අප ආතා කිව්වේ ආත්තම්මාට ය. උන්දෑ ජීවිත කාලයේ කිසිම දිනක පාසලකට ගොස් නොතිබූ වලපනේ දිසාවේ හරස්බැද්ද ගම් තුලානේ අතිදුර්ග පාරවලින් ප්‍රවේශ විය යුතු ගමක ඉපිද යාබද මොරබැද්දේ මිනිසෙකු හා සරණ විත් තවත් දුරු රටක වසා අවසන මුහුදුකරයේ ගමකදී දිවිසැරිය නිමා කළ ගැහැනියකි. ඈ උපන් ගම නිවෙස්වල ගෙවතු වට සිටවූ පෙයාර්ස් ගස්වල අදද පල දරන අන්දම  මහත් අභිරුචියෙන් නැරඹිය හැකි දසුනකි. මේ මෑත නුවරඑළියෙන් නික්ම මහකුඩුගල දෙසට යද්දී ඒ අසිරිමත් පෙයාර්ස් මතක විඳ ගනිමින් ගිය මට එබිම දුර්ග මොහොර සිරසකින් එබී බලන කල ඈත ඌව මිටියාවත් දිසෙන සොඳුරු දස්සන සිහිපත් විය. පෙයාර්ස් හා බොහෝ උඩරට එළවළු බෝග වවන්නට නිසි සෞම්‍ය දේශගුණයකින් හෙබි බිම එක්වරම බැලුම්ගල යැයි හඳුන්වන අඩි දෙදහසක පමණ ප්‍රපාතයකින් කෙළවර වෙයි. ඉන් එපිට මධ්‍යම කඳුකරයේ වියළි නැගෙනහිර කලාපය වන්නේ කටුසර බෝග වවන්නට බෙහෙවින් හිතකාමී දේශගුණයකට නිවහන වෙයි.

මේ ආතා ඉඳහිට සිය උපන්ගමට ගොස් පැමිණියහොත් හෝ ඇගේ නෑසියන් සිව් පස් පැයක ගමනක් නිමාවේ අප බලන්නට පැමිණියහොත් හෝ හෙළෙන් පල්ලෙහා හේන්වල වැවෙන කුරහන් රැගෙන ඒමේ සිරිතක් තිබිණ.  වන්නියෙන් බිම්තැන්නෙන් මෙපිට මේ ඌව මැදරට අතරමැදි හුදෙකලා ගම්බිම්වල පැතිර තිබූ විචිත්‍රභාවී හේන් කුරක්කන් සංස්කෘතිය පසු කාලයේ ගිල ගත්තේ දුම්කොළ බෝගය වවන්නට මිනිසුන් හුරු වීම නිසාය. පස්සෙන්පහු කාලෙක ආතාගෙ සිහිකල්පනාව දූරිංභූත ව යන්නට මතු ඉඳහිට තමා දැන සිටි කුරක්කන් කවියක් කියන්නට ඇය අමතක නොකළාය. කුරක්කන් හෙවත් කුරහන් ගෙනා විගස ගැහැනුන්ගේ කාරිය වූයේ ඒවා හොඳහැටි ගරා වට්ටවල දමා අව්වේ වියළා ගැනීමයි.

ගෝනි පඩංගුවක් හෝ පැදුරක් ගොම ගෑ ගෙබිම එලා කුරහන් ඇඹරීමේ කටයුත්ත සඳහා බවලතියෝ දෙතුන් දෙනෙකු වට වෙති.

