යුද්ධය අවසාන යැයි කියමින් අපි සැනසුම් සුසුම් හෙළා ඇත්තෙමු. ‘දැන් කොළඹ කෝච්චිවල, බස්වල, පාරතොටේ බෝම්බ පිපිරෙන්නේ නෑ’ යි අප කියන්නේ මහත් වූ සැනසීමකිනි. උද්දාමයකිනි. යුද්ධය අවසාන කිරීම සම්බන්ධයෙන් දේශපාලන අධිකාරියට, ත්‍රිවිධ හමුදාවට හා නන්විධ වූ පුද්ගලයනට අපි උපහාර ද දක්වා ඇත්තෙමු.
මෙය ලියැවෙන්නේ එසේ කිරීම අස්වාභාවික යැයි කියන්නට හෝ ඒවා නොකළ යුතු දේ වශයෙන් හුවා දක්වන්නට හෝ නොවේ. එහෙත් තමන් වෙනුවෙන් සතුටු වන අප, වෙනත් මිනිසුන්ගේ වේදනා, කඳුඵ කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමුකරන්නේ ද? එසේ කර ඇත්තේ ද? මේ ගැන මතක් කර දෙන තීරුලිපි එකතුවක් ගැන සටහනක් තබන අතරේ අපට අපගේම ස්වරූපය දැක බලාගත හැකි කවුඵවක් විවර කිරීම සඳහා ද මේ ඉඩකඩ වෙන් වෙයි.
ශ්‍රී ලංකාවේ අතිමහත් බහුතරය අදහන්නේ ‘තමා උපමා කොට අනෙකා දෙස බලන්නැ’ යි අවධාරණයෙන් පැවසූ ශාස්තෲවරයකුගේ දහමකි. එහෙත් අනෙක් බොහෝ කාරණා ප්‍රස්තුතව මෙන් ම ආගම ඇදහීමේදී ද මිනිසුන් ප්‍රකට කරන්නේ කිසියම් වූ නිර්වින්දිත ස්වභාවයකි. ගාථා කටපාඩමින් පුනරුච්චාරණය කිරීමත් ධර්මානුශාසනාවක් අවසානයේ හෝ සර්වඥධාතු වන්දනාවකදී සාදුකාර දීමත් හැරුණු විට ආගමක දාර්ශනික ගැඹුර කෙරෙහි නෙත් සිත් යෙමුකරන්නෝ ඉතා විරලයහ.


සීතා රංජනී ‘විමර්ශී’ නම් වූ තිරුලිපි සංග්‍රහය පොතක් වශයෙන් ලියා පළකරන්නේ මේ වාතාවරණය ස්ථාපිතව, තහවුරුව පවතින කාලවකවානුවකදී ය. මාර්තු 8 ට යෙදුණ ජාත්‍යන්තර කාන්තා දිනයේදී (රචිකාවගේ උපන් දිනය ද එයම ය) ජනගත කෙරුණ එය ජනමාධ්‍ය සතු සමාජ වගකීම ඉටු කළ ආකාරය පිළිබඳ තතු විමසයි. පැහැදිලි කරයි. මේ රටේ ජනජීවිතය කෙරෙහි සුදුසු අවස්ථාවේදී සුදුසු අයුරින් අවධානය යොමු කිරීමට මේ රටේ ජනමාධ්‍ය සමත් වූයේ ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමේ උත්සාහයක යෙදෙයි.


මාධ්‍යයට තර්ජන එල්ලවුණ කාලවලදී මෙන් ම එවැනි තර්ජන අවම වී ඇති කාලසීමාවලදී ද මේ රටේ ජනමාධ්‍ය බහුතරයක් පාඨකයාට, ශ්‍රාවකයාට, ප්‍රේක්ෂකයාට සමබර තොරතුරු ලබාදීමට යොමු නොවීම පිළිබඳව අද බොහෝ දෙනා කතා කරති. මේ වර්තමාන කතිකාවට ඍජුව සම්බන්ධ නොවෙතත් අවුරුදු දහයකට පෙර මේ රටේ එක්තරා ජනකොට්ඨාසයකට (උතුරේ ජනතාවට) මුහුණ පාන්නට සිදුවූ ඛේදනීය තත්ත්වයන් ගණනාවක් පිළිබඳව ය, මේ තීරුලිපි ඔස්සේ සාකච්ඡා කෙරෙන්නේ. එහිදී විශේෂයෙන් අවධාරණය වන්නේ ජනමාධ්‍යයට පොදු වූ කිසියම් නිර්වින්දිතභාවයක් පිළිබඳව ය.


