‘ඒ කාලෙ රජ කෙනෙක් නුවර ඉඳලා ආවාලූ‍. මේ ගඟ එන්නෙ නුවර ඉඳලානෙ. රජ්ජුරුවො කුඹුරු කර කර ඉඳලා උදැල්ලෙ මොකක්ද වෙලා, ඒක හදාගන්න උදැල්ල ඇදගෙන ආවාලූ‍ මෙහේට. කම්මල කියන ගමට. ඒ උදැල්ල ඇදගෙන එද්දී හැදුණු පාරටලූ‍ මේ ගඟ හැදුණෙ. කම්මලට ගියාම එතැනින් මෝය කට හැදිලා මුහුදට ගඟ ගියාලූ‍.’

මෙතැනින් කතාව නවත්වන ඇය හිනාවෙනවා. ‘යෝධයන්ගෙ උදැල්ල ලොකු ඇතිනෙ…..’ ඇය ආයෙමත් හිනාවෙනවා.
‘උදැල්ල ඇදගෙන ආපු පාරට ගඟ හැදුණෂාලූ‍.’ ආයෙමත් හිනාව.

ගමක් ගැන පුරාවෘත්ත කතාවක් කියන්න හොඳම ක‍්‍රමය ඒක නේදැයි හිතුණා. ඒ පුරාවෘත්තය විශ්වාස කරන්න බැරි තරම් සුරංගනා කතාවක් නිසා, පුරාවෘත්තයට හිනාවෙමින් ඒ කතාව කීම. කොහොම වුණත් ඒ පුරාවෘත්තවලින් කියැවෙන්නෙ රජ කාලයේ පටන් මේ පැත්තේ කම්මල් තිබුණු බව. පුරාවෘත්තය නිර්මාණය වෙන්නේත් ඒ මතය සනාථ කරන්නට.

මීගමුව, කොච්චිකඬේ පහුවෙද්දි හමුවෙන්නෙ වයික්කාල. වයික්කාලේ ජීවත්වෙන ඬේසි අමරසිංහ අක්කා තමයි අපට මේ කතාව කියන්නේ. ඇයත් සේනානායකගේ කරුණාදාස නම් ඇගේ සැමියාත් අපට වයික්කාල ගැන විස්තරයක් කියනවා.

වයික්කාල ගැන දන්නා කෙනෙකුට නම් වයික්කාල ගැන කී විගස සිහියට නැෙඟන්නෙ වානේ පිහි, උදලූ‍ කර්මාන්තය. නැත්නම් උලූ‍ කර්මාන්තය. වයික්කාලේ කනත්ත අසල තියෙන වානේ භාණ්ඩ කම්හලේ තමයි අපි මේ ඉඳගෙන ඉන්නෙ. වයික්කාලේ රෝන්ද ගැසීමේ වුවමනාවෙන් ආ අපි අපේ ගමන ආරම්භ කළේ එතැනින්. එතැනට අපි ආකර්ෂණය වූ නිසා වයික්කාලේ රෝන්දය පිළිබඳ කතාව අපි අකුරු කරන්නේ එතැන ඉඳගෙන.

පෙති යකඩ, මාළු පිහි, මන්න, උදලූ, කැති, හිරමන පේළියට තියලා තියෙනවා. මේ භාණ්ඩ සාමාන්‍යයෙන් මිලදී ගත හැකි භාණ්ඩවලට වඩා මිලෙන් වැඩියි. මේවා මිනිස් ශ‍්‍රමය වැය කරමින් අතින් තනන භාණ්ඩ. ඒ නිසාම ඉහළ ප‍්‍රමිතියක් වුව බලාපොරොත්තු විය හැකියි.

