සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලේ ‘වල සතිය’ ගැන ලියා සතියක් ගත වුණු විගස යළිත් විශ්වවිද්‍යාල දෙසටම හැරීම ගැන ඔබ උරණ නොවනු ඇතැයි මම සිතමි. ‘විභාවන’ නමින් සිනමා හා කලා උළෙලක් පේරාදෙණියේ දී දිග හැරෙන්නේ එළඹෙන අප්‍රේල් 03, 04 සහ 05 යන දිනයන්හිදී බැවින් මෙය කලින් ලියා තැබීම යෙහෙකි ය යන්න මගේ අදහසයි.

විශ්වවිද්‍යාල, විශේෂයෙන් පේරාදෙණිය, විද්‍ෙයා්දය හා විද්‍යාලංකාර හෙවත් ජයවර්ධනපුර හා කැලණිය මෙන්ම කොළඹ යන විශ්වවිද්‍යාල මෑත ඉතිහාසය තුළ ලාංකික කලා භාවිතාව වෙත දක්වා ඇති දායකත්වය සුළුපටු නැත. පේරාදෙණි ගුරු කුලය, සරච්චන්ද්‍ර යුගය ගැන වැනි යෙදුම් තවමත් මෙරට කලා කථිකාව තුළ බහුලව යෙදෙන්නේත්, කවිය, නාට්‍යය, නව කථාව, සිනමාව ඈ එක් එක් කලා ප්‍රවර්ග විෂයයෙහි එක් එක් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරුන් දැක්වූ පොහොනි දායකත්වයන් ගැන කියවෙන්නේත්, ලියැවෙන්නේත් එබැවිනි. සාහිත්‍ය කලා විචාරයෙහි විශ්වවිද්‍යාලයීය මැදිහත් වීම ක්‍රමිකව හීන වී ගිය බව ප්‍රමුඛ මතය වුවත්, මෑතකාලීනව වුව, මහාචාර්ය ලියනගේ අමරකීර්ති, ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි, කථිකාචාර්ය චින්තක රණසිංහ වැන්නවුන් ඒ කෙත හා සෘජුවමත්, මහාචාර්ය ජයන්ත අමරසිංහ, මහාචාර්ය රත්නසිරි අරංගල, මහාචාර්ය සඳගෝමී කෝපරහේවා වැන්නවුන් භාෂා අධ්‍යයන ක්ෂේත්‍ර සමග එක්වත් සිදු කරන දායකත්වය පසෙක තැබිය නොහැක. මහාචාර්ය ලියනගේ අමරකීර්ති, කථිකාචාරිණී සුමුදු නිරාගී සෙනෙවිරත්න, ආචාර්ය සුනන්දා ප්‍රේමසිරි තිදෙන පේරාදෙණි සිංහල අධ්‍යයනාංශයේ සිට රාජ්‍ය, රජත හා ස්වර්ණ පුස්තක සම්මාන උළෙලවල සිය නම් ලියා තැබුවේ මේ ගෙවුණු වසරවල ය.

නාට්‍ය වේදිකාවේ දී විශ්වවිද්‍යාල නාට්‍ය පරිච්ඡේදය ලෙස හඳුනාගන්නා අවදිය ලුඩොවයික්, ජුබාල් සහ සරච්චන්ද්‍ර නම් සමග 50 දශකය තෙක්ම අතීතයට ඇදුණත්, ගෙවුණු දශක කිහිපය තුළ කැලණිය විශ්වවිද්‍යාලය, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සහ කොළඹ විශ්වවිද්‍යාලයීය ශ්‍රී පාලී මණ්ඩපය යන ආයතනවල වේදිකාවතරණයන් නව විශ්වවිද්‍යාල නාට්‍ය සමයක් නිර්මාණය කර ඇත. යෞවන සම්මාන උළෙල ඔවුන් ද අයත් යෞවනයන්ටම වුවත්, ප්‍රවීණයන් හා සම තැන්හි හිඳිමින් රාජ්‍ය නාට්‍ය උළෙල ද ආක්‍රමණය කොට, ඔවුන් දෙවැනි තැන්හි තබා සම්මාන ඩැහැගෙන යන්නට පවා විශ්වවිද්‍යාල නාට්‍යකරුවන් සමත්ව අවසන් ය. පේරාදෙණියේ ලලිත කලා අධ්‍යයනාංශය, ශ්‍රී පාලි මණ්ඩපයේ ප්‍රාසංග කලා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා ප්‍රතිබිම්බ කලා අධ්‍යනාංශය මෙන්ම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය තුළත් සිනමාව පිළිබඳ විෂයාත්මක හැදෑරීම් ප්‍රවේශ දැනටමත් හමුවන අතර වෘතාන්ත චිත්‍රපටකරණය දක්වාම ඔවුන්ගේ මැදිහත්වීම පිළිබඳ ඉඟි ද දැන් දකින්නට ඇත. තොග ගණනින් නොවෙතත්, සාධනීය ලක්ෂණ ප්‍රකට කරන කෙටි චිත්‍රපට තනන්නට මෙම විශ්වවිද්‍යාලවල විද්‍යාර්ථීන් සමත්ව ඇති අතර ඒ අතුරින් ඇතැම් කෘති දෙස් විදෙස් සම්භාවනාවට ද පාත්‍ර වී ඇත.

