ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

පළවැනි වතාවට පත්තරයක වැඩට එද්දී සුනිල් මාධව ඔබව ඉන් ටවීව් කළ විදිය අපූරුයි නේද?
‘ලක්ජන’ පත්තරේ පටන්ගනිද්දී මම විශ්වවිද්‍යාලයේ මුල් වසරේ හිටියේ. සුනිල් අයියාට කෝල් කළාම, ඔහු මට එන්න කිව්වා. මම පළවැනිම දවසේ යද්දී කට්ටිය බොන ගමන් හිටියේ. මාව දැකලා, ආ මේ අලු‍ත් එක්කෙනෙක්. මූටත් වීදුරුවක් ගෙනෙං කියලා මාව බොන්න ඉන්දවගත්තා. අන්න එහෙම තමයි මාව වැඩට බඳවාගත්තේ.

සුනිල් මාධවලාගේ පරම්පරාවේ මාධ්‍යවේදීන් ගැන
දැන් හිතෙන්නේ මොක ක්ද?

සමස්තයක් විදියට මාධ්‍ය ක්ෂේත්‍රයේ මට තියෙන අත්දැකීම් ප්‍රමාණය අනුව නම් මට පරම්පරා දෙකක පැහැදිලි වෙනසක් පෙනෙනවා. අපට පෙර පරම්පරාව හා අපට පසු පරම්පරාව විදියට. ඒ කාලයේ පත්තර වෙනුවෙන් ලොකු කැපකිරීම් කළ අය හිටියා. හැම සතියේම පත්තරය කරලා බෝතලයක් වටේට ඉඳගන්න තරම් උණුසුම් බැඳීමක් තිබුණා. කාර්යාලයට එන නිශ්චිත වෙලාවක් තිබුණේ නැහැ. නිදහසක් තිබුණා. ඒත් ඒ නිදහස අයුතු විදියට පාවිච්චි කරලා, වැඩ මඟහැරියේ නැහැ. හැමෝම වගකීම් පවරාගත්තා. කැපකිරීම් කළා. විනෝදාංශයක් විදියට මේ රැකියාව වින්දා. ඒත් අපට පස්සේ පරම්පරාව කිසිම දෙයක් ගැන වගකීම ගන්නේත් නැහැ. වෘත්තීය ගරුත්වයකුත් නැහැ. අඩු තරමේ තමන්ටම කියලා මතයක්වත් නැහැ. මේක කීයක් හරි උපයාගන්නට කරන රස්සාවක් විතරයි. මම මේ පරම්පරා දෙක එක්කම වැඩ කරලා තියෙනවා. වැඩිපුර කැමති කලින් පරම්පරාවට.

