‘ස’ ප්‍රසංගයේ මංගල දර්ශනය තිබුණෙත් ලුම්බිණියේ. ශාලාවෙ ඇතුළෙ සෙනඟ තදබදය වැඩි නිසා මිනිසුන්ට හුස්ම ගන්න අමාරුවෙලා ජනෙල්වල වීදුරු කැඩුවා ඇතුළෙ හිටපු අය.

■ පවිත්‍රා රූපසිංහ

ලංකාවේ නාට්‍ය කලාව උපත ලැබුවේ කොළඹ කේන්ද්‍ර කරගෙනය. කොළඹ පිහිටි නාට්‍ය ශාලා එනම් ටවර්, එල්පින්ස්ටන්, ලයනල් වෙන්ඞ්ට්, ජෝන් ද සිල්වා, බොරැල්ල වයි.එම්.බී.ඒ., ලුම්බිණි රඟහල කාගේත් ජනාදරයට පාත්‍ර වී ඇත.

එහෙත් ඇතැමුන් කියන ආකාරයට නම් ‘ලුම්බිණි තමයි රඟහලෟ’

‘නාට්‍යයක් නම් ඉතින් පටන්ගන්න ඕනෑ එතැනින්’ බවද ඇතැම්හු කියති. ඒ නිසා ‘නාට්‍ය කලාවේ ප්‍රදීපස්ථම්භය’ ලෙස සැලකිය හැක්කේ ලුම්බිණි රඟහලයි. හැටේ සහ හැත්තෑවේ දශකය සිංහල නාට්‍ය කලාවේ දීප්තිමත් යුගයක් ලෙස සනිටුහන්ව ඇත. එහෙත්, නාට්‍ය කලාවේ ඉරණමට සමගාමීව ලුම්බිණි රඟහලත් දැන් එදා තරම් අභිමානයෙන් නැගී නොසිටියි.

කරුණු එසේ වුවද,  ලුම්බිණියේ අතීත මිහිර සිහිකැඳවීමෙන් පමණක් වුවත්, එදා නාට්‍ය කලාවේත් ඊට උරදුන් කලාකාමී වගකිවයුත්තන්ගේත්, රසලෝලීන්ගේත් මතකය අවදි වී විඩා නිවනු ඇත.

මේ කතා කරන්නේ ලුම්බිණිය ගැනම නොවේ. ලුම්බිණියත් හා ඒ හා බැඳුණු අයත් ගැනය.

ලුම්බිණි රඟහල වටා රොක්ව සිටි මිනිසුන් අතර ‘බාලසූරිය අයියා’ හෙවත් පටබැඳිගේ සයිමන් බාලසූරිය නම් සුවිශේෂ මිනිසෙක් සිටියි. හැත්තෑව දශකයේ ලුමිබිණියේ භාරකරු වූ ඔහු නම් කැරුණේ ‘ලුම්බිණියේ මුරදේවතාවා’ යනුවෙනි.

1929දී ඇරඹෙන කොළඹ, තිඹිරිගස්යාය, ‘හැව්ලොක් ටවුමේ ජ්‍යේෂ්ඨ පාඨශාලාව’ පසුකාලෙකදී ලුම්බිණි මහා විද්‍යාලය බවටත්, ලුම්බිණි මහා විද්‍යාලයේ ගොඩනඟන ලද රැස්වීම් ශාලාව, ‘ලුම්බිණි රඟහල’ හෙවත් කටට පුරුදු විදියට ‘ලුම්බිණිය’ බවටත් පත්විය. එකී ලුම්බිණිය, හුදෙක් ලුම්බිණි මහා විද්‍යාලයට පමණක් නොව, ලංකාවේ නාට්‍ය කලාවට අයිති උරුමයක් වීම ආරම්භ වන්නේ 1959 වසරේ ජනවාරි 30 දා ලුම්බිණි රඟහළේ පළමු නාට්‍යය වන ‘සඳකිඳුරු නාට්‍යය’ රඟදැක්වීමත් සමඟය.

අද ලුම්බිණි රඟහල භාර නිලධාරියා අනුරුද්ධ සමරවීරය. අනුරුද්ධ, බාලසූරියගේ ළඟම නෑයෙකි. හරියටම කියනවා නම් බාලසූරියගේ දියණිය සමඟ විවාහ වී සිටින්නේ අනුරුද්ධය. ඒ හින්දා අනුරුද්ධ, බාලසූරියගේ බෑණාය.

