බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ හා මහාවීර වැනි ආගමික නායකයන් එකල හාත්පස පැතිර තිබූ දැවෙන ප්‍රශ්නයක් වූ ‘දුප්පත්කම’ට පිළිතුරු සැපයීමට උත්සාහ නොකළේ මන් ද?
දැවෙන ප්‍රශ්නයක් ලෙසින් ම නොවෙතත් ඇහේ රොඞ්ඩක් ලෙසින් වරින් වර සිතෙහි කැවෙමින්, කැකෑරෙමින් අප තුළින් ද මේ පැනය මතුවූ බව මතක් වූයේ මෑතකදී කියවූ පොතකින් මේ ප්‍රශ්නය යළි වර නැගී තිබූ නිසා ය. ඒ පරිවර්තන කෘතිය නම් කර තිබුණේ ‘ඕෂෝ – මේ උත්කෘෂ්ට මොහොත ඔබ සතුයි’ ලෙස ය. මේ ඕෂෝ සංවාද එකතුව සිංහලට නගා තිබුණේ ෂර්ලි චන්ද්‍රා ප්‍රනාන්දු ය.
‘විප්ලවය’ යැයි කී පමණින් එකවර හා වැඩි වශයෙන් අපේ මතකයට කඩාවදින්නේ දේශපාලන විප්ලවයන් ය. ඒ අතරිනුත් ප්‍රමුඛ වන්නේ සිය වසරකට පෙර සිදු වූ ‘ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයයි. විවිධ විප්ලව හා ඒවායේ න්‍යාය පිළිබඳව අප කතා කර ඇති අවස්ථා එමට ය. ඒ වෙනුවෙන් සිදු වූ පුද්ගල මැදිහත්වීම් ද අනල්ප ය. එහෙත් දුප්පත්කම නොවේ නම් පන්ති පරතරයට විසඳුම් සෙවීමට පෙර කී විප්ලවයෙන් සියවසක් ගෙවී යන තුරුමත් කිසිදු රාජ්‍යයක් සමත් වී ඇති බවක් නොපෙනෙයි.
දැන් බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ හා මහාවීර වැන්නන් මිනිසාගේ දුක් දුරුකිරීමට මිස දුප්පත්කම නැති කිරීමට සාධනීය ක්‍රියාමාර්ගයක් අනුගමනය නොකළේ මක්නිසා ද යන ප්‍රශ්නය යළිත් කරළියට නැගෙයි. මෙහිදී අප උත්සාහ කරන්නේ භගවාන් ශ්‍රී රාජ්නිෂ් හෙවත් ඕෂෝ ඊට සපයන පිළිතුර පරිපූර්ණ යැයි එකඑල්ලේ ම එකහඬින් ම කියන්නට නොවේ. එහෙත් අපට ද යම් තරමකින් බලපෑම් කළ මේ ප්‍රශ්නයේ අක්මුල් සොයා යාමක් ඕෂෝගේ පිළිතුරින් ගම්‍යමාන වන බව ය, අපගේ පෞද්ගලික අදහස වන්නේ.
ඕෂෝ මේ කතාව අරඹන්නේ එවකට (බුදුන් වහන්සේගේ හා ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ) තිබූ සමාජ වාතාවරණය පිළිබඳ ඓතිහාසික චිත්‍රයක් අප තුළ රූපණය කරමිනි. ඒ සිතුවමින් ගම්‍යමාන වන්නේ එවැන්නක් ගැන සිතන්නට ඒ යුගයේදී මිනිසුනට අවකාශයක් විවරව නොතිබූ බව ය. අද දවසේදී වුව අප යමක් ගැන සිතන්නට පෙළඹෙන්නේ කිසියම් සාධකයක් (වාතාවරණයක්) ඒ ගැන සිතන්නට අපට බලකරන කල්හි ය. කාල්මාක්ස්ට (1818-1883) ඒ ගැන සිතන්නට සුදුසු පරිසරයක් නිර්මාණය කර දුන්නේ ‘කාර්මික විප්ලවය’ බව ඕෂෝ අපට සිහිකැඳවයි. (කාර්මික විප්ලවය සිදු වූවේ යැයි සැලකෙන්නේ 1760-1840 අතර කාලවකවාණුවකදී ය) කාර්මික විප්ලවය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ ප්‍රථම වතාවට නිෂ්පාදන කාර්යය සඳහා යන්ත්‍ර-සූත්‍ර යොදාගෙන ඉහළ නිෂ්පාදන ධාරිතාවක් ඇතිකිරීමේ හැකියාව ලද හෙයිනි. කාර්මික විප්ලවයට පෙර පැවැති වැඩවසම් යුගයේ දුප්පත්කම තුරන් කිරීමට නොහැකි වූයේ ප්‍රමාණවත් වත්කම් සමාජය සතු නොවූ නිසා බව ද ඕෂෝ පෙන්වා දෙයි. කළ හැකිව තිබුණේ ධනවතුන් අතළොස්සකගේ ධනය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඔවුන් ද දුප්පත්කම කරා දක්කාගෙන ඒම පමණි.
