”අශෝක හඳගමගේ ෆෙස්බුක් සටහන: ධනේශ්වර ප‍්‍රිස්මයෙන් ලෝකය දකින්නෙකුගේ නරුම ප්‍රතිචාරයක්” මැයෙන් සමාජවාදී සමානතා පක්ෂයේ පානි විජේසිරිවර්ධන විසින් පක්ෂයේ වෙබ් අඩවියට (WSWS.com) ලියූ අවලාදාත්මක ස්වරයේ විචාරයට ප්‍රතිචාරයක් දක්වන්නට වෘත්තය කොලම යොදාගන්නට අදහසක් නොතිබුණත්, මිතුරන් කිහිප දෙනෙකුම ඉල්ලා සිටියේ ප්‍රතිචාර දක්වන ලෙසයි. එබැවිනි මේ සටනන.

මේ සටහන ලියන මගේ අරමුණ, ඔහුගේ ලිපියේ ඔහු තැනින් තැන උපුටා දක්වන මගේ අදහස්වලට පදනම් වන මගේ අවබෝධය පැහැදිලි කිරීම මිස, පානිගේ දාර්ශනික තර්ක එකිනෙකට ප්‍රතිචාර දැක්වීම නෙවෙයි. වෘත්තය 47 කොලම තුළින් ගෙනහැර දැක්වූ මගේ ලිපියේත් ඊට සමාන්තරව මගේ එෆ්බී ගිණුමේ දැක්වූ අදහස්වලත් මූලික තර්කය වූයේ, රාඡ්‍ය භාණ්ඩාගාරයේ අතිරික්තයක් වෙනුවට දැනටමත් ඔරොත්තු නොදෙන හිඟයක් පවතින ලංකාව වගේ රටක ආර්ථිකයට, කෙළවරක් නැති ඇඳිරි නීතිය විසඳුමක් නොවන බවයි. ඒ වෙනුවට එය කොරෝනාවලට වඩා විශාල අර්බුදයකට රට ඇදගන යන බවයි.

”ලංකාව කොරෝනාවලින් ආරක්ෂිතයි කියලා සහතිකයක් දෙන්න දැන්ම නම් සක්කරයටවත් පුළුවන් වෙන එකක් නැහැ. ඉතින් එහෙම වෙනකල් ආර්ථික යන්ත්‍රය වහගෙන ඉන්නවා කියන්නේ ආයේ ගොඩ එන්න බැරි තරම් අගාධයකට තල්ලූ වෙනවා කියන එකයි.”

හඳගම කියා සිටින්නේ ”කොරෝනාවලින් ආරක්ෂිතයි කියලා සහතිකයක්” නැති වුණත්, ආර්ථික යන්ත්‍රය වහාම ක්‍රියාත්මක කිරීම සඳහා, තම දිවි පරදුවට තබා කම්කරුවන් වැඩට යායුතු බවයි” පානි කියයි.

පළවෙනි කොටස මා කිවූ බව සැබෑවක් වුවත් දෙවැනි කෑල්ල මා කියුවේ යැයි ඔහු ගොතන මුසාවයි. මා කියුවේ සමාජ දුරස්ථකරණ සීමාවන් පවත්වා ගනිමින් ආර්ථිකය සක්‍රිය කළ යුතු බවයි. කම්කරුවන් දිවි පරදුවට තැබිය යුතු කතාව මා  කිවු දෙයක් නොවේ. එමෙන්ම, මේ කොරෝනා ආක්‍රමණය මෙතරම් බරපතළ ලෙස පාලකයනට දැනෙන්නේ, එය පන්ති බේදයක් නැතිව කවුරුත් එක පොකුරට ගෙන පහර දෙන නිසායි.

එක් එක් රටවල් කොරෝනාවලට මුහුණ දෙන්නේ තම තමන්ගේ රටවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ ආර්ථිකයේ පවත්නා තත්වයන්ට අනුකූලවයි. අන්ත ධනවාදී රටක් වන ඊශ්‍රායලය, අසල්වැසි තම ජන්ම සතුරු රාඡ්‍යය වන පලස්තීනයට කොරෝනා මර්දනය සඳහා  උදවු කරන්නේ, පලස්තීනයට ඇති ආදරය නිසා නොවෙයි. පලස්තීනය කොරෝනාවලට ගොදුරු වුවහොත්, තමන්ටද ගැලවීමක් නැති නිසයි. යුරෝපා හවුලේ රටවල් කොරෝනාවලට මුහුණ දෙන්නේ ඒ ඒ රටවලට අනන්‍ය ආකාරයකටයි. 

