බැමිණිතියා සාය සමයේ වෙහෙර, අරඤ්ඤවල වැඩ හිටි භික්ෂූන් වහන්සේලාට කර කොළත් වළඳන්න සිද්ධ වුණාලු. පස්සෙ කාලෙක කර කොළත් සම්බෝලෙට මැල්ලුමට රහයි කියල අපේ අම්මා කියන්න ඉස්සර තාඹුගල ආනන්ද හාමුදුරුවන්ගේ ගෝල නමක් මා එක්ක කිව්වා යුද්ධෙන් බැද්ද හක්කලං කරන්ඩ බැරි තරම් භයානක වෙච්ච කාලෙක කුඩුම්බිගල වැඩ හිටපු උන්නාන්සෙලා සමහර දවසක කර කොළ වැළඳුවා කියාලා. කොහොම නමුත් පස්සෙන් පහු බොහෝම විචිත්‍රයි කියලා වර්ණනාවට පාත්‍ර වෙන හුඟක් ආහාර සංස්කෘති උපදින්නේ අහේනිකම් එක්ක ගෑවි ගෙන.

විප්ලව කාලෙ චීන ගමක විත්ති ගැන විලියම් හින්ටන් ලියාපු ෆාන්ෂෙන් පොත කියෙව්වම විතරක් නෙවෙයි පර්ල්.එස්.බක් ලියාපු සම්මානනීය පොත සාර භූමි කියෙව්වම වුණත් කෑම බීම හිඟ වෙද්දි මිනිස්සු අලුත් කෑමක් බීමක් හොයාගන්න හැටි දැනෙනවා.

ඒ වෙලාවට මිනිස්සුන්ගෙ හිතේ තියෙන්නෙ නොනැසී ජීවත් වෙන්න මොනවහරි කන්න වුවමනයි කියන අදහස. වස විෂ නොවෙන්නම් වැඩි දෙනෙකුට පත්තියං වෙන්න පුලුවන් නම් මිනිස්සු අලුත් වට්ටෝරු හදාගත්තා. වැඩිදෙනෙකුට පත්තියං වෙන්න පුලුවන් නම් කියලා කිව්වෙ එහෙම හදාගන්න සමහර කැම ජාති පත්තියං නොවෙන මිනිස්සුත් ඉන්න නිසා.

පහළ ඌවෙ වැදගත් පහේ ගැමි කෑමක් හැටියට රොටී, පිට්ටු, කැවුම් වාගේ අතුරුපස පවා හදාගන්නට පාවිච්චි කරන මඩු සමහරුන්ට මත් කාරකයි. ඒත් මිනිස්සු ඒවා කැවා. මොකද කාට හරි එහෙම කෑමක් අපත්‍ය වුණොත් කළ යුත්තත් ගම් වෙද්දු දැන හිටපු නිසා. පිට දීප දේශංකරවලත් මේ වගේ කාලවල තමා අද තරු හෝටල්වල තියෙන සමහර වට්ටෝරු බිහි වෙන්න ඇත්තෙ.

අපේ ආගමික නැඹුරුව හින්දා නිර්මාංශ ආහාරවලට යොමුව තරමක් වැඩි වුණත් තායිලන්තෙ, බුරුමෙ මිනිස්සු පළගැටියො බැදගෙන කෑවෙ නැත්නම් කම්පුචියාවෙ මිනිස්සු මකුළු බැදුම් කෑවෙ අපේ මිනිස්සුන්ට වගේම මුහුණ දෙන්න සිද්ධ වුණු අහේනි කාල, නැත්නම් මොකක් හරි අවශ්‍යතාවයක් නිසා, කියලා කවුරුහරි කිව්වොත් මං නම් පිළිගන්නවා ඒක හරි කියලා. නොම්පෙන්ග් නුවර විකුණන්න තියෙන මකුළු බැදුම් මිනිස්සු මුලිම්ම කාලා තිබ්බෙ කෲර පාලක පොල්පොට්ගෙ කාලෙ වනගත වෙලා ඉද්නකොට. බයේ මුලු ගැන්නිලා කන්න හිඟ පාඩු තියෙද්දි මේ මකුළු වර්ගෙ බැදගෙන කන්න පුරුදු වුණු මිනිස්සු පස්සෙ කාලෙක පොල්පොට්ගෙ පාලනය අහෝසි කරලා පුරුදු ජන ජීවිතයට එළඹුනාමත් ඒ වට්ටෝරුව අමතක කරලා දැම්මෙ නැහැ. අල පරිප්පු, බල්ලො නොකන සෝයා මීට්වලට පුරුදු වෙලා ඉන්න අපි වුණත් පුදුමෙට පත්වෙන්න පුලුවන් කෑම රටාවක් ලංකාවෙත් තිබිලා තියෙනවා. නුවර රජ්ජුරුවන්නෙ කුකරි පොත දැක්ක නම් ඒ පුදුමය අත්විඳින්න පුලුවන්.