බැලූ බැල්මට ඉහත සඳහන ගෙන එනු ඇත්තේ විශ්වවිද්‍යාල සාහිත කලා මැදිහත්වීම පිළිබඳ ධනාත්මක සිතුවමකි. එහෙත් එය සාපේක්ෂ තත්වයක් බව පුළුල්ව විමසන්නෙකුට වහා හඳුනාගන්නට හැකිවනු ඇත. දිවයිනේ විහිද ඇති සිංහල ඇතුළු භාෂා අධ්‍යයනාංශවලත්, ලලිත කලා, ප්‍රසංග කලා හා සෞන්දර්ය කලා අධ්‍යයනාංශවලත් ආචාර්ය මණ්ඩලවල අංකය හා ශිෂ්‍ය අංකය වෙන් වෙන්ව ගෙන විමසූ විට සිය කලාපයන්හි සිට අභියෝගාත්මකව බාහිරය වෙත හැරී බලන්නට පොහොසත්, සාහිත කලා භාවිතයෙහි යෙදෙන්නන් හමුවන්නේ ඉතා අඩු වශයෙන් බව පෙනී යයි. නිර්මාණාත්මක හෝ ශාස්ත්‍රීය මැදිහත්වීම කෙසේ වුව, නිර්මාණ සේවනයෙහි යෙදෙමින් ඒ විඳින හා ඒ පිළිබඳ සාකච්ඡාවට මග පාදන, පොදු පුරවැසි ප්‍රජාව පොහොසත් නිර්මාණ සේවනයකට කැඳවන ආචාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් විශ්වවිද්‍යාලවල මුණගැසෙන්නේ අඩුවෙනි. ‘දරුවන්ගේ හා ගෙදර දොරේ වැඩ’, ‘සමාජ වැඩ’ නැතිනම් වැඩිපුර එළිපිට නොකියන ‘ටියුෂන් වැඩ’ නිසා ඔවුන් කලා භාවිතය හමුවන අවකාශවලින් සැඟව සිටින බව පෙනෙයි. අනුයන ශිෂ්‍ය ප්‍රජාව ද, ‘නාට්‍ය හා සිනමා කෘති නොබලන, පොත් නොකියවන’ සර්ලාගෙන් හා මැඩම්ලාගෙන් කරදරයක් නැති නිසා කලා සේවනය ’ඉඩක් ලැබුණොත් කරන්නට ඇති දෙයක්’ ලෙස සටහන් කරගෙන ඇත.