වානේ භාණ්ඩයක් තැනෙන ආකාරය ගැන කියන්න අපේ කිසි බලාපොරොත්තුවක් නැහැ. එහෙත් බොහෝ අය දන්නා කාරණයක් වුණත් ඇතැම් අය නොදන්න කාරණයක් කිව යුතුයි. මේ වානේ භාණ්ඩ නිර්මාණය කරන්නේ වාහන දුනුකොළවලින්. දුනුකොළයක් තැලීමෙන්, රත් කිරීමෙන්, හැඩ කිරීමෙන් වානේ භාණ්ඩ තැනෙනවා. ටිපර් එකක පතුලේ ඇති දුනුකොළයක් ලෙස තැනින් තැනට සංචාරය කොට, අවසානයේදී කුස්සියේ කෑම කපන පිහියක් දක්වා ගමන් ගැනීමත් වානේ කැබැල්ලකට එක්තරා අපූරු චාරිකාවක්.

වානේ භාණ්ඩයක් අතින් හැදීම යම් වෙහෙසක් වැය වෙන වැඩක්. ඒ නිසාම ඒ වෙහෙසට ගැළපෙන වටිනාකමක් එවැනි භාණ්ඩයකට නියම වෙනවා. එහෙත් අතින් තැනෙන මෙවැනි භාණ්ඩයක ප‍්‍රමිතිය ගැන අහන්නට දෙයක් නැහැ. ඒ නිසාම මාළු කපන ධීවරයන්, ගස් කපන්නන් ආදි වානේ භාණ්ඩ පාවිච්චි කරන උදවිය ඈත පෙදෙස්වල සිට වයික්කාලට එනවා. හොඳ වානේ භාණ්ඩයක් සොයාගන්නට.

ඬේසි අමරසිංහ සහ කරුණාදාස යුවළ අපට දුනුකොළයක් පිහිතලයක් බවට පත්වෙන හැටි පෙන්වුවා. තවත් උළු කම්හලක සිට මැටි ගොඩක් උළු කැටයක් දක්වා යන හැටි දකින්න ලැබුණා. මේ සියල්ල පුහුණු ශ‍්‍රමයක්, වෙහෙසක් දැරීමෙන් පසුව නිර්මාණය කරන භාණ්ඩ. මෙවැනි භාණ්ඩයක් තැනීම අනිවාර්යයෙන්ම භාවනාවක්. එකම මොඩලය, එකම භාණ්ඩය යළි යළි තැනීම කලා කෘතියක් නිර්මාණය කරනවාට වඩා වෙහෙසක් අවැසි කටයුත්තක්. ඒක භාවනාවක් වැනි ක‍්‍රියාවක්. මෙවැනි කටයුත්තකට අවැසි පුහුණුව හා ඉවසීම වයික්කාලට පරම්පරාවෙන් උරුම වී තිබුණා. නිසි කැපවීම කළ පසුව උළු‍ කර්මාන්තය සහ පිහි කර්මාන්තය යන කර්මාන්ත දෙකම ඉහළ ආදායම් ලැබිය හැකි කර්මාන්ත දෙකක්.

කරුණාදාස අයියා මීට කාලයකට කලින් බස් රියැදුරෙක්. මේ කර්මාන්තය ඔහුට පවුලේ උරුමයෙන් එන කර්මාන්තයක් නෙවෙයි. ඔහුගේ පදිංචිය මාතර. ඔහු ඬේසි අක්කාව විවාහ වීමෙන් පසුව තමයි වයික්කාලට එන්නේ. ඉන් පසුවත් කාලයක් ගතවෙන තුරු ඔවුන් වෙනත් රැුකියා කරනවා. ඉන්පසුව ඬේසි අක්කාගේ පරම්පරාගත කර්මාන්තය ආරම්භ කරන්න ඔවුන් තීරණය කර තිබුණා.

