මේ ලියන මොහොත වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කෝවිඩ් වසංගත ආසාදිතයන් ගණන් 5685කි. මිනුවන්ගොඩ යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාව ආශ්‍රයෙන් මේ වතාවේ වසංගතය ප්‍රභවය වූ බව අපි දනිමු. ඒ කර්මාන්තශාලාවට සමීප දිවුලපිටිය, ගම්පහ, කිඹුලාපිටිය යන ප්‍රදේශවල ඇඟලුම් සේවකයෝ බහුල වශයෙන් පීසීආර් පරීක්ෂණයට ලක් කෙරෙති.

වෙනත් කර්මාන්තශාලා සේවකයෝද රෝගයට ගොදුරුවෙමින් සිටිති- ඊට අමතරව ආසාදිතයන් රැඳී සිටින යාබද නේවාසිකාගාරත්, නේවාසිකාගාර අයිතිකරුවනුත්, ඔවුන්ගේ සමීපතමයනුත් රෝගයට ගොදුරුවෙමින් සිටිති. ඊට නිදර්ශන කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපය ආසන්න ප්‍රදේශවලින් සැලකිය යුතු තරමින් වාර්තා වෙමින් තිබේ. එහෙත් රජය තවමත් වසංගතය සමාජගත වී නැතැයි ප්‍රකාශ කරයි.

රජයේ දත්ත නිවැරදිද? මේ ප්‍රදේශවල මිනිසුන් අත්දැකීමෙන් ඉදිරිපත් කරන විස්තර නිවැරදිද? යන්න සොයාබැලීම වැදගත්ය. තමන්ගේ උපන් ගම් අත්හැර කටුනායක වෙළඳකලාපයේ සුළු පඩියකට දුවන රස්සා අතර ජීවිතය රස්තියාදුවෙන් ගෙවන ගැහැනු සහ මිනිස්සු ඕනෑතරම් සිටිති- මේ වසර මුලදී වර්ධනය වූ කොවිඞ් වසංගත තත්වයෙන් හා දැනට වර්ධනය වෙමින් තිබෙන තත්වයෙන් කබළෙන් ලිපට වැටුණු මිනිසුන් පිරිසකගේ ජීවිතවලට එබී බැලුවෙමි.

සංජීව දශකයකට වැඩි කලක් කටුනායක නොයෙක් රස්සා කරමින් ඇති පදම් තෙම්පරාදු වූ පුද්ගලයෙකි- ස්ථිර රස්සාවක් නොමැති වුණත් ජීවිතය ගැන අත්නොහැරුණු බලාපොරොත්තුවක් අනෙක් කාටත් වගේ ඔහුටත් තිබිය හැක. කොරොනා පළමු රැල්ල නිසා එදිනෙදා හරි හම්බකරගත් දෙය අහිමි කරගත් ඔහු නැවත ජීවන තරගයට පිවිසියා පමණි.

‘මගේ ගම පුත්තලම- අවුරුදු 15ක පමණ ඉඳන් මම කටුනායක වැඩ.– මේසන් වැඩ කරනවා. ඒ වැඩ නැති කාලෙට මෑන් පවර් යනවා. අත් උදව් දෙනවා. මේ දවස්වල නම් කිසිම වැඩක් නෑ- බෝඩිමේ හිරවෙලා ඉන්නවා. අතේ තියෙන සල්ලි ටික වියදම් වෙනවා විතරයි. ගිය මාස දෙකේදී අපි කරන වැඩ හුගක් තිබුණා. දවසට හොඳ ගාණක් හම්බ කළා. අපි වැඩ කරගෙන ආවා විතරයි. ඔක්කොම නැවතුණා. ආයේ ඉතින් අපිට කාලයක් බලාගෙන ඉන්න වෙයි.’
දුර බැහැර පෙදෙස්වලින් කටුනායකට පැමිණෙන බොහෝ ශ්‍රමිකයන්ගේ තත්වය හඳුනාගැනීමට සංජීවගේ කතාව අපූරු දර්ශකයකි. රැකියාවට සරිලන වැටුපක් නොලැබුණත් රැකියා අහිමි වූවත් ඔවුන්ට නැවත තම ගම් බිම් බලා යෑමට අවසර නැත. ඒ ගම්පත්තුවේ යම් මුදලක් හොයා කරගත හැකි වෙනත් කරන්නට යමක් නොමැති නිසාය. ඒ නිසාම ජීවිතයේ තරුණ කාලය අඩු පහසුකම් කුලී කාමර තුළ හා අසීරු රැකියා කොන්දේසි මත ගෙවා දැමීමට ලංකාවේ තරුණයාට සිදුව තිබේ.

