ටැබූ සබ්ජෙක්ට්ස්

පළවෙන්ට නියමිත දිනට තරමක් පළමුව ලේඛකයා මේ සටහන අකුරු කරන්නේ ගං වතුර එහි කූඨප‍්‍රාප්තියට ළඟා වී ඇති අවස්ථාවේය. පාඨකයා මෙය කියවන විට ගංවතුර බැස ගොස් ඇත්තාක් වන්ට පිළිවන. එසේ වුව මාතෘකාවෙහි ඇති වැදගත්කම එබැවින් ලඝු නොවේ. එසේම 2018 ගං වතුර 2017 ගං වතුරට වඩා අඩු විපාක දුන් බවද ප‍්‍රස්තුතයට අදාළ නැති කාරණාවකි.
නියඟ සේම ගං වතුරද නිවර්තන තෙත් කලාපීය රටක් වන ලංකාවට අරුමයක් නොවේ. මෙබිම මනුෂ්‍ය වාසයක් වූයේ කවදාද එතැන් පටන්ම, සියවස් සහස්වස් ගණනාවක් තිස්සේ අපේ මුතුන් මිත්තන් මිත්තණියන් මේ ආන්තික ස්වාභාවික උපද්‍රව දෙකින්ම ඇති තරම් පීඩා විඳින්ට ඇත්තේය. ජයසේන ජයකොඩිගේ සම්මානලාභී ‘අස්වැන්න’‍ නවකතාව පනස් ගණන්වල රජරට මුහුණ දුන් දැවැන්ත ගංවතුරක් ගැන කියයි. සමහර දුම්රිය ස්ථානයන්හි එක් එක් අවුරුද්දේ ගංවතුර මට්ටම දැක්වෙන හරස් ඉරි ඇඳ ඇත්තේ උපද්‍රවයේ තරම ගැන අපට ඉඟි සපයමිනි. රත්නපුර නගරය හැත්තෑවකට අසූවකට පෙර සමයේ වුවද දශකයකට වරක් පමණ වත් ගංවතුරෙන් යට වූ බව තවමත් මතක පැරැුන්නෝ වෙති.
ගංවතුර ගලන සංඛ්‍යාතය අදත් මෙසේම දශකයකට වරක් පමණ වී නම් ඒ ගැන සඳහන් වන්ට තිබුණේ පුවත්පතෙක ඇතුළු පිටුවෙක නොව පුවත් පිටුවේය. වසර දහයකට ගලන ගං වතුර පුවතකි. අද මෙන් වසරක් පාසා මෝසම් වැස්සට පසුව ගලන ගං වතුර පුවතක් පමණක් නොව විශ්ලේෂණයට බඳුන් විය යුතු ජාතික සංවර්ධන ප‍්‍රශ්නයකි.
අපගේ වටහා ගැන්මේ පහසුව පිණිස කළුතර දිස්ත‍්‍රික්කයේ කළු ගඟ අසබඩ ගලපාතට නුදුරුව සිරිසේන (37) හා ජයන්ති (32) නම් යුවලක් සිය දරුවන් සඳලි (12) හා අනුෂ්ක (8) ද සිරිසේනගේ වියපත් මෑණියන් පුණ්‍යා (62) ද සමඟ වෙසෙතැයි සිතමු. සිරිසේන පෞද්ගලික ආරක්ෂක සේවයක සේවකයකු සේ පානදුර යම් වෙළෙඳ ආයතනයක සේවය කරයි. ඔහු පවුලේ එකම ස්ථිර රැකියාලාභියාය. ජයන්ති කුඩා දරුවන්ගේ ඇඳුම් මසා විකිණීමෙන් යම් සුළු ආදායමක් පවුලට එක් කරයි. ඔවුන්ගේ කුඩා පුතු යම් ශාරීරික ආබාධයකට මාස්පතා රෝහලකට ගෙන ගොස් ප‍්‍රතිකාර ලබා දිය යුත්තෙකි. දරු දෙදෙනාම වැඩි දුරකින් නැති මිශ‍්‍ර සිංහල පාසලක ඉගෙනුම ලබති. ඔවුනගේ නිවෙස කුඩාය. කලෙකින් අලූත්වැඩියා කොට නැත. සාලය හැරුණු විට එක කාමරයක් හා කුස්සියකි. කුඩා වැසිකිළිය ලෑලි කිහිපයක් එකට ගසා සැදු තාවකාලික දොරකින් වසා තියේ. නිවෙස පසෙකින් මැසි මදුරුවන් පිරි කාණුවක අපිරිසිදු ජලය ගලා යයි.
