ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් විදේශ සංචාරවල යෙදෙන විදිය ගැන පිටතින් සිටින කෙනකුට හිතෙන්නට ඉඩ තිබෙන්නේ කාරණා දෙකකි. එකක් නම්, මේ දෙන්නා තමන්ගේ රටේ තිබෙන සියලූ අභ්‍යන්තර ප‍්‍රශ්න විසඳා ඇති නිසා, දැන් ඉතිරිවී ඇත්තේ ලෝකයේ අනෙක් රටවල් සුහදතාව ඇතිකර ගැනීම පමණක් නිසා, ඒ සඳහා මේ ආකාරයට විදේශ සංචාරවල යෙදෙනවා ඇත කියාය. දෙවැන්න නම්, හෙටානිද්දා බලයෙන් විසිවී ගෙදර යන්නට නියමිත මේ දෙන්නා, ඊට පෙර යන්නට තිබෙන සියලූම තැන්වලට ගිහින් හිතේ තිබෙන ආසාවල් ඉවරකරගන්නවා ඇත කියාය. දෙවැන්න කොහොම වුණත්, පළමුවැන්න නම් සිදුවී නැති බව ලංකාවේ වැසියා දනියි.

රට තිබෙන්නේ අවුලෙන් අවුලට පත්වී ය. එකක් පසුපස එකක් ලෙස පැනනැගෙන විවිධාකාර ප‍්‍රශ්න විසින් ජනමනස තුළ ඇතිකර තිබෙන්නේ අවුල් සහගත පීඩාකාරී තත්ත්වයකි. එවැනි පරිසරයක, ජනාධිපති හා අගමැති නායක දෙපළ කළ යුත්තේ, එකවරම දෙදෙනා විදේශගතවී, ලංකාව සම්බන්ධයෙන් කිසිම අදාළත්වයක් නැති, ලෝකයේ ඈත කොනේ, වැදග ැම්මක් නැති රටවලට ගොස් මහජන මුදල් කාබාසිනියා කරමින් සතුටු සාමීචිවල යෙදෙමින් කරන මේ කාලය කාදැමීම වැන්නක් නොව, පැය විසිහතරේම රට තුළ සිටිමින් තමන්ගේ අසමත්භාවය නිසා රට වැටී තිබෙන මේ අර්බුදයෙන් ගොඩ ආ හැකි මං කවරේදැයි සොයා බැලීමය. පියවර ගැනීමය. ඒ කිසිවක් නැතිව මේ නායකයන් දෙන්නා කරන විදේශ සංචාර වනාහි සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත, ලැබුණත් පුංචිපහේ වාසියක් දෙකක් ලැබෙන, (ඒවා අවශ්‍ය නම් රජයේ නිලධාරියකු යවා හෝ ඉටුකරගත හැකි) නිෂ්ඵල ගමන් බිමන් බව බැලූ බැල්මට පෙනෙයි.

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා, ස්වාසිලන්ත මහරජු මෙරටට ගෙන්වා ගරු නම්බු දෙන විටත්, සීෂෙල්ස්හි සංචාරය කරමින් මහජන මුදල් කාබාසිනියා කරන විටත් විරෝධය පෑ අපට, ජනාධිපති සිරිසේනගේ හා අගමැති වික‍්‍රමසිංහගේ මේ අරුත්සුන් ගමන් ගැන විරෝධය නොපා සිටින්නට හේතුවක් නැත. ඒ නිසා, අවස්ථාව ලැබුණු විටෙක මේ නායකයන් දෙදෙනාගේ විදේශ සංචාරවලින් රටට ඇති වාසිය කුමක්දැයි වෝහාරික විමර්ශනයක් කළා වුණත් කමක් නැත.

