පාසල් යන සමයේ සිට මා රෝහණ බැද්දගේ පිළිබඳව දැන සිටියේ සිංහල ජනප්‍රිය සංගීතයට අතිශයින් සිත්ගන්නාසුලු, ඇතැමුන් ‘ග්‍රාමීය’ යැයි අරුත්ගැන්වූ, ගායනා හා සංගීත ආරක් එක්කළ ප්‍රතිභාපූර්ණ සංගීතවේදියෙකු ලෙසිනි. ‘මගේ රත්තරන් හෙලේනා’ යන ගීතය අදත්  මා හද රැඳී තිබෙන්නේ ඔහු ගැයූ වඩාත් රසවත් ගීතයක් ලෙසිනි. කෙසේ වුව ද, ඔහු ජනාධිපතිවරයා විසින් මාලදිවයිනේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කර ඇති බැව් සන්නිවේදන මාධ්‍ය වාර්තාකරන විට මා පුදුමයට පත්වූයේ, තමන් ප්‍රගුණකර ඇති ක්‍ෂේත්‍රයට කිසිදු සබඳකමක් නැති, විදේශ සේවය වැනි භාරධුර හා සුවිශේෂ රාජකාරියකට රෝහණ බැද්දගේ කෙසේ සම්බන්ධ වේදැයි මට සිතාගැනීමට නොහැකි වූ නිසාය. එනමුත් රෝහණ බැද්දගේ මාලදිවයිනට යැවීම ශ්‍රී ලංකා විදේශ සේවයේ දැකගත හැකි එකම අද්භූත දේශපාලන පත්කිරීම නොවේ. මහාචාර්ය නලින් ද සිල්වා මියැන්මාරයේ තානාපතිවරයා ලෙස පත්කිරීම ද, මනෝරි උනම්බුව මහත්මිය ජර්මනියේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙස පත්කිරීම ද මේ දේශපාලන පත්කිරීම් ලැයිස්තුවේ වඩාත් අර්ථවිරහිත පත්කිරීම්ය. මන්ද යත්, රෝහණ බැද්දගේගේ සංගීතය හෝ නලින් ද සිල්වා ගේ විශේෂඥ ගණිත දැනුම හා ජාතික චින්තන මතවාදය හෝ මනෝරි උනම්බුවගේ ව්‍යාපාරික සබඳතා හෝ ඔවුන් තානාපතිවරුන් ලෙස පත්කළ රටවල ශ්‍රී ලංකා විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිමේ දී ප්‍රයෝජනවත් පූර්ව-සුදුසුකම් ලෙස විද්‍යමාන නොවන නිසාය. එමෙන්ම, ඔවුන්ගේ පසුබිම් සමස්තයක් වශයෙන් ශ්‍රී ලංකා විදේශ සේවයට සුවිශේෂ වෘත්තීය වටිනාකමක් එක්කරන බව ද නොපෙනේ. එනම්, ඔවුන් පුද්ගලයන් වශයෙන් තමන් අනුයුක්ත කර ඇති රාජ්‍යතාන්ත්‍රික සබඳතා ක්‍ෂේත්‍රයට ගෙන එන්නේ කුමක්ද? මා මේ ගෙනහැර දැක්වූයේ හුදෙක් විදේශ සේවයට මෑත කාලයේදී පත්කරන ලද දේශපාලන පත්කිරීම් තුනක් පමණි. මෙවැනිම අන් පත්කිරීම් පිළිබඳ උදාහරණ විදේශ සේවය සම්බන්ධයෙන් තවත් තිබෙන බැව් පැහැදිලිය.

මාගේ උනන්දුව මේ දේශපාලන පත්කිරීම් දර්ශකයක් සේ සලකා එමගින් අප රටේ විදේශ සේවයට හා විදේශ කටයුතු අමාත්‍යාංශයට සිදුවන්නේ කුමක් දැයි මෙනෙහි කිරීමය. මක්නිසාද යත්, මෙවැනි පත්කිරීම් හුදෙක් රජයේ අයිතියක් පමණක් නොව, රටවැසියන් ලෙස අප සියලු දෙනාටම බලපෑම් ඇතිකරන පත්වීම් නිසාය. දැනට දශක ගණනාවක සිට විදේශ සේවයට අනේකවිධ හා ගැටලුකාරී පසුබිම් සහිත පුද්ගලයන් පත්කිරීම සාමාන්‍ය දෙයක් බවට පත් වී ඇත. එවැනි පත්වීම්වලට බොහෝ විට පදනම් වන්නේ, ඒ පුද්ගලයන් බලවත් දේශපාලනඥයන් සමග පවත්වන  පුද්ගලික දේශපාලනික සබඳතා මිස, විදේශ සේවය හා සම්බන්ධ අත්දැකීම් ඔවුන්ට තිබේද හෝ ඊට දායක විය හැකි අන් ආකාරයේ වෘත්තීය දැනුමක් හෝ සම්බන්ධතා ජාලයක් ඔවුන් සතුවේ ද යන කාරණා නොවේ. මා ඉහත දැක්වූ මෑතකාලීන පත්වීම් තුන මේ ගැටලුකාරී ප්‍රවණතාව ඉතාමත් පැහැදිලිව විස්තර කරන උදාහරණ වේ.

