කේ. සංජීව

‘හද්දා වැස්ස ඇරඹී තිබුණි. මගේ මතකය දිවයන්නේ 2003ට ය. එදවස උදෑසන සිට වැස්සා මතකය. එය මොරසූරන වැස්සකි. රාත‍්‍රී 9.45 මට හොඳට මතකය. ඒ වැසිදිය ගඟට බැස ගෙදරට පැමිණ දොරට තට්ටු කළ වේලාවයි. ඒ මෑත ඉතිහාසයේ රත්නපුරයට පැමිණි ලොකුම ගංවතුර ය.
දැන් නැවත වර්තමානයට පැමිණෙමි. දිනය 2017 මැයි 25 වැනිදාය. ඉර අවරට හැරුණු වේලේ සිට වට වැස්සේ කෙළවරක් නැත. ඉතිං පසුදාට පහන් වනවිට මේ ප‍්‍රදේශයේ මිනිසුන්ට තිබුණේ යනේනමන් නැතුව අවතැන් වන්නටය. ජීවිත ගමන නතර කරගන්න ය. 26 වැනි දිනය වනවිට පැමිණි මේ ගංවතුර 2003 තරම් විශාල නැතිවුණත් එය මිනිසුන්ට අත්කරදී තිබුණ විනාශය 2003ට වඩා වැඩිය. ඒ අතින් 2003 ගංවතුරට 2017 ගංවතුරට හැරෙන්නවත් බැරිය.’
මේ උපුටනය මේ ලියුම්කරුම 2017 ගංවතුර අරබයා ලියූ ලිපියක කොටසක් ය. මේ නම් කරුමයක් මය. නොසලකා හැරීමේ ජාතියේ පුරුද්ද නිසා උපන් කරුමයක් මය. එකම ප‍්‍රශ්නය අරබයා ලිපි අවුරුද්දක් පාසා ලියන්නට වී ඇත. අතීතය සංසාර චක‍්‍රය මෙන් කරකැවෙන්නේය. ගංවතුර එන්නේය. යන්නේය. රත්නපුරේ අපි නිරන්තරව අවතැන් වන්නෙමු. ඉතිං මෙතැනින් පසු ලියන්නේ 2018 මැයි මාසයේ පැමිණි ගංවතුරේ තතු විත්තිය. මෙහිදී අපි මේ ප‍්‍රශ්නයට විසඳුම් ද යෝජනා කරන්නෙමු. එහෙත් ඒවා ගංවතුරට කැපූ ඉනි වාගේ වෙන බවද අපි දනිමු.

කළු‍ ගඟ නිම්නයට
වසරක් තුළ වැඩිම ජල ධාරිතාවක් මුහුද වෙත රැුගෙන යන්නේ කළු‍ ගඟ ය. ගෙඟහි දිග ආසන්න වශයෙන් කිලෝමීටර් සීයක් පමණ ය. කළු‍ ගෙඟහි පෝෂිත ප‍්‍රදේශය වර්ග කිලෝමීටර් 2669ක් පමණය. සුවිශාල වන ගහනයන් ද උස් කඳු මුදුන්ද තැනි බිම්ද පසුකර සමුදුර වෙත ඇදෙන මේ ගංගාවෙන් අප තවමත් ඒ හැටි පල ප‍්‍රයෝජනයක් ගන්නේ නැත. අපි සුළු‍ දෙයකට හෝ කරන්නේ කුකුලේ ගඟ ව්‍යාපාරයෙන් විදුලිය මෙගාවොට් 80ක් නිපදවීම පමණි. ඒ වෙනුවට අපි ඇයගෙන් වසරක් පාසා දඬුවම් ලබන්නෙමු. ඇයගේ කෝපයට ලක්වන්නෙමු. කළු‍ ගඟ නිම්නයේ වාර්ෂික වර්ෂාපතනය සාමාන්‍යයෙන් මිලිමීටර් 4000 සිට 6000 පමණ වෙයි.
මැයි මාසය යනු කළු‍ ගඟ දෝණියට අපල කාලයක් ය. සිංහල අලූ‍ත් අවුරුද්ද ගෙවී දින 45ක් ගෙවුණු තැන ඇත්තේ සුළු‍ හෝ ගංවතුර තත්වයක් ය. සපරගමුවේ වැස්සයි පොඩි එකාගේ පස්සයි ෂුවර් නෑ කියන්නැහේ මැයි මාසය යනු අනිවාර්යයෙන්ම රත්නපුරේ කළු‍ ගඟ මිටියාවතට වහිනවාය. ඒ කියන්නේ ගඟ ගලනවා ෂුවර් ය.
‘මට මතක ඇති ගංවතුර ආවේ 1947. එතකොට මම පුංචි එකා. අපේ ගම සම්පූරණයෙන්ම එදා විනාශ වුණා‘. මෙලෙස ගංවතුර මතක අතීතය මුලින්ම අප ඉස්සරහා දිගඇරියේ ජෙමා මාමා ය. මාමාට දැන් වයස 88ක් ය. ඒත් තවමත් කොල්ලෙකු වගේ ශක්තිමත් ය. මාමා මට මුණගැසුණේ රත්නපුර දම්ඹුලූ‍වන ගමේදී ය. ඇලපාත ප‍්‍රදේශීය ලේකම් කාර්යාල බලප‍්‍රදේශයේ කළු ගඟ අයිනේම ගමක් වන මේ ගම සුළු‍ වතුර ඉහල යාමකදීද අවදානමේ ය. මේ මාමලාද මෙහි අන් අයද සිය ජීවිතය පුරාම මේ ගංවතුර කතන්දරය නිසා වසරක් පාසා අවතැන් වෙති. ඈත අතීතයේ මෙන් දැන් ඉදිවී තිබෙන්නේ පොල් අතු සෙවිලි මැටි වරිච්චි ගෙවල් නොවෙන නිසා තත්ත්වය ටිකක් සැහැල්ලූ‍ය. එහෙත් ඉතිං ගෙදර බඩුමුට්ටු සියල්ල ගඟ අරගෙන ගිය කලට කවර කලේයාදැයි කියා ඇසිය යුතුය.

මෙදා ගංවතුර
‘මහත්තයෝ මෙදා ගංවතුර ආවේ අවුරුද්ද ඉවරවෙලා දවස් 45න් නෙවෙයි. අපි ගණන් තියාගෙන හිටියේ මැයි 29ය. ඒත් මෙදා කලින් ආවා. ඉතිං අපි කලින් වගේම අනාථ වුණා. 2017 ගංවතුරට මගේ මේ ගේ සම්පූරණෙන්ම ගියා. ලක්ශ 1 1/2ක විතර ලී බඩු ඉවර වුණා. රජයෙන් වන්දිය හම්බවුණේ රුපියල් 18000යි. මේ පාරත් ලී බඩු සේරම ගංවතුරට අහුවුණා. මොනවා කරන්නද?.. මම දැන් කොට්ටාවෙ ඉඳලා මෙහෙට පදිංචියට ඇවිත් අවුරුදු දෙකයි. එහෙට වැඩිය මෙහෙ හොඳයි කියලා තමයි ආවේ. දැන් ගංවතුර දෙකකට අහුවුණා. එපා වෙලා තියෙන්නේ. එහෙ ඉඩම් විකුණලා ආපු නිසා ආයෙත් යන්නත් බෑ‘
මේ හඬ ගල්ගමුවේ විමලසිරි මහතාගේ ය. අප ඔහුගේ නිවසට යනවිට ඔහු තවත් පිරිසක් සමඟ ළිඳ ඉස පිරිසිඳු කිරීමට සූදානම් වෙමින් සිටියේය. මී උණට බෙහෙත් බෙදමින් යන පීඑච්අයි මහත්තයා මේ නිවසට පැමිණෙමින් කීවේ දැන් ඊළඟ අවුල මී උණ ව්‍යාප්තවීම බවය. අපි මේ කතාකරන ඉසව්ව ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයිති වන අතර අයගම සහ කිරිඇල්ල බල ප‍්‍රදේශවලටද මායිම් වෙයි. කළු ‍ගඟ පිටාර තැනි බිමක් වන මේ බිම සහ ආසන්නයෙන් හංගමු ගඟ ද නිරිඇලි ගඟ ද ගලතුර ගඟ ද වේ ගඟද කළු‍ ගඟ හා එකතුවෙයි. එනිසා තත්ත්වය බරපතළය. කළු‍ ගඟ අඩියක් දෙකක් ඉස්සී ගලනවා යනු අනෙක් ගංගා ද මේ ඉසව්වේදී ජලය රඳවා ගන්නවා ය. එවිට ඉතිං කොහොමත් මේ ඉසව්වට ගංවතුරය. අනෙක් පැත්තෙන් නිරිඇලි කඳු නිම්නයද සිංහරාජ ඉසව්වද (කුකුලේ ගඟ පෝෂණ නිම්නය* පොඩි වැස්සකටත් ගංවතුර උවදුර අරගෙන එන්නේය. එනිසා මේ කලාපය කළුතර, අගලවත්ත, පාලින්ද නුවර සීමාවට එනකම් ගංවතුරට ලක්වෙන අවදානම් කලාපයක් ය.