අනෙක් අතට, මේ නායකයන්ට පිටරටක ගිහින් තමන් පාලනය කරන ලංකාව ගැන කියන්නට ඇත්තේ කුමක්ද? රටේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකතුවී ආණ්ඩු කරමින් මෙතෙක් ලංකාවේ නොතිබි අන්දමේ මහා සංවර්ධනයක් පිබිදීමක් ඇතිකර තිබෙන බවද? නැතිනම්, ප‍්‍රධාන පක්‍ෂ දෙකේ නායකයන් හැටියට, පිටුපසට කරගත් පිහියක් අතැතිව සිටිමින්, අනෙකාට ඇන බිම හෙළන්නේ කොයි මොහොතේදැයි දෙන්නාම නිතරම කල්පනා කරන බවද? හරි නම්, ඔවුන්ට ලෝකයාට කියන්නට ඇත්තේ ඒ පණිවුඩයයි. එකම ආණ්ඩුවේ පාර්ශ්වකරුවන්ගෙන් එකකු වන අනෙකා කෙරෙහි පැය විසිහතරේම සැකයෙන් හා බියෙන් පසුවන, අනෙකා පැරදවීම සඳහා තමන් පරාජය කළ බලවේග සමග වුව සන්ධාන ගැසීමට කැමති මෙවැනි දුර්වල නායකයන් දෙන්නකුට ලෝකයාට කියන්නට ඇති ඊට වඩා වෙනස් පණිවුඩය කුමක්ද?

2015 ජනවාරි වෙනසෙන් පසු, ඒ වෙනසට දායකවූ රටේ ජනතාව සිතා සිටියේ දැන් ස්වර්ණමය අවස්ථාවක් රටට උදාවී ඇති බවය. රටේ ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ දෙක එකට එකතුවී පාලනය කිරීමේ අලූත් අත්දැකීම විසින් රට මෙතෙක් ඉල්ලා සිටි සියලූ වෙනස්කම් ඉතා පහසුවෙන් කරන්නට හැකිවනවා යැයිද, ඒ වෙනස්කම්වලින් පසු ගව් ගණනක් ඉදිරියෙන් තැබෙනු ඇති රට, රාජපක්‍ෂ පන්නයේ වැඩවසම් පාලනයකට කිසිසේත්ම ආපස්සට හැරවිය නොහැකිවනවා යැයිද මහජනයා සිතූහ. එහෙත්, මෙවැනි සම්මුතිවාදී පාලනයක් ගෙනයන්නට බැරි බව මුල සිට කියූ කණ්ඩායමක්ද සිටියහ. ඒ නම්, පරාජිත මහින්ද රාජපක්‍ෂ පිළයි. මහින්ද රාජපක්‍ෂගේ අණට, සිතුවිල්ලට පිටින් කිසිවක් කියා, කර පුරුද්දක් නැති, රාජපක්‍ෂලාගේ වහලූන් වැනිව බියෙන්, ආණ්ඩුවේ විවිධ නිලතල දරමින් සිටියවුන්ට නම්, මෙවැනි සම්මුතිවාදී තත්ත්වයක් යනු සිතාගන්නටවත් බැරි දෙයකි. ඔවුන් දැනසිටියේ, ‘නටමු පේළි සැදී රජිඳා තුටුවන සේ’ කියන ගීතයට අනුව රට පාලනය කිරීම වූකලි නියම රාජ්‍ය පාලන ක‍්‍රමයයැයි කියාය. අදත් ඔවුන්ගේ දේශපාලන විග‍්‍රහ අනුව පෙනීයන්නේ, වහල්භාවය මිස අන් කිසිවක් රටේ පාලන ක‍්‍රමය ලෙස පිළිගන්නට තවමත් ඔවුන්ගේ ඇති අකමැත්තය. මේ ආණ්ඩුවේ දුර්වලකම් දකින මේ අය, එක්තරා විදියකට විහිළුවට ලක්කරන්නේ, කොයිතරම් අඩුපාඩු මැද වුණත්, මේ ආණ්ඩුව පවත්වාගෙන යන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයයි.

