අධ්‍යාපනය විසින් මානව ආත්මයකට සිදු කරනු ලබන්නේ, මුර්ති කලාව විසින් කිරිගරුඬ කුට්ටියකට සිදු කරන දෙය ම යැයි ජෝසප් ඇඩිසන් නමැති ඉංග්‍රීසි ජාතික ලේඛකයා වරෙක පැවසී ය. පිකාසෝට අනුව “මුර්ති ශිල්පය යනු බුද්ධියේ කලාව” යි. අපේ ඉසුරුමුණි පෙම් යුවළ දුටු රජී වෙල්ගමට “කළුගල් මේ තරම් සියුමැලිද” යන්න සිතන්නටවත් බැරි වූ සෙයින් ම රන්-සෙල්-ලෝකඩ-මැටි-දැව යනාදී නා නා ඝන වස්තු කැපී-බිඳී-මැඩී සුමට සහ සියුම් ත්‍රිමාණ රූ ප්‍රතිමාදිය බවට පත් වන මහිමය අදහාගනු බැරිව මෙය ලියමි.

ඊජිප්තු ජාතික තුට්මොස් විසින් නිර්මාණය කළ “නෙෆටිටි රැජනගේ උඩුකය” මූර්තිය, චීනයේ කුයින්- ෂි-හුවාන් අධිරාජයාගේ සේනාව නිරූපනය වන අටදහසකට අධික ප්‍රතිමා තොගය, ප්‍රංශයේ ලුවර් කලාගාරයේ තබා ඇති නයික්(ජයග්‍රහණයේ දෙවඟන) සහ වීනස්(ආදරයේ දෙවඟන) යන ග්‍රීක දෙවඟනන්ගේ ප්‍රතිමා, මයිකල් ආන්ජලෝගේ “පියෙටා”, “ඩේවිඩ්”, “හර්කියුලීස් සහ කාකස්” ඇතුළු මූර්ති රාශිය, ඇමරිකාවේ නිදහස් ප්‍රතිමාව යනාදී සිය දහස් ගණනක චිත්තාකර්ශනීය නිර්මාණ, ලෝක මුර්ති කලාවේ ශ්‍රී විභූතිය දරා සිටී. මානව රූපකාය ප්‍රතිනිර්මාණය කරමින් නොනවතින මිනිසා, සිය චින්තන ශක්තිය යොදවා, හැඟීම් කාවද්දා, එම මුර්තීන් යුග යුග වොරඳනා උසස් කලා නිර්මාණ බවට පත් කර ඇති ආකාරය කෙතරම් විශිෂ්ට ද? මිනිසාගේ ඒ නිර්මාණාත්මක චින්තනය මුර්ති, කාව්‍ය, චිත්‍රාදී කලා ආලෝකයන් පමණක් නොව, විවිධ දර්ශන, විද්‍යා ඥාණ ප්‍රභාවන් ද දල්වමින් මානව ප්‍රජාව නොනවතින අභිවෘද්ධි ගමනක නිරත කර ඇත. එබැවින්, ඒ චින්තන ආශ්චර්යය සහ කල්පනා විජිතය සංකේතවත් කරන සුප්‍රකට මුර්තියක් වටා වට දෙක තුනක් යන්නට සිතුවෙමි.

ප්‍රන්සුවා ඔගස්ටේ රූඩීන් නම් ප්‍රංශ ජාතික ශිල්පියාගේ “The Thinker” (දාර්ශනිකයා) නම් ලෝකඩ මුර්තිය ඉතිහාසයේ සිට නූතන මිනිසා දෙස ඉස්සී බලයි. නවන ලද දකුණත මත නිකට තබා ගැඹුරු කල්පනාවක ගැලී සිටින මේ නිරුවත් මිනිසා දර්ශනය විෂයය සංකේතවත් කරන්නක් ලෙස ප්‍රකටය.

මනසින් උසස් සත්ත්වයා සියල්ල නිර්මාණය කරනුයේ සිතීම තුළිනි. කලා සිරියත්, විද්‍යා අසිරියත්, යානා, මතු මහල්, නගර, ආශ්චර්යයන් සියල්ලත් මුලින් ම බිහි වන්නේ මිනිසාගේ “කල්පනා ලොව මල් වනේ-සිහින රජදහනේ”ය. ලෝකය, එය විඳින්නන්ට ශෝකාන්තයක් බවත්, සිතන්නන්ට ප්‍රහසනයක් බවත් බ්‍රිතාන්‍ය ජාතික කලා ඉතිහාසඥ හොරස් වොල්පෝල් ලියයි. මිනිසුන්ගෙන් සියයට දහයක් තමන් සිතන්නන් ලෙස සිතා සිටින බවත්, සියයට අසූ පහක් ම සිතනවාට වඩා මියයාම සැපයකැයි සිතන බවත්, සියයට පහක් පමණක් සැබැවින්ම සිතන්නන් වන බවත් තෝමස් අල්වා එඩිසන් පැවසී ය. ඉතින් සිතා මතා සිතීම එකකි, සිතෙන්නට හැරීම එකකි. අරිතා ෆ්‍රෑන්ක්ලීන් නම් ප්‍රකට ඇමරිකානු ගායිකාවගේ “Think” නමැති ජනප්‍රිය ගීතය මෙසේ ගැයෙයි.

