මේ  දිනවල මහමග යන එන්නන්ට, වාහන පදවන්නන්ට දැකිය හැකි විශේෂ දෙයක් නම්, ගමන් ගන්නා පදිකයන් හෝ අනෙකුත් වාහන හෝ පසෙකට තල්ලු කරමින් තනිව හෝ එක දිගට හෝ ඇදී යන ඩිෆෙන්ඩර් හෝ එවැනි වෙනත් සුඛෝපභෝගී හෝ වාහන සමූහයයි.

 

වෙනත් වාහනයකට පසුපසින් එවැනි වාහනයක් ධාවනය වේ නම්, ඒ වාහනවල ප්‍රධාන විදුලි ලාම්පු පීඩාකාරී ලෙස දල්වමින් සහ නිවමින් ද, වාහනයේ නලාව නොනවත්වා පීඩාකාරී ලෙස ශබ්ද කිරීමෙන් ද ඉදිරියේ ඇති (අසරණ) සාමාන්‍ය මිනිසාගේ වාහනය පසෙකට ඇද දමා ගන්නට බලහත්කාරය භාවිත කිරීම නිතර දක්නට ලැබේ. ඒ මදිවාට, ඒ වාහනවල ඉදිරිපස වින්ඞ්ස්ක්‍රීනය පහත නිවි නිවී දැල්වෙන නිල් රතු පාටින් යුත්, ‘හදිසි ප්‍රභූ සංඥා ආලෝක’ නමින් හැඳින්වෙන විදුලි ලාම්පු තිබේ. වින්ඞ්ස්ක්‍රීනයේ පසෙක අලවා ඇති ප්‍රභූ අවසර පත් හෙවත් ’වීඅයිපී’ අකුරු සහිත පත්‍රිකාවකි. එක දිගට එවැනි වාහන කිහිපයක්, මහමග විරුද්ධ මාර්ග තීරුවේ ධාවනය වනු දැකීම ද දැන් අපට දෛනිකව හුරුපුරුදු අත්දැකීමකි.

 

මෙවැනි වාහන මහමග ධාවනය වන විට, පදිකයන්ට හා අනෙකුත් පෞද්ගලික වාහන හිමියන්ට තෝරා ගැනීමට ඇත්තේ මාර්ගය ඉමෙහි ඇති කාණුවට පැනීම හෝ ඒ තාක් තම වාහනය අයින් කර ගැනීම හෝ පමණි.

 

මේ අලුත් හදිසි ධාවකයන් ඇත්ත වශයෙන්ම මහමගට පිළිපන්නේ 2018 ඔක්තෝබර් මාසයට පසුව ය. හැබැයි, ඊට පෙර ආසන්න කාලයේ දී ද ක්‍රමයෙන් ඒ ප්‍රවණතාව ආරම්භ වෙමින් පැවතිණි.

 

2015 ජනවාරි මාසයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයට පත්වීමෙන් පසු වැඩි කල් නොයා ම, මෙවැනි පීඩාකාරී විදුලි පහන් දල්වාගෙන, එකක් පස්සේ එකක් ලෙස යන ප්‍රභූ වාහන එසේ නොයා යුතු යැයි නියමයක් පැනවූවා අපට මතක ය. එවැනි වාහන අත්අඩංගුවට ගන්නා ලෙස ද පොලිසියට නියම කෙරිණි. අත්අඩංගුවට ගැනීම් ගැන තත්වය කෙලෙස වුව ද, අඩු ගණනේ මහමග යද්දී මිනිස් අභිමානය තබාගෙන යා හැකි යැයි කියන සහනශීලී හැඟීමක් ජනාධිපතිවරයාගේ නියමය නිසා ඒ දිනවල පුරවැසියන්ගේ සිත් තුළ ඇති වූවා නොඅනුමාන ය. එය හරියට, වහල්භාවයේ සිට පුරවැසිභාවයට මාරු වුණා වැනි හැඟීමක එක් අංශුවකි. එවැනි පීඩාකාරී ධාවකයන්ට මහමග දී ඉඩ නොදීමට ද සමහර සාමාන්‍ය වාහන ධාවකයන් කටයුතු කෙළේ තමන්ගේ පුරවැසි අභිමානය  ප්‍රදර්ශනය කරමිනි.

 

දැන් ඒ සහනශීලී හැඟීම අනෙක් පැත්තට හැරෙමින් තිබේ.

 

2015-19 ආණ්ඩු කාලයේ පොලිස් විමර්ශනවලින් පසුව, සමහර අතුරුදහන් කිරීම්, පැහැරගෙන ගොස් ඝාතනය කිරීම් වැනි අපරාධවලට අදාළ සැකකරුවන් අධිකරණයට පැමිණි හැටි සමහරුන්ට මතක තිබෙනවා ඇත. ඔවුන් අධිකරණයට ආවේ බිමට නමා ගත් හිසින් යුතු ව, ඇකිළෙමින්, ලෝකයාගෙන් සැඟවෙමින් ය. ඒ සමහරුන් අද, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවැත්වෙන පසුගිය ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් සොයන ජනාධිපති කොමිසමේ රැස්වීම් වාරවලට සහභාගි වන ආකාරය දකින්නකුට එදාත් අදත් වෙනස පැහැදිලි වනු ඇත. අද ඔවුන් එහි යන්නේ එන්නේ රටක් රාජ්‍යයක් අත්පත් කරගත්තාක් වැනි දැඩි උදාරම් ගතියකිනි. කොමිසම විසින් වගඋත්තරකරුවන් කරන ලද පුද්ගලයන් හා ඔවුන්ගේ නීතිඥයන් දෙස ද ඔවුන් බලන්නේ ඒ උදාරම් බැල්මෙන් ම ය. සැකකරුවන් පැමිණිලිකරුවන් වී ඇති අතර, විමර්ශකයන් අපරාධකරුවන් බවට පත් කර තිබේ.

 

තත්වය වෙනස් වී ඇති ආකාරය තේරුම් ගන්නට ඒ සංකේතාත්මක උදාහරණ දෙක ප්‍රමාණවත් වනවා ඇත.

 

2015-19 කාලයේ රටේ පැවතියේ පුරවැසියා ශක්තිමත් කරන පාලන ක්‍රමයකි. මාරාන්තික අඩුපාඩු තිබුණත්, තමන්ගේ මානව ගරුත්වය හෙමි හෙමින් අත්පත් කර ගන්නා සන්තතික ක්‍රියාවලියක ඒ කාලයේ පුරවැසියෝ යෙදී සිටියහ.

 

දැන් අපි එහි විරුද්ධ දිසාවට ස්ව- කැමැත්තෙන්  ම ගමන් කරමින් සිටිමු.■