කොවිඩ් කාලේ කෑම කතා

මිනිස්සු ජීවත් වෙන්නෙ කන්න තමයි කියලා කිව්වම, අපේ රටේදී ඒක එහෙම නෙවෙයි කියලා කියන්න උත්සාහ නොගත යුත්තේ කොවිඩ් වසංගතයත් එක්ක ඇඳිරි නීති දාලා සිමා කිරීම් පනවන කොට කෑම බීම මිලට ගන්න හැදුණ පෝළිම් කවුරුත් දැක්ක නිසා. එක අතකට එහෙම පෝළිම්වල ලැගපු මිනිස්සුන් දිහා හෑල්ලුවෙන් බලන එක පව්. අතළොස්සක් සල්ලි කාරයින්ට හැර වැඩි දෙනෙකුට වෙනත් ජීවන ආශ්වාදයන් අහිමි රටක ආගම්වලිනුත් එලොව මෙලොව බය නරකය පෙන්නලා දෙද්දි මැරෙන්න කලිං කෑම ටිකක් හරි කන එක සතුටක් කියලා හිතන මිනිස්සු පව් තමයි.

මේ පෝළිම්වල හිටපු මිනිස්සු සන්තර්පණය කරන්න ආණ්ඩුවත් ගැටයක් ගැහුවා. ඒ සැමනුයි පරිප්පුයි මිල අඩු කරලා. ඒත් එක්කම ගෙවල්වලට කොටු වුණ මිනිස්සු තියෙන අල්ලක ඉඬේ හරි වගා දිගා කරන්න පටන් ගත්තා. ආණ්ඩුවෙනුත් ඒකට ඉඟි බිඟි ලැබුණනෙ. ඒ වෙලාවෙ කාටවත් හිතුණෙ නැහැ බඩ රස්සාවට ගොවිතැන් කරන මිනිස්සුන්ට බඬේ පාර වදින්නත් හැම එකාම ඉවක් බවක් නැතිව කරන වැවිල්ල හේතු වෙන්න පුලුවන් කියලා. මේ කියන්නෙ හැමෝම තමන්ගෙ ගෙවත්තෙ වගා කරන එක වරදක් කියන එක නෙවෙයි. ඒකට ජාතික සැළසුමක් තිබ්බ නම් හොඳයි කියලා. මොකද ගෙවත්ත ලංකාවට අරුමයක් නෙවෙයි. වෙළඳාමට වැඩියෙන් බර වුණු මරක්කල මිනිස්සු ඇර සිංහල දෙමළ දෙගොල්ලම වගා නැඹුරුවක් තිබ්බ නිසා ඒ. කරන්න තිබුණේ ගෙවතු වගාව දිරි ගන්වන අතරේ ඒකෙන් තමන්ගේ අවකාශය අහිමි වෙන ගොවීන්ට ආයනික බෝග වගාවට අවශ්‍ය පහසුකම් සපයන එක. දැන් වුණත් ඒ කාරියට ප්‍රමාද නැහැ. මොකද පරිප්පු, කඩල විතරක් නෙවෙයි තිරිඟු පවා මේ රටේ වවන්න පුලුවන් කීම අතිශයෝක්තියක් නොවෙන හින්දා.

ඒ අතරේ ඉන්දියාවෙන් ගේන පරිප්පු මිල අඩු කරලා බෙදනවා වගේම අපේ ජන සංස්කෘතිය ඇසුරේ තියෙන කෑම ප්‍රචලිත කරන්නත් වැඩපිළිවෙලක් හදාගන්න තිබ්බා. රාජ්‍ය අනුග්‍රහයෙන් තොරව ෆෙස්බුක් වාගෙ සමාජ මාධ්‍ය ජාලවල ඒ වගේ කතිකාවන් ආරම්භ වෙලා තියෙනවා දකින්න ලැබිම කිසියම් සුබ පෙර නිමිත්තක්. හැබැයි මේවා සමාජ මාධ්‍ය සමූහ තුළ කතා කරල අපි අපි මොනව හරි උයාගෙන කන මට්ටමෙන් නවතිනවා නම් ඵලදායකත්වය අඩුයි. වුවමනා වෙන්නෙ රාජ්‍ය අංශය, විශේෂඥයෝ සහ ව්‍යවසායක ප්‍රජාව ඒකාබද්ධ වැඩපිළිවෙලකට යොමුවෙන විදිහෙ කතිකාවක් ආරම්භ කිරීම. ඒ වගේ දෙයක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම  කියන තරම් පහසු නොවෙන්න පුලුවන් වුණත් වැදගත් වෙන්නෙ කොතැනින් හරි පටන් ගැනීම.