‘1963දී ලුම්බිණි විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියා හැටියටයි මගේ බිරිඳගේ තාත්තා රාජකාරි භාරගත්තේ. පස්සෙ ඔහුව රඟහලට අනුයුක්ත කරලා තියෙනවා. රඟහලේ නාට්‍ය පෙන්නන්න පටන් ගත්තාම, තාත්තා මේ රාජකාරි දෙකම කළා. කලාකරුවන් සමඟ හරිම සමීපව කටයුතු කළ තාත්තාට ආදරේට කිව්වේ ‘බාලේ’ කියලා. ලුම්බිණියේ පෙන්වන සියලුම නාට්‍ය තාත්තා බැලුවා. හොඳ නාට්‍යලෝලියෙක්. පසුව ඒවායේ හොඳ නරකත් නාට්‍යකරුවන්ට කීවාලු. නාට්‍යයක් කොයි තරම් කාලයක් දුවනවාද කියලා කල් තියා කියන්න තාත්තාට පුළුවන්කමක් තිබුණාලු. එයා කිව්වොත් ඉතින් නාට්‍යය හරියටම දුවනවා තමයි කියලා විශ්වාසයකුත් ඒ කාලේ තිබුණාලු. පොඩි පොඩි නාට්‍යවල ලයිට් කරන එක්කෙනා ආවේ නැත්නම් තාත්තා ඉතින් ලයිට් වැඩත් කරලා තියෙනවා. නාට්‍යකරුවන්ට හවස 1.30ට තමයි ලුම්බිණියේ දොරවල් ඇරලා දෙන්නේ. සවස හතරට පහට එයා ඕෆ්. ඒ වුණත් ගෙදර එන්නෙ රෑ දොළහට විතර. හවසට නාට්‍යකරුවන්ට උදව් වෙමින් ඒවාට සම්බන්ධ වෙන එක තමයි ඊළඟ රාජකාරිය.’

‘බාලසූරිය අයියා හරිම සැරයි’ කියන මතය හරි ප්‍රසිද්ධයි. ඒක ඇත්ත. ඒත් ඒ වෙලාවට විතරයි. ඊට පස්සෙ ඒ අය එක්ක සහයෝගයෙන් වැඩ කරනවා. කොයි කවුරු ආවත් ඔහු ලුම්බිණියේ දොර අරින්නේ නම් හරි වෙලාවට. වෙලාවට ඉවර වෙන්නත් ඕනෑ. පොඞ්ඩක් එහාට මෙහාට කරනවා. එයා ආස කළ විශේෂ නාට්‍යයක් නැහැ, හැම නාට්‍යයකටම වගේ කැමතියි. නාට්‍ය කලාව තාත්තාගේ ඇඟේම තිබුණා. 1994දී ලුම්බිණියෙන් තාත්තා විශ්‍රාම ගත්තත්, ඔහු සදහටම ලුම්බිණිය හැරගියේ 2008 සැප්තැම්බර් 19 වැනිදායි. විශ්‍රාම ගියත් ලුම්බිණි ප්‍රින්සිපල් තාත්තාට ආරාධනා කරලා තිබුණා දිගටම වැඩ කරන්න. කලාශිල්පීන් සමඟ හරිම සුහදව සිටි ඔහු එදා ලුම්බිණියට නැතිවම බැරි කෙනෙක්.

ගුණදාස කපුගේගේ ‘කම්පන’ ප්‍රසංගය පැවැත්වුණු අවස්ථාවේ ලුම්බිණියෙ දොරවල් මිනිස්සු කැඩුවා. නමුත් තාත්තා කවදාවත් තනි පුද්ගලයෙකුට චෝදනා කළේ නැහැ. ෂෝ එක සංවිධානය කළ කෙනාට කියලා දොරවල් හැදෙව්වා. ඒවා එයාට හොඳට පුරුදුයි. ගැටෙන්න ගියේ නැහැ. ලුම්බිණයෙ  ෆස්ට් ෂෝ එකක් පෙන්නුවොත් ඒ නාට්‍යය 200, 300 වාරයක් දුවනවා කියලා එයා කියනවා. ඒ තරමට ලුම්බිණි රඟහල වාසනාවන්තයි කියලා බාලෙ අයියා නිතර කීවාලු.

