කිසියම් පුද්ගලයෙකු නැරඹිය යුත්තේ කවර නාට්‍යයක්ද? කවර චිත්‍රපටයක්ද? ඔහු හෝ ඇය කියවිය යුත්තේ කවර නවකතාවක්ද? යනාදි වශයෙන් තීරණය කිරීමට සමත් පුද්ගලයා ‘ඔබ’ යැයි ඔබ සිතා සිටින්නේද? ‘වාරණය’ හා සම්බන්ධ ඔබගේ ආකල්ප දැනගැනීම සඳහා ඇසිය යුතු මුල්ම ප්‍රශ්නය මෙයයි. මෙහිදී ඔබ ‘නැත’ යනුවෙන් පිළිතුරු දෙන්නේ නම් ඉන් අදහස් වන්නේ ඔබ කවර හෝ ආකාරයක වාරණයක් අනුමත නොකරන බවයි. ඇත්ත වශයෙන්ම ‘නැත’ යන පිළිතුර ලබාදීමට සමත් පිරිස් අප සමාජයේ ඇත්තේ ඉතා අල්පයකැයි සිතේ. එහෙත් කිසිදු වාරණයක් නොමැතිව එනම්; පරිපාලනය විසින් හෝ නීතිය විසින් හෝ කරනු ලබන්නාවූ කිසිදු බලපෑමකින් තොරව කලා ක්ෂේත්‍රය තුළ ඕනෑම තිරිසන්කමක් ප්‍රදර්ශනය කිරීමට ඉඩදීම සාධාරණදැයි ඔබ සිතන්නට පුළුවන. කෙසේ වෙතත් ප්‍රධාන ගැටලුව වන්නේ වාරණය අවසන්විය යුත්තේ කොතැනින්ද යන්නයි.


කලින් සඳහන් කළ බුද්ධිමත් සුළුතරය තමනට වඩා අන් අය දුර්වල යැයි සිතමින් එකී දුර්වල පුද්ගලයෝ නැරඹිය යුත්තේ මොනවාද, නැත්තේ මොනවාදැයි තීරණය කොට ඉරක් ඇඳීමට උත්සාහ කරති. ඔබට සුදුසු දේ ඔබේ නැන්දනියට නැතිනම් පූජකයෙකු වූ ඔබේ මස්සිනාව නුසුදුසු විය හැක්කේ කෙසේද? ඔවුන් හරිමඟ යැවීමට නියෝග දීමට ඔබ ලබා ඇත්තේ කවර නම් අමතර සුදුසුකමක්ද?


මේ සියල්ල තුළින් පැහැදිලි වන්නේ වාරණය හා සම්බන්ධ ගැටලුවලට පහසු විසඳුමක් නැති බවයි. වාරණයක් කිසිසේත්ම නොපවතින්නේ නම් අවසානයේ සමහරවිට අපට දැකිය හැකිවන්නේ පොලීසියේ මැදිහත්වීමෙන් පවා ඉවත්කර ගතයුතු බාල වර්ගයේ අසභ්‍ය, කුරිරු අවස්ථා රැගත් කෘතීන් විය හැකියි.


මාර්ග අනතුරු, මිනීමැරුම් හා ස්ත්‍රී දූෂණවලට සම්බන්ධ නඩු විභාගවලදී මහජනතාව දක්වන ප්‍රතිචාර අනුව එක්තරා සත්‍යයක් හෙළිවේ. එනම්; මෙවැනි දේ තුළින් පහත් වින්දනයක් ලැබීමට සමත් සැලකිය යුතු පිරිසක් සිටින බැව් පෙනී යාමයි. ‘වාරණය’ යන්න ස්ථාපිතවූයේ මෙකී කරුණු කාරණා හේතු කොටගෙන විය හැකියි.


ප්‍රගතිශීලී කලාකරුවාට මේ කවර අන්දමේ වාරණයක් වුවද ඉමහත් පීඩාවකි. විඥානවාදීන් පවසන්නේ මේ සියලු වාරණයන් කලාකරුවා විසින්ම තම කෘතිය අරබයා පනවා ගතයුතු බවයි. ප්‍රේක්ෂකයා හැර කලාකෘතියක ගුණදොස් අන් අයට තීරණය කළ නොහැකිය යන්න ඔවුනගේ මතයයි.


කෙසේ වෙතත් මධ්‍යස්ථ මතධාරීන් කියා සිටින්නේ ‘වාරණය’ යන්න ප්‍රධාන වශයෙන්ම රසිකයන් අතර සිටින බාලවයස්කාර අයගේ ආරක්ෂාව සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බවයි. මේ අනුව වාරණය හා අදාළ තීන්දු තීරණ ගැනීම සඳහා බොහෝ රටවල ස්වාධීන ආයතන පද්ධතීන් ස්ථාපිත කොට ඇත. ඇමෙරිකා එක්සත් ජනපදයේ චිත්‍රපට වාරණයේ ස්වරූපය ද මූලික වශයෙන්ම චිත්‍රපට කර්මාන්තය තුළින්ම එනම්; Motion Picture Association Of America නම් වූ ආයතනය මඟින් පාලනය වන්නකි.

