‍්‍රමාණයයි. ඒ කැලෑ කැපුවේ නැවත පදිංචිකිරීම් වෙනුවෙන් නොවේ. අලූත්ම පදිංචිකිරීම් වෙනුවෙනි. විල්පත්තුව මෙන් මේ මහා විනාශය ගැන කතාවක් නැත්තේ ඒ කැලෑ කැපුවේ දෙමළ ජනතාව බහුතරයක් වෙසෙන ප‍්‍රදේශයක සිංහල ජනතාව පදිංචි කිරීම වෙනුවෙන් වන නිසාය. උතුරු නැගෙනහිර සිංහල ජනතාව පදිංචි කරවන්නට නම් කැලෑ සීයක් කැපුවත් කම් නැතැයි සිංහල ජාතිවාදීන් සිතනවා විය හැකිය.


ඉහතින් සඳහන් කළ තොරතුරු අනුවද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිම ඉඩම් ප‍්‍රමාණයක් නිදහස් කර ඇත්තේ බෝගස්වැව නැවත පදිංචිකිරීම් වෙනුවෙන්ය. පැහැදිළි අංකවලින් ගත්තොත් මන්නාරම මෙන් දෙගුණයකටත් වඩා වවුනියාවේ ඉඩම් නිදහස් කර තිබෙන්නේය. එහෙත් ඒවාට විරෝධතා නැත. ඒ වන විනාශය සිදුකර ඇත්තේ ආදරණීය නාමල් රාජපක්ෂය. පසුගිය සතියෙහි තම ට්විටර් ගිණුුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ පවසා තිබුනේ වනාන්තර විනාශ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් ලබා දිය යුතු බවය. ඔහුගේ කථාව සැබෑය. එසේනම් පලමුව දඩුවම් කල යුත්තේ නාමල් බේබිටය. සිංහල බෞද්ධයන්ගේ හිටපු වීරයා වන (දැන් වීරයා ගෝඨාභයයි.) මහින්ද රාජපක්ෂගේ පුතාටය. ඇතැම්විට ලංකාවේ සිංහලයන් සිදුකරන පරිසර විනාශයන්ට හිලව් ලෙස වෙනත් ජනවර්ගවලට අයත් අය විසින් තම තමන්ගේ ගම්මාන අත්හැරිය යුතු බව ඔවුන් හිතනවා විය හැකිය.


මේ ප‍්‍රශ්නය ගැන තවත් මානයන් බොහොමයකින් කතාකළ හැකිය. අවතැන්වූවන් නැවත මුල් ගම්මානවලට නොයා යුතුයැයි ඇතැම්මු තර්ක කරති. ඒවාටද උත්තර සැපයිය හැකිය. එහෙත් අප මීට පෙරත් ලියූ ඒවා නැවත නැවතත් ලිවීමෙන් පලක් නැත. ඒ නිසා අපි කරුණු පෙන්වාදුන්නෙමු. ඒවා නොතකා අන්ධ භක්තියෙන් පරිසරය රැකීම වෙනුවට අන්‍ය ජාතිකයන්ට එරෙහි මිථ්‍යාවන් පසුපස යනවා නම්, මහා විනාශයකින් පසුව හමුවෙමුයැයි යෝජනා කිරීම හැර අන් විකල්පයක් නැත. x