මේ නිර්වින්දිත ස්වභාවය ඉහළ සිට පහළ දක්වාම එක සේ මිනිස් සිත්සතන් හිරිවට්ටමින් ඇති ආකාරය දීර්ඝ කාලයක පටන්ම අපි අත්දකිමින් සිටිමු. පුවත්පතක් අතට ගත් විට, රූපවාහිනී ප්‍රවෘත්ති වැඩසටහනක් නරඹන විට ප්‍රමුඛ පුවත් බවට පත්වන්නේ දේශපාලන ලෝකයේ මුල්පුටු හොබවන්නන්ගේ විවෘතකිරීම්, පීත්තපටි කැපීම්, පැල සිටුවීම් හෝ විවෘත කිරීමක් හෝ අදාළ ප්‍රවෘත්ති නැත්නම් රූපරාමු ය. මීට කදිම උදාහරණයක් ‘විමර්ශී’ තීරුලිපි සංග්‍රහයේ ‘ලෝකයට නොපෙනෙන ළමයි’ යන හිසින් යුතුව මෙසේ සඳහන්ව තිබේ.


‘ලෝක ළමා දිනය’ යෙදුණු ඔක්තෝබර් 1 වැනිදාට දින කිහිපයකට පෙර, යුද්ධයකට ගොදුරුව විපතට පත්ව සිටින දරුවන්ට අදාළව තවත් එක් පුවතක් ජාතික රූපවාහිනියේ පුවතකට ඇතුළත්ව තිබිණ. එයින් කියැවුණේ ඇමෙරිකාවේ පාසල් දෙකක දරුවන් එකතු කළ පාසල් උපකරණ තොගයක් අවතැන් දරුවන් වෙනුවෙන් බෙදා දීම සඳහා එහි ශ්‍රී ලංකාවේ තානාපතිවරයාට භාර දුන් බවයි.


මේ වන විට ලෝක ළමා දිනය ගෙවී ගොස්ය. ඊට පසු දින දරුවන්ගේ පළමු කඩඉම් විභාගය වන පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීම ගැන සියලු ම මාධ්‍ය වාර්තා කළේය. පහ වසර විභාගය පවත්වන විට කිලිනොච්චිය හා මුලතිව් යන දිස්ත්‍රික්ක දෙක මුඵමනින්ම අවතැන්ව වව්නියාවේ කඳවුරුවලට සීමා වී තිබුණි. ඊට වසර ගණනාවකට පෙර සිට අවතැන් වූවෝද වව්නියාවේ කඳවුරුගතව සිටියහ. දිවි බේරා ගන්නට වාසනාව ලැබූ දරුවන්ගෙන් කී දෙනෙකුට ශිෂ්‍යත්වයට ලියන්නට හැකිවූවා දැයි හරිහැටි දන්නා කෙනෙක් නැත. (181-182 පිටු) ‘වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි. මක්කරන්න ද දෝණියේ’ යන හද කකියවන ගී පදය ද සමගින් ‘වෙඩිත් එක්ක විභාගය ලියූ වන්නියේ සිසුන්’ මෙන් ම දහසකුත් එකක් දුෂ්කරතාවලට මුහුණ දෙමින් කඩයිම් විභාගවලට මුහුණ දුන් අපේම දරුවෝ ද මෙහිදී අපගේ මතකයට කඩාවදිති. විමර්ශි 12 ලිපිය නම් කර ඇත්තේ ‘සහන සේවකයාගේ මරණය’ ලෙස ය. මේ පුවත අපේ රටේ වර්තමාන සමාජ ප්‍රවණතාවන් මෙන් ම ලෝක ප්‍රවණතාවන් පිළිබඳව ද එක්තරා පොදු චිත්‍රයක් සිතුවම් කරන්නකි. සීතා රංජනී මෙතැනදී එක ම කාලසීමාවක් තුළ පුවත් දෙකකට ලැබුණු ප්‍රමුඛතාවන්හි පරතරය පිළිබඳව විශ්ලේෂණයක් ඉදිරිපත් කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට දුන් ප්‍රසිද්ධියට සාපේක්ෂව පසුදා ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සාමාජිකයකුගේ මරණයට ලබා දුන් ප්‍රසිද්ධියේ තරාතිරම ය, මෙහිදී ඇය විමසා සිටින්නේ. ලෝක ක්‍රිකට් ක්‍ෂේත්‍රයම සසළ කරමින් මාර්තු 3 වනදා උදෑසන සිදුවූ මේ ප්‍රහාරය ගැන බලවත් ලෙස උනන්දු වූ ශ්‍රී ලාංකේය ක්‍රීඩාලෝලීන් මෙන් ම මාධ්‍ය ආයතන ද ඒ ගැන දැක්වූ අවදිමත්භාවය ගැන සඳහන් කරමින් සීතා කියන්නී, දින පහක් තුළ සිංහල මාධ්‍ය පුවත්පත් එක් සිද්ධියක් සඳහා වැඩිම ඉඩ ප්‍රමාණයක් වැය කර තිබුණේ මේ ප්‍රහාරය වාර්තා කිරීමට යැයි කියා ය. ශ්‍රී ලංකා ජනාධිපතිගේ සිට අමෙරිකානු ජනාධිපති දක්වා ලෝක නායකයන් සිද්ධිය හෙළා දකිමින් කළ ප්‍රකාශ, ආයතනික මට්ටමින් කෙරුණ අදහස් දැක්වීම් ඇතුඵව පුවත්පත් කතුවැකි දක්වාම එය දෝරේ ගැලූ අයුරු මෙහිදී ඇය පෙන්වා දෙයි. එහෙත් පසුදා (මාර්තු 4) සිදුවූ ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙන්කර ඇත්තේ ඉතා අවම වූ ඉඩකඩකි. ඒ, වඩිවේල් විජයකුමාර් නමැත්තා ෂෙල් ප්‍රහාරයකින් මියයාම හා ඔහුගේ නව හැවිරිදි දරුවා තුවාල ලැබීම පිළිබඳව ය. ඔහු වන්නියේ අවතැන් ජනතාව වෙනුවෙන් සහනසේවා ක්‍රියාත්මක කළ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයේ සහන කටයුතුවල නියුතුවූවෙකි. එහෙත් ඒ මරණය බරපතළ ප්‍රශ්නයක් උද්ගත කරන්නට ඇත්තේ විජයකුමාර්ගේ පවුලේ සාමාජිකයනට හා යුද්ධයේ නිරස අත්දැකීම් ලබමින් දුෂ්කර ජීවිත ගත කළ වන්නියේ මිනිසුන්ටම බව මෙය කියවන්නකුට හැඟීයයි.