මෙයට වඩා වෙනස් ආකාරයක වාරණ සම්ප්‍රදායක් එනම්; දේශපාලන මුහුණුවරක් ගත් වාරණයක් ඇතැම් රටවල ක්‍රියාත්මක වේ. කලකට ඉහත කොමියුනිස්ට් පාලන තන්ත්‍රය යටතේ සෝවියට් රුසියාවේ ක්‍රියාත්මක වූයේ එවැන්නකි. ඇතැම් රටවල නීත්‍යනුකූලව ස්ථාපිත කෙරුණු ආයතන වෙනුවට යම් යම් පුද්ගල කණ්ඩායම්, විශේෂයෙන් අන්තගාමී ආගමික කල්ලි හා කණ්ඩායම් ක්‍රියාත්මක වනු පෙනේ. සවුදි අරාබිය හෝ ඉරානය හෝ වැනි මුස්ලිම් රටවල ක්‍රියාත්මක වන්නේ එවැන්නකි. ඉරාන ජාතික විශිෂ්ට සිනමාකරුවකු වන ජෆාර් පනාහි තවමත් සිරදඬුවම් විඳින්නේ ඒ අනුවයි.


මෙකී පූර්විකාව ගෙනහැර දැක්වීමට සිදුවූයේ, මෑතකදී අප රට තුළද එයාකාරයේ නීත්‍යනුකූල නොවන අන්තවාදී කල්ලි කණ්ඩායම් කිහිපයක් වාරණය හා අදාළව ප්‍රබලව ඉස්මතුවන ආකාරයක් පෙනී යාම නිසායි. ඒ අතර බෞද්ධ අන්තවාදී කණ්ඩායම් හා ආරක්ෂක හමුදා හා අදාළ කණඩායම් ද ප්‍රබල භූමිකාවක් රඟදැක්වීම ආරම්භ කොට ඇත. එහි ආසන්නතම සිදුවීම පසුගියදා ශක්තික සත්කුමාර නම් ලේඛකයා, සිය මුහුණු පොත හරහා ප්‍රකාශයට පත්කළ කෙටි කථාවක් අරබයා උද්ගතව ඇත.


1996 වසරේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පුරහඳ කළුවර’ චිත්‍රපටය වාරණයට ලක්වූයේ එමඟින් උතුරු නැගෙනහිර සටන් වදින සොල්දාදුවන්ගේ චිත්ත ශක්තිය හීනවේ යැයි කරනු ලැබූ උපකල්පනය හේතුවෙනි. එකී වාරණය ක්‍රියාත්මක වූයේ නීත්‍යනුකූල වාරණ මණ්ඩලයක මැදිහත්වීම නිසා නොව, රජය හා ආරක්ෂක අංශවල බලපෑම හේතුවෙනි. වාසනාවකට මෙන් එකල ක්‍රියාත්මක වූ අධිකරණ පද්ධතිය විසින් ගනු ලැබූ නිර්භීත තීරණයකට අනුව ‘පුරහඳ කළුවර’ අසීමිත ප්‍රේක්ෂාගාරයක් වෙත මුදාහැරීමට නියෝග කෙරිණ. එසේම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට සැලකිය යුතු වන්දි මුදලක් ගෙවීමටද තීරණය කෙරිණ. රජය හා ආරක්ෂක අංශ ඇතුළත් බලාධිකාරියේ අමනෝඥ පසුගාමී දෘෂ්ටිවාදය පුස්සක් බවට පත්විය. ‘පුරහඳ කළුවර’ නැරඹූ ප්‍රේක්ෂක පිරිස් අතර බහුතරයක් වූයේ සොල්දාදුවන් හා ඔවුනගේ පවුල්වල උදවියයි. එය ප්‍රසන්නගේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටයකි. වඩාත් උත්ප්‍රාසය දනවන්නේ ආරක්ෂක හමුදා 200 දී යුද්ධය ජයග්‍රහණය කරන්නේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් අනතුරුව වීමයි.


කෙසේ වෙතත් කනගාටුවට කරුණක් වන්නේ, යටකී රාජ්‍ය වාරණය ක්‍රියාත්මක වූයේ අදට සාපේක්ෂව කිසියම් ඉහළ බුද්ධි මට්ටමකට හිමිකම් කියූ රාජ්‍ය නායිකාවක, අමාත්‍යවරයෙකු හා සංස්ථා සභාපතිවරයෙකු සිටි යුගයක වීමයි.