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය ද එසේමයි. වියට්නාමය කොරෝනා සටනේ ජයග්‍රාහී ස්ථානයක සිටිනවා සේ පෙනෙන්නේ එය සමාජවාදී රටක් නිසා යැයි කියන සටහන් ද මුහුණු පොතේ දකින්නට පුළුවන්. වියට්නාමය ඇත්තට සමාජවාදී වූයේ ඈත අතීතයෙ හෝ චි මින්ග්ගේ කාලයේය. අක්කර ගණනක භූමි ප්‍රදේශයක් වසාගන සිටින කොරියන් සැම්සුන් නිෂ්පාදන කලාපය වියට්නාමයට එන්නේ ලාබ එමෙන්ම පුහුණු ශ්‍රමය නිසායි. නයිකි, රීබෝක් වැනි සන්නාම, ලෝක වෙළඳපොළට නිෂ්පාදන කරන්නේ වියට්නාමයේ සිටයි. (වියට්නාමයේ ස්ථාපිත කර ඇති මෙවැනි මහා පරිමාණ කර්මාන්ත ගණනාවක් තියෙනවා. ඒවායින් එකක්, ලංකාවට කැඳවා ගන්නට හැකි වූයේ නම්, අපේ ආර්ථිකය මීට වඩා වෙනස් වන්නට තිබුණා). වියට්නාමයට තිබෙන විදෙස් ආයෝජන ආකර්ෂණය චීනයට පවා හිස කැක්කුමක්. එහෙත් වියට්නාමය තවම එක මරණයක්වත්  වාර්තා කරනොගෙන කොරෝනා යුද පෙරමුණේ සටන් වදිනවා. එංගලන්ත සහ ඇමෙරිකානු සටන් උපක්‍රමයන් ඊට වෙනස්. ඇමෙරිකාවේ යුද උපක්‍රමය මරාගන මැරෙන එකක් සේ කෙනෙකුට දකින්න පුළුවන්.

දියුණු රටවල් කිහිපයක් හැරුණු කොට අනෙක් සෑම රටකටම මේ කොරෝනා යුද්ධයේ දී කළ හැක්කේ, මරණ සංඛ්‍යාව අඩු කරගනිමින්, ව්‍යාප්තිය පාලනය කරගනිමින්, හැකි තරම් කාලයක් සටනේ රැඳී සිටීම විතරයි. කවදා හරි යුද්ධය නවතින්නේ කොරෝනා සඳහා වැක්සීනයක් සොයාගන ලෝක ව්‍යාප්තව එය බෙදා ගැනීමෙන් හෝ, කොරෝනා තුළම ඇති මාරාන්තික ලක්ෂණ හීන වී එය හුදු හෙම්බිරිස්සාවක් තරමට දුර්වල වූ දවසකයි. එතකල් ලෝක පරිමාණ කොරෝනා යුද්ධයේ දී අප වැනි රටකට කළ හැකි, වෙන වීරෝදාර භූමිකාවක් නැහැ.

වැක්සීනයක් සොයා ගැනීමේ තරගයේ අසූ ගණනක් තරගකරුවන් අතරින් කෙනෙකු දිනුම් කණුව වෙතට ළඟා වන විට අඩු තරමින් එළඹෙන ගිම්හාන කාලය වත් අවසන් වනු ඇතැයි ගණන් බලා තියෙනවා. ඒ කියන්නේ තව අවුරුදු එකහමාරකට මෙහා ගැලවීමක් නැහැ. ඒක තමයි පවතින යථාර්ථය.

අපටත් අප වැනි පහළ මැදි  ආදායම් සහ අඩු ආදායම් රටවලටත්  කරන්නට තියෙන්නේ එතකල් හුස්ම අල්ලාගන සිටින එකයි. අපේ ජන ජීවිතයේ හුස්ම එක අතකින් කොරෝනා විසින් හිරකරනු ලබන අතර අනෙක් අතින් අඩපණ වන ආර්ථික ක්‍රියාකාරකම් නිසා ඉබේ හිරවෙයි. ආරක්ෂාකාරී ලෙස ආර්ථිකයේ සෑම අංශයක් ම හැකි තරම් ක්‍රියාත්මක කිරීමෙන්, රට ආර්ථික අගාධයකට ඇද වැටීම වළක්වා ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි. කොරෝනා යුද්ධයේ දී සෞඛ්‍ය පෙරමුණත් ආර්ථික පෙරමුණත් දෙකම ගැන අවධානයෙන් නොසිටියහොත් දුර්වල පෙරමුණ යටකරගන සතුරා කඩා වදින එක වළක්වන්නට බැහැ.