එහෙත් කරුමය වන්නේ බලධාරීන්ට මේ තත්ත්වය තවමත් නොපෙනීමයි. ඉතිං වාර්තාවලට අනුව මේ කලාපයට විශාලම ගංවතුර එන්නේ 1947දීය. ඊළඟට 2003 දීය. ඊට ප‍්‍රථම 1913, 1940, 1941 කාලයේදීද එන්නේ වාර්තාගත තද ගංවතුර ය.
‘මේ ගංවතුරට විසඳුමක් නෑ මහත්තයෝ. මේක සභාවධර්මය. අපිට මේකට පිටුපාන්න හක්තියක් නෑ. කරන්න පුළුවන් එකම දේ ගෙවල් තට්ටු දෙකට තුනට හදාගන්න එක. ගෙදර අඟු‍ලක් තියාගන්න එක. නැත්තං මේවා අතෑරලා උස් බිම්වලට යනඑක. වෙන මොනවා කියලා කරන්නද? නැත්තං කලින්ම බඩු අස්කරගෙන ගිහිං කඳවුරුවල ඉන්න ඕනී. ඒකට කාටද මේ වැස්ස ගැන කලින් කියන්න පුළු‍වන්‘
මේ රද්දැල්ලේ ධර්මසිරි මාමාගේ සාමාන්‍ය දැනීමය. මෙවැනි වැසි තත්ත්වයන් කලින් ටක්කෙටම කීමේ තාක්ෂණය දැන් ලෝකයේ දියුණු රටවල් අත්කරගෙන තිබෙන්නේය. එනිසා අපටද දියුණු ලෙස සිතන්නේ නම් සහ ප‍්‍රතිපත්ති හදන්නේ නම් මේ ව්‍යසනවලින් ගැලවී ගන්නට අමාරු නැත. එහෙත් කරුමයකට අප ව්‍යසන රෙද්ද අස්සට දාගන්න ජාතියක් ය.