දහසක් අතරින් (ධනවතුන්) එකෙකුගේ ධනය අත්පත් කරගත් පමණින් සමාජයේ දුප්පත්කම අඩුකළේ යැයි කාටවත් කියන්නට බැරිය. මිනිස් ශ්‍රමයේ (මිනිස් අතින්) නිෂ්පාදනය කළ දේ දුප්පත්කමේ රේඛාවෙන් එපිටට සමාජය තල්ලුකර දැමීමට අසමත්වූ බව මෙහිදී අප තේරුම් ගත යුතු වැදගත්ම කාරණයයි. වත්කම් ඉපයීම උදෙසා මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත්‍ර සූත්‍ර භාවිතයට ගැනීමෙන් අනතුරුව, දුප්පත්කම පලවා හැරීම පිළිබඳව සිතන්නට ඉඩ ප්‍රස්ථාව ලැබිණ. මිනිස් දෑත් දසදහසකින් කළ දේ ඉන්පසු ඊටත් වඩා අඩු කාලෙකින් යන්ත්‍රසූත්‍රවලට කළ හැකි විය. එසේ මහා පරිමාණයෙන් ධනය ඉපැයීම සිදුවන විට ‘දුප්පතුන් සැමදා දුප්පතුන් වශයෙන් නොසිටියි යුතුය.’ යන හැඟීම ඇතිවීම සාධාරණය. (ඕෂෝ, මේ උත්කෘෂ්ට මොහොත ඔබ සතුයි, 172 පිටුව)
කාල්මාක්ස් වේදිකාව මතට අවතීර්ණ වන්නේ, ඔහුට වේදිකාවක් නිර්මාණය වන්නේ කාර්මික විප්ලවයෙන් අනතුරුව බව සිහිගන්වන ඕෂෝ, සමාජයේ සමානත්වය ගැන කල්පනා කිරීම සඳහා ඔහුට (මාක්ස්ට) ලකරන ලද්දේ එවකට පැවැති සමාජ වාතාවරණය විසිනි යි කියයි. ඒ සමයේ බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ වැඩසිටියේ නම් උන්වහන්සේලාගේ ප්‍රවේශයන් සඳහා ද එවැනි වූ තවත් චින්තනයක් බලපෑම් කිරීමට ඇතැම්විට හැකිව තිබූ ආකාරය ද ඕෂෝ පෙන්වා දෙයි.
සමාජයේ පවතින අසමානත්වය නැති කරන්නට බුදුන් වහන්සේ හෝ ජේසුස් වහන්සේ උත්සාහ නොකළේ මන්ද? යන ප්‍රශ්නයට ද පිළිතුරු ගණනාවක් ඇති මුත් ඒවා තේරුම් බේරුම් කර ගත යුතුව ඇත්තේ පරිස්සමිනි යි ඕෂෝ කියයි. අසමානත්වය නැතිකිරීම පිළිබඳ අදහසක් සමාජයකට වැද්දගන්නේ ඒ සමාජය තුළ ‘සමානාත්මතාව’ පිළිබඳ හැඟීමක් ඇති විට ය. ඊට පසුබිමක් නිර්මාණය වන අවස්ථාවන්හිදී ය. මේ සම්බන්ධයෙන් ඕෂෝ පෙන්වා දෙන උපමාව අපූරු ය.
දියමන්ති එබ්බූ මාලයකින් සැරසුණ රජකුමරියක දැකීමෙන් කසල ශෝධකයකුගේ භාර්යාවක් තුළ කිසිදු ඊර්ෂ්‍යාවක් ඇති නොවන්නේ යැයි පවසන ඕෂෝ එසේ ද වුව යාබද නිවෙසක වෙසෙන වෙනත් කසල ශෝධකයකුගේ බිරිඳක් වීදුරුගල් ඇල්`ඵෑ මාලයක් පැළඳ සිටිනු දැකීමෙන් පවා ඇගේ සිත ඊර්ෂ්‍යාවෙන් රත්වී යන්නේ යැයි කියයි.