‘මං වයික්කාලෙ. මගේ සීයා, තාත්තා මේ කර්මාන්තය කළා. මට සහෝදරයෝ අටයි. පිරිමි හතරයි. ඒ හතරදෙනාගෙන් ලොකුම කෙනා ජපානෙ. දෙවැනියා ඉතාලියේ. බාලයෝ දෙන්නාගෙන් එක්කෙනෙක් වානේ. දෙවැනියා උළු ෆැක්ටරියක් කළා. ඒක වැහුණාම වානේ කර්මාන්තය පටන්ගත්තා. අයියා කෙනෙකුගෙ පුතෙක් රට ගිහින් ඇවිල්ලා මේ රස්සාව කරනවා. අනෙක් පුතා වැඩ කළේ බැංකුවේ. ඒ්කට වඩා ආදායමක් මේකෙන් ලැබෙනවා. ඒ නිසා දැන් අරක නවත්තලා මේක කරනවා’ ඬේසි අක්කා කියනවා. ඉන්පස්සෙ මේ කර්මාන්තයට යොමුවූ හැටි තවත් විස්තර කරනවා.

‘අපි මෙතැන කම්හල පටන්ගත්තා. ඒත් අපි වැඬේ කරන්න දන්නෙ නැහැ. ඒ නිසා බාස්ලා දෙන්නෙක්ව අරගෙන තමයි වැඬේ කරගෙන ගියේ. බාස්ලාට දවසට පන්දාහක්. මාසෙට දෙන්නාට ලක්ෂ එකහමාරක්. පුතාලා දෙන්නා බැංකු දෙකේ රස්සාව කරලාත් ඒ ගාණ හොයන්නෙ නැහැ. ඒ නිසා පුතාලා කිව්වා අපේ සල්ලි ටික බාස්ලාට යනවානේ, අපි මේක කරන්නම් කියලා. ඊට පස්සෙ එයාලා වැඬේට ආවා. ඒ දෙන්නා මොළෙන් මේක අඳුනගත්තා. දැන් වයික්කාලෙ ගොඩක් අත්දැකීම් තියෙන බාස්ලාටත් වඩා හොඳට වැඬේ අල්ලගත්තා.’ ඬේසි අක්කා කියනවා.

‘අපේ පුත්තු දෙන්නා නිවුන්නුනෙ. දෙන්නාට වෙන වෙනම ඉන්න බැහැ. එකටමයි ඉන්න ඕනෑ. ඒ දෙන්නා හොඳට ඉගෙනගත්තා. උසස්පෙළත් පාස්. එක්කෙනෙක් ඉංජිනේරු පාඨමාලාවකුත් කළා. ඒ හින්දා දැන් මෙතැනට අවශ්‍ය වෙන සමහර මැෂින් එයාලාම හදාගත්තා.’

ඇය තව තවත් තමන්ගේ පුතුන්ගේ හැකියාව වර්ණනා කරනවා. එක් පරම්පරාවක් විසින් ඊළඟ පරම්පරාවට මේ කර්මාන්තයේ උරුමය පැවරීම නිසා ඈත අතීතයේ සිට මේ වන තෙක් මේ ප‍්‍රදේශවල කර්මාන්තය පැවතුණා.

‘මගේ මහත්තයා මෙව්වා දන්නෙ නැහැ. එයාලාගේ ගමේ මේවා ඇත්තෙත් නැහැ.’ ඬේසි අක්කා කියනවා.
ඒ අස්සේ ‘ටිං ටිං ටිං’ සද්දයක් පසුබිමින් ඇහෙනවා. කරුණාදාස අයියා වැඩ දන්නේ නැතැයි කියද්දී ඔහු එහා කොණේ ඉඳන් දුනුකොළයක් තලන්න පටන් අරගෙන. තකහනියක් වැඩ.

‘එයා ඕවා කරන්නෙ නැහැ. ඔය දැන් පොඞ්ඩක් අනං මනං කරනවා. ඕවා කරන්න ගිහින් අතත් තලාගන්නවා.’ ඔහුගෙ කෙරුවාව ගැන එහෙම කියන ඇය හිනාවෙනවා.