ඉන් තවත් වසර කිහිපයකට පසු එනම්; වර්ෂ 2005දී අශෝක හඳගමගේ ‘අක්ෂරය’ චිත්‍රපටය අරබයා ඇතිවූයේ ද එවන් ආන්දෝලනාත්මක තත්වයකි. එහෙත් එවර ‘අක්ෂරය’ට එරෙහිව අවි අමෝරා ගත්තේ අධිකරණ ක්ෂේත්‍රයයි. එයට හේතුව වූයේ චිත්‍රපටයේ කථා පුවත මහේස්ත්‍රාත්වරියක හා මහේස්ත්‍රාත්වරයෙකු වූ ඇගේ පියා හා දරුවා වටා ගොඩනැඟී තිබීමයි.
කෙසේ වෙතත් මෙවර ‘අක්ෂරය’ අධ්‍යක්ෂ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ තරම් වාසනාවන්ත වූයේ නැත. එයට හේතුවූයේ ඒ වන විට අගවිනිසුරු බවට පත්ව සිටියේ කූප්‍රකට සරත් නන්ද සිල්වා වීමයි. හෙතෙම රූපවාහිනියේ බණ දේශනාකරන සැදැහැවත් චරිතයක් සේ පෙනී සිටීමට උත්සාහ කළද විවිධාකාරයේ දූෂණ චෝදනාවන්ට ලක්වූ තැනැත්තෙකු බැව් ප්‍රකටය. ‘අක්ෂරය’ චිත්‍රපටයට එරෙහිවූවන් අතර කේන්ද්‍රීය චරිතය බවට පත්ව සිටියේ ඔහුයි.
වරක් ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ ‘අක්ෂරය’ට එරෙහි නඩු විභාගය නැරඹීමට මෙරට සුප්‍රසිද්ධ කලාකරුවන් කිහිපදෙනෙකුම උසාවියේ රැස්ව සිටියේ අශෝක හඳගම වෙනුවෙන් තමන්ගේ සහයෝගිතාව පළකිරීම සමස්ත කලාකරුවන්ගේම ප්‍රකාශන අයිතිය රැකගැනීම වෙනුවෙන් කළ යුතුවූ යුතුකමක් සේ සලකමිනි.


‘අක්ෂරය’ට අවසරය දීම හේත ුකොටගෙන එවක ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධුරය දැරූ සෝමරත්න බාලසූරිය මහතා අගවිනිසුරුවරයාගේ දැඩි විවේචනයට ලක්විය. උසාවියේ අසුන්ගෙන සිටි සියලු කලාකරුවන්ගේ මුහුණු බලමින් අගවිනිසුරුවරයා දැඩි අපහාසාත්මක ස්වරයෙන් කියා සිටියේ, මෙවැනි චිත්‍රපට හදන අය පමණක් නොව ඒවාට අනුග්‍රාහකත්වය දන්වන අයද සිරගත කළ යුතු බවයි. උසාවියේ අසුන්ගෙන සිටි මෙරට ප්‍රධාන පෙළේ සිනමාවේදියෙකු මෙකී ප්‍රකාශයෙන් පසු බලවත් සේ කැළඹීමට පත්ව කෝපයෙන් පුපුරමින් සිටිනු දුටු මට සිතුණේ, මොහු උසාවියේ යමක් ප්‍රකාශ කිරීමට ගොස් අගවිනිසුරුගේ උදහසට ලක්වී සිරගතවීමට පවා ඉඩ ඇති බවයි. එහෙත් මාස කිහිපයකට පමණ පසු අසන්නට ලැබුණේ ඔහු කිසියම් උත්සවයකදී අගවිනිසුරුවරයා සමඟ එකම වේදිකාවේ අසුන්ගෙන සිටි බවයි. එපමණක් නොව හෙතෙම එහිදී දේශනයක්ද පවත්වමින් අගවිනිසුරුවරයා මහත් ඉහළින් වර්ණනා කළ බවද දැනගැනීමට ලැබිණ.
එදා උසාවියේ අසුන්ගෙන සිටි අප රටේ ඉහළ පෙළේ රංගවේදියෙකු කිසියම් සාදයකදී අගවිනිසුරුවරයා මුණගැසී ඇති අතර එහිදී දෙදෙනා අතර ඇතිවූ එකඟතාවකට අනුව රංගවේදියාගේ කිසියම් නඩුවක් හා අදාළව සාධාරණයක් ඉටුකිරීමට අගවිනිසුරුවරයා පොරොන්දු වූ බැව් ද සැලවිය. කරුණු කාරණා මෙසේ සිදුවද්දී අශෝක හඳගම වෙනුවෙන් උසාවියට පැමිණ සහයෝගය දක්වන පිරිස ක්‍රම ක්‍රමයෙන් අඩුවී ගියේය. දැන් දැන් නඩු විභාගය විවිධ පැතිකඩ කරා ගමන්කරමින් සංකීර්ණ තත්වයකට පත්වෙමින් පැවතිණ. මෙවර නම් හඳගම සිරගතවනු ඒකාන්ත යැයි වැටහී යන්නට විය. තනිව සටන් කිරීමට සිදුවූ බැවින් හෙතෙම කලකිරීමට පත්ව සිටියේය. ආත්ම ගෞරවය රැකගනිමින් සිරගතවීම වඩාත් සුදුසුය යන්න ඔහු එල්බ සිටි ස්ථාවරයයි. හඳගම බේරාගැනීම වෙනුවෙන් සකස් කළ ලිපියකට කලාකරුවන්ගේ අත්සන් ලබාගැනීමේ ක්‍රියාන්විතයක් ආරම්භ කිරීමට තීරණය වූයේ ඉන් අනතුරුවයි. එහෙත් බොහෝදෙනා එහි අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළෝය. මෙරට කීර්තිමත් සිනමාකරුවෙකු එයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේ ‘අනේ අපට කරදර කරන්න එපා’ යැයි කියමිනි.


