ඒ 1890 වසරේ ජූලි මස 29 වැනිදාය. ඔලිව් තුරුපත් සහ සූරියකාන්ත මල් දැවටුණු තම සිත්තර පසුතලය වූ දකුණු ප්‍රංශයේ ආර්ලෙස්හි පිහිටි තිරිඟු යාය මැදදීම, තිස් හත් හැවිරිදි වින්සන්ට් වැන් ගෝ රිවෝල්වරයකින් සිය පපුවට වෙඩි තබා ගත්තේය. නිවසට රැගෙන යනු ලැබූ පසු, උණ්ඩය ඉවත් කිරීම සඳහා ශල්‍ය වෛද්‍යවරයා පැමිණෙන තෙක් ඔහු පයිප්පය උරමින් සිටියේය. පසු දා හැන්දෑවේ තිරිඟු යායද, තෙල් සායම් සිතුවම් 860 ක් ඇතුළු දෙදහසකට වැඩි තම නිර්මාණ ගොන්නද සදහටම හැර දමා යන්නට පෙර වින්සන්ට් මෙසේ මිමිණුවේය. “ශෝකය සදහටම පවතීවි”

අසූ හතර වසරකට පමණ පසු තවත් දවසක, එනම් 1974 වසරේ ඔක්තෝබර් 4 වැනිදා පුලිට්සර් සම්මානලාභී ඈන් සෙක්ස්ටන්, තම ඊළඟ කවි පොත වන “The Awful Rowing Toward God හි අවසන් සංශෝධන සිදු කර නිවසට පැමිණියාය. අනතුරුව වොඩ්කා බඳුනක් පුරවාගෙන තම නිවසේ ගරාජය තුළට ගොස් දොරගුළු ලා ගත් ඈන්, මෝටර් රථය පණ ගන්වා, තම ජීවිතය නිමා කරන මෙන් කාබන් මොනොක්සයිඩ් වායුවට ආරාධනා කළාය. The Awful Rowing Toward God පොත පළවනු ඇත්තේ තමා නැති ලොවක යැයි ඇය පළ කර තිබූ අනාවැකිය සැබෑ විය.

මරණයෙන් පසුව වින්සන්ට් සිය ඉතිරි වූ සිතුවම් තුළින් බටහිර කලාවට මහත් බලපෑමක් කළා වූද, සිත්තම් ලෝකයේ වඩාත්ම ජනප්‍රිය වූද චිත්‍ර ශිල්පියා බවට පත් විය. වරක් පෝල් ගෝගින් නමැති සිත්තරා සම්බන්ධ සිදුවීමකින් සිත බිඳී, තමාගේ කණකින් කොටසක් කපා දැමූ වැන්ගෝ කැඩපතක් ඉදිරියට ගොස් වෙළුම් පටි සහිත තමාගේම මුහුණ සිතුවමට නැගීය. ඇමරිකානු කාව්‍ය සාහිත්‍යය තුළ ළගන්නා සුළු පාපෝච්චාරණ රීතියකින් වේදනාව රචනා කළ ඈන් ජීවත් වූයේ ජීවිතයේ නිස්සාරත්වය නිරතුරුව නිර්මාණකරණයට පාදක කර ගනිමිනි. ඇයට පුලිට්සර් සම්මානය දිනා දුන් කෘතියට පවා පාදක වූයේ කවරක්ද? අටුවා ටීකා නොකියා එහි නම පමණක් ලියමි. “ජීවිතය හෝ මරණය”.

වින්සන්ට් වැන්ගෝ සහ ඈන් සෙක්ස්ටන් යන දෙදෙනාම ශෝකයේ කලාකරුවෝය. ඔවුන්ගේ මායාකාරී නිර්මාණකාය ඉස්මතු වූයේ දුක්බර අඳුරකින් වැසී තිබූ මලානික චිත්තභ්‍යන්තරයන් මතිනි. මානසික අසමතුලිතතාවන්ගෙන් සහ චිත්ත පීඩාවන්ගෙන් ඔවුන්ගේ ජීවිත නිරතුරුව සසල වූ බව සැබෑවකි. නිර්මාණ ඔස්සේ ඒ මහා හුදකලාව නිකුත් කර නිම කරන්නට නොහැකි වූ තැන, ඔවුන් තෙරක් නොපෙනෙන ශෝකය තුළම සැඟවී ගියා විය හැකිය. වැන්ගෝ මෙවන් සටහනක් තබයි. “මගේ මුළු හදවත සහ ආත්මය නිර්මාණ කාර්යයට යෙදවූයෙමි. ඒ ක්‍රියාවලියේදී මට මගේ පියවි සිහිය අහිමි වී ගියේය.” ඈන්ගේ කාව්‍යාවලිය පීරා ඇය සොයන විට, මට මේ වැකිය හමු විය. “මට හිතෙන්නෙ මං දියසායමක්. මංම ඒක සෝදා හරිනවා.”