සරල සංසන්දනයක් සඳහා ඉංදියාවේ විදේශ සේවය දෙස බලන විට පෙනී යන්නේ, එරට තානාපතිවරුන් වශයෙන් හෝ අන් මට්ටම්වල විදේශ සේවා නිලධාරීන් වශයෙන් පත්වීම් ලබන අති බහුතරයක් එම සේවයට බාහිරින් රිංගවූ දේශපාලන පත්වීම් නොවන බවයි. එම සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වසර දෙකකට පමණ පෙර මා හා පැවසුවේ සිය විදේශ සේවයේ දේශපාලන පත්වීම් සියයට දෙකකටත් අඩු බවත්, සැබැවින්ම එවැනි පත්වීම් බොහෝ විට සිදුවන්නේ නැති තරම් බවත්ය. මෙනිසා එරට විදේශ සේවය සාපේක්‍ෂ වශයෙන් දියුණු, වඩාත් වෘත්තීයමය වශයෙන් පුහුණුව ලැබූ, යම් පැහැදිලි විශේෂඥ දැනුම් සම්භාරයක් තමන් සතුකරගත් නිලධාරීන් සමූහයකින් සමන්විත වේ. එමෙන්ම, එකී නිලධාරීහු කාලය පැමිණි විට තම ජ්‍යෙෂ්ඨත්වය අනුව, පූර්ණ බලතල සහිත තානාපතිවරුන් ලෙස ද පත්වීම් ලබති. මෙයින් සිදුව ඇත්තේ බෙහෙවින් වෘත්තීයමය වූ, තම අත්දැකීම්, පුහුණුව හා ජ්‍යෙෂ්ඨත්වය අනුව පත්වීම් ලබන හා උසස්වීම් ලබන පද්ධතියක් ලෙස එරට විදේශ සේවය දියුණුවීමය.

මීට සාපේක්‍ෂ වශයෙන්, අන් දකුණු ආසියානු රටවල් වන පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය හා බංගලිදේශය වැනි රටවල විදේශ සේවාවන් නිරන්තරයෙන් සිදුකරනු ලබන දේශපාලන පත්කිරීම්වල ආදිනව නිසා බෙහෙවින් දුර්වල හා වෘත්තීය නොවන තත්ව විශද කරන තත්ත්වයකට පත්ව තිබේ. එම සේවාවන්හි හැකියාව හා පුහුණුව ඇති නිලධාරීන්ට වඩාත් වගකීම් සහිත පත්වීම් ලැබීම අඩුව ඇත්තේ සහ එවැනි පත්වීම් පමාවන්නේ, විශ්‍රාමික හමුදා නිලධාරීන්, විශ්‍රාමික විදේශ සේවා නිලධාරීන්, පාලකයන්ගේ හිතමිතුරන් හා පාක්‍ෂිකයන් සහ ඔවුන්ගේ දූදරුවන් වැන්නවුන් නිරතුරුවම ඒ තනතුරු සඳහා දේශපාලන පත්වීම් ලබාගන්නා නිසාය. මේ අනුව බලන කල, ලංකාවේ තත්කාලීන විදේශ සේවය වඩාත් සමාන වන්නේ ඉංදියාවට නොව, ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අතිවිශාල ගැටලු මතුව ඇති ඉහත සඳහන් කළ අන් රටවලටය.