තවත් තීරු ලිපියකින් ඇය අවධාරණය කර සිටින්නේ එක්තරා කාලවකවානුවක් තුළ සිදුවූ විවිධ ඛේදජනක සිදුවීම් හමුවේ ජනමාධ්‍ය ප්‍රමුඛතාව ලබාදී තිබූ පුවත් පිළිබඳව ය. වන්නියේ සිදුවන යුද මෙහෙයුම් හා අදාළ පුවත්වලට සුවිශේෂි අවධානයක් යොමු කළ බොහෝ පුවත්පත් වන්නියේ කඳුඵ කතාවට නිශ්ශබ්ද වූ ආකාරය පිළිබඳව ඇය වැඩිදුරටත් කියා සිටී. කවර වූ හෝ සමාජ ව්‍යසනයකදී (ස්වාභාවික හෝ එසේ නොවන) අද්‍යතන ලෝකයේ වැඩිම අවධානය යොමු වන්නේ ඒ හේතුවෙන් සිවිල් ජනතාවට සිදුවන හානි සම්බන්ධයෙනි යි මතක් කර දෙන ඇය, මේ රටේ ජනමාධ්‍ය හැසිරීම් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නාර්ථයකි. කෙසේ වුව ද ඇගේ මේ සියලු නිරීක්ෂණ වලංගු වන්නේ වර්තමානයට නොව වසර 10කට පෙර ගතවූ කාලසීමාවකට ය. 2008 වසරේ යුද්ධය අවසන් කිරීමේ තීරණය ද සමඟින් ආරම්භ වූ ප්‍රහාරවලින් අනතුරුව 2009 වසරේ මැයි මාසයේ යුද්ධය නිමාව දැකීමෙන් පසු කාලය හා පශ්චාත් යුද වාතාවරණය ද නිරීක්ෂණය කරමිනි, ඇය මෙම තීරුලිපි ලියා ඇත්තේ. ‘විමර්ශී’හි සංගෘහිතව ඇත්තේ මේ ආකාරයෙන් ලියැවුණ තීරුලිපි 38 කි. මේ කී සෑම තීරුලිපියක්ම කලකට පෙර ‘තිනක්කරල්’ පුවත්පතේ (දෙමළ බසට පෙරළී) පළ වූ බව පවසන සීතා රංජනී, ඒවා සිංහල පුවත්පතක පළවුණේ දින කිහිපයක් පමණකැයි ද, හදිසියේ ඒ තීරුලිපිය ඇනහිටවූවේ යැයි ද කියයි. දෙමළ ජනතාව මුහුණ පෑ ගැටලු ගැන දෙමළ ජනතාවටම දැනගන්නට සැලස්වීමට වඩා එය සිංහල ඉංග්‍රීසි භාෂා ඔස්සේ රටේ බහුතර පුරවැසියන්ට හා බලධාරීන්ට පෙන්වා දීම වැදගත් වන මුත් කිසියම් වූ බියක් ඊට වැටකොටු බැඳ ඇති අයුරු ඇගේ අවධාරණයට යොමු වේ. මේ හැරුණු විට ඇය ක්ෂේත්‍ර ගණනාවක් සිසාරා සිය විමසුම් ඇය යොමුකරයි. අවතැන්වූවන්, කුඩා දරුවන්, ස්ත්‍රීන් ඇය කරළියට ගෙනඑන්නේ තවත් කරුණු ගණනාවක් ද ඒ හා සමඟ සම්බන්ධ කරමිනි. යුද මෙහෙයුම් හා ජයග්‍රහණ ගැන උත්කර්ෂයෙන් කතාකළ ජනමාධ්‍ය, යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාව අමතක කළ ආකාරයටම පශ්චාත් යුද සමයේදී සරණාගත කඳවුරු තුළ සිටින්නන්ගේ ඛේදවාචකය ද අමතක කර දමනු ඇද්ද යන සැකසාංකාව ද මේ ඇතැම් තීරුලිපියකින් විශද වේ. අවතැන් ජීවිත ගැන කියැවෙන දෙයාකාර කතා පරිස්සමින් විමසන ඇය සිංහල මාධ්‍ය පුවත්පත් ජනතා ගැටලු ගැන අනාවරණය කිරීමට වඩා (වන්නියේ ජනතාව