එවැනි නිශේධනාත්මක අදහසකට වුණත්, සමාජයේ වලංගුභාවයක් ලැබෙන පරිදි කටයුතු කළේ, මේ ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත්ය.
ජනාධිපතිවරයා සිතුවේ, සියලූ දේශපාලන ජයග‍්‍රහණ ලැබුණේ තමාගේ මොකක්දෝ අද්භූූත ගුණයක් නිසා බවය. අගමැතිවරයා සිතුවේ මේ දේශපාලන ජයග‍්‍රහණ තමන්ගේ පක්‍ෂයේ බලය නිසා ලැබුණු බවය. ඒ නිසා ආරම්භයේ පටන්ම අනෙකා පරයා නැගීසිටීමේ ආසාව දෙන්නාගේම සිත්වල ලියලා වැඩෙමින් තිබිණ. ලිච්ඡුවි ක‍්‍රමයට සමගියෙන් රැුස්වී, සමගියෙන් වාද විවාද කොට, සමගියෙන් විසිර යෑමේ පිළිවෙත ආණ්ඩුවක් හැටියට අනුගමනය කරනවායැයි පාරම් බෑවද, අගමැතිවරයා ආණ්ඩුව තුළ සිටියේ ඒ ක‍්‍රමයට සපුරා විරුද්ධ පිළිවෙතකය. ඔහුට අවශ්‍යව තිබුණේ, රටේ සාමාන්‍ය පන්තියෙන් ජනාධිපති පදවියට පත් මෛත‍්‍රීපාල සිරිසේන තමාගේ කොළඹ හතේ ප‍්‍රභූ රැස්වළල්ලෙන් යටපත් කරගන්නටය. ඒ සඳහා, දරුණු ලෙස සිරිසේන ජනාධිපතිවරයා නොසලකා හැරීමටත්, ඔහුට නොකියා ආණ්ඩුවේ තීරණාත්මක දේවල් කිරීමටත් අගමැතිවරයා වුවමනාවෙන්ම පියවර ගත්තේය. තමාගේ සමාජ තත්ත්වය නිසාම ඇතුළට ඇරුණු මානසික තත්ත්වයක් තිබෙන ජනාධිපතිවරයා අගමැති වික‍්‍රමසිංහගේ මේ හැසිරීම පිළිගත්තේ තමන්ට එරෙහි කුමන්ත‍්‍රණයක් හැටියටය. ඇත්ත. ඊට වඩා දේශපාලනික සිතීමක් එවැනි ජනාධිපතිවරයකුගෙන් කිසිසේත් බලාපොරොත්තු වන්නටද නොහැකිය. ජනාධිපතිවරයා සමග සහයෝගයෙන්, ඔහු ජනාධිපතිවරයා හැටියටත්, ආණ්ඩුවේ නායකයා හැටියටත් පිළිගෙන, ඇත්ත සම්මුතියකින් පාලනය කරනවා වෙනුවට, රනිල් වික‍්‍රමසිංහ පිටුපසින් සිට පිහියෙන් ඇනීමේ පිළිවෙත දිගටම පවත්වාගෙන ගියේය. රාජපක්‍ෂ ආණ්ඩුව නිසා රට වැටී තිබුණු තත්ත්වයෙන් ගොඩගැනීමේ එකම මැජික් බෙහෙත තිබෙන්නේ තමාගේ කුශාග‍්‍ර බුද්ධි මහිමයේ බව අගමැතිවරයා සිතූ බවක් පෙනිණ. සිතීමේ කාර්යය ඔහුම පවරාගෙන තිබුණු අතර, අනෙකුන්ට තිබුණේ ඔහුගේ අණ අනුව කිරීම පමණය. තමාට වුවමනා විදියට, දාම් පෙතේ ඉත්තන් ඇද්ද විට, ඒ ඉත්තන් තිබු තැන්වලම ඔහේ සිටිනු ඇතැ’යි අගමැතිවරයා කල්පනා කළා වන්නට හැකිය. එහෙත්, ජනාධිපතිවරයාගේ සිට කිසිවෙක් ඒ තිබ්බ විදියට සිටීමේ ක‍්‍රමයට කැමතිවුණේ නැත. සියල්ලෝම වික‍්‍රමසිංහගේ ඇදීමට එරෙහිව ප‍්‍රතිචාර දක්වන්නට වූහ.
තමා කොටු කරගන්නට රනිල් වික‍්‍රමසිංහ මහින්ද රාජපක්‍ෂ සමග වංක සහයෝගයෙන් කටයුතු කරන බව නොතේරෙන්නට තරම් ජනාධිපතිවරයා දේශපාලන ළදරුවෙක් නොවේ. රනිල් වික‍්‍රමසිංහ හැමවිටම රාජපක්‍ෂලාගේ අවශ්‍යතාවත්, ඔවුන්ගේ ආරක්‍ෂාවත්, ඒ හේතුවෙන් විමල් වීරවංශ වැනි රාජපක්‍ෂ අන්තේවාසිකයන්ට සැලකීමේ වුවමනාවත් මනාව ඉටු කළේය. ජනවාරි 9 වැනිදා අලූයම. තිරුකුමාර් නඬේසන් සමග අරලියගහ මන්දිරයට ගිය රනිල් වික‍්‍රමසිංහ. හිටපු ජනාධිපතිවරයාට පොරොන්දු වුණු එක් දෙයක් නම්, ඔහුටත් ඔහුගේ පවුලටත් කිසිම උපද්‍රවයක් නොවන්නට වගබලාගැනීමයැයි කියනු ලැබේ. ජනාධිපතිවරයා ආණ්ඩුව ගැන ප‍්‍රසිද්ධියේ විවේචන කරන්නට පටන්ගත්තේත්, රනිල් වික‍්‍රමසිංහට විරුද්ධව යම් විවේචන ඉදිරිපත්කරන්නට පටන්ගත්තේත් මේ තත්ත්වය මතය. ඒ නිසා, මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුණු ස්වර්ණමය අවස්ථාවත්, ලිච්ඡුවි පිළිවෙතත් කඩාබිඳ දැමීමේ වගකීමෙන් හරියටම භාගයක් අගමැති රනිල් වික‍්‍රමසිංහ භාරගත යුතුය.