කොවිඞ්-19 වසංගත තත්වය නිසා අසරණ වන පුද්ගලයන්ට කලින් වතාවේදී රුපියල් 5000ක දීමනාවක් ලැබුණි. එහෙත් සංජීවට ඒ සහනය ලැබී තිබුණේ නැත.

‘මම මේසන් වැඩ කළා ගිය පාර කොරෝනා එනකොට- මගේ බිරිඳ ඇඟලුම් කම්හලක ස්ථිර සේවිකාවක්. ඇයට ස්ථිර වැටුපක් ලැබෙනවා කියලා ග්‍රාමසේවක අපිට ඒ දීමනාව දෙන්න බැහැ කිව්වා. ඊළඟට අපේ මුල් ගමෙන් ඒ දීමනාව ලබාගන්න කිව්වා. ඒ වනකොට මේ පැති ලොක්ඩවුන් කරලා තිබුණේ. අපි කොහොමද ගමට යන්නේ? ඊට පස්සෙ මේ පැති විවෘත කළාට පස්සෙත් යන්න බැරි වුණා. ඇත්තම කිව්වොත් ගිහින් වැඩක් නෑ. රුපියල් 5000ක් ගන්න විතරක් ගමට යන්න පුළුවන්ද? යන්න එන්න රුපියල් 2000ක් විතර යනවා- අම්මට තාත්තට මොනව හරි ගන්න ඕනෑ- එතකොට ඒ ගානත් ඉවරයි.’

මෙවරත් රුපියල් 5000ක සහන දීමනාවක් ලැබෙන බවට හාහූවක් තිබේ. තමන්ගේ ගම් ප්‍රදේශවලින් බැහැර රැකියා කරන සංජීව වැන්නන්ට එම සහනට ඔවුන් රැකියා කරන ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන්ම ලබා ගැනීමට පහසුකම් සපයන්නේන් නම් එය ඔවුන්ට යම් හෝ සහනයක් වනු ඇත.

සාමාන්‍යයෙන් නිරෝධානයට යොමුකරන්නේ නිශ්චිත පීසීආර් පරීක්ෂණයකට ලක් කර එයින් පොසිටිව් ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන්ය. ඉන්පසු පිළිවෙළින් ආසාදිතයාගේ පවුලේ සාමාජිකයෝ හා අසල්වැසියෝද නිරෝධායන ක්‍රියාවලියකට හෝ ස්වයං නිරෝධායනයට ලක් කෙරෙති- මෙම ක්‍රියාවලියේදී නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් රෝගී ලක්ෂණ කිසිවක් නැති සෞඛ්‍යසම්පන්න පුද්ගලයන් පවා තම නිවසින් දුරබැහැර නිරෝධානය මධ්‍යස්ථානවලට යොමු කෙරුණු අවස්ථා තිබේ.

කටුනායක වෙළඳකලාපය ආසන්න ගම් පෙදෙසක තාවකලිකව ළැගුම් ගෙන සිටින ඇම්. දයාවතී ඇගේ කතාව මෙසේ දිගහැරියාය.

‘මම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ෆැක්ටරියේ මෑන් පවර් සේවිකාවක් හැටියට දවස් කිහිපයක් වැඩ කළා. මම අන්තිමට ඔය කියන ආයතනයේ වැඩ කළේ අගෝස්තු දෙවැනි සතියේ දවසක. මෑන් පවර් මිනිස්සුන්ට ස්ථිර තැනක් නෑනේ. එක දවසක එක ෆැක්ටරියක. තව දවසක වෙනත් එකක්.