වාසනාවට මෙන් නඩු විභාගයේ අවසාන අදියර වන විට සරත් නන්ද සිල්වා මහතා විශ්‍රාම ගියේය. නීතිපති දෙපාර්තමේන්තුවේද යම් යම් වෙනස්කම් සිදුවී තිබිණ. හඳගමට එරෙහි නඩු විභාගය ඉදිරියට නොගියේය. එය අපගේ අත්සන් ඇතුළත් පෙත්සම නිසා සිදුවූවක්ද, නොඑසේ නම් වෙනත් හේතුවක් අරබයා සිදුවූවක් දැයි දැනගත හැකි නොවීය.


බලවත් පුද්ගලයන්, ආගමික සංස්ථා හා දේශපාලන අධිකාරීන් ඉදිරියේ අප රටේ කලාකරුවන් මෙන්ම උගත් වෘත්තිකයන් ද බලුකුක්කන් බවට පත්වන ආකාරය හොඳහැටි වටහාගැනීමට මෙම සිදුවීම ඉවහල්වූ බැව් මගේ වැටහීමයි. එහෙත් සියල්ල අවසානයේ සිදුවූයේ කුමක්ද? ‘අක්ෂරය’ චිත්‍රපටය හඳගමගේ වඩාත් ප්‍රචලිත, වැඩිදෙනා නැරඹූ චිත්‍රපටය බවට පත්වීමයි. එය සිනමා ශාලාවල හෝ රූපවාහිනියේ ප්‍රදර්ශනය තහනම් වුවද මහල්ලාගේ සිට බාලවයස්කාරයා දක්වා වූ අසීමිත ප්‍රේක්ෂක පිරිසක් එය වෙනත් මාර්ගවලින් මේ වනවිට නරඹා ඇති බව තහවුරු වේ. හඳගම කියනාකාරයට, එය එලෙස අන් අය වෙත විසරණය වන්නට ඇත්තේ රාජ්‍ය ආයතනයක් එහි වීඩියෝ පිටපතක් ලබාගැනීම නිසා විය හැකිය.


මෙවර, ශක්තික සත්කුමාරගේ කෙටි කථාවද සොය සොයා කියැවීමට බොහෝදෙනා දැනටමත් උත්සුකවන බව දැනගැනීමට ඇත. වැඩිකල් නොගොස් එය මෙරට වැඩිදෙනෙකු කියැවූ කෙටිකථාව බවට පත්වනු නොඅනුමානය.


ඕනෑම කලාකරුවෙකු සිය නිර්මාණ සඳහා අමුද්‍රව්‍ය සපයාගන්නේ තමා අවට ලෝකයෙනි. එකී ලෝකය තුළ පවතින්නාවූ ආගමික සංස්ථා, ආරක්ෂක සේවා පද්ධතීන් හෝ නීති ක්ෂේත්‍රය පමණක් ඉන් වියුක්ත වන්නේ කෙසේද?
නූගත් අන්ධ ආගමික භක්තිකයන් බහුතරයක් වෙසෙනා අපගේ වැනි රටවල අඥාන භික්ෂූන්, දේශපාලනඥයන් හා ආරක්ෂක ප්‍රධානීන් ශ්‍රී ලාංකික පුරවැසියා ගොනාට ඇන්දවීමට උත්සාහ කිරීම ප්‍රගතිශීලී කලාකරුවන් සියලුදෙනා විසින් හෙළා දැකිය යුතුව ඇත.

එම්.ඩී. මහින්දපාල


ආශ්‍රේය ග්‍රන්ථ
Film and The Public  – – රොජර් මැන්වෙල්