අද තිබෙන්නේ ලිච්ඡවි පිළිවෙතක පාලනයක් නොව, ලිච්ඡුවින්ටත් ලජ්ජා හිතෙන අන්දමේ පාලනයකි.
ජනාධිපතිවරයා තමාගේ ආරක්‍ෂාව පතා, තමා අඩි හයක් වළලන්නට සුදානම්ව සිටියායැයි කියන රාජපක්‍ෂවරුන් සමගම භාරකාර හෝ වෙනත් අන්දමක එකඟතා ආණ්ඩුවක් හැදීමට හැකි සෑම උත්සාහයක්ම දරන තත්ත්වයට වැටී තිබේ. සමහර මාධ්‍ය වාර්තා කරන අන්දමට, පසුගියදා මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇත්තේද ජනාධිපතිවරයාය. එය අමුත්තක් නොවන්නේ, මීට කාලයකට පෙරද, පෙබරවාරි 10වැනිදා, පළාත් පාලන මැතිවරණයට පෙර ඔහු බැසිල් රාජපක්‍ෂ වෙත බැගෑපත්ව, හමුවීමක් ඉල්ලා දුරකථන ඇමතුමක් දී තිබුණු හෙයිනි. ඒ මොහොතේ එතැන සිටි මැදගොඩ අභයතිස්ස භික්‍ෂුවට අනුව, බැසිල් රාජපක්‍ෂ ජනාධිපතිවරයා සමග කතාකිරිම ප‍්‍රතික්‍ෂෙප කිරිම හේතුවෙන් හමුවීමේ ඉල්ලීම ලත්තැනම ලොප්විය.