ටෙන්ට් එකත් ඉල්ලනවා
‘දැන් මහත්තයෝ දිමියාවේ ඉස්සෙල්ලාම යටවෙන්නේ මගේ ගෙදර. මගේ මිනිහා ලෙඩින්. පුතා මැණික් පතලක වැඩකරන්නේ. දැන් කාලයක ඉඳලා වාසියක් නෑ. සැරින් සැරේ ආපු ගංවතුර නිසා අපේ ගේ ඉරිතැලූ‍වා. ඊට පස්සේ රත්නපුරේ මැණික් සංගමයකින් තමයි මේ ගේ හදලා සැලැබ් එක දාලා දුන්නේ. ඒත් අපිට තවම බැරිවුණා උඩ සම්පූර්ණ කරගන්න. රජයෙන් දිසාපතිගෙන් මම කොච්චර ඉල්ලූ‍වද, දෙන්නම් දෙන්නම් කියනවා තාම නෑ. ගිය ගංවතුරට 25000යි 10000යි දුන්නා ආධාර. ඒත් ගෙදර පූර්ණ හානියට ආධාරයක් කළේ නෑ. දැන් ග‍්‍රාමසේවක මහත්තයා ගිය ගංවතුරට දුන්න ටෙන්ට් රෙද්දත් ආයෙත් ගෙනල්ලා දෙන්න කියලා කරදර කරනවා. ඔන්න ඕකයි තත්ත්වය. අපිට මහත්තයෝ උඩ කෑල්ල හදාගත්තොත් බඩුටික ඒකට දාලා ඉස්කෝලෙට හරි ගිහිං ඉන්න පුළුවන් ගංවතුර දවස්වලට. එහෙම නැත්තං අපිට උස් බිමකින් ඉඩමක් දෙන්න. මේ ගමේ ගොඩක් අයට එහෙම ඉඩම් දුන්නා. ඒ දේශපාලනයට. අපි එක පැත්තකටවත් නැති නිසා අපිට හම්බවුණේ නෑ. හැබැයි ඒ ගත්ත මිනිස්සු ඒවා විකුණලා ආයෙත් මේ ගඟ අයිනටම ඇවිත් ඉන්නවා‘.
ආර් බී රංජනී එසේ කීවාය. ඇය සහ පවුලේ සාමූහික ජීවිතයද සතුටද කළු ‍ගඟ අරගෙන ගොස් ගොඩක් කල් ය. එහෙත් බලධාරීන් දෑස් පියාගෙන කන් වසාගෙන සිටිති. ඇත්තටම මේ අවුරුද්දක් පාසා එන ජීවිත පොඩි පට්ටං කරන රජයට වුණත් ලොකු අලාභයක් කරන ගංවතුර පාලනයට හැකියාවක් නැතිද?

1968 සිට කතාකරන පාලනය
ඇත්තටම ලෝකයේ දියුණු රටවල් කළු ‍ගඟ මෙන් දසගුණයක් පමණ විශාල ගංගා මතින් වාර්ෂිකව පැමිණෙන ගංවතුර තර්ජනයන් මැඩ සොබාදහම ජයගෙන බොහෝ කල් ය. චීනය දිය හැකි හොඳ නිදර්ශනයකි. රත්නපුරයේ කළු ‍ගඟ මිටියාවතේ මෙන්ම කැලණි ගඟ මිටියාවතේද ගිං සහ නිල්වලා ගඟ මිටියාවතේද ගංවතුර තත්ත්වයන් ඒවා පාලනය අරමුණු කරගෙනම දීර්ඝ කාලයක් අධ්‍යයනය කර, ඒ පිළිබඳව වාර්තා ද පළකර ඇත. කළු‍ ගඟ සහ එහි අතු ගංගාවක් වන වේ ගඟ පිටාර ගැලීම නිසා රත්නපුරයේ නාගරික කලාපයට සිදුවන හානිය පිළිබඳවද අධ්‍යයනයක් කර ඇත. ප‍්‍රශ්නය වන්නේ ඒ අධ්‍යයනයන්ගේ ප‍්‍රතිඵල ඔස්සේ විද්‍යාර්ථීන් ඉදිරිපත් කර තිබෙන නිගමන සහ නිර්දේශ ක‍්‍රියාත්මක නොකිරීමය. අවසන අප කර තිබෙන්නේ එම අධ්‍යයනයන්ට විශාල වශයෙන් මුදල් වියදම් කිරීම පමණි.
1968 දී කළු‍ ගඟ ගිං ගඟ සහ නිල්වලා ගඟ ගංවතුර පාලනය සඳහා මූලික සැලැස්මක් ඉදිරිපත් කර ඇත the three basin master plan 1968. එය ඉතාමත් හොඳ සැලැස්මක් බව බොහෝ දෙනෙකුගේ මතයයි. එහි ඇති සමහර යෝජනා ගිං ගඟ සහ නිල්වලා ගඟ විෂයයේ සිද්ධවී තිබුණත් කළු‍ ගඟ අරඹයා එය එසේ වී නැත. එයට හේතුව රත්නපුරේ මැටි මෝල් දේශපාලනය විය හැකිය.