ඔහු තමන්ගේ හපන්කම් වැඩිහිටියන්ට පෙන්වන පුංචි දරුවෙක් වගේයැයි ඇය එසේ කියද්දී අපට හිතෙනවා. යම් කර්මාන්තයක යෙදීමේ අපූරුව එයමයි. ඒ කර්මාන්තයට ක‍්‍රම ක‍්‍රමයෙන් හුරුවෙද්දී තමන්ගේම හැකියාවන් රස විඳින්න අපි හුරුවෙනවා. තමන්ගේම හැකියාවේ දියුණුව රස විඳින්න හුරුවෙනවා. එය අපූරු අත්දැකීමක්. වයික්කාලේ කර්මාන්තය පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ තමන්ගේම හැකියාවන් රසවින්ද අය නිසා. එහෙත් වයික්කාලේ ඊළඟ පරම්පරාවල සිටින අය කම්මලක වෙහෙසෙන්නට සූදානම් නැහැ. වයික්කාලේ තෙවැනි ප‍්‍රධාන ආදායම් මාර්ගය ඉදිරියට එන්නේ ඒ අනුව. ඒ තමයි ඉතාලි ගමන. මේ වෙද්දී වයික්කාලේ ජනප‍්‍රියම ආදායම් මාර්ගය ඒක.
‘මේවා ලොකු ගෙවල් ඔක්කෝම ඉතාලි රස්සාවලට ගිය අය හදපුවා. රට යන හැමෝටම මේ වගේ ගෙවල් හදන්නට දියුණුවෙන්න බැහැ. ඒත් හැමෝටම ඕනෑ ඉක්මනින් දියුණු වෙන්න. ඒ නිසා කර්මාන්තය කරලා දියුණු වෙන්න කාටවත් වුවමනාවක් නැහැ.’ වයික්කාලේ කාන්තාවක් අපි එක්ක එහෙම කියන්නෙ දැවැන්ත දෙමහල්, තෙමහල් නිවාස පෙන්වමින්.

අප සමඟ කතාකළ උළු සහ වානේ කර්මාන්තකරුවන් කිහිපදෙනෙක්ම කීවේ තමන්ගේ දරුවන් මේ කර්මාන්ත දෙකෙන් එකක් තෝරා ගැනීම කිසිසේත්ම සිදුනොවෙන බව. ඇතැම් අය ඒ බව කියන්නෙ අභිමානයෙන් සහ සතුටෙන්.

‘අපි වානෙ එක්ක ඔට්ටුවුණාට පුතාලා ඔට්ටුවෙන්න ඕනෑ නැහැ.’ කෙනෙක් කියනවා.
අවුරුදු තුනක් තුළ ප‍්‍රවීණ බාස්ලාටත් වඩා වානේ කර්මාන්තයට හුරුවූ බව කියන ඬේසි අක්කාගේ නිවුන් පුතුන් දෙදෙනාත් මේ වෙද්දි කම්මල වසා දමා විදේශගත වීමේ සූදානමකින් ඉන්නවා.

‘දැන් මේක අත්හැරලා දෙන්නාම ඉතාලි යන්න හදන්නේ. මිලානෝවල ඥාතියෙක් ඉන්නවා. එයාලා පුතාලා දෙන්නාව ගන්නවා. මොකද එයාලා මහන්සි වෙන්න ඕන නැහැනේ. දෙන්නා උදේ ඉඳන් පෑන්වලින් ලියපු අයනේ. මේ කම්මලේ වැටිලා යකඩ එක්ක නැහුණානේ. දැන් නම් ඒක ඇති.’ ඬේසි අක්කා කියනවා.

මුළු ජාතියක් කෙටි මාර්ගවලින් මුදල් උපයන්න කල්පනා කරද්දී, වයික්කාල නම් එක ගමක් පමණක් නිෂ්පාදවලින් ආදායම් සොයන්නට වෙහෙස වෙන්නෙ ඇයිදැයි අපටත් විටෙක හිතෙනවා.