තාත්තාගෙ හොඳම මිතුරන් වුණේ ලුම්බිණියෙ ලයිට් කළ සේන අයියායි, පැටි්‍රක් අයියායි. එයාට ලයිට් කිරීම පිළිබඳවත් දැනුම තිබුණා.’

බාලෙ අයියාගේ රැකවරණය මැද ප්‍රතාපවත්ව සිටි ලුම්බිණිය එදා පෑ පෙළහර ගැන අද නාට්‍යකරුවන් සිහිපත් කරන්නේ අද ලුම්බිණිය දැඩි නිහඬතාවක ගිලී සිටීම ගැන කණස්සල්ලද මුසුවුණු හැඟීමකිනි. රන්ජිත් ධර්මකීර්ති ලුම්බිණියේ ආදි සිසුවකු මෙන්ම සිංහල නාට්‍ය වේදිකාවට නාට්‍ය ගණනාවක් දායාද කළ පැරණිතම නාට්‍යකරුවෙකු සහ ලුම්බිණියේ ප්‍රබෝධයට අත්වැලක් වූවෙකි. ඔහු මෙසේ කියයි.

‘මම ලුම්බිණියේ ඉගෙනගන්නා කාලයේදී 1958 වගේ  විතර ‘මනමේ’, ‘සිංහබාහු’, ‘කරදිය’ නාට්‍ය නැරඹුවා. අද කාලේ වගේ නෙවෙයි එදා නාට්‍යවලට විශාල ප්‍රබෝධයක් තිබුණා. හැටේ දශකයේ මුල් භාගයේදී සුගතපාල ද සිල්වාගේ ‘බෝඩින්කාරයෝ’, ‘තට්ටු ගෙවල්’ වගේ නාට්‍ය බලන්න විශාල සෙනඟක් ලුම්බිණියට ආවා. හෙන්රි ජයසේනගේ ‘හුණුවටයේ කතාව’, ‘අපට පුතේ මගක් නැතේ’ වැනි නාට්‍යවලට පැමිණි සෙනඟ පාලනය කිරීමට නොහැකිව දොරවල්වලට පවා හානිවුණා මට මතකයි. එවැනි අත්දැකීම් අද නැහැ.

මගේ මුල්ම නාට්‍යය, ‘හිරු නැති ලොව’ 1974දී මංගල දර්ශනය පෙන්නුවෙත් ලුම්බිණියේ. ඒ කාලේ මිනිස්සු අතර මතයක් තිබුණා නාට්‍යයක් කළොත් එය ලුම්බිණියේ පෙන්නුවේ නැත්නම් වැඩක් නැහැ කියලා. ඒ වගේම තමයි පේරාදෙණියේ වලේදී නාට්‍යයකට හූවක් ලැබුණේ නැත්නම් ඒත් වැඩක් නැහැ කිව්වා. ඒ කාලේ නාට්‍යකරුවන් ඔය අත්දැකීම් දෙකම වින්දේ හරි සතුටකින්. ලුම්බිණියේ තම නාට්‍යය පෙන්වන්න හැමෝම කැමති වුණ විශේෂ හේතුවක් තමයි, ‘පික්චර් ෆ්‍රේම්’ ස්ටේජ් එකක් හෙවත් ඡායාරූප රාමුවක් වාගේ වේදිකාවක් තිබීම සහ වාස්තු විද්‍යාත්මක ප්‍රමිතියට ශාලාව සකසා තිබීම. එහෙම වුණාම නළුවන්ගේ හඬ නියමිත පරිදි පැහැදිලිව ශාලාව පුරා විහිදෙනවා. එය නළුවන්ට වගේම ප්‍රේක්ෂකයන්ටත් පහසුයි. නාට්‍යයේ ජීවගුණය රඳවාගන්නත් එය අත්වැලක් වුණා.

