දුම්රිය රියැදුරන් ඇතුළු දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් හදිසියේ වැඩ වර්ජනයකට යෑම නිසා කුපිත වූ මහජනතාව ඇති කළ කලබලය විසින් වෘත්තීය අයිතිවාසිකම්, වෘත්තීය සමිති හා වෘත්තීය ක‍්‍රියාකාරකම් පිළිබඳ අලූතෙන් කතා කළ යුතු මොහොතක් අපට මුණගස්වා ඇතැ’යි සිතිය හැකි ය.

එහෙත්, අවාසනාවකට මෙන් අපේ රටේ නැත්තේ ද ඒ සාකච්ඡාව ම ය.

දේශපාලන පක්‍ෂ හා දේශපාලකයෝ තමන්ගේ ක‍්‍රියාකාරිත්වය ගැන ස්වයං විවේචනාත්මකව හැරී නොබලති. ජනමාධ්‍ය සමාජය තමන්ගේ වෘත්තීයමය හැසිරීම ගැන ස්වයං විවේචනාත්මකව හැරී නොබලති. කිසිදු වෘත්තිකයකු තමාගේ වෘත්තිකභාවය හා වෘත්තික ක‍්‍රියාපිළිවෙත් ගැන ආපසු හැරී බලන්නට කැමති නැත. එසේ ම, මේ රටේ වෘත්තීය සමිති ද. එහි නායකකාරකාදින් ඇතුළු සාමාජිකයෝ ද, කිසිසේත් තමන් දෙස ම ආපසු හැරී බලන්නට කැමති නොවෙති. ඔවුන් තවමත් කියන්නේ 19 වැනි සියවසේ සටන් පාඨ ය. හැසිරෙන්නේ ඊටත් එහා ගෝත‍්‍රික යුගයේ මිනිසුන් හැසිරුණු අන්දමට ය. එකම පිරිසක් සදාකල් ප‍්‍රධාන නිලතල හොබවන බොහෝ වෘත්තීය සමිතිවල, තීන්දු තීරණ ගැනෙන්නේ, තම වෘත්තීය අයිතිවාසිකම් රැුක ගැනීමේ මුවාවෙන්, අන්‍යයන් හැකි තරම් පීඩනයට පත් කරන්නේ කෙසේ ද යන මූලධර්මයට අනුවයැ’යි සිතෙන තරම්, සමහර විට එම තීන්දු තීරණ පීඩාකාරී ය. ඇතැම් විට ක‍්‍රෑර ය.

පසුගිය දා ශ‍්‍රී ලංකා වෛදය සභාවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න කීවේ, වෛi සභාව දැනට පවත්වාගෙන යන්නේ මහජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් නොව, වෘත්තීය සමිතිවල, විශේෂයෙන් ම රජයේ වෛi නිලධාරීන්ගේ සංගමයේ සුබසාධනය සඳහා, ඒවායේ අත්අඩංගුවේ සිටිමින් බව ය.

වෘත්තීය සමිතියක වෘත්තීය ක‍්‍රියාමාර්ගවල සාර්ථක අසාර්ථකභාවය මැන බලන්නේ, ඒවායින් මහජනතාව කොයි තරම් ප‍්‍රමාණයක්, කොයි තරම් කාලයක් පීඩනයට පත් කරන්නට හැකි වුණි ද කියන කාරණය මත ය.

ලංකාව වෙනත් රටවල් සමග ඇති කර ගන්නා වෙළෙඳ ගිවිසුම් වැනි සම්පූර්ණයෙන් ම රාජ්‍ය පාලනය, ආර්ථිකය හා දේශපාලනය සමග බද්ධ වුණු දේවල් සම්බන්ධයෙන් පවා වෛදයවරු සුලබ ලෙස වැඩ වර්ජනවලට යන්නෝ, තමන්ගේ වර්ජනයන්ගෙන් රටේ මහජනතාවට ඇතිවන අතිවිශාල හානිය ගැන නිසි තක්සේරුවක් ඇති ව ය. ඒ වර්ජනවලින් වරප‍්‍රසාද ලත්, ඉහළ පන්තියේ කිසිවකුට හානියක් නොවන බව ද, එදා වේල අමාරුවෙන් සරි කර ගන්නා, රජයේ රෝහලෙන් බෙහෙත් ටික නොමිලයේ ගන්නා අසරණ මිනිසුන්ට නම් ඒ නිසා අප‍්‍රතිකාරී හානියක් වන බව ද ඔවුහු හොඳින් ම දනිති. ඒ පිරිස පීඩාවට පත් කරමින්, ඔවුන් ප‍්‍රාණ ඇපයට ගෙන, තමන්ගේ ඉල්ලීම් ඉටු කරවා ගැනීමට ආණ්ඩුව ගලග‍්‍රහණයට ගැනීම ඔවුන්ගේ පරමාර්ථයයි.

දුම්රිය වර්ජනයේ දී වූයේ ද එය ම ය. රට පුරා දුම්රියවලින් උදේ කොළඹට ගෙනෙන ලද කාර්යාල සේවකයෝ දස දහස් ගණනක්, ආපසු නිවෙස්වලට යෑමට එන විට දුම්රිය වර්ජනයක් දැන ගන්නට ලැබීම, ඔවුන් කුපිත කරවනසුලූ තත්ත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. ‘උදේට එළියට දාන හරක් ගාලක් වුණත්, හවසට ගාලට ගිහින් දාන සිරිතක් තියෙනවා. මුං ඒකවත් කරන්නේ නැහැයැ’යි එක් මගියකු කීවේ ඒ පීඩනය නිසා ය.

දුම්රිය මගී පීඩනය මේ තරම් පුපුරා ගියේ හුදෙක් එම වර්ජනය නිසා ම නොවේ. ඒ මහජනතාවගේ ප‍්‍රකාශ තුළ තිබුණේ, පසු ගිය කාලය පුරා ම සීමාවක්, විනයක් නැතිව පැවැති වර්ජන, උද්ඝෝෂණ රැුල්ල ගැන තමන් ගේ් අප‍්‍රසාදය හා විශේෂයෙන් ම  පසු ගිය දා පැවැති වෛi වැඩ වර්ජනයෙන් ලද පීඩාවේ ශේෂයන් ය.

මේ සියල්ල ගැන පරෙස්සමෙන් සලකා බලන එල්බගත් සිහියෙන් යුතු කිසිවෙක් වෘත්තීය සමිතිවල වෙත් නම්, මේ යළි හැරී බලන්නට කාලයකි.