රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ රැකියා සඳහා මුලින් තෝරා ගත් උපාධිධාරීන් 13,000ක නම්  රැකියා ලබාදීමේ ලේඛනයෙන් ඉවත් කර තිබිණ.  මේ පිළිබඳ මතු වූ විරෝධතාවලින් පසු අගෝස්තු 19 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ නම් ඉවත් කළ අයගෙන් හැකි තරම් පිරිසකට රැකියා ලබාදිය යුතු බවය. එහෙත්, රැකියා අහිමිවෙන බව කී 13,000 දෙනාටම රැකියා ලැබෙන බවට තවම සහතිකයක් නැත. දැන් රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංවිධාන එයට එරෙහි විරෝධතා අරඹා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ පසු මාර්තු 01 වැනිදා උපාධිධාරීන් 50,000 කට රජයේ රැකියා ලබාදීම සඳහා පුහුණුවකට සහහාගි වන ලෙස දක්වමින් ලිපි නිකුත් කර තිබුණි. එහෙත් එම ලිපිය නිකුත් කොට පැය ගණනක් ඇතුළත පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ තීන්දුව ගෙන තිබුණි. ආණ්ඩුව පැත්තෙන් තර්ක කර තිබුණේ රැකියා විරහිත උපාධිධාරීන්ට ලිපි නිකුත් කළේ මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර බවය. කෙසේවෙතත් මාස ගණනක් තිස්සේ පාර්ලිමේන්තුව විසුරුවාහරින දිනය පිළිබඳ සියල්ලන් දැන සිටි නිසා, මෙම ලිපි නිකුත් කිරීම මැතිවරණය ඉලක්ක කරගත් එකක් බවට චෝදනා එල්ල විය.

මහමැතිවරණ සමයේ රජයේ පුහුණුව ලබාදීමක් ලෙස සලකමින් මැතිවරණ කොමිසම පුහුණුව නැවැත්වීම පිළිබඳ සලකා බලන ලෙස ඉල්ලා තිබුණි. එහෙත්, කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයාව සිටි බන්දුල ගුණවර්ධන කියා තිබුණේ ඔවුන්ට පුහුණුව ලබා නොදුන්නත් වැටුප් ගෙවන බවය. එසේ කීවත්, අනිද්දා වෙබ් අඩවියෙන් මීට පෙර හෙළිදරව් කළේ මාර්තු මාසයේ සිට ඔවුන්ට වැටුප් ගෙවා නොතිබුණු බවය.

ඒ අතර සිටි සැලකිය යුතු පිරිසක් මාර්තු මාසයේදී පත්වීම් ලිපි ලැබෙද්දී තමන්ගේ පෙර රැකියාවලින් ඉවත් වී තිබුණි. එහෙත්, වැටුප් නොලැබීම නිසා තමන්ගේ පෙර රැකියාවත් ආණ්ඩුවෙන් දෙනවායැයි කියූ රැකියාවත් අහිමිව අසරණ වී තිබුණි.

එලෙස වැටුප් නොලබා, පත්වීම ගැනත් ස්ථීර අවබෝධයක් නොමැතිව සිටි එම ‘උපාධිධාරී රැකියාලාභීන්’ නැවත සැප්තැම්බර් 02 වැනිදා සිට රැකියාවලට බඳවාගැනීමට තීන්දු කර තිබුණි. එහෙත් එය කර තිබුණේ අගෝස්තු 16 වැනිදා කලින් බඳවාගත් සියලුම පත්වීම් අවලංගු කොට, නිර්ණායක 11ක් යටතේ නැවත ‘සුදුස්සන්’ තෝරාගෙන නැවත පත්වීම් ලබාදෙමින්ය.

ඒ අනුව 13,000ක පිරිසකගේ නම් ඉවත් කර තිබුණි. ඉවත් කිරීම සඳහා හේතු ලෙස ඉදිරිපත් කර තිබුණේ පෞද්ගලික අංශයේ රැකියාවල නිරත වීම, පෞද්ගලික විශ්වවිද්‍යාල හා විදෙස් උපාධි ඇතුළු කරුණුය. සේවක අර්ථසාධක ගිණුම්වල නම් ඇතුළත් වී ඇති අයගේ නම්ද ඉවත් කර ඇති බවද වැඩිදුරටත් සඳහන් කර ඇත. විදෙස් හා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි සහිත උපාධිධාරීන් රැකියා ලැයිස්තුවෙන් ඉවත් කර තිබුණි. ඒ සඳහා හේතු ලෙස දක්වා ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ ලියාපදිංචි නොවූ පදනමය.

පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර මෙම පත්වීම් ලබාදීමේ දී එවැනි කරුණු පරීක්ෂා කර වඩා නිවැරදිව අභ්‍යාසලාභී පත්වීම් ලබාදීමේ හැකියාව සම්මුඛ සාකච්ඡා කළ අයට තිබුණි. එසේනම් කිසිවෙකු අපහසුතාවට පත් වන්නේ නැත.

ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරනු ලැබුවේ පෙබරවාරි 07 දින ය. අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය පෙබරවාරි 20 දිනයය. මාර්තු දෙවැනිදා වන විට අභ්‍යාසලාභී පත්වීම් ලිපි ද නිකුත් කර අවසන්ය. දින 12 ක වැනි කාලයක් තුළ උපාධිධාරීන්  72,000 ක පමණ අයදුම්පත් පරීක්ෂා කර බලා එයින්  සුදුසුකම් ලබා ඇත්තේ  62,000ක් පමණ වන බවට තීරණයක් ගෙන තිබුණි. අප පෙර සඳහන් කළ ආකාරයට මේවා පාර්ලිමේන්තුව විසුරුවීමට පෙර හදිසියේ කළ දේවල්ය. දැන් පෙනෙන ආකාරයට මැතිවරණයට පෙර එම ලිපි නිකුත් කර ඇත්තේ විධිමත් සොයාබැලීමක් නැතිව විය යුතුය.

රැකියා අහිමිවන බව කී 13,000 දෙනා ඇතුළු පත්වීම් ලද උපාධිධාරීන්ගේත්, එම පවුල්වල සාමාජිකයන්ගේත් ඡන්ද රැකියා බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට දෙන්නට ඇතැයි අනුමාන කරන්නටත් සිදුවෙයි. ඒ තම රැකියාව ඡන්දයෙන් පසු ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙනි.

කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව මේ තත්වය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘ආණ්ඩුව උපාධිධාරීන් 50,000ට රැකියා දෙනවා කියන එක මාධ්‍ය සංදර්ශනයක්. 2020 ජනවාරි 01වැනිදා රැකියා නැති උපාධිධාරීන් 54,000ට රැකියා දෙන්න ආණ්ඩුව ජනාධිපතිවරණයේදී පොරොන්දු වුණා. ඩලස් ඇමතිවරයා ජනවාරි 14වැනිදා කිව්වා උපාධිධාරීන් 50,000ට මාර්තුවේ රැකියා දෙනවා කියලා. පත්වීම් ලිපි යැව්වත්, පත්වීම් ලැබුණේ නැ. අප්‍රේල් 07 වැනිදා මහින්ද රාජපක්ෂ කීවා මාර්තු මාසෙ බඳවා ගන්න ලිපි යවපු සියලු දෙනාට ඔවුන්ගේ නිවසේ සිටියත් රුපියල් විසිදහස බැගින් දීමනාවක් සහිතව නැවත රැකියා දෙනවා කියලා. මහ බැංකුවේ වාර්තාවක තියෙනවා මාර්තු මාසයේ රැකියා සඳහා තෝරාගත් සියලු උපාධිධාරීන්ට රුපියල් විසිදහසක පුහුණු දීමනාවක් ඒ මාසයේ ලබාදුන්නා කියලා. එහෙත් සල්ලි ලැබුණු උපාධිධාරීන් නම් නැහැ. කවුද මහ බැංකුවට මේ තොරතුරු දුන්නේ කියලා සොයා බැලිය යුතුයි. පසුගිය කාලෙ රැකියාවක් කරලා ඊටීඒෆ්, ඊපීඒෆ් කපපු අයගේ අයදුම්පත් පවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. 2019 ජනවාරි 01වනදාට පෙර උපාධිය අරගෙන වසරක පමණ කාලයක් රැකියා විරහිතව ඉන්න අයට රැකියා දෙනවා කියලා චක්‍රලේඛයේ තියෙන්නේ. 2019 ජනවාරියේ උපාධිය ගත්තා නම් දිගටම රැකියා විරහිතව සිටිය යුතුයි. මේක ඉතාම අසාධාරණ කොන්දේසියක්. මේ තරුණ තරුණියන් වසරක් ජීවත්වෙන්නෙ හුළං බීලාද? පෞද්ගලික අංශයේ රැකියාවක් තියෙනවා නම් උපාධිධාරීන්ට රැකියා දෙන්නෙ නෑ කියලා ආණ්ඩුව මැතිවරණයේදී කිව්වෙ නැහැ. එසේ නොකියා ඔවුන්ගේ ඡන්දය ගත්තා.’

