කාලෙකට ඉස්සර වෘත්තය කියලා සතිඅන්ත පත්තර තීරුවක් ලියමින් ඉඳලා නැවැත්තුවා. ඊට පස්සේ පත්තරවලින් තීරු ලිපි ලියන්න කියලා ඉල්ලීම් ආවත් බාරගත්තේ නැත්තේ, පටන් ගත්තොත් නොකඩවා ලියන්න බැඳෙන එක අනවශ්‍ය කරදරයක් වගේ නිසා. ඒ එක්කම හිතට එන අදහසක් මුහුණු පොතේ බෙදා ගන්න පුරුදු වුණ එකත් ඒ උදාසීන ප‍්‍රතිචාරයට හේතුවන්නට ඇති. ඒත් පහුගිය කාලේ පුරා මුහුණු පොතේ ගැවසීමෙන් ලද අත්දැකීම්, ආයෙත් වෘත්තය ලියන්නට මා පෙළඹුවා කිවුවොත් ඒක බොරුවක් නෙවෙයි.


මුහුණු පොත කියන්නේ විවිධ අය ගැවසෙන විවිධ මත ගැටෙන තැනක්. 4/21 ප‍්‍රහාරයෙන් පස්සේ මුහුණු පොතේ බහුතරයක් දෙනා හැසිරුණු විදිය ලොමු දැහැගන්වනසුලූයි. රුධිරයම ඉවකරන ගිජුලිහිණියන්ගේ පාරාදීසයක් ද කියල කෙනෙකුට හිතෙන්න පුළුවන් තරමට එහි භූ දර්ශනය වෙනස් වුණා. සමහරක් වෙනස් වීම් අදහගන්නවත් බැහැ. ආදරය, සමානාත්මතාව, මිනිස්කම ගැන කවි සින්දු ලියන, කියන යහළුවන් පවා වෙනස් වෙලා. මුස්ලිම් කඩ වර්ජනය කරන්න සිංහල පාරිභෝ ගික සංගම් හදන්න කැම්පේන් කරනවා. මුහුණු පොතේ සැරිසරන්නේ බොහෝ විට තරුණ කොටස් නිසා රටේ අනාගතය පිළිබඳ ඇෙ\න මනස් සිතුවම ලේ වැකි එකක් වීම වළකන්නට බැහැ.


මුහුණු පොත අඩු වැඩි වශයෙන් සමාජයේ කැඩපතක් බව පැහැදිලියි. මේ සටහන ලියන මැයි 12 වෙනි ඉරිදා හලාවත නගරයේ නොසන්සුන් තත්වයක් මැඬපවත්වන්න පොලිස් ඇඳිරි නීතිය පනවලා. නොසන්සුන්කමට හේතුව මුස්ලිම් තරුණයෙකු මුහුණු පොතේ තැබූ සටහනක් වැරදි ලෙස කියවා ගැනීමක්. හලාවත කියන්නේ කතෝලික, බෞද්ධ, මුස්ලිම්, හින්දු සංකේත සමබරව මුහුවුණු සුළු නුවරක්. විනෝදයට බර මිනිසුන්ගෙන් පිරි කරදිය මුසු සුළං හමන ‘ආතල්’ අවකාශයක්.


හසාර් හමීඞ් කියන තරුණයා ඉංග‍්‍රීසියෙන් ලියලා තිබුණේ ‘වැඩිය හිනාවෙන්න එපා. දවසක අඬන්න වෙයි.‘ කියලා. ඒ වගේ අවවාදයක් සාමාන්‍ය දවසක නම්, කවුරුත් ඇඟට ගන්න එකක් නෙවෙයි. අප කවුරුත් නිතරම කියන කතාවක්. ඒත් මේ යක්ෂයාගේ හෝරාවයි. ‘උඹලාට අල්ලාගේ පිහිටයි’ කියා කියුවත් එය මරණ වරෙන්තුවක් ලෙසයි වටහා ගනු ඇත්තේ. 4/21 සිට මේ වනතෙක් රටේ ප‍්‍රධාන ජනමාධ්‍ය ප‍්‍රචාරය කළේ බිය සහ බියම පමණයි. බියෙන් තැතිගෙන සිටින ජනකොටසක් සාමාන්‍ය ජීවිතයට යොමු කරවන මාධ්‍ය කාර්යය වෙනුවට බියම වපුරන පිළිවෙත නිසා, රටේ ආර්ථිකය ඇතුළු සමස්ත ජන ජීවිතයම අවුල් ජාලාවක් කරන්නට මේ මාධ්‍ය මෙහෙවර සමත් වෙලා. විසඳුම මාධ්‍ය පාලනයක් කියලා කෙනෙකුට යෝජනා කරන්න පුළුවනි. එහෙත් එවැනි පියවරක් ඊට වඩා අන්ත ප‍්‍රතිඵල ගෙන දිය හැකියි. අවශ්‍ය වන්නේ වගකීම් සහගත මාධ්‍ය හැසිරීමක්.