පානි තම චෝදනා පත්‍රයේ මෙසේද සඳහන් කරයි.

”කොරෝනාවලින් ආරක්ෂිතයි කියලා සහතිකයක් දෙන්න දැන්ම නම් සක්කරයටවත් පුළුවන්කමක් නෑ” යනුවෙන්  හඳගම පවසන විට ඔහු වසන් කරන්නේ, මහා පරිමාණයෙන් පරීක්ෂණ කෙරෙන්නේ නම් වසංගතය ඉක්මනින්ම පාලනය කොට එවන් සහතිකයක් දියහැකි බවට වෛද්‍යවරුන් සහ විශේෂඥයන් යළියළිත් ඉදිරිපත් කරන විද්‍යාත්මක සත්‍යයයි. ”

කොරෝනා සම්බන්ධව දැනට ප්‍රචලිත වී ඇති දැනුමෙන් අංශුමාත්‍රයක් උකහා ගත්තෙකුට මේ සත්‍යය බැහැර කරන්නට පුළුවන්කමක් නැහැ. අනිද්දා පුවත්පතට මා ලියන වෘත්තය කොලමේ ඒ බව පානිට කලින් කියා ඇති මට ඒ සත්‍යය වසන් කරන්නට තිබෙන්නේ කවර වුවමනාවක් ද? එවැනි වුවමනාවක් තිබුණත් එහෙම කරන්නට දැන් කාටවත් පුළුවන්කමක් නැහැ. එය දැන් එතරමටම සාමාන්‍ය දැනුමක්. සෞඛ්‍ය අංශයට කළ හැක්කේ මහා පරිමාණයෙන් පරීක්ෂණ සිදුකොට හඳුනා ගන්නා ආසාදිතයින් හුදකලා කොට ඔවුන්ව රැක බලා ගැනීම පමණයි. ඒ සඳහා පරීක්ෂණ කිරීමේ ධාරිතාව වැඩි කිරීම අනිවාර්ය අවශ්‍යතාවක්. එසේ කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන ඇති බවක් පෙනෙන්නට නැහැ. ඒ චෝදනාව මට එල්ල කිරීමෙන් පලක් නැහැ.

මාසයක් තිස්සේ ඇඳිරි නීතිය දමා වසාගන ඉඳීමෙන් කොරෝනා පැතිරීම ඉබේ නවතී යැයි ආණ්ඩුව සිතුවා වන්නට පුළුවන්. ඒත් මා එසේ සිතුවේ නැහැ. ඇඳිරි නීතිය මැදත්, ආසාදිතයන් දිනෙන් දින වැඩි වීමෙන් ම අප ඉදිරියේ ඇති අභියෝගයේ තරම වැටහෙනවා. සිංහල අවුරුදු උත්සව සමය ඉක්මවාත් විවෘත කිරීමේ වැඩ පිළිවෙළක් නොමැතිව දිගින් දිගටම ඇඳිරි නීතිය පවත්වාගන යාමෙන් අභිමුඛ වන අතුරු අනතුරු ගැන මම විටින් විට අදහස් පළකළේ ඒ නිසයි.

පානි මෙසේ ද කියයි.

”….නමුත් මෙම වසංගතයෙන් පෙන්වා දෙන්නේ, ලොව පුරා සිටින විද්‍යාඥයින්ගේ පර්යේෂණ හා තාක්ෂණය බෙදාහදා ගැනීමකින් සහ ග්‍රහලෝකයේ පවත්නා මූල්‍ය සම්පත් දැවැන්ත පරිමාණයෙන් යෙදවීමකින් තොරව, මෙවන් ව්‍යසනයක් ජයගත නොහැකි බවයි. ”

