‘අපිට නම් මොකක් හරි මෙහෙයුමකට හරි රෝගීන් ඉන්නවායි කියන යන ගමකට යන්න කිව්වාම, එතැනට අපේ ආරක්ෂාව තහවුරු කරගෙන යන්න ඇඳුමක් නැත්තං මාස්ක් එකක් නැත්තං අපිට යන්න බැහැ කියලා යම් සටනක් කරන්න පුළුවන් අපේ ආරක්ෂාව වෙනුවෙන්. නමුත් හමුදා ඛණ්ඩයකට හරි හමුදා සාමාජිකයෙක්ට හරි ඉහළින් නියෝගයක් ආවාම ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව බල බලා ඉන්න බෑ. යන්න වෙනවා. එතකොට ලොක්කෝ ඉහළ බළධාරීන් දැනගන්න  ඕනෑ තමන්ගේ පහළ නිළයන්ගේ ජීවිතවල සුරක්ෂිතතාව සඳහා පියවර ගන්න’ වැලිසර නාවික හමුදා කඳවුරේ සිදුවීම පිළිබඳව විමසීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු දැක්වූ අදහසය.

වැලිසර නාවික කඳවුරේ හමුදා සෙබළුන් පිරිසකට කොවිඞ් 19 වෛරසය ආසාදනය වී ඇති බව සොයාගෙන තිබෙන පසුබිම තුළ එම කඳවුරේ නාවික සෙබළුන් 4000ක් දෙනා නිරෝධායනයට යොමුකර ඇත. මෙම 4000ක ප්‍රමාණය සහ ඔවුන්ගේ පවුල් පිළිබඳව සැලකීමේදී තත්ත්වය සෑහෙන්න බැරෑරුම් ය. මේ වෙනවිට ලංකාවේ වැඩිහිටි ජනගහනය මිලියන 15ක් යැයි කියන පසුබිමක චිත්‍රය බියකරුය!. මෙම සෙබළ මුළුව ඇතුළෙන් කොපමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී නිවාඩු ගනිමින් සිය නිවෙස් සමග සම්බන්ධතා පැවැත්වූවේදැයි තවමත් නිසි සංඛ්‍යා දත්ත නැත. සුදුවැල්ල ප්‍රදේශයෙන් පළමු ආසාදිතයා හමුවීම සහ මේ අතර කාලය සංසන්දනය කළොත් ඔබට තත්ත්වයේ බරපතළකම වැටහී යායුතුය. සමහර වෛද්‍යවරුන් කියන්නේ ලංකාවේ පුද්ගලයන්ගේ ප්‍රතිශක්තීකරණය බෙහෙවින් ඉහළ නිසා වෛරසය සෑහෙන්න කාලයක් ශරීරාභ්‍යන්තරයෙහි රෝග ලක්ෂණවලින් තොරව රැුඳෙන බවය. එහෙම ආසාදිතයන්ට රෝග වාහකයෙකු වන්නට බැරි නැත. එවැනි පුද්ගලයෝ මෙම රෝගකාරක වෛරසය සමාජයට යහමින් මුදාහරිමින් සිටිති. ඒ සියලූ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී මෙම කඳවුරේ සිදුවීම තීරණාත්මකය. මෙය ලංකාව තුළ රෝගය ව්‍යාප්ත වීමේ රේඛාවේ කේන්ද්‍රය විය හැකිය.

මෙම රෝග මර්දනයේදී හමුදා බුද්ධි නිලධාරීන්ගේ සිට විශාල හමුදා භටයන් සංඛ්‍යාවක් යොදාගෙන ඇති බව ආණ්ඩුව කියයි. සමහර රෝගීන්ගේ සම්බන්ධතා ජාලය සොයාගැනීම අරබයා හමුදා බුද්ධි නිලධාරීන් විශාල කාර්යයක් කළ බව සහ කරමින් සිටිනා බව අප පිළිගත යුතුය. එහෙත් මෙම සේවාව සෞඛ්‍ය සේවාවට ඉහළින් ස්ථානගත කිරීම මෙම නාවික කඳවුරේ සිදුවීමටද තරම් දුරට හේතුවක් යැයි සිතිය හැකිය. සෞඛ්‍ය අංශ නිලධාරීන් සහ සේවකයන් මෙම වෛරසය මැඬලීමේ මෙහෙයුම නිසි විද්‍යාත්මක ක්‍රම අනුගමනය කරමින් තමන්ද තම පවුල්වල අයවලූන්ද සුරක්ෂිත වෙන ආකාරයට කරන විට ආරක්ෂක අංශවල සාමාජිකයන්ට එම දැනුම නොමැති නිසා හෝ එම දැනුම ඔවුන්ට ලබාදී නොමැති නිසා ඔවුන් රෝගීන්ට නිරාවරණය වීමෙන් මෙවැනි ගැටලූ ඇතිවෙයි.

මුලින්ම කටුනායක ගුවන්තොටුපළ තුළ සේවය කළ යුද්ධ හමුදා මේජර්වරයෙකුට සහ තවත් පිරිසකට මෙම රෝගකාරක වෛරසය ඇතුළු වීමද නිසි ආරක්ෂිත ක්‍රමයන් අනුගමනය නොකරමින් රෝගීන්ට නිරාවරණය වීම නිසා ඇතිවුණ ආසාදනයන් ය. වැලිසර නාවික හමුදා කඳවුරේ මෙම සිදුවීම සමග එම කඳවුරේ සිට නිවාඩු ගෙන නිවෙස්වලට ගිය සෙබළුන් සැරිසැරුවා යැයි කියන සහ ඔවුන් පදිංචි, පොළොන්නරුව ලංකාපුර ප්‍රදේශය, රත්නපුර බලංගොඩ සහ රක්වාන ප්‍රදේශය, අම්පාර උහන සහ දමන යන ප්‍රදේශවල ගම් වශයෙන් සහ පුද්ගලයන් වශයෙන් නිරෝධායනය කරන්නට පටන්ගෙන ඇත. හඳුනාගත් මෙම ප්‍රදේශ ඉදිරියේදී තවත් විශාල වන්නට පුළුවන් ය. ඒ බොහෝ සෙබළුන් ප්‍රමාණයක් නිවාඩු ලබා නිවෙස්වලට ගොස් ඇති නිසා ය. වෛරස මර්දන වැඩපිළිවෙළ සමග සමීපව කටයුතු කළ ආසාදනයට ලක්වූවායැයි සිතිය හැකි පුද්ගලයන් සමග නිතර ගනුදෙනු කළ මෙම සෙබළුන් මෙලෙස නිවාඩු යැවීමද හමුදාව මෙම රෝගය ගැන සිතන ආකාරය පෙන්නුම් කරයි. මෙම වසංගතය පාලනය කිරීමේ අණ සහ විධානයන් වසංගත රෝග විශේෂඥයන්ගෙන් පැමිණිය යුතු යැයි දිගටම අප හඬ නැඟුවේ මේ නිසා ය. එය එලෙස වූවා නම් මෙවැනි ඛේදවාචකයක් සිදු නොවන්නට ඉඩ තිබුණි.

මෙම රෝගය පාලනය කළා යැයි ආණ්ඩුව කීවත් දැන් වෙලා තියෙන්නේ වෛරස ව්‍යාප්තිය පාලනය කරන්නට යෙදවූ සේවකයන්ම එම වෛරසය සමාජය මත පතුරවන වාහකයන් වීමය. මෙය අප සිතනවාට වඩා භයානක වන්නට පුළුවන් ය.