අභියාචනාධිකරණය විසින් නීති විරෝධී ආණ්ඩුව තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ලබාදීමෙන් පසුව අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය සේවකයන්ට ක්‍රියාත්මක විය නොහැකි තත්වයක් උදාවී තිබෙන බවත්, රාජ්‍ය සේවය අකර්මණ්‍ය වී තිබෙන බවත් විශ්‍රාමික පරිපාලන නිලධාරීහු කිහිපදෙනෙක් අනිද්දා සමඟ පැවසූහ.
අප සමග අදහස් දැක්වූ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ඒ.පී.ඒ. ගුණසේකර මහතා ප්‍රකාශ කළේ පරිපාලන නිලධාරීන් සියලු‍ දෙනාම 4 වැනි ව්‍යවස්ථාවේ සඳහන් ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට පොරොන්දු වී රාජ්‍ය සේවයේ තනතුරු ලබා තිබෙන බවයි. ඒ අනුව ව්‍යවස්ථානුකූල නොවන ආකාරයෙන් ආණ්ඩුවක් ලෙස පෙනී සිටිමින් යමෙකු ලබා දෙන ඕනෑම තීන්දුවක් ප්‍රතික්ෂේප කළ යුතු බවත්, එසේ නොවුණහොත් එම නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු කීය. ඔහු පෙන්වාදුන්නේ නිලධාරීන්ට එලෙස නීතියෙන් දඬුවම් ලබන්නට සිදුවුණහොත් මෙවැනි අවස්ථාවක නියෝග ලබාදෙමින් බලපෑම් කළ දේශපාලනඥයන් නිලධාරීන්ගේ ආරක්ෂාවට නොපැමිණෙනු ඇති බවයි.
මේ වනවිට මහින්ද රාජපක්ෂට දේශපාලන බලයක් නොමැති බවත්, මහින්ද රාජපක්ෂ පිළේ පුද්ගලයෙකු යම් තීන්දුවක් ගන්නැයි නියෝග කළහොත් එවැනි නියෝග ප්‍රතික්ෂේප කළ යුතු බවත් ඔහු පැවසීය. මැතිවරණයක් පවත්වන අවස්ථාවකදී රජයේ නිලධාරීන් කිසිදු පාර්ශ්වයකට වාසිදායක නොවන ආකාරයට මධ්‍යස්ථව කටයුතු කළ යුතු බවත්, මෙම අවස්ථාවද මැතිවරණ අවස්ථාවක් ලෙස සලකමින් කටයුතු කිරීම වඩා සුදුසු බවත් ගුණසේකර මහතා කීය.
අනිද්දා සමඟ අදහස් දැක්වූ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන ටී. අශෝක පීරිස් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුවක් නොමැති මෙවැනි තත්වයක් මීට පෙර උදා වී නොමැති බවත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට කිසිම කටයුත්තක් කරගත නොහැකි තත්වයක් උදාවී තිබෙන බවත්ය. අමාත්‍යවරයෙකු නොමැතිව අමාත්‍යාංශ ලේකම්වරයෙකුට උපදෙස් ලබාගත හැක්කේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පමණක් බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයට අමාත්‍යාංශ විශාල ප්‍රමාණයක් පාලනය කළ නොහැකි බවත් ඔහු කීය.
මෙවැනි අවස්ථාවක කිසිම අමාත්‍යාංශ ලේකම්වරයෙකු අවදානම් සහගත තීන්දු නොගනු ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීම වැනි අත්‍යවශ්‍ය තීන්දු බොහොමයක් නොගෙන රාජ්‍ය සේවය ඇනහිටිනු ඇතැයි ඔහු පෙන්වාදුන් අතර මෙම තත්වයට ඉදිරියට ගියහොත් ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල හිඟයක් නිසැකවම ඇතිවන බවද කීය.
මේ පිළිබඳව අනිද්දාට අදහස් පළකරමින් රජයේ තනතුරු ගණනාවක සේවය කර තිබෙන නිලධාරියෙකු වන ලයනල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයන් පැහැදිළිවම හෘදය සාක්ෂියට අනුව කටයුතු කළ යුතු බවත්, එසේ නොවුණහොත් ඔවුන්ට එරෙහිව නිතිමය පියවර ගත හැකි බවත්ය.