සමාජයේ පන්ති දෙකක් අතර සුවිශාල පරතරයක් පවතින්නේ නම් ඒ සමාජය නියෝජනය කරන්නේ සුපිරි ධනවතුන් හා අන්ත දිළින්දන් නම් සමසමාජයක් ඇති කිරීම යනු හිතලුවකි. අසමානත්වයේ කටුක වේදනාව බුදුන් වහන්සේගේ හෝ ක්‍රිස්තුන් වහන්සේගේ කාලයේ ඒ සමාජ පන්තිවල ජීවත් වූ මිනිසුන්ට දැනී නැත.
ඉනික්බිති ව ඕෂෝ පෙන්වා දෙන්නේ විප්ලවයෙන් පසු සෝවියට් දේශයේ කවිය සහ කලාව මියයාම පිළිබඳව ය. එය අහම්බයක් නොවන්නේ යැයි ඕෂෝ කියන්නේ ලියෝ තොල්ස්තෝයි, පියෙදෝර් දොස්තයොවුස්කි වැනි දැවැන්තයන් සමඟ තරග කළ හැක්කේ කාටදැයි ප්‍රශ්න කරමිනි. ලෝකයේ උසස් ම නවකතාකරුවන් දසදෙනා අද දවසේදී හෝ නම් කෙරුණහොත් ඉන් පස්දෙනකු හෝ රුසියාව නියෝජනය කරනු නියත යැයි ඕෂෝ පවසයි. සාහිත්‍යකලාවේ උපරිව්‍යුහය නියෝජනය කළ තෝල්ස්තෝයිගේ, ඩොස්ටොයෙවුස්කිගේ, ගෝර්කිගේ රට විප්ලවයෙන් පසු මිහිතලයෙන් අතුරුදහන් වූ බව ය, ඕෂෝ කියා සිටින්නේ. මිනිස් ඉතිහාසයේ සිදු වූ පිරිමැසිය නොහැකි දැවැන්ත පාඩුව වන්නේ රුසියාවේ කවිය මියයාම යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටී.
ඕෂෝ මේ අදහස් දක්වන්නේ විප්ලවයට එරෙහිව යැයි තේරුම්ගත යුතු ද නැත. ඕෂෝ පුන පුනා කියන්නේ ද විප්ලවයක් සිදුවිය යුතු බව ම ය. එහෙත් මේ විප්ලවය හා ඒ විප්ලවය අතරේ පවතින්නේ විප්ලවීය වෙනසකි.
එක් විප්ලවයක් හැර අනකේ සියලු විප්ලව අසාර්ථක වී ඇතැයි ඕෂෝ කියන්නේ බාහිර විප්ලවයට පෙර මිනිසා තමාගේ අභ්‍යන්තරය වෙත එබී බැලීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි.
මේ ප්‍රචණ්ඩත්වය එන්නේ කොහෙන් ද?
මමත්වය රජයන සිතිවිලි කෙසේ පහළ වන්නේ ද?
මේ ප්‍රශ්න අපට ඉතා නැවුම් ය. විද්‍යාව විසින් ද විසඳනු නොලැබූ මේ ප්‍රශ්න කවදා හෝ විද්‍යාවෙන් විසඳෙනු ඇතැයි ද සිතීම ද උගහට ය.
විනාශය පැමිණෙන්නේ වෙනත් ග්‍රහලෝකයකින් නොවන බවත් අපේ මිනීවළවල් අපම කපමින් සිටින බවත් ඕෂෝ කරුණු සහිතව පෙන්වා දෙයි. මීට හේතුව මිනිසාගේ විකසනයේ පවතින අසමතුලිතභාවය යැයි ද වැඩිදුරටත් පවසයි. විද්‍යාව, තාක්ෂණය වැඩිදියුණු කරගනිමින් සිටිය ද විඥානය ඒ තත්ත්වයට ගෙන ඒමට අප අපොහොසත් ය. විෂයානුබද්ධ දේ නොඑසේනම් බාහිර දේ බෙදා හදා ගැනීම අපහසු නොවෙතත් ආත්මගත දෙයක් එසේ කළ නොහැකි ය. හදගැඹරේ වන සත්‍යය මතු කර ගැනීම අදාළ පුද්ගලයා ස්වෝත්සාහයෙන් ම කරගත යුත්තකි. එය වෙළෙඳපොළේ විකිණීමට තබා නැති අතර මිලදී ගැනීමට නොහැකි නිසා සොරකම් කිරීමට ද නොහැකි ය.