පළිහක් කරගැනීම සම්බන්ධයෙන්) එල්ටීටීඊයට චෝදනා නැගීම වැදගත් ලෙස සැලකූ බවක් පෙන්වා දෙයි. ඒ සමඟම දෙමළ මාධ්‍යවල වැඩි අවධානය යොමු වී ඇත්තේ ජනතාවට සිදුවන විපත් හා ජීවිත හානි පිළිබඳව වන බව ද අනාවරණය කරයි. කිසියම් වූ සමබරතාවක් රැකගන්නට ඇතැම් විට සමත්ව ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පත් බව ද අවධාරණය කෙරෙන අවස්ථා ද ඒ අතර වේ. භාෂා තුනටම අයත් රජයේ මාධ්‍ය හා රජය සමඟ මතවාදීව එකඟවූ වෙනත් මාධ්‍ය අවතැන් ජනයාගේ අයිතීන් ගැන වාර්තා කිරීමක් නොකිරීම හැරුණු විට, ඒ ගැන කතා කරන පුද්ගලයන්ට හා සංවිධානවලට එරෙහිව ප්‍රහාරාත්මක පුවත් නිර්මාණය කිරීමේ, වාර්තා කිරීමේ උත්සාහයක ද නිරතවූ බව ය, ඇය වැඩිදුරටත් කියා සිටින්නේ. මේ තොරතුරු අලුතින් කියවන කෙනෙකුට ඇතැම්විට හැඟෙනු ඇත්තේ ‘අපි නං ඕවා දැනගෙන හිටියෙත් නැහැ’ යි කියා ය. එහෙත් සම්බවන්නේ සොයන්නාට ය. රටට විශාල අඩුපාඩුවක් ඇත්තේ මේ සොයායන්නන්ගේ ය. සොයායාම නැතහොත් ගවේෂණශීලිභාවය මාධ්‍යකරුවන්ගෙන් ද ගිලිහී ගොසිනි. බොහෝ විට වර්තමාන මාධ්‍ය හැසිරීම් සමාන කළ හැකි වන්නේ එක්තරා නිලමැසි මාධ්‍යකලාවකට ය. සුවඳ හමන තැන් පසුකරමින් නිලමැස්සා පියාඹාගෙන යන්නේ දුගඳ හමන කුණු ඇති තැන් සොයා ය. දූෂණ, ඝාතන උජෝවඩවමින් වාර්තා කිරීමට මහත් අභිරුචියක් දක්වන මාධ්‍ය, ජනතා චින්තනයේ නිම්වළලු ප්‍රසාරණය කිරීමට අදාළ තොරතුරු වාර්තා පළකිරීමට, වැඩසටහන් ඉදිරිපත් කිරීමට බොහෝ සෙයින් පසුබායි. ඒ, නොහැකියාව නිසා ද, වෙනත් යම් යම් න්‍යායපත්‍ර හේතුවෙන් ද, එසේත් නැත්නම් බහුතර ජනතාව ඉල්ලා සිටින්නේ ඒවා යැයි තම තම නැණ පමණින් සිතා සිටින හෙයින් ද යන්න නිශ්චිත නැත. කෙසේ වුව ද ජනතාව ඉල්ලා සිටින දේ ලෙස බොහෝ මාධ්‍ය තේරුම් ගෙන සිටින්නේ ජනතාව බැහැර කරන (හා බැහැර කළ යුතු) දේ බව දැන සිටින්නේ ද ජනතාවම ය. සාමාන්‍ය මට්ටමට දියුණු කළ රුචිකත්වයක් ඇති පුද්ගලයන් වුව (බහුතරය) මෙකල විකාශනය වන ටෙලිනාට්‍ය නැරඹීමෙන් වැළකී සිටිති. කලාතුරකින් එළිදකින හොඳ මට්ටමේ ටෙලිනාට්‍ය ද ඔවුනට මගහැරී යන්නේ එහෙයිනි. පුද්ගලික බස්රථවල ගමන් ගන්නා මගීනට කන්දොස්කිරියාවක් වී ඇත්තේ කන පැලෙන තරමට උස්හඬින් වාදනය කෙරෙන කසිකබල් ගීත බවට මැසිවිල්ලක් ද තිබේ. ඇතැම් මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් කිව