අහස දිය වී වැටෙන මේ රාත්‍රියේ මම සිතුවමකට එබෙමි. වැන්ගෝගේ විශිෂ්ටතම නිර්මාණය ලෙස සැලකෙන, බටහිර චිත්‍ර කලා ඉතිහාසයේ වඩාත්ම පිළිගැනීමට ලක් වූ සිතුවමක් ද වන “Starry Night” (තාරුකා රාත්‍රිය) සිතුවමෙහි රේඛාවෝ, මගේ සිතුවිලි දිගේ හදවතට රිංගති. වැන්ගෝ මේ සිතුවම අඳින්නේ සිය කැමැත්තෙන්ම “පෝල් ඩි මව්සෝල්” උන්මන්තකාගාරයට ඇතුළත් වී සිටි අවදියේය. ඒ 1889 වසරයි. ඔහුගේ පින්සලට පැමිණෙන්නේ කුටියේ කවුළුවෙන් පෙනෙන පාළු රාත්‍රියයි. සඳත්, වීනස් තාරකාව ඇතුළු තවත් තරු, සයිප්‍රස් තුරු, තිරිඟු ලියැදි සහ නිවෙස් පියැසි ඇතුළත් මනරම් සිතුවම ගුප්ත බවත්, ශාන්ත බවත් එකවර පිළිබිඹු කරන්නකියි මට සිතෙයි. පහතින් ඇති ක්ෂුද්‍ර නගරය අසරණ මනුෂ්‍ය ජීවිතය නම්, අපට පාලනය කළ නොහැකි ලෝක ස්වභාවය බලසම්පන්න අහසක් මෙන් චමත්කාරයේ කැරලි නගමින් ඒ ජීවිතය වසා ගන්නා අයුර බියමුසු රසයක් දනවයි. මන බඳින නිල්-කහ මුදු වර්ණ රැලි සමුදාය, තරු එළියේ ඇත්තම සෞන්දර්යය, සොබාදහමේ නොපෙනෙන රිද්ම රේඛා මෙහෙම සටහන් කරන්නට හැක්කේ ජීවිතය අමතක කර සිහින ලොවක උමතු වූවෙකුටම පමණක් විය යුතුය.

වින්සන්ට් වැන්ගෝගේ මේ මායාකාරී සිතුවම ඈන් සෙක්ස්ටන් කෙසේ දකින්නට ඇතිද? ඉහළින් ඇති වචන අතරින් මට එන්නට අවශ්‍ය වූයේ මෙතැනටය. 1961 අවුරුද්දේ එක්තරා දවසක “තාරුකා රාත්‍රිය” සිතුවමෙන් වසඟ වූ ඈන් එය කවියට නැගුවාය. වින්සන්ට් ද නැති, ඈන් ද නැති, එහෙත් ඔවුන් අතරමං වූ ජීවන-ආත්ම චින්තා අලකලංචිය එලෙසම හෝ ඊටත් වැඩියෙන් ඇති ලෝකයක සිට අපට ඒ කවිය කියවිය හැකිය.

නගරය එහි නැත                                                                                                                                                             උණු ආකාසෙහි ගිලුණු ගැහැනු බඳු

කළු කෙසැති තුරු රිකිලි මිස

නිහඬයි නගරය   තාරුකා එකොළහ සමග ගොජ දමයි

රාත්‍රිය   අහා! තරු පිරුණ, තරු පිරුණ රාත්‍රිය

මේ තමයි මට මැරෙන්නට ඕනෑ විදිය !

සෙලවෙයි එය –  ඔවුන් සැම පණ පිටින්  විදියි කහ රැස්, සඳ පවා තම ඇසෙන්

තාරුකා ගිල දමයි අදිසි පැරණි සර්පයෙක්

අහා! තරු පිරුණ තරු පිරුණ රාත්‍රිය

මේ තමයි මට මැරෙන්නට ඕනෑ විදිය

පසු නොබා-නොහඬා මිදී මගෙ ජීවිතෙන්, ඒ කඩිසර රාත්‍රී මෘගයා තුළට

උරා ගනු ලැබ ඒ විසල් මකරා විසින්

ලක්ශාන්ත අතුකෝරල