ෆිලිප් කියන්නේ අවුරුදු අනූ හතේදී ‘ලෑන්ඞ් රෝවර්’ එකක් එළවාගෙන ගිහින් ‘කියා’ එකක හප්පලා වාහන දෙකම පෙරළුණාට පස්සෙත් කෙළින් හිටගන්න පුළුවන් ජාතියේ කුමාරයෙක්. ඒ එංගලන්තේ ෆිලිප් කුමාරයා. මේ කියන අනතුර ඔයාලා සමහර විට ජනමාධ්‍යවලින් හෝ අන්තර්ජාලයෙන් දකින්න ඇති. අපි මේ කතාකරන්නේ ඒ කුමාරයා ගැන නෙමෙයි. මේ වොල්වෝ ෆිලිප්. හැබැයි මෙයාත් එක්තරා ‘පෙරළුණු කුමාරයෙක’ තමයි.


වොල්වෝ කියන්නේ හරි අපූරු සමාගමක්. 1924 අවුරුද්දේ ස්වීඩනයේ එස්.කේ.එෆ්. කියන කර්මාන්ත ශාලාවේ වැඩකළ යාළුවෝ දෙන්නෙක් එකතුවෙලා ස්වීඩනයේ කාර් හදන්න පටන් ගන්න ඕනෑ කියලා තීරණයක් ගත්තා. විසිවෙනි සියවසේ මුල් කාලේ කාර් හැදීමේ හීන කාටත් පොදු දෙයක් වෙලා තිබුණේ. පස්සේ එස්.කේ.එෆ්. එකේම පූර්ණ අයිතියට යටත් සමාගමක් විදිහට වොල්වෝ කාර් සමාගම පටන්ගත්තා. 1927 දී ඉස්සරලාම එයාලාගේ ප‍්‍රඩක්ෂන් ලයින් එකෙන් එළියට ආ ඕවී 4 කාර් එක තාක්ෂණික දෝෂයක් නිසා ගියේ රිවස් එකට විතරයිලූ. රිවස් එකට විතරක් යන කාර් හදලා

ලෝකෙට මූණදෙන්න බැරි නිසා මේ දෝෂය ඉක්මනටම හරිගැස්සුවා.
ක‍්‍රමානුකූලව වොල්වෝ වාහන දියුණු වේගෙන, ජනප‍්‍රිය වේගෙන යද්දී 50 දශකය වෙනකොට එයාලට ඕනෑ වුණා ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වෙන්න. ස්වීඩනයේ කාර් විකුණලා ඇමරිකාවට යන්න හිතනවා කියන එක බේරේ වැවේ මාළු බාලා ඊට පස්සේ පැසිෆික් සාගරේට යන්න හිතනවා වගේ වැඩක්. මේ සාගර චින්තනය ඔස්සේ එයාලා අල්ලපු එක පුරෝගාමී අඩව්වක් තමයි වොල්වෝ ෆිලිප් කන්සෙප්ට් කාර් එක.


වවුලාගේ පාටියට යනවා නං වවුලාගේ ලයිෆ්ස්ටයිල් එකට ගරු කරන්න ඕනෑ වගේ ඇමරිකාවට යනකොට ඇමරිකානුවන්ට අවශ්‍ය දේවල් දෙන්න හිතාගෙන එයාලා වොල්වෝ ෆිලිප් කාර් එක නිර්මාණය කළා. මේක ඇත්තටම අනාගතය නුවණින් දැකලා හදපු කාර් එකක්. ඇමරිකාවේ මිනිස්සු 50 දශකයේදී ලොකු සෝබනවලට ආසා කළ නිසා ෆිලිප් එක සැලසුම් කෙරුණේ ආසන 6 ලොකු කාර් එකක් විදිහට. විශ්වාස කරන්න, මේකේ ඔටෝ ගියර්, පවර් ස්ටියරින් සහ සර්වෝ බ්රේක් තිබ්බා. එන්ජිම වොල්වෝ එකේම හදාපු 120එච්පී බලයක් දෙන වී8 එකක්.