යුතුව ඇත්තේ ද මේ දෙයම ය. බාල වර්ගයේ විදේශීය ටෙලිනාට්‍ය ගෙන්වීමෙන්, ඒවා විකාශනය කිරීමෙන් විසූක දසුන් මැවීමෙන් පොදු ජනතාවගේ බුද්ධියට, චින්තනයට කෙරෙන නිගරුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් දියත් කළ යුතු වන්නේ ඒ පොදු ජනතාවම වුවත් තැන තැන කෙරෙන කතාබහට අමතරව එවැන්නක් සිදුවන්නේ ද නැත. අප එසේ කියන්නේ ඒ ඇතැම් ටෙලිනාට්‍යවල කතා තේමා නාගවිෂ, සර්පවිෂ ළමාළපටින්ගේ පවා සිත්සතන්වලට එන්නත් කරවනසුලු වන නිසා ය. නපුරු නැන්දම්මලාගේ, නපුරු කුඩම්මලාගේ ‘නපුර’ ඉස්මතු කරවීම වෙනුවට සැබෑ කලා කෘතියකින් සිදුවිය යුතුවන්නේ ඔවුනගේ ඒ නපුරට තුඩුදුන් සමාජීය හේතු, මානසික හේතු විමසා බැලීම ය. එසේ නැතිව නපුරට ආවැඩීම නොවේ. මේවා අසන, දකින, කියවන, ඇතැමුන් ප්‍රශ්න කරන්නේ මේ රටේ සංස්කෘතික දෙපාර්තමේන්තුවක් තියෙන්නේ මොකට දැයි කියා ය. සංස්කෘතික දෙපාර්තමේන්තුව ඊට පිළිතුරු සපයනු ඇත්තේ මාධ්‍ය නිදහසට අප අත තියන්නේ කොහොම ද යන ප්‍රශ්නයෙනි. සිතට එකඟවම කියන්නේ නම් ‘නිදහස’ ප්‍රශ්නකාරී වන්නේ මෙවැනි තැන්වලදී ය. රෝහල්ගත කළ උමතු රෝගීන් නිදහස ඉල්ලා උද්ඝෝෂණය කළේ නම් එසේ කළ තරමින් ආරෝග්‍යශාලාවල දොරවල් හැර දමන්නේ ද? මේ භයානක ප්‍රවණතාවන් හමුවේ බලධාරීන්, බුද්ධිමතුන් නිහඬව සිටිනු පෙනෙන විට අපට යළි යළිත් මතක් වන්නේ මාටින් නිමොලර් පියතුමාගේ ඒ සුප්‍රසිද්ධ අවධාරණයයි. මේ රටේ ඕනෑම කෙනෙකුට ඉතා ලේසිපහසු ප්‍රසිද්ධියක් ලබාගැනීම සඳහා උපක්‍රමිකව ක්‍රියාවේ යෙදවිය හැකි ක්‍රමවේද පිළිබඳ අදහසක් අපට ද තිබේ. ඒ, ඕනෑම නිර්මාණයක් (පොතක්, නාට්‍යයක්, සිනමාපටයක් වැනි) ඕනෑම මට්ටමකින් සකසා ඊට ‘බුදුන්ගේ ආදර කතාව’ හෝ ‘ජේසුස්ගේ පාර වැරදීම’ වැනි නමක් යෙදීමයි. නිසැකයෙන්ම මේ රටේ සියලු මාධ්‍ය විසින් ඒ පිළිබඳ විශාල ප්‍රසිද්ධියක් ලබා දෙනු ඇත්තේ නිර්මාණකරුවා හෝ නිර්මාණකාරිය හඹා එමිනි. ගවේෂණාත්මක නොවන බොහෝ මාධ්‍යකරුවන් වෙතින් කෝටි ගණනක ප්‍රසිද්ධියක් නොමිලේ ලබා ගැනීමට බොහෝ විට සමත් වන්නේ එවැනි සිල්ලර ප්‍රයත්නයකි. එහෙත් සැඟවුණ විශිෂ්ට සාහිත්‍ය කෘතියක්, අපූරු පර්යේෂණ ග්‍රන්ථයක් පරිවර්තන කෘතියක් (සම්මානයෙන් පිදුම් නොලැබූ) සොයායමින්, හඳුනා ගනිමින් ඒ ගැන ප්‍රසිද්ධියක් ලබා දිය හැකි ඉවක් අපේ මාධ්‍යයට ඇත්තේ ද?