මෙම මූලික සැලැස්මේ (the three basin master plan) එන වැදගත්ම යෝජනාව වන්නේ රත්නපුර මල්වල ප‍්‍රදේශයේ ඉදිකරන්නට යෝජනා කරන ජලාශයයි. එමගින් ජලවිදුලිය ද ගංවතුරෙන් ආරක්ෂා වීමද පානීය ජල අවශ්‍යතාවන් සැපිරීමද ඉලක්ක කරඇත. 1968ට පසුව 1999 දීද ඉන්පසුව 2003 ගංවතුරට පසුවද මේ යෝජනාව ක‍්‍රියාත්මක කිරීමට යම්‍ යම් උත්සාහයන් පැවතී ඇත. අවසන පසුගිය මහින්ද රාජපක්ෂ යුගයේදී හම්බන්තොටට වතුර ගෙනියන්න ශ‍්‍රීපාදයේ ජලාශයක් නිර්මාණය කරන බවද, එහි අරමුණ මේ සීමාවේ තිබෙන නිධාන ගැනීම බවද කටකතා රත්නපුර ප‍්‍රදේශයේ පැතිරෙන්නට විය. ඒ මේ ජලාශය ගැනම විය හැකිය. එහෙත් අවසාන වශයෙන් දැන් මේ යෝජනාවට වූ දෙයක් නැත.
මේ සැලසුම ගංවතුරෙන් ආරක්ෂා වීම සඳහා ගඟ දෙපස ආරක්ෂිත බැමි ඉදිකිරීමද යෝජනා කරයි. කළුතර නගරය ආශ‍්‍රිතව එය කළ යුතුමය. එහෙත් තවමත් සිදුවී නැත. එහෙත් නිල්වලා සහ ගිං ගෙඟ් මෙම ආරක්ෂිත බැමි යම් ප‍්‍රමාණයකට ඉදිවී ඇත. ඉනානතුරුව බොහෝ සැලසුම් තුළින් මේ කාරණා අඩුවැඩි වශයෙන්ද අනතුර කල් තියා සංනිවේදනය කිරීම සඳහා යම් ක‍්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද මූලික යොජනා ඉදිරිපත් වී ඇත. එහෙත් ඒ යෝජනා මේ වනවිට ගිහිං තිබෙන්නේ කුණුකූඩයට ය. එයට අපේ දේශපාලකයන්ද බුද්ධිමතුන්ද සමසේ වගකිව යුතුය. අවසානයේ මෙවර ගංවතුර තත්ත්වය පිළිබඳව සමාලෝචනයක් සමගින් මේ ගංවතුර කතාව ඉවර කරන්නට සිතුවෙමි. ඊට කලින් කිව යුතුව ඇත්තේ පසුගිය ගංවතුරට අදාළ අලාභ වන්දිද සමහර ප‍්‍රදේශවල තවමත් ගෙවා නැති බවය.
මෙවර දිස්ත‍්‍රික් 14කට ගංවතුර තර්ජනයක් තිබුණ අතර එහිදී පුද්ගල මරණ 23ක් වාර්තා වුණ බව කියන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි. තර්ජනයට ලක්වූ ජනතාව අතරින් ආසන්න වශයෙන් පවුල් පනස් පන්දාහක් පමණ තාවකාලික කඳවුරු තුළ රඳවන්නට සිදුවිය. මෙවර කළු ගඟට අමතරව අත්තනගලූ‍ ඔය පිටාර ගැලීමද පුත්තලමේ ගංවතුර තත්ත්වයද සුවිශේෂ බව කිව යුතුය.
මේ සියලූ‍ දේවල් සමග නැවත කිවයුතු වන්නේ ආපදා කළමනාකරණය සඳහා අපි ජාතියක් වශයෙන් ස්ථිර ප‍්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කළ යුතු බවය. සැලසුම් සකස් කළ යුතු බවය. අවසානයේ නිබියව ඒ සැලසුම් ක‍්‍රියාත්මක කළ යුතු බවය.