හැබැයි එක ගැටලූවක් තිබුණා. කොච්චර හොඳට උත්තරේ තිබුණත් වැඩක් නැහැ. කොපි කළාම විභාග හීනය බොඳ වෙනවා. ඕක තමයි ෆිලිප්ටත් වුණේ. තාක්ෂණය කොච්චර දියුණු වුණත් ෆිලිප්ගේ ඩිසයින් එක ඒ කාලේ ඇමරිකන් කාර්වල, විශේෂයෙන්ම කයිසර් කියන කාර් එකේ කොපියක් විදිහටයි වොල්වෝ අධ්‍යක්ෂ මණ්ඩලය දැක්කේ. ඇමරිකාවට කාර් විකුණන්න ගිහින් අහක යන නඩු කරේ දාගන්න එයාලා කැමති වුණේ නැහැ. ඒ නිසා ෆිලිප්ව ලත් තැනම ලොප් කරන්න එයාලා තීරණය කළා. ඊට පස්සේ 1955 අවුරුද්දේ තමයි වොල්වෝ එක පීවී444 කියන කාර් එකත් එක්ක ඇමරිකාවට ඇත්තටම මුට්ටිය දාලා බැලූවේ.


ෆිලිප් කාර් එක ඩිසයින් කළේ ජාන් විල්ස්ගාඞ්. කොප්පයක් ගැහුවා කියලා එයාගේ රස්සාව නැතිවුණේ නැහැ. එයා 1950 ඉඳන් 1990 අවුරුද්ද වෙනකල්ම වොල්වෝ සමාගමේ චීෆ් ඩිසයිනර් විදිහට වැඩ කළා.


ලෝකෙට බිහිවුණු එකම එක ෆිලිප් කාර් එක දැන් තියෙන්නේ ස්වීඩනයේ ගොතෙන්බර්ග්වල තියන වොල්වෝ කෞතුකාගාරයේ. ෆිලිප් වෙනුවට ඇමරිකාවට ගිය පීවී444 එක ඇමරිකාවේ ටෙක්සාස්වල සහ දකුණු කැලිෆෝනියාවේ විතරයි අලෙවි කළේ කියලා කියනවා. ඇත්තටම වොල්වෝ සමාගම ෆිලිප් එකේ ඩිසයින් එක පොඞ්ඩක් වෙනස් කරලා, ඇමරිකානු රසිකත්වයට ගැළපෙන විදිහටම ඇමරිකානුවන්ට ඉදිරිපත් කළා නම්, සමහර විට ඉතිහාසය වෙනස් වෙන්න ඉඩ තිබුණා.


කාලෙන් කාලෙට ‘මේක් ඇමරිකා ගේ‍්‍රට් අගේන්’ කතා දැම්මාට ඇමරිකානුවෝ විදේශ කාර්වලට මාරාන්තික විදිහට විරුද්ධ වුණු ජාතියක් නෙමෙයි. එයාලා කාර් සංස්කෘතියේ විවිධාකාර පැතිමාන නිර්මාණය කරන්න දායක වුණු මිනිස්සු. සමහර විට වොල්වෝ ෆිලිප් එක වගේ කාර් එකක් ඔය සේරම විශේෂාංග සහ වී8 එන්ජිමක් එක්ක ඇමරිකානුවන්ගේ හදවතට රිංගුවා නම් ලෝකෙට හරිම අපූරු ස්විඩිෂ් කාර් සංස්කෘතියක් බිහිවෙන්න ඉඩ තිබුණා.
කොහොම වුණත් ඉතිහාසයේ රසය තියෙන්නේ ‘එහෙම වුණා නං කොහොම වෙයිද‘ කියන මොහොතවලම තමයි.

තරිඳු ශ‍්‍රී ලොකුගමගේ