අද අපේ රටේ සම්මත මිනුම් දඬුවලට අනුව මේ ‘දුප්පත්’ පවුලකි. හැබැයි සමස්ත සමාජයේ ප‍්‍රගමනයත් සමඟ ඉහළ ගොස් ඇති ජීවන තත්ත්වයන් හා නිදහස සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය නිසා සිරිසේනගේ පවුලට සාමාන්‍ය තත්ත්ව යටතේ ‘අනුන්ට බරක් නොවී’‍ ජීවත් විය හැක්කේය. මෙයින් කියන්නේ ඔවුන්ගේ ජීවිත ප‍්‍රසන්න බව නොවේ. එහෙත් වසර පනහකට සියයකට පෙර විසූ ඔවුන්ගේ පූර්වගාමීන්ගේ ජීවිත හා සංසන්දනය කරන කල්හි ඔවුහු යම් පමණෙකින් ඉදිරියට පැමිණ ඇත්තෝය. සඳලි නිදහස් අධ්‍යාපනයේ ආනුභාවයෙන් වෛද්‍යවරියක වනු ඇතැයි ලේඛකයා නොසිතයි. ඇයට එය තාම දුර ඉලක්කයකි. ඊනියා නිදහස් අධ්‍යාපනයේ පෙරණයෙන් පවා වෛද්‍යවරුන් වෛද්‍යවරියන් සේ තවමත් පෙරී එන්නේ සඳලිලා නොව මධ්‍යම පංතික දරුවෝය. අනෙක් අතට සඳලිගේත් අනුෂ්කගේත් අනාගතය පූර්ණාන්ධකාරයකින් වැසී ඇතැයිද සිතිය යුතු නැත. සියල්ල සාමාන්‍ය පරිදි වන්නේ නම් තව පරම්පරාවෙකින් හෝ වැඩිම වුණොත් දෙකකින් ඔවුනට මධ්‍යම පංතියේ දොර හැරෙනු ඇත්තේය. රටේ කොයි තරම් දුෂිත අකාර්යක්ෂම ආණ්ඩුවක් තිබුණද පුරවැසියෝ සෙමෙන් සෙමෙන් ඉදිරියට පිය මනිති. තමන්ට නොලැබෙන වරප‍්‍රසාද කොටසක් වත් තම දරුවන්ට හිමිවනු ඔහු ඇය දකියි. ඒ සාමාන්‍ය තත්ත්ව යටතේය.
වසරක් පාසා ගලන ගංවතුර සිරිසේනලාගේ ජයන්තිලාගේ මේ ඉදිරියට සෙමෙන් ඇදෙන ගමන වළකමින් දැවැන්ත පවුරක් සේ ඔවුන් ඉදිරියේ නැඟී සිටින්නේය.
ගංවතුර නිසා සිරිසේනගේ රැුකියාවට බාධාවක් වේ. සඳලිගේද අනුෂ්කගේද පාසල් ගමන සති දෙක තුනක් වත් දිගු කාලකට ඇනහිටියි. ඔවුන් ඒ අතර රෝගාතුර වන්නේ නම් මේ කාලය වැඩි විය හැකිය. පෙර පාසල් පොත්පත් තෙත්බරිව අහිමි වෙයි. අධ්‍යාපනය මාස කිහිපයකින් පසුපසට තල්ලූ‍ කළාක් වැන්න. ගං වතුර නිසා හැඩි වූ, මඩ වූ ගේදොර, බඩුමුට්ටු යළි යථා තත්ත්වයට පත් කරනු පිණිස කාලයක්ද මුදලක්ද වැයවේ. තනි මිනිසකුගේ මාසික වැටුපින් අමාරුවෙන් ඇදගෙන ගිය ගැළෙහි එක ගොනකු ඇද වැටුණාක් වැන්න. සිරිසේනලා ජයන්තිලා සඳලිලා අනුෂ්කලා පුණ්‍යලා හෙමි හෙමින් හෝ ඉදිරියට ගිය ගමන නවතා පසුපසට යති.
වෛද්‍යවරියක වීම කෙසේ වෙතත් බැංකුවක සුළු රැුකියාවක් සොයා ගත හැකිව තිබුණු සඳලිට දැන් ඇඟලූ‍ම් කම්හලක රෙදි මසන්ට යෑමෙන් හෝ ක්ලීනින්ග් සර්විස් එකකට එක් වීමෙන් සෑහෙන්ට සිදුවනු ඇත්තේය. ගං වතුර ඔවුන්ගේ අනාගතය අවුල් කොට තියේ.