සම්මානලාභී කෘතිවල කතුවරුන් සොයා ගොස් සම්මුඛ සාකච්ඡා පළකිරීම පොදුවේ සියලු පුවත්පත්ම පාහේ වතාවතක් මෙන් ඉටුකරන කාර්යයකි. එය නොකළ යුත්තකැයි අපි නොකියමු. එහෙත් සම්මානයකට හසුනොවූ, සම්මානය ගිලිහුණු, විශිෂ්ට ආන්දෝලනාත්මක කෘතියක් සොයායමින් කෙරෙන මාධ්‍ය ගවේෂණයක් කිසිදිනෙකත් අප දැක ඇත්තේ ද? සීතා රංජනීගේ ‘විමර්ශී’ තීරුලිපි සංග්‍රහය එළිදකින්නේ මෙවැනි වූ සමාජ වාතාවරණයක් තුළ ය. ඇය එය හඳුන්වා දෙන්නේ ‘මානුෂවාදී ගැටලු වාර්තාකරණයේදී ජනමාධ්‍ය සතු සමාජ වගකීම ඉටුකළ ආකාරය’ යැයි කියා ය. මේ තීරුලිපිවල අඩංගු කරුණුවලට අනුව ඒ ඒ දේවල් ඒ ඒ අයුරින් සිදුවීම ගැන පුදුමයක් අප තුළ හටනොගන්නේ ඉහතින් දැක්වූ සමාජ වාතාවරණය ගැන සිතෙන විට ය. එහෙත් සීතාගේ මේ ප්‍රයත්නය මෙන් ම සිතා රංජනී යන කාන්තාව ද කාලීන වශයෙන් අපට බොහෝ වැදගත් ය. සීතා අප දකින්නේ සීතාවක නොවූ කාන්තාවක ලෙස ය. රාම-සීතා අන්දරයේ සීතාව වන්නට ඇය කිසිවිටෙකත් තැත්දැරුවේ යැයි අපට නොසිතෙයි. සීතා අප පූර්වාදර්ශයක් කොට සලකන්නේ ඒ නිසාමත් නොවේ. මේ නිර්වින්දිත සමාජය තුළ නිර්වින්දනය නොවී සිටින්නට ඇයට හැකිවී තිබීම නිසා ය. එහෙත් සීතා (ශාරීරිකව) රෝගිනියකි. ඇයට ලබාදී ඇති ඖෂධ එන්නත්වල ප්‍රමාණය සිතාගත හැකි නොවෙතත්, ඒ කිසිවක් ඇය හෝ ඇගේ මනස නිර්වින්දනය කිරීමට අසමත් වී තිබේ. ඒවා කිසියම් බලපෑමක් කළේ නම් ඒ ඇගේ ලේමස්වලට පමණි. මානසික වශයෙන් ගත් කල ඇය නූතන ස්ත්‍රියට මෙන් ම පුරුෂයාට ද අභියෝගයකි. නූතන සමාජය, මාධ්‍ය හා දේශපාලනය පිළිබඳ මෙවැනි අදහසක් එළිදැක්වීම සඳහා අපට කවුඵවක් විවර කර දුන්නේ ද සීතා රංජනීගේ ‘විමර්ශි’ම බව නිර්ලෝභීව කිව යුතු වෙයි.


දැන් මේ රටේ දේශපාලනය ගැන ද කෙටියෙන් හෝ යමක් පැවසිය යුතුව තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පාර්ලිමේන්තුව නියෝජනය කරන්නන් කරන කියන සියල්ල වෙනුවෙන් හරි අඩකින් වගකිව යුතු වන්නේ මහජනතාව ය. ඒ ඔවුන් එතැනට ඔසවා තැබුවේ ජනතාවම වන නිසා ය.
කලකට පෙර නුසුදුස්සන්ට ඡන්දය පාවිච්චි කළ මිනිසුන් පසුව කීවේ ‘අනේ අපට වැරදුණා. අපි රැවටුණා’ කියා ය. දැන් නම් මිනිසුන් ඡන්දය පාවිච්චි කරන්නේ ම සියල්ල දැනදැන ය. රටේ ලොකුම චණ්ඩියාට මෙන් ම සූර ඩීල්කාරයාට ද මිනිස්සු ඡන්දය පාවිච්චි කරති. කලියුගයේ බොහෝ ක්‍ෂේත්‍රවල සුපිරි වීරයන් බවට බොහෝ විට පත්වන්නේ ද ඒ ආකාරයේ සූරයන්ම ය.
මේ සියල්ල නිර්වින්දිත සමාජයක සාමාන්‍ය ලක්ෂණ ය.


කැත්ලීන් ජයවර්ධන