දැනටමත්  එය සිදු වෙමිනුයි පවතින්නේ. ඒත් ඒ සමස්ත ලෝකයේම මූල්‍ය සම්පත් තනි අරමුදලකට බැර වී, ඒ මගින් සැපයෙන මූල්‍ය ප්‍රතිපාදන හරහා නෙවෙයි. ඒවා සිහින. ලෝක සෞඛ්‍ය සංවිධානයට අමෙරිකාවෙන් සැපයෙන දායක අරමුදල් කපා හරින්නැයි, ට්‍රම්ප් දැනටමත් තම පරිපාලන අංශවලට නියෝග දී තිබෙයි. තනි තනි දියුණු රටවල රාඡ්‍යයන්, තම තමන්ගේ ප්‍රජාවන් ආරක්ෂා කරගැනීමට වැක්සීනයක් සොයාගැනීමේ පර්යේෂණවල නිරත වෙමින් සිටියි. එය තරගයක්. ඊට පස්සේ ඒ වැක්සීනය ලෝකය පුරා ව්‍යාප්ත කෙරෙනු ඇත්තේ මහා පරිමාණ ඖෂධ නිෂ්පාදන සමාගම් හරහායි. ඒ බෙදාහැරීම්වලින් සියයට සුලූ ප්‍රමාණයක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා දුප්පත් රටවලට ආධාර වශයෙන් බෙදෙනු ඇති අතර, බහුතරයක් වෙනත් ක්ෂේත්‍රයකින් වියදම අයකර ගැනෙන පරිදි ද්විපාර්ශවික ගිවිසුම් හරහාත්, ඍජු වෙළඳාමෙනුත් ලෝකය පුරා බෙදා හැරෙනු ඇති. (චීනයේ ම පහළ වූ කොරෝනාවට මුහුණ දීමට චීනය ලංකාවට දැනටමත් දී ඇත්තේ ණයක් මිස ආධාරයක් නෙවෙයි!.). මේ යාන්ත්‍රණය,  ධනේශ්වර ක්‍රමයේ යාන්ත්‍රණය මිස සමාජවාදී හෝ කොමියුනිස්ට් යාන්ත්‍රණය නෙවෙයි.

දැනට පවතින ප්‍රායෝගික ලෝක යථාර්ථය එයයි. මා අදහස් දැක්වූයේ මේ ප්‍රායෝගික යථාර්ථය තුළ පිහිටා මිස මනඃකල්පිතයක පිහිටා නෙවෙයි. ලෝකය කොරෝනා පසු කර යනු ඇත්තේ මීට සියවසකට පෙර ස්පාඤ්ඤ උණ පසුකර ගියා මෙන්ම ය. කොරෝනාවලින් පසු ලෝකය මීට වඩා මානුෂික දෙසට වෙනස් වනු ඇතැයි සිහින දැකීමට හදිසියක් මට තවම නැහැ. ඒ වෙනුවට කොරෝනා සටන දිග්ගැසෙන තරමට, ලෝකයේ රටවල්,  විශේෂයෙන් තුන්වෙනි ලෝකයේ රටවල් ජාතික රාඡ්‍ය ඒකාධිපතිත්වයන් වෙත තල්ලූ වීමේ අවදානමක් බලාපොරොත්තු වීම මට අනුව තාර්කිකයි. ජාතික රාඡ්‍ය ආරක්ෂාව තහවුරු කිරීම ආයුධවලට කළ හැක්කක් නොවන බව කොරෝනාවලින් පසක් කර දෙන බොහෝ සත්‍යයයන්ගෙන් එකක් වුවත්, ධනේශ්වරයේ අභ්‍යන්තර ආරක්ෂාව වෙනුවෙන් තවදුරටත් ඒවායෙහි වුවමනාව පවතිනු ඇති.

”නමුත්, මෙය සාක්ෂාත් කිරීමට නම් මහා පරිමාණ බැංකු සහ මූල්‍ය සමාගම් මෙන්ම සුවිසල් කම්හල් සහ සංගත කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් යටතේ ජනසතු කළ යුතුය. සෑම රටකම කම්කරු පන්තිය රාඡ්‍ය බලය අත්පත්කර ගනිමින්, ලාභය මත පදනම් වූ නිෂ්පාදන-ආර්ථික ක්‍රමය ද, එය මුල්බැස ඇති ජාතික රාඡ්‍ය පද්ධතියද අහෝසි කොට, මානව අවශ්‍යතාවන් සපිරෙන පරිදි ලෝක ආර්ථිකය ප්‍රතිසංවිධානය කර ගත යුතුය. මෙය වනාහි ජාත්‍යන්තර සමාජවාදය සඳහා සටනයි.” යන පානිගේ අවසාන වාක්‍යය තවදුරටත් වඩාත් යහපත් වූ සමාජයක් වෙනුවෙන් වන සිහිනය නඩත්තු කිරීමට හොඳ සටන් පාඨයක් ලෙස පවත්වා ගැනීමෙහි වරදක් නැත.

ඡායාරූපය : ලක්රුවන් වන්නිආරච්චි/ Getty Images