මේ අතර සිරිසේනලාගේ වපසරියෙන් බැහැර ලෝකයේ බොහෝ දේ සිදුවේ. නගරයේ පෞද්ගලික ආයතනයන්හි නෝනාවරු මහත්වරු ගං වතුර ආධාර එකතු කරති. ඔවුහු වත්පොත ඔස්සේ සිය ආයාචනය සකල ලෝකවාසීන්ට යොමු කරති. ශ‍්‍රී ලාංකික ඩයස්පෝරාව කැළඹේ. වියළි ආහාර, ඇඳුම් පැළඳුම්, පානීය ජලය, බෙහෙත්, වෙද හෙද ආම්පන්න එකතු වේ. කාගිල්ස් ෆුඞ් සිටි හිස් වේ. සහන සේවා ආයතන වැඩට බසියි. දේශපාලකයෝ කුලප්පු වෙත්. ඔවුහු කලිසම් නවා ගෙන සරොං උස්සාගෙන දණක් මඩට බැස විපතට පත්වූවන් සොයා යති. ජවිපෙ රතු තරුව පායයි. සුනිල් හඳුන්නෙත්ති කුලියට ගත් බෝට්ටුවකින් ගොස් තම නිවාසයන්හි වහලට ගොඩව සිටින පිරිසට වියළි ආධාර බෙදයි. සුජීව සේනසිංහ කෙහෙල් ගෙඩි බෙදයි. විපතට පත්වූවන්ගේ ශෝකාලාපය, ඔවුන’තින් නොවුණද, වත් පොතෙහි දිග හැරේ. සිරස රූපවාහිනිය ගුවනින් ගොස් ගංවතුර තත්ත්වය වාර්තා කරයි.
මේ කිසිවෙක් වරදකැයි හෝ සිදු නොවිය යුත්තකැයි ලේඛකයා නොසිතයි. සිය සගයන්ගේ දුක හඳුනාගත හැකි ජන කොටසක් සිටින රටෙක දිවි ගෙවන්ට ලැබීම ගැන ඔහු ආඩම්බර වෙයි. විපතට පත්වූවන්ට සහන ලැබීම ගැන ඔහු සතුටු වෙයි. ප‍්‍රශ්නය මේ සියල්ල ගංවතුරින් පීඩා විඳින්නට එකෙණෙහි ඇති වන කෙටි කාලීනව විසඳා ගැන්මේ පියවර පමණක් වීමය. මේවාට ඉත සිතින් සම්මාදම් වන මධ්‍යම පංතික නෝනාවරුන් මහත්වරුන් මේ ක‍්‍රියාවලියෙන් සියල්ල යහපත් ලෙස විසඳේයැයි කල්පනා කරති. ගංවතුර විසින් සිරිසේනලාගේ ජයන්තිලාගේ සඳලිලාගේ අනුෂ්කලාගේ පුණ්‍යලාගේ ජීවිත උඩු යටිකුරු කරන බව ඔවුහු නොදනිති.
‘ඉතින් අපි කියලා මැරෙන්ඩයැ?. අපිට පුළුවන් හැටියට තමයි අපිත් කළේ.’ මේ මධ්‍යම පංතික නෝනාවරුන් මහත්වරුන් පිළිවදන් දෙනු ඇත්තේය. ඇත්ත. ඔවුන්ට ඊට වඩා කළ හැකි දෙයක් නැත. එතැනින් එපිට ක‍්‍රියාත්මක විය යුත්තේ රජයයි.
රටකට ආණ්ඩුවක් අවශ්‍ය වන්නේ පුරවැසියන්ට තනි තනිව විසඳා ගත නොහැකි, වෙළෙඳපළ විසින් විසඳනු නොලබන ගැටලූ විසඳීම පිණිසය. ආර්ථික විද්‍යාවේ කියැවෙන අයුරින් ආණ්ඩුවක ප‍්‍රමුඛ කාර්යය වන්නේ මහජන යහපත පිණිස වන භාණ්ඩ හා සේවා සැපයීමයි. මිනිසුන්ට පාන් හෝ වැටකොළු හෝ ගම්මිරිස් සැපයීම පිණිස ආණ්ඩුවක් අවශ්‍ය නැත. මේවා වෙළෙඳපළ විසින් බලාගනියි. එසේම අද වන් යුගයක උසස් අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා පවා වඩා කාර්යක්ෂමව සැපැයීමට පෞද්ගලික අංශයට වැඩි හැකියාවක් තියේ. පෞද්ගලික අංශයට සපයන්ට නොහැකි වැඩි පිරිසකට ප‍්‍රයෝජනවත් එහෙත් මිලක් නියම කළ නොහැකි සේවාවන්ය. ගං වතුර තර්ජනය අවම කරලීම ආණ්ඩුවේ හා ආණ්ඩුවේ පමණක්ම වගකීම වන්නේ එනිසාය.