“…..ඔබ සිතන එක හොඳයි, සිතන්න.

සිතන්න, ඔබ මට කුමක් කරන්නට

සැරසෙනවාදැයි සිතන්න.

ඔව්! සිතන්න සිතන්න, මනස ඔබේ මුදවන්න.

ඔබව ම නිදහස් කරන්න.

 ඔව්! නිදහස නිදහස නිදහස…..”

සිතීම නම් වූ පියාසැරිය ගැන සිතද්දී මට සිහිපත් වන්නේ රූඩින්ගේ “The Thinker” මුර්තියේ නිරූපනය වන ගැඹුරු සිතීම් ඉරියව්වමය. ඔහු එය නිර්මාණය කරන්නේ ඉතාලියානු කිවියර (ඩාන්ටේ) ඩාන්ටේ අලිගේරි 14 වන සියවසේදී ලියූ “Divine Comedy” නම් මහා කාව්‍යයේ මුල් කොටස, “Inferno” ඇසුරින් කළ “The Gates of Hell” (අපායේ දොරටු) නම් මීටර් 4 x 1 x 6 ප්‍රමාණයේ සුවිශාල මුර්තියේ කොටසක් වශයෙනි. The Thinker ලෙස ජනප්‍රිය වී අද වන විට ලොව පුරා ප්‍රධාන විශ්ව විද්‍යාල, කලාගාර සහ ශිල්පායතන රැසක් ඉදිරිපිට අනුරූ වශයෙන් ඉදි වී ඇති මේ මුර්තිය, රූඩින් විසින් මුලින් නම් කර තිබුණේ “The Poet” (කවියා) ලෙසිනි. එයින් ඩාන්තේ කවියා නිරූපනය කළ බවට ද මත ඇතත්, රූඩින් වඩාත් පුළුල් අරුතකින් ආන්ජලෝගේ “ඩේවිඩ්” ප්‍රතිමාව බඳු විරු රුවක් ලෙස මෙය නිමවන්නට ඇතැයි පිළිගැනේ.

රූඩින් 1880 දී “අපායේ දොරටු” මූර්තිය නිර්මාණය කිරීම ආරම්භ කළේ යෝජිත “සැරසිලි කලා කෞතුකාගාරයක්” උදෙසා ය. ඔහු වසර 37ක් තිස්සේ කොටස් වශයෙන් මෙය නිර්මාණය කළ බව කියැවේ. එම කෞතුකාගාරය කිසිදා ඉදි නොවුණු අතර ඔහු මිය යාමට ප්‍රථම නොනිමි මුර්තිය ප්‍රංශ රජයට පවරන ලදී. අද වන විට ෆිලඩෙල්‍ෆියාවේ රූඩින් කෞතුකාගාරය ඇතුළු ස්ථාන ගණනාවක “දාර්ශනිකයා” ගේ සම්පූර්ණ ප්‍රමාණයේ අනුරූ ඉදි කර ඇති අතර වික්ටෝරියා, ජිනීවා, වොෂින්ටන් යන කලාගාරවල එම මුර්තියේ මුල් ලෝකඩ අනුරූ ප්‍රදර්ශනයට තබා ඇත. 1916දී නිමවුණු තවත් මුල් මුර්තියක් 2010 වසරේදී ඩොලර් මිලියන 11.8කට වෙන්දේසියේ අලෙවි විය.

මිනිසා සතු ආවේණික ශක්තිය, චින්තනය නිරූපනය කරන, අපට සිතන්නට මතක් කරන රූඩින්ගේ ලෝකඩ දාර්ශනිකයාව මෙවර මට සිහිපත් කළේ අගතා ක්‍රිස්ටිගේ “Peril at End House” නවකතාවයි.

“මං කල්පනා කරමිනුයි සිටියෙ” මම ඔහුට කීවෙමි.

“අගය කළ යුතු ව්‍යායාමයක් මගේ මිත්‍රයා ! දිගට ම එහි නිරත වෙන්න”