‘අද දෙරණ’ වගේ ප්‍රධාන ධාරාවේ වෙබ් අඩවියක වැඩ කිරීම මොන වගේ අත්දැකීමක්ද?
දැන් වුණත් ගිහින් බලන්න පුළුවන්, 2009 අගෝස්තු 17 සිට 2017 අගෝස්තු 17 දක්වා කාලසීමාව තුළ දෙරණ වෙබ් අඩවියේ ප්‍රවෘත්ති දාලා තියෙන විදිය. වෙබ් අඩවියේ හැඩය තීරණය කිරීම මට පැවරිලා තිබුණා. මට ඔන්ලයින් මාධ්‍ය ගැන අත්දැකීම් තිබුණේ නැහැ. ලංකාවේත් ඊ නිව්ස්, ලංකාදීප වෙබ් අඩවි විතරයි තිබුණේ. මම ලෝකයේ දේවල් බලලා, යෝජනා කළ දෙයක් තමයි ලංකා ඊ නිව්ස් වගේ දේශපාලන ඔපීනියන් නැතිව ප්‍රවෘත්ති විතරක් පළකරමු කියලා. යම් සිදුවීමක් ක්ෂණිකව වාර්තා කළ යුතු බව මම යෝජනා කළා. සමහරවිට පළවැනිම විනාඩියේදී ප්‍රවෘත්තිය වාක්‍ය දෙකකින් විතරක් සමන්විත වෙන්න ඕනෑ කියලා මම හිතුවා. වෙබ් අඩවිය සාර්ථක වුණා.
මට සිද්ධි දෙකක් කියන්න පුළු‍වන්. රතුපස්වල සිදුවීම වෙලාවේදී අනෙක් මාධ්‍ය වාර්තා කළේ රබර් උණ්ඩවලින් වෙඩි තැබුවා කියලායි. ඒත් ගම්පහ මාධ්‍යවේදියා මට කිව්වා මේවා රබර් උණ්ඩ නෙවෙයි, ඇත්ත උණ්ඩ කියලා. මම ඒ වෙලාවේම තීරණ ගන්නා තැන ඉන්න ප්‍රධානියාව මුණගැහුණා. සිදුවීම කිව්වා. ඔහු ඇහුවා විෂුවල් තියෙනවාද කියලා. ඔව් කියලා පිළිතුරු දුන්නාම, එහෙනම් ප්‍රවෘත්තිය ගහන්න කිව්වා. අපි තමයි මුලින්ම, ඒ සිදුවීම ඒ විදියට වාර්තා කළේ. අන්තිමටම සිදුවීමක් වුණා. සරත් ෆොන්සේකා ලසන්ත වික්‍රමතුංග ගැන ලබාදුන්න කටඋත්තරය. ඒක ප්‍රධාන මාධ්‍ය බොහොමයක් වාර්තා කළේ නැහැ. ඒ ප්‍රවෘත්තිය අනෙක් මාධ්‍ය වාර්තා නොකළ නිසා මගෙන් ඒ ගැන ප්‍රශ්න කළා. මම ආයතනයෙන් ඉවත්වෙන්න හේතුවුණ සිදුවීම් අතර ඒ ගැන ප්‍රශ්න කිරීමේ සිදුවීම තිබුණා. මම වැඩකළ අවුරුදු අට ඇතුළේ වෙබ් අඩවිය ලාභ ලැබුවා. ලොකු ඇඟිලි ගැසීම් තිබුණේත් නැහැ. ඒ වගේම මම වැඩ පටන්ගනිද්දී වැඩ කරන විදිය ගැන එකඟතාවක් හදාගත්තා. වෙබ් අඩවියේ ලාභය යන්නේ කාටද කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒත් වෘත්තීයමය විදියට වෙබ් අඩවියක් කරන්න මට අවස්ථාව තිබුණා. ඒ කාලයේදී පුවත්පත්වලට මගේ දේශපාලන අදහස් ලිව්වා. ඒකටත් නිදහස තිබුණා.

වෘත්තිකභාවයක් හා ප්‍රතිපත්තියක් ඇතිව වැඩ කරනවා නම් කුමන ආයතනයක වුණත් ස්වාධීන මාධ්‍යවේදියෙක් විදියට වැඩ කරන්න ඉඩ තියෙනවා නේද?
ඒක තමයි මම කලිනුත් කිව්වේ. අපට තියෙන සීමාව ඇතුළේ උපරිමය කරන්නත්, අකමැති දේවල් නොකර ඉන්නත් මාධ්‍යවේදියෙකුට අවස්ථාව තියෙනවා. ඒ අවස්ථාව පාවිච්චි කරනවාද කියන එකයි ප්‍රශ්නය. මට රාජ්‍ය මාධ්‍ය ඇතුළේත් ඒ වගේ අත්දැකීම් තිබුණා. මට මතකයි, යුද්ධය කාලයේ උතුරෙන් ඇවිත් කොළඹ ලොජ්වල නැවතිලා ඉන්න අයව ඉවත් කරවන්න අධිකරණ තීන්දුවක් තිබුණා. ලොජ්වල හිටපු අය ත්‍රස්තවාදීන්, ඒ අයව එළවන්න ඕනෑ වගේ මතයක් හැදිලා තිබුණා. ආණ්ඩුව ප්‍රවර්ධනය කළේත් ඒ මතවාදය. ඒ දවස්වල දිනමිණ පත්තරයේ මම පිටුවක් සංස්කරණය කළා. කර්තෘ මහින්ද අබේසුන්දර. මම ලොජ්වල හිටපු අයව මුණගැහුණා. එයාලාගෙන් ඇහුවා ලොජ්වල ඉන්නෙ ඇයි කියලා. එයාලා කොළඹ එන්නේ තමන්ගේ විවිධ වැඩ කරගන්න. බෙහෙත් ගන්න, පාස්පෝට් හෝ අයිඩෙන්ටිටි හදාගන්න. මුර ක්‍රමයට නිදාගන්නේ. එක්කෙනෙක් නිදාගනිද්දී තව කෙනෙක් නැඟිටලා ඉන්නවා. මම ඒ මිනිස් රාක්කවල ෆොටෝ ගත්තා. ලිපියේ මාතෘකාව වුණේ ලොජ් යනු මොනවාද කියලා. ඉන්පස්සේ කොළඹ මහනගර සභාවේ හිටපු ලොජ් ලියාපදිංචි කිරීම භාර නිලධාරියාව ඉන්ටවීව් කළා. ලොජ් එකක් නීත්‍යනුකූලද නැද්ද? එතකොට ඔහු කියනවා මේක නීතිවිරෝධී දෙයක් නෙවෙයි කියලා. මේ ලිපියට මහින්ද අබේසුන්දර පවා අනුමැතිය ලබාදුන්නා. ඒක පළවුණා.