2015 නොවැම්බරයේ, ප‍්‍රංශයේ සෙන්ට් ඩෙනිස් ක‍්‍රීඩාංගණ පරිශ‍්‍රයේ මරාගන මැරෙන ප‍්‍රහාරය ද ඇතුළු පැරිස් නගරයේ තැන් කිහිපයකට අයිඑස් ත‍්‍රස්තවාදීන් එල්ල කල ඒකාබද්ධ ප‍්‍රහාරය ලංකාවේ ප‍්‍රහාරයට සමාන එකක්. පැවතෙමින් තිබු ප‍්‍රංශ-ජර්මන් පාපන්දු තරගය නැරඹීමට පැමිණි එවකට ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්දේ ( Francis Hollande ද ඇතුළුව දහස් ගණන් නරඹන්නන්ගෙන් ක‍්‍රීඩාංගණය පිරී තිබුණා. බෝම්බය පිපිරුණේ සැකකටයුතු තරුණයන් දෙදෙනෙකුට ක‍්‍රීඩාංගණ පරිශ‍්‍රයට ඇතුළුවීමට ඉඩ නොදීම නිසා පුපුරුවා ගැනීමෙන්. පැරිස් වැසියන් අත්විඳි පළමු මරාගන මැරෙන අත්දැකීම එයයි. සියගණනකට මරු කැඳවමින් එවැනි සිවු ගුණයකට බරපතල තුවාල සිදුකරමින් පැරීසිය ත‍්‍රස්ත කළ එම සිදුවීමෙන් ජන ජීවිතය අඩාල වූයේ දිනකිහිපයකට පමණයි. ජනතාව අතර භීතිය සැකය සහ වෛරය වපුරනු වෙනුවට ප‍්‍රංශ ජනමාධ්‍ය යුහුසුළු වුණේ හැකි ඉක්මනින් ජන මනස සාමාන්‍ය අතට පත්කරන්නටයි. ආණ්ඩුවට පුවත් වාරණයක් හෝ සමාජ ජාල පාලනයක් සිදුකරන්නට අවශ්‍ය වුණේ නැහැ. මාධ්‍ය සහජයෙන් ම හැසිරෙන්නේ කිසියම් ආචාරධාර්මික සංග‍්‍රහයකට යටත්වයි. දින කිහිපයක ඇවෑමෙන් පැරීසිය ඇතුළු ප‍්‍රංශය සාමාන්‍ය තත්වයට පත් වුණා. වීදිවල ජනතාව එකිනෙකා මරාගන්නා තත්වයකට පත් වුණේ නැහැ.


අයිඑස් ත‍්‍රස්ත ප‍්‍රහාරයන්ට අරමුදල් එන්නේ, ගමේ හංදියේ අහිංසක මුස්ලිම් මුදලාලිලාගෙන් නෙවෙයි. ලංකාවේ ලොකු ව්‍යාපාරිකයන්ගෙනුත් නෙවෙයි. එය ජාත්‍යන්තර ජාලයක්. ප‍්‍රංශ ප‍්‍රහාරය පිටිපස්සේ ලෝක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හිටියා කියලා පසුව හොයාගත්තා. ත‍්‍රස්තවාදයයි, මත්ද්‍රව්‍ය වෙළඳාමයි එකට බැඳුණු ව්‍යාපාර සන්ධානයක්. තමන් එක්ක පුංචි කාලේ ඉඳන් එකට හැදුණු මුස්ලිම් යහළුවා යෙහෙළිය දිහා සැකෙන් බලලා ඔවුන් තමන්ගෙන් ඈත්කරන එක මෝඩකමක්. පුත්තලම ප‍්‍රාදේශීය කාර්යාලයේ සිංහල නිලධාරීන්, කාන්තාවන්ට ‘පාර්දාව‘ ඇඳගන එන්න එපා කියල බල කරලා. ඒ අය ඒක ප‍්‍රතික්ෂේප කරලා. එකට විරෝධය දක්වලා සේවකයෝ වැඩ වරලා. මෙය බලහත්කාරයක්. ආරක්ෂක හේතු නිසා නීතියෙන් තහනම් කෙරුණේ මුහුණ වසාගන එන ඇඳුම. බුර්කාව. වෙන තහනමක් නැහැ.


