ගිය සතියේ විදෙස් මාධ්‍ය වාර්තාකරුවන් හමු වු විට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සුපුරුදු පරිදි, ප්‍රසිද්ධියේ ස්වයං-නිර්වස්ත්‍ර වූයේ ය. ‘මේ මොහොතේ එහෙම වුණාට ඊළඟ අවස්ථාවේ දී වත් ඔහු නියම රාජ්‍යතාන්ත්‍රිකයකු හැටියට හැසිරෙනු ඇතැ’යි සිතන්නට කිසි ම ඉඩක් නොතබමින්, මොහොතක් මොහොතක් පාසා මේ ජනාධිපතිවරයා සිය අසමත්කමත්, චින්තනමය දුප්පත්කමත් නොමසුරු ව ප්‍රදර්ශනය කරමින් සිටියි.

රට යනු ඔහුගේ පෞද්ගලික දේපළක් නම්, මේ සා ලජ්ජාසහගත ලෙස ඒ රටේ නායකයා හැසිරෙනු ඉවසා සිටින්නට අපට හැකි ය. එහෙත්, ලංකාව යනු මෛත්‍රීපාල සිරිසේනගේ පෞද්ගලික දේපළක් නොවේ. ඔහු කෝටි දෙකහමාරකට ආසන්න එහි වැසියන්ගෙන් එකෙකු පමණෙකි. එක පුද්ගලයකුට මුළු මහත් රටක් අනතුරේ හෙළන්නට කිසි ම අයිතියක් නැත. එවැන්නකට ඉඩ දී කිසිවකුත් බලා සිටිය යුතුත් නැත.

විදෙස් මාධ්‍ය නියෝජිතයන් සමග කළ සාකච්ඡාවේ දී ඔහු පුන පුනා කියා සිටියේ, තමා කිසි ම විදියකින් රනිල් වික්‍රමසිංහට යළිත් අගමැතිකම නොදෙන බවයි. ඒ මොහොතේ එතැන සිටි, විදෙස් මාධ්‍ය වාර්තාකාර තනතුරකට කිසිසේත් නොහොබින ඇතැම් අය ඒ ගැන කිසි ම ප්‍රශ්නයක් නොනගා සිටියා වුණත්, රටක තිබෙන නීතියක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන අල්පමාත්‍රයෙන් දන්නා හඳුනන, කොන්දක් ඇති කිසිවකු එතැන සිටියා නම්, ‘මේ නම් පහේ පන්තියේ ළමයකුගේ කතාවකැ’යි ජනාධිපතිවරයාගේ මුහුණට ම කියනු නිසැක ය.

නොදැනුවත්කමත් උද්දච්චබවත් සම සේ මිශ්‍ර කර ගෙන සිටින ජනාධිපති සිරිසේන, තමාට වුවමනා වුවමනා දේ කරන්නට හෝ නොකරන්නට හෝ ඉඩක් නීතියෙන් කිසි ම ඉඩක් දී නැති බව තේරුම් ගන්නේ කවදා ද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය හිමියැ’යි තමා සිතන පුද්ගලයා අගමැතිවරයා හැටියට පත් කරන්නට ඔහුට බලයක් තිබෙන බව ඇත්ත ය. එහෙත්, ඒ බලය සීමා රහිත බලයක් නොවේ. වඳුරකු අත පත් දැලිපිහියක් මෙන් හැසිරවිය හැකි එකක් ද නොවේ. නීත්‍යනුකූලවත්, සදාචාරාත්මකවත් අභ්‍යාස කළ යුතු බලයකි.

‘තමාට සිතෙන’ පුද්ගලයා ගැන ජනාධිපතිවරයා තීන්දුවක් ගත යුත්තේ, මහපොළොවේ පවතින තත්ත්වය අනුව ය. තමා සිතන පුද්ගලයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නැති බව බැලූ බැල්මට පැහැදිලි නම්, ඔහු අගමැති හැටියට නම් කළා වුණත්, ඒ තනතුරේ තවදුරටත් කටයුතු කළ නොහැකි ය. ඒ වාගේ ම, පාර්ලිමේන්තුව තුළ වැඩි විශ්වාසයක් ඇත්තේ අහවල් මන්ත්‍රීවරයාටයැ’යි බැලූ බැල්මට පෙනෙන විට ඒ මන්ත්‍රීවරයා අගමැති හැටියට පත් කරන්නට ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූලව බැඳී සිටින්නේ ය.

1993 දකුණු හා වයඹ පළාත් සභාවල ප්‍රධාන ඇමතිවරුන් පත්කිරීම පිළිබඳව පැවරුණු නඩුවල දී, අභියාචනාධිකරණය තීන්දු කළේ, දිවුරුම් පෙත්සම් මගින් හෝ වෙනත් පිළි ගත හැකි ආකාරයකින්, තමන්ගේ විශ්වාසය ඇත්තේ අහවල් මන්ත්‍රීවරයා වෙතයැ’යි සභාවේ බහුතරයක් කියන විට, ඒ තත්ත්වය නොසලකා, සුළුතරයේ විශ්වාසය දිනා ගත් පුද්ගලයා ප්‍රධාන ඇමති ලෙස පත් කිරීම වැරදි බව ය.

ඒ නඩුතීන්දුවලින් ද ආලෝකයක් ගත් විට, පාර්ලිමේන්තුවේ බහුතරයකගේ විශ්වාසය දිනා ගත් පුද්ගලයා අහවලායැ’යි පැහැදිලි ව පෙනී යන මොහොතක දී සිය මනෝ විකාරයන්ට අනුව යමින් හිතුවක්කාර ලෙස අගමැති පත් කිරීමට ජනාධිපතිවරයාට නොහැකි බව පෙනෙයි.

රනිල් වික්‍රමසිංහ හැර එක්සත් ජාතික පක්‍ෂයේ ඕනෑ ම කෙනකුට අගමැතිකම දෙනවායැ’යි කීම ජනාධිපති සිරිසේනගේ අනෙක් මුග්ධ ප්‍රකාශයයි. තමන් විශ්වාසය පළ කරන්නේ කාට ද යන්න තීරණය කිරීම එජාපයේ මන්ත්‍රීවරුන්ගේ අයිතියක් වනවා සේ ම, එලෙස විශ්වාසය දිනා ගත් පුද්ගලයා අගමැතිවරයා ලෙස පත් කරනු ලැබීම ඔවුන්ගේ නීත්‍යනුකූල අයිතියක් ද වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඒ අයිතිය නොසලකා හරින්නට ජනාධිපතිවරයාට කිසි ම බලයක් නැත.

ජනාධිපති අසුනේ වාඩි වුණත්, මෛත්‍රීපාල සිරිසේන වනාහි බුද්ධියෙන්, සිහි කල්පනාවෙන් හා රාජ්‍ය තාන්ත්‍රිකභාවයෙන් කෙතරම් කුඩා කෙනෙකුදැ’යි මේ හැම ක්‍රියාවකින් ම ඔහු ඔප්පු කරමින් සිටියි.■