මට ඔය කියන රෝග ලක්ෂණ එකක්වත් තිබුණෙ නැතත් මා නිරෝධානයට ලක් කළ යුතුයි කියලා තීරණය කරලා තියෙනවා. ඒ විදිහට තමයි මාවයි පුතායි මෙහාට (නිරෝධායන මධ්‍යස්ථානයට) එව්වේ. මෙහෙට ගෙනාවාට පස්සේ අපි හැමෝටම පීසීආර් පරීක්ෂණය කළා. මට කිසි ප්‍රශ්නයක් නැහැ. පුතාටත් නැහැ. හැබැයි බස් එකේ අපි එක්ක ආපු හතර දෙනෙකුට ලෙඬේ හැදිලා කියලා තහවුරු වුණා. ඒ නිසා තවත් දින දාහතරකට මටයි පුතාටයි නිරෝධායනය වෙන්න සිදුවෙනවා.’

ඇගේ පුතාද ඇය සමග දැනට නොරෝධානය මධ්‍යස්ථානයක සිටියි. ඇගේ පුතු මෙවර අ-පො-ස සා/පෙළ විභාගයට සූදානම් වෙමින් සිටි ශිෂ්‍යයෙකි. නිවැරදි ආසාදිතයන් හඳුනාගැනීමේ ක්‍රමයේ පවතින දුර්වලතාවක් නිසා ඔහුටද සාමාන්‍ය තත්වයන් යටතේ විභාගයට සූදානම් වීමේ ඉඩ ඇහිරී තිබේ.

දැන් තිබෙන තත්වය දිනෙන් දින දරුණු අතට හැරෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනේ. එහෙත් නිසි සොයාබැලීමකින් අනතුරුව රෝගීන් හඳුනාගැනීම වැදගත් ය. සමාජය තුළ පවතින බිය හා සැකය නිසා නිරෝගී පුද්ගලයන් ද නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම ඔවුන්ගේ ජීවිත ද අනතුරේ හෙළීමකි. එම්. දයාවතීතමන්ට සිදුවූ අපහසුතාව ගැන කනස්සලු ස්වභාවයෙන් මෙසේ කීවාය.

‘මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ෆැක්ටරියෙන් ලෙඞ්ඩු වැඩිපුර හමු වුණ නිසා ඊට සති තුනකට විතර කලින් ඒ වැඩපළට ගිය මාමත් රෝග වාහකයෙක් කියලා ගමේ අය හිතුවා. සමහර අය පොලිසියටත් මං ගැන දන්වලා තියෙන කියලා හිතෙනවා- මුලින් පොලීසියෙන්ම ඇවිත් ගෙදර ඉන්න කියලා කිව්වා. ඒත් ඊට දවස් තුනකට විතර පොලීසියෙන් මහත්තයෙක් ඇවිත් නිරෝධානයට යන්න ලෑස්ති වෙන්න කිව්වා.’

රෝගය පතුරවන්නන් ලෙස සාමාන්‍ය සමාජය පුද්ගලයන් හංවඩු ගැසීමට පෙළඹී තිබේ. නිලධාරීන්ද ඒ හංවඩුවට අනුව රෝගකාරකයන් සොයනවාට වඩා නිවැරදිව තහවුරු කරගත් තොරතුරු අනුව පුද්ගලයන් නිරෝධායනට යොමු කරනවා නම් වටී- නිලධාරීන්ගේ නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් ආසාදිතයන් හෝ ආසාදිතයන් ලෙස අනුමාන කෙරෙන පුද්ගලයන් කෙරෙහි පොදු සමාජය තුළ අපරාධකාරී හැඟීමක් වර්ධනය වීමය.

