නමසිය විසි ගණන්වල රේල්ලූව හපුතලේ පහු කරලා බණ්ඩාරවෙලට එද්දිත්, ඒ කියන්නෙ උඩරට දුම්රිය මාර්ගය මහඑළිය තැන්නට සමාන්තරව පහළ දෙණියෙ වාටිය දිගට ටිකෙන් ටික ඇදිලා ඇවිත් බදුල්ලට දුවද්දිත්, සපරගමුව පහු කරාන ආව කරත්ත පාර කැපිලා තිබ්බා. සුද්දා කෝපි පටවන්න හිතාගෙන කපාපු, පස්සෙ තේ කර්මාන්තෙ සැපයුම් මාර්ගය වගේම, ඉවසන්න බැරි තරමට පුසුඹ හමන සිලොන් තේ කුඩු කොළඹ වරායෙන් නැව් ගත කරන්න පටවගෙන ගියපු කරත්ත පාරෙ මුලින්ම සුද්දො අශ්ව කෝච්චියෙ ගියා. කල්ලන්ට නැඩ ගොන්නු බැඳපු බක්කි කරත්ත, තිරික්කල තිබුණා. එහෙම ගිහිල්ල වුවමනා නම් ඕපනායකදි ආයෙම කෝච්චිය අල්ලගන්න පුළුවන්. තව සමහරු මේ කරත්ත පාරෙ පල්ලම් බැස්සෙ නෑ කන්ද නැගලා හපුතලේට, බණ්ඩාරවෙලට ගියාම අඟුරු කෝචිචිය අල්ලගන්න පුළුවන්කම තිබ්බ හින්දා.

කෝපි කාලෙ කරත්ත දිව්ව පාරෙ තේ යුගය වෙද්දි ලොරි එක දෙක දුවන්න පටන් අරගෙන තිබුණා. හැබැයි ඒ අද මේ පාරෙ උඩ පහළ දුවන ටාටා හරි ලේලන්ඞ් හරි ලොරි නෙවෙයි ජර්මනියෙ හදාපු නියම බෙන්ස් ලොරි කියලා පරණ මිනිස්සු තවම කියන්නෙ හරිම උජාරුවෙන්. ඒ දවස්වලත් පිටරත්මලේ, ග්ලෙනනෝර්, දඹේතැන්න, කේ‍්‍රග්, උඩවේරිය වගේ වතුවල තේ කොළඹ වෙන්දේසිවල උඩින් ලංසු දිනාගත්තා. මේ කාලෙ කොස්ලන්ද පැත්තෙ රබර්, කොකෝවා, කෝපි වවපු වතු ටිකක් එක්ක අලි කැලෑලූ තිබුණේ. ඒ දවස්වල බණ්ඩාරවෙලටත් වැඩිය ලොකු ටවුමක් හපුතලේ. සුද්දා සැපට ඉන්න හදපු හපුතලේ තානායමේදි තමයි අලි ඇත්තු සිය ගාණක් මරපු සුද්දෙකුට හෙණ වැදිලා මැරෙන්න වුණෙත්. ඒ කාලෙ හැටියට හල්දුම්මුල්ලත් ලොකු ටවුමක්. සුද්දන්ට විනෝද වෙන්න සමාජ ශාලාවක් පවා තිබ්බ ටවුමක්. ඇත්තටම මේ කතා වෙනිං දවසක රහ කර කර කියන්න තරම් රස කතා. කොහොමද කලූපහන ඩබල් බි‍්‍රජ් හරියෙදි මී විතකිනුත් සප්පායම් වෙලා ලංකා ඇල්ලෙන් බඹර කන්දෙන් පහළට ඇදිලා එන සීතල වීදුරු වතුරෙ බැහැලා අවුරුදු සීයක් පරණ ඒ කතා බෙදාගන්න තියෙනවානම්. කවුරුහරි ළඟ ඉන්න වෙනවා සැරින් සැරේ ඉඟුරු දාලා හදපු ප්ලේන්ටි වක් කරලා දෙන්න. හරි ඒ කතා වෙනිං දවසක කියන්න පොරොන්දු වෙන්නම්.