ලංකාව සම්බන්ධයෙන් වඩාත් අවාසනාවන්ත කාරණය වන්නේ තම සේවයට, තම අමාත්‍යාංශයට හා තම පොදු වෘත්තීය අනාගතයට මෙයින් සිදුව ඇති හානිය පිළිබඳව මේ නිලධාරීන් කිසිවිටකත් පසුගිය දශක ගණනාවක කාලය තුළ තම හඬ අවදිකළ බවක් නොපෙනෙන නිසාය. මෙනිසා සිදුව ඇත්තේ, ලංකාවේ විදේශ සේවය දේශපාලනඥයන්ට රිසි පරිදි මහජන වියදමෙන් තම හිතවතුන්ට පත්වීම් ලබාදිය හැකි දේශපාලන තිප්පොළක් ලෙස ආයතනගතවී තිබීමය. එය තමන්ගේ යථාවේ අනිවාර්ය කොටසක් යැයි මේ නිලධාරීන් ද පිළිගෙන ඇති බවක් පෙනේ. මේ අවාසනාවන්ත තත්ත්වය නිසා සිදුව ඇති අන් හානිය නම් ශ්‍රී ලංකා විදේශ සේවයේ යම් යම් රටවල් පිළිබඳ නිපුණතාවන් හා විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන් පැළැන්තියක් බිහිවී නොතිබීමය. මෙයින් මා අදහස් කරන්නේ, යම් අවස්ථාවක තමන්    

සේවය කරන රටක ඇති සරසවියකින් කුමක් හෝ උපාධියක් ලබා ගැනීම හෝ යම් රටක වසර කීපයක් හෝ කිහිප වරක් සේවය කිරීම නිසා ඒ රටවල් පිළිබඳ යම් ආකාරයක අහඹු විශේෂඥයන් සේ සැලකීම හෝ නොවේ. මෙමගින් මා අදහස් කරන්නේ, ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මත සහ භූ-දේශපාලනික අවශ්‍යතා මත පැහැදිලිව පදනම්ව වඩාත් වැදගත් යැයි තීරණය කළ රටවල් පිළිබඳ ගැඹුරු හා විධිමත් දැනුමක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාව හා එවන් දේ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමය. උදාහරණයක් වශයෙන් චීනය, ඉංදියාව, ඔස්ටේ්‍රලියාව, ඇමරිකා එක්සත් ජනපද හෝ යුරෝපා සංගමය ආදි කලාප පිළිබඳ විශේෂඥ දැනුමක් සම්පාදනය කළ, එම රටවල් පිළිබඳ පර්යේෂණ කළ හා එසේ සම්පාදිත දැනුම ප්‍රකාශයට පත් කළ සහ එම කලාපවල භාෂා මැනැවින් ප්‍රගුණ කළ නිලධාරී තන්ත්‍රයක යාවත්කාලීන අවශ්‍යතාවයි. එනමුත් මෙවැනි දීර්ඝකාලීන වෘත්තීය අවශ්‍යතා ගැන ගැඹුරින් සිතා බලා කටයුතු කළ හැක්කේ හා ඒවාට අවැසි පහසුකම් සැපයිය හැක්කේ එම සේවාව වෘත්තීය සේවාවක් සේ සලකන්නේ නම් පමණි.

නිරන්තර දේශපාලන පත්කිරීම් නිසා ඕනෑම රටක විදේශ සේවයේ කාර්යක්‍ෂමතාව හා වෘත්තීයමය බව වියැකී යාම නවතාලිය නොහැක. එය දකුණු ආසියානු කලාපයේ හා අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් මෙන්ම ඇමරිකා එක්සත් ජනපද සම්බන්ධයෙන් අද දින පවතින තත්ත්ව යටතේ පැහැදිලිව පෙනෙන කාරණයක්ය.

මෙයින් මා අදහස් කරන්නේ දේශපාලන පත්කිරීම් කිසි විටෙකත් සිදුනොකළ යුතුය යන්න නොවේ. පැහැදිලි සමාජ-දේශපාලන සන්දර්භ තුළ, යම් පැහැදිලි කොන්දේසි හා නිර්ණායක යටතේ හඳුනාගත් අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා බුද්ධිමත් දේශපාලන පත්කිරීම් අතිශයින් ප්‍රයෝජනවත් විය හැකිය. මෙයින් මා අදහස් කරන්නේ, යම් රටවල් පිළිබඳ හෝ ඒ රටවල ව්‍යාපාරික හෝ දේශපාලන ක්‍ෂේත්‍ර පිළිබඳ සප්‍රමාණික දැනුමක් ඇති විශේෂඥයෝ සිටිත් නම්, අවශ්‍ය විටදී යම් පැහැදිලි කාලසීමාවකට තානාපතිවරුන් ලෙස හෝ විදේශ සේවයේ අන් තානාන්තර සඳහා පත්කිරීම බෙහෙවින් ප්‍රයෝජනවත් විය හැකි බවයි. මීට මෑත අතීතයෙන් සපයා ගත හැකි අගනා උදාහරණයක් වන්නේ, පුරාවිද්‍යාඥ මහාචාර්ය සුදර්ශන් සෙනෙවිරත්න මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා විසින් 2014 දී නව දිල්ලියේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා ලෙස පත් කිරීමය. ඔහු විදේශ සේවයට පිටස්තරයෙකු වුව ද, ඉංදියාවේ දශකයක පමණ කාලයක් මුළුල්ලේ සිය උසස් අධ්‍යාපනය සඳහා 1970 දශකයේ රැඳී සිටීම ඔස්සේ ඉංදීය සමාජ-සංස්කෘතික, අධ්‍යාපනික හා දේශපාලන ක්‍ෂේත්‍රවල පුළුල් සබඳතා ජාලයක් ගොඩ නගාගෙන තිබුනි. මෙය මහා කොමසාරිස්වරයෙකු සේ සේවය කිරීමේදී අතිශයින් ප්‍රයෝජනවත් වන මූලාශ්‍රයක් බව නොකිව මනාය. මෑත කාලීන දේශපාලනික පත්වීම් අතර පරමාදර්ශී හා දුර්ලභ පත්වීමක් වූ මෙය රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් හදිසියේ අවලංගු කර දැමීය. මෙනිසා, මහාචාර්ය සෙනෙවිරත්නගෙන් ශ්‍රී ලංකාවේ ඉංදීය ප්‍රතිපත්තිය සුත්‍රගත කිරීමේදී ලබාගත හැකිව තිබූ ප්‍රයෝජනය මෙරටට ලබා ගත නොහැකි වීය.