මේ වෙලාවේ සාමාන්‍ය මුස්ලිම් ප‍්‍රජාව ඉතාමත් අසරණයි. ඔවුනට පාරේ බැහැලා යන්න බැරි වාතාවරණයක් හදලා ජීවිතේ එපා කරවන එක නෙවෙයි නුවණැ’ති කටයුත්ත. එහෙම වෙන අයව බාරගන්න ත‍්‍රස්තවාදය දෑත් දිගුකරගන ඉන්නවා. 83 සිද්ධීන්ගෙන් පස්සේ එල්ටීටීඊ එකට දරාගන්න බැරි තරම් දෙමළ තරුණයින් පිරිසක් සංවිධානයට බැඳෙන්න ඉදිරිපත් වුණාලූ. 4/21 ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ත‍්‍රස්ත වුණේ සිංහල දෙමළ ජනකොටස් විතරක් නෙවෙයි. සාමාන්‍ය මුස්ලිම් ජනකොටසුත් ත‍්‍රස්ත වුණා. ඔවුන්ව දිනා ගැනීම තුළ පමණයි ත‍්‍රස්තවාදය පරාජය කළ හැක්කේ.
ඒ එක්කම අපි තේරුම් ගන්න ඕනෑ, ලංකාව කියන්නේ පුංචි ජනගහනයක් ඉන්න පුංචි රටක් බව. ලෝකයෙන් හුදකලා වෙලා, අපේ ප‍්‍රශ්න අපටම විසඳාගන්න පුළුවන් වගේ චණ්ඩි කතා කියලා මේ තර්ජනයෙන් ගැලවෙන්න බැහැ. මුහුණු පොත් භාෂාවෙන් ඒ වගේ කතා සිඟිති ආතල් කතා. අයිඑස් ත‍්‍රස්තවාදයට විරුද්ධව හැප්පෙන්න යුදමය හයියක් වත් ආර්ථික හයියක් වත් අපට නැහැ. අපට මේ සඳහා කලාපීය මෙන්ම, ගෝලීය බල කේන්ද්‍රයන් එක්ක උපායමාර්ගිකව සන්ධානගත වන්නට වෙනවා. ඒ එක්කම අභ්‍යන්තරිකව අප ශ‍්‍රී ලාංකික දෙමළ, මුස්ලිම් ආදි සුළු ජාතික කණ්ඩායම්වල විශ්වාසය දිනා ගන්න කටයුතු කරන්න වෙනවා.


ලංකාවේ ප‍්‍රධාන ජනමාධ්‍ය හැසිරීම ප‍්‍රංශයේ මාධ්‍ය හැසිරීමට වඩා හාත්පසින්ම වෙනස්. ජුගුප්සාජනකයි. විශ්වාසය බලාපොරොත්තුව වෙනුවට, සැකය අපේක්ෂා භංගත්වය ම වපුරනවා. මේ මාධ්‍ය ආයතනවල වැඩ කරන්නේ අප දන්නා හඳුනන අය. ලජ්ජා හිතෙනවා. මුහුණු පොත ඊට නොදෙවෙනි නැහැ.


ලංකාවේ මුහුණු පොත් සාමාජිකයන් හරහා සත්‍යය වෙනුවට ඉතා නිර්මාණාත්මකව ගොඩනගන බොරුව සමාජගත වෙන ආක‍්‍රමණශීලී විලාසය ලොමු දැහැගන්වනසුලූයි. බොහෝ ප‍්‍රවෘත්ති සාවද්‍ය ගොඩනැංවීම් වන අතරම, ඒවා සමඟ පළවන ඡුායාරූප ද වෙන රටක හෝ වෙන සිදුවීමකට අදාළ ඒවා. ඒ නිසා මුහුණු පොතේ පළවන විෂමුසු ප‍්‍රවෘත්තියක් සමඟ පළවන ඡුායාරූපයක ඇත්ත සන්දර්භය හොයා ගන්න ඒ ඡායාරූපය ඨදදටකැ ඍැඩැරිැ ෂප්ටැ ීැ්රජය මගින් පෙරාගන්න වෙලා. බැලූ බැල්මට ලංකාව කියන්නේ තොරතුරු සාක්ෂරතාව හීන සමාජයක්. තමන් කරා එන තොරතුරුවල නිරවද්‍යතාව තක්සේරු කර බාර ගන්න හික්මීමක් නැහැ. හැම එකක් ම ඇත්ත කියලා හිතාගෙන ප‍්‍රතික‍්‍රියා දක්වනවා.