මාධ්‍ය හමුවේ මවාපාන කොවිඞ්-19 මර්දන ක්‍රියාවලියට හාත්පසින් වෙනස් ආකාරයට යථාර්ථය තුළ එය සිදුවන බව අසංකගේ කතාවට ඇහුම්කන් දෙන විට හැඟේ.

‘මම මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ෆැක්ටරියේ මෑන් පවර් සේවකයෙක් විදිහට මීට මාසයකට විතර කලින් වැඩ කළා. වැඩකළේ ස්ටෝරුවේ. මාත් එක්ක වැඩකරපු කිහිපදෙනෙකුට පොසිටිව් වූණා කියල ආරංචි වුණා. මම මේ කරුණු ගැන ප්‍රදේශයේ පීඑච්අයි මහත්තයට දැනුම් දුන්නා. ඔහු මා පරීක්ෂා කරන්න එන බව සඳහන් කළා. එහෙත් ඔහු මෙතෙක් ආවෙ නෑ. එකදවසක පීඑච්අයි මහත්තයා කතා කරලා කියනවා එයාපෝර්ට් ගාර්ඩන් හොටෙල් එකේ පීසීආර් ටෙස්ට් කරනවා හවස 3ට කලින් යන්න කියලා. ඒ වෙනකොටත් හවස දෙකහමාර පැනලා. මම ඇහුවා මහත්තයෝ මේ ඉක්මනට කොහොමද එන්නේ කියලා. මොකද පාරේ බසුත් වැඩ නෑ. ඔහු කිව්වේ කොහොමහරි යන්න මට ඒක අදාළ නෑ කියලා.’

දැන් පවතින අවදානම්කාරී තත්වය තුළ රජයේ වගකිවයුතු නිලධාරීන්ට කප්පරක් රාජකාරී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් නිලධාරීන්ට මේ තරමට නොසැලකිලිමත් විය හැකිද? ආසාදිතයෙකු යැයි සැකයක් තිබෙන පුද්ගලයෙකු මහපාරට මුදාහරන්නේ කෙලෙසද?

අසංක කීවේ තමන්ද මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති නිසා පීසීආර් පරීක්ෂණය කරගැනීමට අදාළ ග්‍රාම නිලධාරී, පී-එච්-අයි, හා පොලීසිය දැනුවත් කළ ද නිලධාරීන් නිසි සැලකිල්ලක් නොදැක්වූ බවය. සාමාන්‍යයෙන් පීසීආර් පරීක්ෂණය සිදුකරන්නේ එක් පොදු ස්ථානයකය. පොදු ප්‍රවාහන සේවයක් ද නැති අවස්ථාවක කිලෝමීටර ගණන් විවිධ නිලධාරීන් හමුවීමට පයින් ම ගොස් රස්තියාදු වූ බව අසංක කියයි.
කොවිඞ්-19 ආසාදිතයන් කෙරෙහි යම් ත්‍රස්තවාදී හැඟීමක් සමාජය තුළ වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. ඊට ආසාදිතයන්ගේ පවුල් පසුබිම්, ආ ගිය තැන්, ඔවුන්ගේ අතිශය පෞද්ගලික සමාජ සම්බන්ධතා හෙළිකිරීමට කැමරා ඔසවාගෙන ඔවුන් පිටුපස හඹායන විද්‍යුත් මාධ්‍ය නාලික ප්‍රධාන වශයෙන් වගකිව යුතුය. කුලීරථ රියැදුරන් පවා මෙවැනි අවස්ථාවක නොදන්නා පුද්ගලයන්ට ප්‍රවාහනය සැලසීම ප්‍රතික්ෂේප කරන බව ඔහු කීවේය.

වසංගතයක් සමයක සිදු නොවිය යුතු දේවල් බොහොමයක් මේ වන විට සිදුවෙමින් තිබේ. ආණ්ඩුව පැත්තෙන් කිසිදු පාලනයක් නැත. මේවා හැකි ඉක්මනින් නිවැරදි නොකළොත්, මෙයින් සිදුවන බලපෑම තවත් බරපතළ වනු ඇත.

ධනුෂ්ක සිල්වා