එදවස ගෙවල අරුමෝසම් ඇන්ටික් භාණ්ඩයක්ව විසිත්ත කාමරයේ තැම්පත් නොවූ කුරහන් ගලක් වූ අතර එය පලු දෙකකින් හා උඩ පලුවේ අල්ලුවකින්ද මැද කුහරයකින්ද සමන්විත වූ අපූරු මෙවලමක් ලෙස අප සිත් ගත්තේය. ගල් යුගයේ පාෂාණමය මෙවලම් තනාගෙන ඒවායෙන් සංස්කෘතිය සුහුරු කරගත් මිනිසා නිපද වූ අද්විතීය මෙවලමක් ලෙස එය හැඳින්වීමේ වරදක් නැත. බොහෝවිට භාවිතයෙන්ම ඔප මට්ටම් වූ කිතුල් ලී අල්ලුවෙන් අත බර කොට කුරහන් දෙගලේ මතු ගල් පුවරුව කරකවන විට මැද කුහරයෙන් තව තවත් කුරහන් ඇට හෙළීම තමන්ටම කළ හැකි වූ නමුත් තවත් කෙනෙකු හවුලේ එය කරන දසුන සුලබ විය. යටි ගල මත ඇතිල්ලී කරකැවෙන උඩු ගලින් තෙරපී බිඳී පිටි වන කුරක්කන් ගල් දෙබෑවේ මැදි ඉඩෙන් එලා ඇති පැදුරට හෝ ඇතිරිල්ලට වැටේ. ඒ සිනිඳු කුරහන් පිටි බහුලව තලප තැනීමට හා කුරහන් රොටී, පිට්ටු සහ හැලප සෑදීම සඳහා භාවිත කළ හැකිය.

කුරහන් කෑමේ අග්‍රේෂය තලප කෑමයි. පතන්දර තලප ගුලි දඩමස් හොදියෙන් අනා කෑ මතක මට ගෙනෙන්නේ ගල්ගෙඩියාවේ දිසාගේ හේන් බිම්වල සහ බලහරුවේ සමතේගේ මැටි කුස්සියේ නහඹු සුවඳ හා මුසුවය. කුරහන් තලප කන්නට නම් දඩමස් හොද්දක් වුවමනායැයි පැතිරුණ කතන්දර තිබුණි. වියළි දඩමසක කුර හා හම්ද මුහු කළ හොද්දක් සමඟ ගිලින තලපය තනාගන්නා බෝගය නිසා මේ කටුසර බිජු කුරහන් වූ බව මා හා කීවේ මුප්පනේ මහ වැදිරට මිනිසෙකි. එහෙත් ඌව රට උඩිස්සට එද්දී හිඟ දඩමස් පිළිබඳ විස්සෝප නොවූ ගම්මු අලකොළ නියඹලාවක් හෝ බොහෝ ඇට බැට හා කොළ පලාද එළවළු මෙන්ම අල බෝග, තිබ්බටු, අසමෝදගම්පවා එක්කාසු කර තැනූ ආනමක් සමඟ තලප කෑහ.

ඉහළ ඌවේ මෙන්ම මහනුවර දිසාවේ හඟුරන්කෙතින් මෙපිට වලපනේ සාවියේ මිනිස්සුද තමන් වැවූ රනිල බෝගයක් වූ කොල්ලු තලප කෑම සඳහා සුදුසු හොද්දක් උයා ගැනීමට භාවිත කළහ. අවුරුද්දේ මුල් කාර්තුවේ කොල්ලු වැස්ස යැයි හඳුන්වන කඩින් කඩ ඇදහැලෙන අක්වැස්ස බලා කොල්ලු වැපිරූ ඔවුහු කරල පැසෙන විට වැල් පිටින් උදුරා ගොම ගෑ කමතක දමා මඳක් වියළුණු කළ මෝල ගස් හෝ තඩි පොලුවලින් තනා හෙළා ගන්නා ඇට එකතු කරගත්හ. ඒවා උයන්නට ගන්නේ කබලේ බැද වණේ ලා කොටා  පියලි කිරීමෙන් අනතුරුව කුල්ලේ පූ කර පොතු හැර ගරා හොද්දටය. මේ හොද්ද රස වන්නේ බොහෝ සෙයින් යොදන රටබටු නමැති කුඩා හේන් තක්කාලි නිසාය.

අද ද ඔවුහු කුරහන් තලප හා කොල්ලු හොදි කති. එහෙත් ඒ මෝලේ ඇඹරූ කුරහන් හා කඩෙන් ගෙනා පිටිවලින් තැනූ තලප හා කොල්ලු හොදිය. දශක දෙක තුනකට ඉහත ඔවුන් වෙත තිබූ විචිත්‍ර සංස්කෘතිය අහිමි වී ගොසිනි. ඒ හා කාබනික ආහාර සංස්කෘතිය මෙන්ම වැඩ සංස්කෘතියේද පංගුවක් අහිමි ව ඇත. ■

■ ලසන්ත ද සිල්වා