අතිශය කනගාටුවට සහ විස්මයට කාරණාව තමයි, සමාජ ජාලා හරහා පැතිරෙන ඇතැම් බේගල් වැඩිපුරම විශ්වාසකරන්නේ උගත් යයි සැලකෙන වෘත්තිකයන්. පසුගිය දවස්වල යූ-ටියුබ් වීඩියෝවක් සංසරණය වුණා ‘කුරානයට අනුව නිවැරදිව ගැහැනියට (බිරිඳට*) පහරදෙන්නේ කොහොමද’ කියන ශීර්ෂය යටතේ මුස්ලිම් මවුලාවරයෙක් විස්තරකරන විදිය. මා සමඟ ඒක බෙදා ගත් කෙනා මට එවලා තිබුණේ ‘මුන් මහා තිරිසන්නු’ කියලා ඔහුගේ උද්ධෘතයක් එක්ක. ඒත් වීඩියෝව බලපුවහම තමයි තේරුණේ ඒ පූජකයා නොකියා කියන්නේ ‘වරදකට හෝ ගැහැනියකට රිදීමක් දැනෙන සේ පහරදෙන්න කාටවත් අයිතියක් නැහැ’ කියන එක කියලා. මට ඒක එවලා තිබුණේ උපාධිධරයෙක්.


කෙනෙකුට ඇහෙන්නේ කෙනෙක් ‘කියන’ දේ නෙවෙයි. ඔහුට අහන්න වුවමනා දෙයයි. දකින්නේ පෙන්වන දේ නෙවෙයි, බලන්න වුවමනා දෙයයි. ඒ නිසා ප‍්‍රචණ්ඩ ලෙස ක‍්‍රියාශීලී කිහිප දෙනෙකුට පුළුවන් බොහෝ දෙනෙකු නොමග යවන්න.


ජාතිවාදය කියන එක ශිෂ්ටත්වය විසින් යටපත් කළ තිරිසන් මනෝභාවයක්. අනාරක්ෂිත බව පිළිබඳ භීතිකාව නිසා පොඩි ඉඩක් තුළ එයට හිස ඔසවන්න පුළුවන්. ඒකයි අපි අනෙකාගේ ආරක්ෂාව සහතික කළ යුතු වන්නේ. සඟවා යටපත්ව ඉන්න තිරිසනා බිය නිසා හිස එසවුවොත්, ඌ දෂ්ට කරන්න පුළුවන්. යක්ෂයා යළිත් හිස ඔසවන්න දඟලනවා. බියජනක සටන් බිමේ බලාපොරොත්තු සිඳ නොගෙන මනුෂ්‍යත්වය වෙනුවෙන් ධෛර්යයෙන් සටන් වදින කිහිපදෙනෙකු නිසා, දත් විලිස්සාගන එන යක්ෂයාගේ ග‍්‍රහණයට මනුෂ්‍යත්වය සහමුලින්ම යටවෙලා නැහැ.


මේ සටහන ලියන්න පටන් ගත්තේ 12 වෙනිදා රාත‍්‍රියේ. දැන් මේ අවසන් කරන 13 වෙනිදා රාත‍්‍රිය වෙනකොට මුළු රටටම ඇඳිරිනීතිය. ඇඳිරිනීතිය අස්සේ මුස්ලිම් පල්ලි කිහිපයකට, ගෙවල්වලට, කඩ සාප්පුවලට, පුද්ගලයන්ට පහර දීලා කියලා විදෙස් මාධ්‍යවල වාර්තා වුණා. රට පවතින්නේ හදිසි තත්වයක් යටතේ. ඒත් 83 වගේ කැලේ නීතිය රජකරන්න පටන් අරන්. ආසියානු ශිෂ්ටාචාරයේ වසර දහස් ගණනක් පැරණි කඳුළු බිංදුවට ගිනි ඇවිලෙන්න ඇරලා රටේ නායකයා ගිහින් ආසියානු ශිෂ්ටාචාර සමුළුවට චීනෙට! x

x අශෝක හඳගම