අවිඥානක තත්ත්වයේ පසුවන මිනිසුන්ට ඕනවට වැඩි බලයක් ලබාදීම අතිශයින් භයානක කටයුත්තක් වන බව ය, ඕෂෝගේ අදහස වන්නේ. ‘විඥානය අතින් බැලුවොත් දේශපාලනඥයා තමයි අන්තිම අඩියෙ ඉන්නේ’ යි ඔහු කියයි. ඊට හේතුව ඔවුන්ගේ ඉලක්කගත බලාපොරොත්තුව වන්නේ බලගතුවීමේ ආශාව ම වීමයි.
රුසියාව ඉතා දරුණු ගණයේ විප්ලවයකින් පසුව සමානාත්මතාව ස්ථාපිත කිරීමට වෑයම් කළ ද අලුතෙන් ඇතිවුණ පාලක පන්තිය පෙර සිටි පාලක පන්තිය තරමට ම බලවත්වූ බවත්, අද චීනයේ සිදුවෙමින් පවතින්නේ ද (ඕෂෝ ජීවත් වූ යුගයේ) ඒ දෙයම බවත් මෙහිදී අවධාරණය කෙරේ.
කොමියුනිස්ට් වාදය රට තුළ ස්ථාපිත වීමෙන් අනතුරුව හැම ලේඛකයා ම, හැම කවියා ම හැම චිත්‍රශිල්පියා ම සේවය කළ යුතු වූයේ ‘සමාජවාදයට’ ය. සාහිත්‍යකලාව පැවතිය යුතු වූවේ ඒ ගැන අබමල් රේණුවක දැනීමක් නැති අමන රාජ්‍ය නිලධාරින්ගේ තීන්දු තීරණවලට අනුගතව ය. (චිංගී ස් අයිත්මාතෝව් නම් වූ සෝවියට් ලේඛකයා පසුකාලීනව ලියූ නවකතා තුළින් මේ තත්ත්වය බොහෝ පාඨකයන්ට ද අතැඹුලක් වී තිබේ) නියම කවියාට කිසිවකුටත් සේවය කළ හැකි නැතැයි ඕෂෝ කියයි. ප්ලේටෝගේ (ඍැචමඉකසජ කෘතියේ) අවධාරණයකට අනුව පරමාදර්ශි රාජ්‍යයන් තුළට කවියන් වද්දා නොගත යුතුය යන කියමන උපුටා දක්වමින් ඕෂෝ අසන්නේ ‘ඇයි ඔහු කවියන්ට මෙතරම් බිය වන්නේ?’ කියා ය. ප්ලේටෝට අවශ්‍ය වූයේ එක්තරා ජීවන රටාවක් ජනතාව මත පැටවීම ය. ඔක්තෝබර් විප්ලවයෙන් පසු කවියා මියගියේ යැයි ඕෂෝ කියන්නේ ද ඒ අනුව ය. ඕෂෝගේ බොහෝ අවධාරණයන් ඔස්සේ ඔහුගේ කලාකාමී, රසකාමී බව ද ඉස්මතු වන බවකි, පෞද්ගලිකව අපට හැඟීයන්නේ.
‘මාක්ස් භාවිත කරන්නේ කාව්‍ය විහීන බසකි. ඔහුගේ පොත් කියවීම ඉතා වෙහෙසකර කටයුත්තකි’ යි ඕෂෝ කියයි. ඔහු එසේ කියන්නේ දාස් කැපිටාල් කෘතිය ප්‍රස්තුතව ය. එය සම්පූර්ණයෙන් කියවා ඇත්තන් (කොමියුනිස්ට්වාදීන් අතරේ පවා) කොතරම් නම් විරල විය හැකි දැයි අසන ඕෂෝ ඉනික්බිතිව පළකරන්නේ මෙවැනි අදහසකි.
ක්‍රිස්තුන් වහන්සේට කවිය තිබිණ. උන්වහන්සේ කතා කලේ කාව්‍යමය බසකිනි. බුදුන් වහන්සේට ද එය තිබිණ. උන්වහන්සේ ජීවමාන කාව්‍යයකි. (200 පිටුව)
සංකල්ප අලුතින් ගොඩනගා ගැනෙන්නේ යම් යම් ඓතිහාසික මූලාශ්‍රයන් සොයා ඒ මතට පෞද්ගලික අභිප්‍රායයක් ද ඇතු`ඵ කිරීමෙනි. මේ ක්‍රමය ඉතා අපූර්වාකාරයෙන් භාවිතයට ගන්නේ දේශපාලනඥයා ය. රට, ජාතිය, ආගම එහිදී ඔහු තමාගේ කර ගන්නේ කිසිදු පදනමකින් තොරව ය.