ඔබේ නවකතා අයිති වෙන්නේ ‘අල්පෝක්තිකවාදය’ කියන ශානරයට නේද?
යොවුන් නවකථා කියන්නේ එක වයස් සීමාවකට සීමාවුණ ප්‍රශ්න කතාකිරීමම නෙවෙයි. සමහරවිට ඔවුන් වැඩිහිටියන්ගේ ප්‍රශ්නවල ගොදුරු. ඒ නිසා වැඩිහිටියන්ගේ ලෝකයට අදාළ දේවල් යොවුන් පරම්පරාවට දැනෙන්නේ කොහොමද කියන තැන හිටගෙන තමයි ලියන්නේ. අර්නස්ට් හෙමිංවේගෙන් තමයි මේ ශානරය ආ බව කියන්නේ. ඔහු ලෝක යුද්ධයට සෙබලෙක් හැටියට යුද පෙරමුණට සම්බන්ධ වුණ කෙනෙක්. පස්සේ ඔහු මාධ්‍යවේදියෙක් විදියට යුද වාර්තාකරණයට යනවා. එතකොට ඔහුට යුද පෙරමුණේ සිදුවෙන සියලු‍ දේවල් ලියන්න බැහැ. සීමාවක් තියෙනවා. ඒත් ඒ සීමාව ඇතුළේ, යම් දැනුමක් තියෙන අයට සම්පූර්ණ කතාව කියවාගන්න පුළුවන්. අයිස් කන්දක් වගේ. කොටසක් තමයි දියෙන් උඩ තියෙන්නේ. වැඩි කොටසක් තියෙන්නේ දියෙන් යට. එහෙත් උඩ කොටස දකින කෙනෙක්ට යට තියෙන කොටස ගැන අවබෝධයක් හදාගන්න පුළුවන්. ඒ අනුව තමයි ඔය අල්පෝක්තිකවාදය කියන එක හැදෙන්නේ. එරික් ඉලයප්ආරච්චි මේකට කියන්නේ ලු‍හුවාදය කියලා. පස්සේ කාලයක තමයි මම ලියපු දේවල් අයිති වෙන්නේ මෙහෙම ශානරයකට කියලා තේරුම් ගත්තේ. ලංකාවේ තියෙන්නේ ආදර්ශ කතා සහ ළමා වීරයන්ගේ කතා. ඒ හැරුණුකොට සයිමන් නවගත්තේගම, කේ.කේ. සමන් කුමාර වගේ කිහිපදෙනෙක් වෙනස් යොවුන් නවකතා ලියලා තිබුණා. ළමා මනසින් මෙවැනි කතාවක් කියවන්න පුළුවන්. ඕනෑ නම් ළමයින් විසින් වැඩිහිටි ලෝකය ප්‍රශ්න කරන විදිය ගැන ගැඹුරු කියවීමකට යන්නත් පුළුවන්.■