ඇත්ත. ආණ්ඩුවකට වර්ෂාව පාලනය කිරීමේ හැකියාවක් නොවේ. ලෝකයේ දියුණු රටවල ආණ්ඩු පවා ස්වාභාවික උවදුරු සලකන්නේ තමන්ගේ ශක්‍යතාවලින් පාලනය කළ නොහැකි ‘ඇක්ට්ස් ඔෆ් ගෝඞ්ස්’‍ හෙවත් දෙවියන්ගේ ක‍්‍රියා ලෙසිනි. (මෙයින් වෙනස් වන එකම උදාහරණය ස්ටාලින්ගේ සමයේ සෝවියට් දේශය සීරියස් ලෙස කාලගුණය පාලනය කිරීමේ උත්සාහයක් දැරීමයි.) හැබැයි ආණ්ඩුවලට ස්වාභාවික උවදුරුවලින් රටේ පොදු මහජනතාවට අවම බලපෑමක් වන ආකාරයේ ක‍්‍රියා මාර්ග ගැනීමේ පුළුවන්කම තියේ. ප‍්‍රශ්නය අප ඒ කිට්ටුවට වත් නොයෑමයි.
පුරවැසියන් වශයෙන් අප රජයෙන් ඇසිය යුත්තේ වසරක් පාසා දැනට නියතව සිදුවන සේ බව පෙනෙන ගංවතුර තර්ජනයෙන් රට මුදා ගැන්ම පිණිස මෙතෙක් ගෙන ඇති පියවරයි. මේ පියවර ගත යුත්තේ ගංවතුර එන්ට කලියෙන් මිස ඉන් පසු නොවේ. දැන් වසරකට වරක් ගංවතුර ගලන්නේ ඇයි? ඒ නිරිත දිග කළුතර හා රත්නපුර දිස්ත‍්‍රික්ක අධික ලෙස ජනාවාස වීම නිසා නම් ඒ තත්ත්වය වළක්වා ගන්ට අප කර ඇත්තේ මොනවාද? පදිංචි නොවිය යුතුය හඳුනාගෙන ඇති බිම්කඩ මොනවාද? ඒවායේ පදිංචිවන්ට ඉඩ දෙනවාද නැද්ද? ගංගාවන්හි හදිසි ජල මට්ටම් ඉහළ යෑම්වලදී ඒ බව කඩිනමින් ජනතාවට දැන්වීමට හා ඔවුන් උස්බිම් කරා ගෙනයෑමට නිශ්චිත වැඩපිළිවෙළ තිබේද? එසේ නම් අදත් සුළු ගංවතුරක් පවා මහා ව්‍යසනයක් බවට පරිවර්තනය වන්නේ ඇයි?
මේ ගැටලූවක එක පැතිකඩක් සමාජයේ පහළම ස්ථරයේ ඇසිනි. මේ ප‍්‍රශ්නය ලියුවාට වඩා බොහෝ සංකීර්ණය. නිදසුනක් ලෙස අනිවාර්යයෙන්ම ගංවතුරින් අනතුරුව ඩෙංගි වසංගතය හිස ඔසවනු ඇත. ඩෙංගි පාලනය කරනු පිණිසද ආණ්ඩුවට මොනයම් හෝ වැඩපිළිවෙළක් නැත. මේ සියල්ල එකට බැඳී ඇති ප‍්‍රශ්නය. පුරවැසියා මේ දුෂ්ට චක‍්‍රයේ සිරවී සිටිමින් වසරක් පාසා අලූත් අප‍්‍රසන්න අත්දැකීම් එකතු කර ගනියි. මේ පත්තරය සුරැුකිව තබා ගන්න. 2019 දී පමණක් නොව තව වසර විසි පහකින්ද මේ කතාව මේ විදියටම කවරකුට හෝ ලිවිය හැකි වන්නේය.