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඥානානන්ද හිමි අදහස් දක්වමින් පැවසුවේ මෙසේය.

‘අපි ඉල්ලුවේ පත්වීම් ලිපි නොලැබුණු අයට පත්වීම් දෙන්න කියා මිසක් දුන්න පත්වීම් අවලංගු කරන්න කියලා නෙමෙයි. මේක විශාල අර්බුදයක්. මේක නොපෙනෙන ඡන්ද ගුණ්ඩුවක්. මැතිවරණ කාල සීමාව පුරාවටම මැතිවරණ වේදිකාවලදී දේශපාලනඥයන් කිව්වේ  නව පත්වීම් ලබා දුන් මේ උපාධිධාරීන්ව ගෙදර තියාගෙන හරි අපි ඔවුන්ට වැටුප් ගෙවනවා කියලා.  මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්න ප්‍රසිද්ධ කළ පුවත්පත් දැන්වීමේ  උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් කියලා සදහන් කළා. මේ දැන්වීම දුටු උපාධිධාරීන් සහ ඩිප්ලෝමාධාරීන් 120,000 පමණ අයදුම්පත් යොමු කළා. මේ පත්වීම්ලාභීන් දින කිහිපයක් රැකියාවට ගියා. අපි දන්නා විදියට පත්වීම්ලාභීන්  40,092ක් පත්වීම් නාම ලේඛණයෙන් අයින් කරලා තියෙනවා. ඊපීෆ් ගැටලු නිසා 9,554කගේ  නම් නාම ලේඛනයෙන් ඉවත් කරලා. කිසිම ලේඛනයක නම් ඇතුළත් නැති අයත් ඉන්නවා.  අපිට කියන්න තියෙන්නේ  ආණ්ඩුව මැතිවරණය වෙනුවෙන් පත්වීම්ලාභී උපාධිධාරීන් කඬේ යැවුවා කියලා. ඒ අයගේ පවුල්වල අයවත් ඡන්ද ගුණ්ඩු කර ගත්තා. මේ ක්‍රියාවලියෙන් ආණ්ඩුව ලක්ෂ 15 ක විතර ඡන්ද ලබා ගන්න ඇති.’

දැනට රාජ්‍ය සේවය රටේ බදුගෙවන ජනතාවට දරාගත නොහැකි තරම් විශාල බව අපි මීට පෙර සිටම කියා ඇත්තෙමු. වසංගතය නොතිබුණත්, දැවැන්ත ණය බරක් සහ  රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ඇති අසීරුව අමුතුවෙන් විස්තර කළ යුතු නැත. මීට පෙර බඳවාගත් උපාධිධාරීන් රාජකාරියක් තබා මේස, පුටු පවා නොමැතිව කාර්යාලවල සිටි අතීතයත් අමතක නොකළ යුතුය. එවැනි පසුබිමක තේරුමක් නැතිව රාජ්‍ය සේවය පුළුල් කිරීමට මැතිවරණයට පෙර ජනප්‍රිය තීන්දු ගත් ආණ්ඩුව දැන් දහ අතේ කල්පනා කරනවා ඇත්තේ ඔවුන්ට පඩි ගෙවන්නේ කෙසේද, ඔවුන්ගෙන් ලබාගන්නා සේවය කුමක්ද කියා විය යුතුය. අන්තිමේ රස්තියාදු වෙන්නේ උපාධිධාරීන්ය.■