අපි ඉන්නා තැන කොතැනා

කලුවට පොළොස් ඇඹුලක් හදාගත්ත යුරෝපෙ ඉන්න ලාංකිකයෙකුගෙ ෆෙස්බුක් සටහනක් මට අහම්බෙන් දකින්න ලැබුණා. ඒ හුඟක් රටවල මිරිස් තුනපහ මාර්කැට්ටු ආධිපත්‍ය දරන්නෙ ඉන්දියානුවො. ඒකෙ අරුමයක් නැහැ අපිත් මිරිස් තුනපහ වැඩි පමණ ඉන්දියාවෙන් ගෙන්වද්දි. හැබැයි ඔහු  ලියලා තිබුණා. පොළොස් ගැට කුට්ටි ටින් එක ඒ රටට එවලා තිබ්බෙ තායිලන්තෙන් කියලා. ඒක කදිම අදහසක් තම්බලා ටින් කරපු ගැට පොළොස්. ඕනම නම් ඇඹුලම හදලා ටින් කරන්න පුලුවන්. මෙහෙම කරන අය කෙනෙක් දෙන්නෙක් ලංකාවෙත් නැතුව නෙවෙයි. ඒත් ජාත්‍යන්තරයෙ අපිට තියෙන තැන හරිම පටුයි. තායිලන්තෙ බැංකොක් ගුවන් තොටුපලේ තිබ්බ වරකා පැකට්ටුවක් ආශාවෙන් අතට ගත්තට මගේ  ඇස් උඩ ගියේ ඒකෙ බාත් මිල දැකලා. ඒ එක්කම අපේ ගම්වල ගස්යට වැටිලා කුණු වෙන වරකා ගැන මතක් වෙලා දුකත් හිතුණා. කාලෙකට උඩදි රුහුණු විශ්ව විද්‍යාලෙ කෘෂි අංශයක කොස් ඇටවලින් ටිපි ටිප් හදන වැඩක් ගැන කියවද්දි සතුටු වුණු මං කවදාවත් එහෙම ටිපි ටිප් ඇහැට දැක්කෙ නැහැ.

මේ ගැන කතා කරනවා නම් වරුවක් වුණත් කතා කරන්න පුලුවන්. තව එකදෙයක් ගැන කියන්නම්. චීන කෑම වට්ටෝරුවල හරිම ජනප්‍රියයි බැම්බු ෂූට්ස් නැත්නම් උණ ගොබ. මේ චීන්නු කන්නෙ අපේ රටේ නැති අමුතු උණ ගොබ ජාතියක් නෙවෙයි. ලංකාවෙ තියෙන උණ වර්ගවලත් ළපටි ගොබ කන්න පුලුවන්. අවුල අපි ඒ කලාව නොදන්න එක. සුපර් මාර්කට්වල උණ ගොබ හරි ගණං. හැබැයි උණ ගොබ කන්න හිතුණම මට ඒවා ලැබෙන්නෙ නොමිලේ ගෙදරට පහළ වෙළෙන්.

කාට හරි හිතෙන්න පුලුවන් කන්න ජාති හුඟක් තියෙද්දි ඇයි මේ වගේ දේවල් කන්න වෙන්නෙ කියලා. මං හිතන්නේ පළමුවැන්න එහෙම හිතන්නෙ අල පරිප්පු කොටුව ඇතුළෙ ඉන්න අය. දෙවැන්න ආහාරය විවිධාංගීකරණය වෙද්දි කලාවක් උපදින බව ඒ අය දන්නෙ නැහැ. තුන්වැන්න ඔවුන්ට පෝෂණය ගැන තියෙන දැනුම අඩුයි. හතරවැන්න මේ වාගේ ආහාර හුඟක් නිර්රසායනික නැත්නම් කාබනික ඒවා. මේ කුලකය ඒ ගැනත් හාංකවිසියක් දන්නේ නැහැ. ඉතිං වුවමනා නම් ඒ වගේ පිරිස්වලටත් වැඩදායක වෙන්න අපට අතර රටට කටට බඩට කාටත් යහපතක් වෙන්න කොවිඞ් කාලෙ අනෙක් පිළිවෙත් වගේම කෑම ගැනත් වෙනස් කතිකාවක් පටන් ගන්න පුලුවන්.    

 ලසන්ත ද සිල්වා