ඒ දවස්වල ලුම්බිණිය සෑහෙන කාලයකට කලින් වෙන්කර ගන්න ඕනෑ. හැම සති අන්තයකම වාගේ නාට්‍යයක් පෙන්නුවා. ශාලා ගාස්තු හරිම අඩු නිසා නාට්‍යකරුවන්ට ඒකත් වාසියි. ලුම්බිණිය වාසනාවන්ත රඟහල කියලා හැමෝම හැඳින්නුවා. මංගල දර්ශනය ලුම්බිණියේ පෙන්වන්න බැරි උනොත් හිතට මදි වගේ. මගේ ‘මෝදර මෝල’, ‘අන්ගාරා ගඟ ගලා බසී’, ‘මේඝ’ වගේ සියලුම නාට්‍යවල මංගල දර්ශනය පෙන්නුවෙත් ලුම්බිණියෙ. බොරැල්ලේ වයි.එම්.බී.ඒ රඟහලේත් එදා නාට්‍ය පෙන්නුවා. ඒත් ලුම්බිණිය ආශ්‍රිතව ගොඩනැගුණේ වෙනම සංස්කෘතියක්. ඒ සංස්කෘතිය තුළ බාලේ අයියාත් මතක් කරන්න කැමතියි. ලුම්බිණිය ඔහුගෙන් වෙන් කරලා දකින්න බැහැ. ලුම්බිණියේ අපේ කාලේ පෙන්නපු සෑම නාට්‍යයකටම වාගේ බාලේ අයියාගේ දායකත්වය තිබුණා. එවන් අයෙක් නොහිටියා නම් ලුම්බිණිය ඒ තරම් විධිමත් නොවෙන්නන් තිබුණා. ලුම්බිණියෙ විතරක් නෙමෙයි දේශීය නාට්‍ය කලාවේත් ආරක්ෂාවට ඔහුගේ බැල්ම වැටිලා තිබුණා කිව්වොත් හරි.’

හැත්තෑව දශකයේ ලුම්බිණියේ උත්කර්ෂයට දායක වුණු අනේක නාට්‍යකරුවන් අතර සිටින නිශ්ශංක දිද්දෙණිය මතකය අවදිකළේ මෙසේය.

‘මං මුලින්ම ලුම්බිණියට ආවේ 1960 අවුරුද්දේදී සාපෙළ පෙරදිග සංගීත සහ නැටුම් විභාගයටයි. නැවත 1963දී ලුම්බිණියට ආවේ සමස්ත ලංකා සංගීත සහ නාට්‍ය තරගයට සහභාගි වෙන්න, සබරගමු පළාතෙ ගංකන්ද විද්‍යාලයෙන් ‘නරි උගුල’ කියන නාට්‍යය අරගෙනයි. ආයෙමත් ලුම්බිණියට ආවා, ලූෂන් බුලත්සිංහලගේ පිටපතක් වුණු එස්.ඒ. ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ ‘රතු හැට්ටකාරී’ නාට්‍යය එක්ක 1973දී. මම ඒකෙ සාලිය චරිතයටත්, මනෝරත්න රජතුමාගේ චරිතයටත් රඟපෑවා. ‘දීකිරි දීකිරි ගෙනාවා දීකිරි’ ඒකෙ ගීතයක්. නාට්‍යය මුලින්ම පෙන්වන දවසේ පුදුම සෙනඟක් ඇවිත් සිටියා. දොරවල් ඔක්කොම විවෘත කළා. මිනිස්සු දොරවල් ළඟ හිටගෙනත් නාට්‍යා බැලුවා. නාට්‍යා ආරම්භ කරන විට තේමා සංගීතය වාදනය කරන විට ශාලාව ගිගුරුම් දෙන්න අත්පොළසන් දුන්නා.

ඒ කාලෙ බොරැල්ලෙ වයිඑම්බීයත් තිබුණා. ඒවාටත් පුරුදු වුණු සෙනඟක් හිටියා. 1970 ජූනි මාසෙ නව රඟහල විවෘත වුණා. ඒ වෙලාවෙ එක දිගට දවස් හයක් නාට්‍ය පෙන්වූවා. ඒ කොයි තැන්වල නාට්‍ය පෙන්නුවත් කේන්ද්‍රස්ථානය වුණේ ලුම්බිණියයි. හෙළ නාට්‍ය කලාවේ කේන්ද්‍රස්ථානය ලුම්බිණිය වුණේ හරියට එංගලන්තයේ ග්ලෝබ් තියටර් එක ශේක්ස්පියර්ගේ නාට්‍යවල කේන්ද්‍රස්ථානය වුණා වගෙයි.