පරණ කඩ කතාන්දර


මුලින් ගල් අල්ලලා කරත්ත දුවන්න හදලා තිබ්බ මේ පාර හරියට පරණ වතු පාරක් වගේ තියෙන්න ඇත්තෙ. ඒකනෙ කරත්ත කාරයින්ට හපුතලේ කන්ද දැකලා බඩ දන්න පටන් ගත්තෙ. ඒ මිනිස්සු තමන්ගෙ බඩ රස්සාවට උරිහ දුන්න ගොන් පුත්තුන්ගෙ දුක ගැනත් තැවුණෙ බෙරගලින් උඩහට අදින්න වෙන කන්ද දැකලා. පස්සෙන් පහු කාලෙක කරත්ත වෙනුවට ලොරි ආවමත් අඩ කොටයක් අතින් ගත්ත ලොරියෙ ගෝලයා කන්දත් එක්ක වංගුව තියෙනවා නම් බැහැලා පස්සෙන් ආවා. ඩ‍්‍රයිවර් මහත්තුරුන්ගෙ උරපතු ඇදුම් කන්න ගත්ත ලොරි උඩ පල්ලෙහා ගෙනිච්චම. ඒ දුක නිවන්න තමයි අතරමග කෝපි කඩ තිබ්බෙ. පීල්ලකින් සීතල වතුර ටිකක් නාගෙන කෝපි කෝප්පයක් බීලා බත සප්පායම් වෙන්න කලියෙං සීල් අරක්කු වඩියක් දෙකක් බිව්වම තමයි හැම දුකම නිවුණෙ. ලෝ ලෙවල් පාරෙ හරියටම හැතැක්ම අනූ නමයක් ආවම හම්බ වෙන 99 කඩෙත් එහෙම තැනක්. කෝපි කාලෙ ගෙවිලා තේ යුගය ඇවිත් ලොරි දුවද්දිත් ඒ පරණ බත් කඬේ එහෙමම තිබ්බා. කරත්ත පාර, තාර පාරක් වෙලා අවුරුදු පහළවකට විතර ඉස්සර කාපට් පාරක් වෙලා අද ඊයෙ වෙනකම්ම ලොරි කාරයො බත් කෑවෙ එතනින්. 99 කඬේ ලොක්කා අතුල අයියා වල් ඌරු මස් ටිකක් එහෙම හම්බු වුණාම පණිවිඩ එව්වා දන්න කියන ඈයින්ට.

සබරගමුව විශ්වවිද්‍යාලයේ උගන්වන හිනිදුම සුනිල් සෙනෙවි එහෙම ඔය අසපුවේදි මට නිතර මුණ ගැහිලා තියෙනවා. ඒත් දැන් එතැන අපිට කිරි හොදි, නයි මිරිස් සම්බල බෙදපු කඬේ නැහැ. අතුල අයියලටත් කාලයේ විප්ලවයට මුහුණ දෙන්න වෙලා. හැබැයි තවම සුද්දා හිටවපු 99 ගල් කණුව එතැන තියෙනවා. සුද්දගෙ කාලෙ හල්දුම්මුල්ලෙ හිටවලා තිබ්බෙ චීනච්චට්ටි ගෑස් ලාම්පු කණු. එහේ ප‍්‍රාදේශීය සභාවෙ හිටපු සභාපති කෙනෙක් තමයි ඒ වටිනා කියන උරුමෙ ගලවලා හොරෙන්ම විකුණ ගත්තෙ.


ඉතිං තෙත බරියං වෙච්ච කළු, වළවේ දෙගං නිම්න පහු කරලා වළාකුළු වියන බලාගෙන උඩහ නගිද්දි විඩා නිවන්න තිබ්බ ඒ පුරා උරුම කඩපලවල් අද නැතිවට විස්සෝප වෙන්න වුවමනා නෑ. තැනින් තැන තවම කටට රහට කන්න මොනවහරි දෙන තැන් තියෙනවා. ඒවා පෝයකටවත් වහන්නෙත් නෑ. බෙලිහුල්ඔය, පුවක්ගහවෙල පහු කරලා ටිකක් දුර කන්ද නැග්ගම තියෙන සරත් අයියගෙ රොටී කඩෙත් ඒ වාගේ තැනක්. ඒ කඬේ පැය විසි හතරම ඇරලා. දවසකට පාන් පිටි මුට්ට තුන හතරකට මුහු වෙන්න පොල් ගෙඩි පනහක්වත් ගෑවෙනවා ඇති. හැම වෙලාවෙම දර ළිප උඩ පත තැටියක පලංගානක් තරම් ලොකු පොල් රොටී බුදියගෙන ඉන්නවා හරිම පුසුඹයි.

කට්ටිය වැඩ කරන්නෙ සේවා මුරවලට. රොටී කන්න ගැට පොළොස් ඇඹුල්, අලකොළ මාළු තියෙනවා හරියට අර කඩුගන්නාවෙ වගේ. හැබැයි පොල් රොටී කන්න උඩහ මිනිස්සු කැමතිම කොස් මාලූ හරි වට්ටක්කා හරි තියෙනවානම්. ඒක වෙනම කලාවක්. සරත් අයියගෙ කඬේ ඔය කොයි දේටත් වැඩිය වටින්නෙ කටයි බඩයි දෙකම දාගෙන ගිහිල්ලා ඇස්වලින් කඳුළු පනින්න තරම් සැර ලූණු මිරිස. ඒක හදන්නෙ නයි මිරිසුයි කරපිංචයි අඹරලා. බාගවිට සුදු ලූනුත් දානවා. බණ්ඩාරවෙල ඉඳලා එලවළු ලොරි එක්ක පල්ලම් බහින ඩ‍්‍රයිවර් මහත්තුරුන්ගෙ ඇස් පියවෙන්න නොදී තව හැතැක්ම කීපයක් යන්න නම් ඒ වගේ කට පිච්චෙන ලූණු මිරිසකුයි ඉඟුරු කහටයි ඕනෙමයි. රොටියක් කන්න කලිං වටපිට විපරම් කෙරුවොත් යස පීල්ලකින් නාගන්නත් පුලූවන්. රොටී කන්න කලූපහනට යනවනම් ගං දියේ ගිලෙන්න හරි අද්දර පීල්ලට එබෙන්න හරි පුළුවන්. මේ කොතැනත් නයි මිරිස් නම් වරදින්නෙ නෑ.