මවුබිම පිළිබඳ සංකල්පය කරළියට නැගුණු අවස්ථාවක ඕෂෝ කියා ඇත්තේ ‘ඒක පිස්සු කතාවක්. මේ ලෝකයම මගේ’ කියා ය. විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුව සිටියදී තමනට හමුදා පුහුණුව ලබාදීමට සැරසුණු මොහොතේ (ඉන්දීය රජයෙන් එවැනි නියෝගයක් පැණවුණු අවස්ථාවේ) ඔහු උපකුලපතිවරයාට මෙසේ කියා තිබේ.
මව්භූමිය කියන්නේ මොකක්ද කියලා මට ඔබ පැහැදිලි අදහසක් දෙන්න. මගේ ඇස් පනාපිට ම රටෙන් කොටසක් පකිස්ථානය බවට පත් වුණා. දැන් ඒක මගේ මාතෘභූමිය නොවේ. ඒක දැන් මගේ සතුරු රටක්. දැන් මට ලබා දෙන්න යන හමුදා පුහුණුව වෙන එහෙකට නොවේ. පකිස්ථානයට විරුද්ධ ව සටන් කරන්න. අනාගතයේ දී පංජාබය නිදහස් රටක් බවට පත් වේවි. එතකොට ඒ භූමිභාගය මගේ රටට අයිති නැහැ. එතකොට මේ මොන වගේ මවු කෙනෙක්ද? හිස, අත්, පා සැරින් සැරේ අතුරුදහන් වෙනවා. මොන කෑල්ල ඉතිරි වුණත් මං වගකීමට පත්වෙනවා. කෑල්ලෙන් කෑල්ල අඩු වුණා කියලා මගේ වගකීම අඩුවෙන්නෙත් නැහැ.
භූමිය යනු භූමිය ම මිස වෙන කිසිවක් නො වේ. සමස්ත භූමිතලය ම අපේ මව නො වේ නම් කිසිදු වෙන් කළ, කෑලිවලට කැඩූ භූමිතලයක් අපේ මව නො වේ. රටවල් ඉපදෙමින් අතුරුදහන් වෙමින් පවතී. ඒවා දේශපාලන ව්‍යාපෘතීන් මිස අන් කිසිවක් නො වේ. (83-84 පිටු)
සැබෑ විප්ලවයක් ලෝකයේ සිදුවන අවස්ථාව ලෙස ඕෂෝ දකින්නේ සැබෑ ආගමික විඥානයක් :ඍැකසටසදබ.ි ක්‍දබිජසදමිබැි* ස්ථාපිත වන දවස ය. මෙහිදී කෙනෙකුට පැන නැගෙනු ඇත්තේ ඕෂෝගේ ආගම කුමක් ද? යන පැනයයි. එහෙත් ඕෂෝට ආගම ගැන ඇත්තේ ද වෙනස්ම අදහසකි.
කිතු දහම, හින්දු ආගම, ඉස්ලාම් ආගම හා බෞද්ධාගම යනාදිය සැබෑ ආගම් යැ යි පැවසිය නොහැකි ය. නිර්ව්‍යාජ බව පිළිබඳ සැකසාංකා මතු වේ. ක්‍රිස්තුන් වහන්සේ සැබෑ ය. එහෙත් කිතු දහම එසේ යැ යි කිව නොහැකිය. බුදුන් වහන්සේ සැබෑ ය. එහෙත් බුදු දහම එසේ යැයි කිව නොහැකි ය. කිතු දහම හා බුදු දහම නිර්මාණය කෙළේ මිනිසුන් ය. අප බුදු දහම හා කිතු දහම අපගේ අවශ්‍යතාවන්ට අනුව අපේ සිතැඟි හා අගතීන්ට අනුව නිර්මාණය කළ දෙයකි. (162 පිටුව)
ආගම අරබයා විප්ලවයක් හටගැනුණහොත් ලොව පුරා ඇතිවන්නේ ලේබල් සහිත විවිධ ආගම් නොව එක ම ආගම දහමකි යි ඕෂෝ කියයි. එය සබඳතා වර්ධනය කරන්නකි. උසස් සවිඥානකත්වයකි. ආලෝක වර්ෂාවකි. පූර්ණ විප්ලවයකි.■

කැත්ලීන් ජයවර්ධන