70 දශකය දක්වා ලුම්බිණි ශාලාවේ භාරකරු ෆැට්රික් අයියායි. ඊට පස්සෙ භාරකරු වුණේ බාලසූරිය අයියා. ලයිට් භාරව හිටියේ සේන අයියා. මේ අය තමන්ගේ ශරීරයේ කොටසක් වගේ තමයි මේවා බලාගත්තේ. ඔවුන්ට හැම දෙයක් ගැනම අවබෝධය තිබුණා. මිනිසත්කම තිබුණා. වේදිකාවට මහත් ආදරයක් තිබුණා. කලාකරුවෝ කෙරේත් අමුතු ආදරයක් බාලෙ අයියා තුළ තිබුණා. ඔහු නාට්‍යකරුවන්ගේ අනාගතය කලින්ම දැක අනාවැකි කියන කෙනෙක්. රඟහලේ භාරකරු කියලා ඒ වැඬේ විතරක් කරගෙන හිටියෙ නෑ. හැමදෙයක් ගැනම සිහියෙන් සහ ආසාවෙන් මැදිහත්වෙලා වැඩකළා.

වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයේ මංගල දර්ශනය තිබුණෙත් ලුම්බිණියේ. 70 දශකයේ මුල. මමත් ලුමිබිණියෙ කොරිඩෝවේ සිට තමයි බැලුවේ. ශාලාවෙ ඇතුළෙ සෙනඟ තදබදය වැඩි නිසා මිනිසුන්ට හුස්ම ගන්න අමාරුවෙලා ජනෙල්වල වීදුරු කැඩුවා ඇතුළෙ හිටපු අය. පැය දෙකක් ප්‍රසංගය තිබුණා. සිංදුවෙන් සින්දුවට කන්බීරි වෙන ගානට අප්පුඩි ගැහුවා. ජයඝෝෂා නැගුවා.

ධම්ම ජාගොඩ කියන්නේ ට්‍රොට්ස්කිවාදියෙක්. ලයනල් වෙන්ඞ්ට් එකේ තිබුණු ඉංග්‍රීසි නාට්‍ය කලාවයි ලුම්බිණියෙ සිංහල නාට්‍ය කලාවයි එකතුකළ පාලම තමයි ධම්ම ජාගොඩ. ඒ දෙක වෙන වෙනම සංස්කෘතීන් නියෝජනය කළා. ධම්ම ජාගොඩට හැකි වුණා ඉංග්‍රීසි භාෂාවත් එක්ක මේ දෙපිරිසම සමඟ එකට වැඩ කරන්න. ඔහු ලයනල් වෙන්ඞ්ට් එකටත් ලුම්බිණියටත් දෙකටම ආවා. සිංහල, ඉංග්‍රීසි භාෂාවත් දෙකම සමඟ කටයුතු කළා. සාමාන්‍යයෙන් ලුමිබ්ණියට යන අය ලයනල් වෙන්ඞ්ට් එකට යන්නෙ නහැ. මේ දෙක අතර භාෂා පමණක් නෙමෙයි සංස්කෘතික වශයෙනුත් බෙදීමක් තිබුණා.

ලුම්බිණි සහ ලයනල් වෙන්ඞ්ට් කේන්ද්‍රකරගෙන හොඳ ඉංග්‍රීසි සහ සිංහල නාට්‍ය විචාර කලාවකුත් බිහිවුණා. කලාව පෝෂණය වෙන්න විචාර අවශ්‍යයි. එදා හොඳ පත්තර කලාවකුත් තිබුණා. නාට්‍ය, සාහිත්‍යය ගැන ඬේලි නිවුස් වැනි ඉංග්‍රීසි පත්තරවල වගේ මෙන්ම සිංහල පත්තරවලත් ලිපි පළවුණා. විචාරකයෝ, නළුනිළියෝ, අධ්‍යක්ෂකවරු, සංවිධායකවරු සවසට ලුම්බිණියට එකතු වුණා. නාට්‍ය කලාවේ මධ්‍යස්ථානය ලෙසට ලුම්බිණිය වැඩිදියුණු කළා නම් අද පරම්පරාවට වටිනවා. ඒත් දේශපාලන ප්‍රශ්න ඇවිත් කැරලි කෝලාහල ඇවිත් ජන විඥානය වෙනස්වෙලා ඒක නැතිවුණා. පසුව කලාකරුවන්ට නිදහස් තැනක් හදනවා කිව්වාට කවදාවත් වුණේ නැහැ. ආයෙ කවදාවත් බාලසූරිය අයියා වැන්නන් ඒ වටා බිහිවුණෙත් නැහැ.’

ලුම්බිණිය ලංකාවේ සංස්කෘතියේ අපූරු කේන්ද්‍රස්ථානයකි. බාලසූරිය මහතා ඒ කේන්ද්‍රස්ථානයෙහි වැදගත් කාර්යභාරයක් කළ මිනිසෙකි.■