සුරතලිය තවම එතැන


හල්පෙ පහු වුණ හැටියෙ තමයි සබරගමුව ඌවෙන් වෙන් වෙන්නෙ. හරියටම කියනවා නම් සුරතලී ඇල්ලට එපිටින්. සුරතලී අයිති සබරගමුවට. එයාගෙ මුල් නම දන්න කවුරුවත් මට නම් අද වෙනකම් මුණ ගැහිලා නෑ. මේ කියන නම සුරතලී, දිය ඇල්ලෙ උප්පැන්නෙ ලියවිලා තියෙන්නෙ සිංහල චිත‍්‍රපට කර්මාන්තෙ හින්දා. කොහොමත් මේ අඩවිය ඒ කාලෙ චිත‍්‍රපට රූපගත කිරීම් කිහිපයකටම යොදාගත්තා. ඒවායින් බෙලිහුල්ඔයට වැඩිම කීර්තියක් ගෙනාවේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගෙ ‘සංදේශය’ චිත‍්‍රපටය.

හැබැයි මේ දිය ඇලි කොමලිට නම ලැබුණෙ සිරිල් පී අබේරත්න මහත්තයා හින්දා. ජබීර් ඒ කාදර් මහත්තයා නිෂ්පාදනය කරපු සිරිල් පී අබේරත්නගෙ ‘සුරතලී’ චිත‍්‍රපටය මුලින්ම පෙන්නුවෙ 1956 සැප්තැම්බර් 09 වෙනිදා. ලීනා ද සිල්වා, රවීන්ද්‍ර රූපසේන වගේම ඒ දවස්වල බණ්ඩාරවෙල සෙන්ට් ජෝශප් විද්‍යාලයේ ඉංග‍්‍රීසි මාස්ටර් කෙනෙක් වෙලා හිටපු ආනන්ද ජයරත්න මේ බයස්කෝප් එකේ රඟ පෑවා. මතකද ධර්මදාස වල්පොල ගයන ‘සුරතලී’ ගීතය.

ඇයි ජෝතිගෙ මුල්ම සිංදුව ‘සිරියා මෙ සාරා’ තිබ්බෙත් මේ චිත‍්‍රපටයෙ. ඉතිං මේ චිත‍්‍රපටයෙ දර්ශනවල පෙන්නපු නිසාලූ දිය ඇල්ලටත් සුරතලී කියන නම වැටුණෙ. මොනව වුණත් ඒක තමයි ගැළපෙනම නම. මොකද මේ දිය ඇල්ල හරිම කොමල පෙනුමක් තියන ඇල්ලක්. එක පැත්තකින් හැත්තෑ ගණන්වලින් මෙපිට වවාපු පයිනස් කැලෑව. ඒ රූප රාමුව හරියට නොර්වේ වගේ ධ‍්‍රැවාසන්න රටක් සිහිපත් කරනවා. ඒත් මං හිතන්නේ වැඩිය ලස්සන වෙන්න ඉඩ තිබ්බා ස්වාභාවික පතන තිබුණා නම්. කොහොම වුණත් අනතුරක් නැතිව මේ ඇල්ලෙ පාමුලට යන්නත් උඩිස්සට ගොඩ වෙන්නත් පුළුවන්. හැබැයි වැහි කාලෙට වතුර වැඩියි ටිකක් ලිස්සනවා. ඒ හින්දා පරිස්සම් වෙන එක ඇඟට ගුණයි.


සුරතලී ඇල්ල අසබඩට පුංචි අඩි පාරෙ යද්දි තමයි මගේ ජීවිතේට දැක්ක විශාලම එරබදු ගහ දැක්කෙ. ඒක බදන්ඩ තියා හිතන්ඩවත් බැරි තරම් විශාලයි. කූඩැල්ලො නම් එකෙක් දෙන්නෙක් ඉන්නවා තමයි. ඒත් ගලක් මත්තට ගොඩ වුණාම උන්ගෙන් කරදරයක් නැහැ. බදුල්ල කොළඹ මහ පාර අත ගාව තියෙන මේ දිය ඇල්ලෙ සර සරය එක්ක අනන්තය හොයන්න පුළුවන්. මං හිතන්නෙ ඒකට හොඳම තැන මුදුන් ඉම.

x ලසන්ත ද සිල්වා