දශක එකහමාරකින් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය වෙත පෙරළා පැමිණි මට, සෙසු විශ්වවිද්‍යාලවලටත් පොදු, ආචාර්ය මණ්ඩල සාමාජිකත්වය හා ශිෂ්‍ය ප්‍රජාව මෙම කලා- සාහිත කෙතින් දුරස්වීමේ ඛේදජනකය අත්විඳින්නට ලැබිණ. ආදායම ‘හොඳ’ බැවින් සරච්චන්ද්‍ර එළිමහන් රඟමඬලට නාට්‍යයක් ගෙන එන්නට හෝ ක්‍රීඩාගාරයට සංගීත සංදර්ශනයක් ගෙන එන්නට විවිධ ශිෂ්‍ය සංගම් පෙරමුණට ආව ද කෘතීන් පිළිබඳ පසු කථිකාව දුර්වල ය. ‘ඩවුන්ලෝඞ්’ සිනමා කෘති නිසා සිය සිනමාහල ‘ලැප්ටොප්’ තුළ තනාගෙන සිටින විශ්වවිද්‍යාල ‘සිනමා රසිකයින්’ උසස් ගණයේ සිනමා කෘති සහිත චිත්‍රපට දැක්මවල් සංවිධානය නොකරන අතර කවර හෝ සිනමා කෘතියක ගුණාගුණ කතා කරන්නට එක් වන්නේ ද නැත. සෙසු සාහිත්‍ය, නාට්‍ය ආදිය පිළිබඳ උනන්දුව ද ඊට නොදෙවනි ය.

‘විචිත්‍රත්වයෙන් විභාවනයට’ යන මුල් යෙදුම මා මේ ලිපියට යොදන්නට හේතු වූ සිනමා-කලා උළෙල අපට මුණගැසෙන්නේ මෙවන් පසුබිමක ය. පසුගිය වසර අවසාන සමයේ රුහුණු විශ්වවිද්‍යාලයේ පැවති මෙම උළෙල ‘විචිත්‍රත්ව සිනමා හා කලා උළෙල’ ලෙස නම් ලබා තිබුණු අතර එය පේරාදෙණියට ප්‍රවේශ වන්නේ ‘විභාවන’ නම ලබමිනි. එහි අනුග්‍රාහකත්වය හා සංවිධාන දායකත්වය ජර්මානු රාජ්‍ය නොවන සංවිධානයක් වන ජීඅයිඉසෙඞ් (ඨෂ’) ආයතනය විසින් දරනු ලබයි. පේරාදෙණියේදී එය සංවිධානය වන්නේ ලලිත කලා අධ්‍යයනාංශය වෙතිනි.

‘විභාවන’ සිනමා කලා උළෙලෙහි විශේෂත්වය යට කී කලා කෘති ආශ්‍රිත සාකච්ඡාව මුල් කොට ගනිමින් එය විහිද යෑමයි. වෘතාන්ත, වාර්තා හා කෙටි චිත්‍රපට ප්‍රදර්ශන සියල්ලේත්, කෙටි නාට්‍ය, වීදි නාට්‍ය හා රූකඩ දැක්මවල් මෙන්ම සංගීතමය වැඩසටහන් හා නර්තනමය වැඩසටහන් සියල්ලේත් අවසානයේ හමුවන විද්වත් මණ්ඩලයක් මුල් කොටගත් සංවාදය එක් එක් කෘතිය කියවීම සඳහා ප්‍රවේශ විය හැකි නන්විධ ප්‍රවේශ මාර්ගවල ඉඟි ප්‍රේක්ෂාගාරය වෙත තබනු ඇත. එක් එක් තනි පුද්ගලයකු විෂයයෙහි හමුවිය හැකි ඒක තානීය කියවීමට ඔබ්බෙන් වන බහුවිධ අදහස්, කියවීම්, ඇගයීම් මුණගස්වනු ඇත. සාමාන්‍ය සමාජය තුළ තබා විශ්වවිද්‍යාල තුළ හෝ අද අවමව ඇත්තේ මෙම බහුවිධ ප්‍රවේශ ඇති බවට වන හැඟීම හා අදහසයි.

Expressions යන ඉංග්‍රීසි යෙදුමට අනුයාත ‘විභාවන’ යන්න ‘ප්‍රකාශන’ යන බහු අරුත හඟවයි. අප්‍රේල් මුල් සතියේ පේරාදෙණියට පැමිණිය හැකි නම්… එන්න! කලා කෘති කියවමින් සංවාද මණ්ඩපයක රැඳීම සංස්කෘතික පුරවැසියන්ගෙන් සපිරි දිවයිනක් තනන්නට කෙතරම් අත්‍යාවශ්‍ය කරුණක් දැයි ඔබට හැඟී යනු නොඅනුමාන ය.

-ප්‍රියන්ත ෆොන්සේකා –