කෙසේ වෙතත්, මෙවැනි තාර්කික පදනමක් ඉහත මා දැක්වූ උදාහරණ තුන හා අන් තත්කාලීන දේශපාලනික පත්කිරීම් සම්බන්ධයෙන් දැකගත නොහැක. රෝහණ බැද්දගේ මාලදිවයින හෝ ඉංදීය සාගර කලාපයේ දේශපාලනය පිළිබඳ විශේෂ දැනුමක් ඇති අයෙකු ලෙස අප දන්නේ නැත. එමෙන්ම, මහාචාර්ය නලින් ද සිල්වාගේ අති විශාල ලිඛිත සාහිත්‍යයෙන් හා දේශනවලින් ඔහු මියැන්මාරය හෝ නැගෙනහි ආසියාකරයේ දේශපාලනය හා සංස්කෘතික ප්‍රවණතා පිළිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෙකු සේ නොපෙනේ. මනෝරි උනම්බුව මහත්මිය සිය පත්වීම ලබන්නට කෙටි කලකට පෙර, ස්විට්සර්ලන්ත රජයට  එරෙහිව සිය පුද්ගලික ෆේස් බුක් ගිණුම ඔස්සේ එල්ල කළ වාග් ප්‍රහාරය පැහැදිලි කරන්නේ ඇය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන් පිළිබඳ හෝඩි පොත හෝ කියවා නොමැති බවයි. එක් රාජ්‍යයක් තවත් රාජ්‍යයකට එරෙහිව රාජ්‍යතාන්ත්‍රික තත්ත්ව යටතේ අදහස් දක්වන්නේ පිළිගත් සම්ප්‍රදායන් අනුව මිස, රස්තියාදුකාරයන් විලසින් නොවේ.

මෙවැනි පත්කිරීම් ශ්‍රී ලංකාවේ විදේශ සේවය  තවදුරටත් බුද්ධිමය වශයෙන් දරිද්‍ර කරන අතරම එම සේවයේ සිටින පූර්ණකාලීන නිලධාරීන්ගේ පුහුණුවට, අත්දැකීම් ක්‍ෂේත්‍රය හා උසස්වීම්වලට ද අනවශ්‍ය බාධා පමුණුවයි. එමෙන්ම, පසුගිය ජනාධිපතිවරණයේදී සහ මෑතකදී පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී පොදු ජන එක්සත් පෙරමුණේ වැදගත් සටන් පාඨ වූ ‘සුදුස්සන්ට සුදුසු තැන දීම’ සහ ‘වෘත්තීයමය හා විද්‍යාත්මක පදනමක් මත රාජ්‍ය පාලනය සැකසීම’ වැනි බෙහෙවින් අගය කළ හැකි අදහස් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිෂේධනය වී හුදු පුස්සක් පමණක් බවට පත්වී ඇත. මෙවන් තත්ව යටතේ, අපට උරුමවන්නේ අපගේ සාමූහික ජාත්‍යන්තර අවශ්‍යතාවලට උරදිය හැකි කාර්යක්‍ෂම හා ප්‍රබල  විදේශ සේවයක් නොව, අකා මකා දමන ලද විදේශ සේවා විගඩමක් පමණි. ■