මහින්ද රාජපක්‍ෂ හා බැසිල් රාජපක්‍ෂ හමුවීම ගැන මේ සතියේ මාධ්‍යවල විශාල ඉඩක් අල්ලාගෙන තිබියදී, ජනාධිපතිවරයාගේ පැත්තෙන් ඒ ප‍්‍රවෘත්තිය බොරුවක්යැයි මේ තාක් කියැවුණේ නැත. උතුරුමැද පළාතේ පවුලක් මුරුංගා කොළ කෑමට ගත්විට කලබල වී එහි කණ්ඩායමක් යවා විමර්ශනය කොට, මාධ්‍යයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කළ ජනාධිපති කාර්යාලය, මහින්ද, බැසිල් හා මෛත‍්‍රීපාල හමුව ගැන වචනයකින්වත් මේ වන තෙක් ප‍්‍රතිචාර දැක්වූයේ නැත.

මේ වනවිට අගවිනිසුරු පත්කිරිමද පක්‍ෂ දෙකේ කුමන්ත‍්‍රණකාරී තරගයක් බවට පත්වී තිබේ. ජනාධිපතිවරයාගේ වුවමනාව, මහින්ද රාජපක්‍ෂගේ සමීප මිතුරියක වන ඊවා වනසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය අගවිනිසුරු ධුරයට පත්කරන්නටය. ඒ සඳහා අනෙක් තරගකරුවා වන නීතිපති ජයන්ත ජයසූරිය එජාප හිතැතියකුයැ’යි ප‍්‍රවාදයක් නිර්මාණය කොට, පසුගිය සතියේ මාධ්‍යවලට දී තිබුණේ ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙනි. ඊවා වනසුන්දරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවියක් ලැබුණේ කුප‍්‍රකට ‘ගෙදර යන ගමන්’ ක‍්‍රමයට ඇගේ හිතවත් මහින්ද රාජපක්‍ෂගෙනි. ඒ සහයෝගයට කළගුණ සැලකීමට මෙන්, ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමෙන් වැළැක්වීමේ නියෝගයක් ඇය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අසුනේ සිට නිකුත් කළාය. අදත්, ගෝඨාභය රාජපක්‍ෂ නිරුපද්‍රැතව සිටිමින් වහසිබස් දොඩන්නේ ඊවා වනසුන්දර කළ මේ වික‍්‍රමය නිසාය. මොහාන් පීරිස් හා දිලිප් නවාස් යන හිටපු විනිසුරුවරුන්ට විරුද්ධව අල්ලස් කොමිසම විසින් පවරන ලද නඩුවේදී, නීතිපති හැටියට තමා ඒ නඩුවේ සිද්ධියට ඍජු සම්බන්ධතාවක් තිබියදීත්, එය පෙන්වා දෙන තුරුම නඩුව ඇසීමෙන් වැළකී නොසිටියේද ඊවා වනසුන්දර විනිසුරුවරියයි. දැන්, ජනාධිපතිවරයා, එජාපය සමග තිබෙන තරහට, අගවිනිසුරු හැටියට පත්කරන්නට උත්සාහ ගන්නේ මෙවැනි අතීතයක් හිමි විනිසුරුවරියකි.

පත්කළත් ඇයට එම ධුරය දැරිය හැක්කේ මාස තුනක පමණ කාලයකට පමණි. එහෙත්, ඒ මාස තුන තුළ බොහෝදේවල් ආපස්සට හරවන්නට පුළුවන් අවකාශයක්ද තිබෙන බව තේරුම් ගත යුතුය. මුහුණ සමග තරහවී නහය කපාගන්නවා වැනි පාවාදීමක් දක්වා මෛත‍්‍රීපාල සිරිසේන තමාගේ පෞද්ගලික තරහ මරහ ගෙන යෑම අවාසනාවකි.