මරගල කන්ද දැවෙමින් තිබියදී ලියන්නට සිදුවීම ඉමහත් වේදනාවකි. දොඹගහවෙල චමිල ගින්න දුටුවනම මහ ? දුරබනුවෙන් කතා කොට ඇසුවේ එගිනි නිවුමට ගුවන් සහාය සම්පාදනය කරගැනුමට පුළුවන්කමක් ඇතිද යන්නයි. කිසියම් නොමිනිසුන් පිරිසක් දෙපසකින් ගිනි ලෑ මොනරාගල හදබිම දැවෙන පුළුටු ගන්ධය පපුව හිර කරන්නට වූයේ එහි කාව්‍යාත්මක සුන්දරත්වය විඳගත් අත්දැකීම්වල මතක ගින්නක් ඇවිළෙන්නට වූ නිසාය. යළි වැසි සාර මසකදී සියල්ල සන්සුන්ව හරිත පැහැයට හැරෙනු ඇත. ගින්නේ අංගාර පොළව තවත් සරු කරනු ඇත. එහෙත් කුරා කුහුඹින්ගේ සිට දැවුණු සසල ප‍්‍රාණීන්ද, හරිත පෑ තුරුවිටපයන්ට දැවෙන්නට සිදුවූ ඛේදයද යුක්තිය අයදිනු ඇත. ඉදින් මරගල රසාලිප්තය ගැන ලිවිය යුතුය. ඒ ඔබට එහි නිදහසේ සරන්නට ඇරයුම් කරනු පිණිසමය.

මරගල, මොනරාගල මිණි කිරුළ
මුල්සල මුප්පනේ පුරාණ මාරගල්ල කන්ද ය අද මරගල වී ඇත්තේ
වෙන හෙල්වලට වැඩි මරගල උතුම් කමා
එම හෙළ උසට යොත හෙළුවා හපන්කමා
ආදි සිටි අයට බැරිවිය නිවට කමා
කෝඩි තොපට දෙන දායාද කිමද මෙමා


මේ මුප්පනේ මහ වැදි රට ආදි පරම්පරාවල ඇත්තො මරගල වරුණ කවියෙන් විඳි අන්දමය. කතුරෙන් කපන්නා වාගේ හීතල ඇඟ වෙලෙන පරිසරයක් මොනරාගල ඇත්නම් ඒ මරගල මුදුනේ සහ ගෝවින්ද හෙළ මුදුනේ ය.
එහෙත් ශේෂ කන්දක් වන ගෝවින්ද හෙළට වඩා උසැති මරගල වඩා සිහිල් මෙන්ම ඒ අවට සෞම්‍ය සදාහරිත වනගුල්මයෙන් සමන්විත විචිත‍්‍ර පරිසර පද්ධතියක්ද මවා ඇත. ඇතමෙකුට අනුව මරගල වනාහි ගල්ඔය කඳු පංතියේ උසම මුදුන් කිහිපයෙන් සමන්විත භෞම කලාපයයි. එහෙත් විශේෂය මේ තැනි කලාපයේ සෑම කඳු පංතියක්ම තැනි බිම හෝ ගංගාදියෙන් එකක් අනෙකෙන් වෙන්ව තිබීමයි.


මොනරාගල නගරයට ළඟා වන විට දුර තියාම මේ තුංග කඳු සිරස දකින්නට ලැබේ. ආදියේ සිට සදාහරිත තෙත් නිවර්තන වනාන්තර පද්ධතියකින් සමන්විතව තිබෙන්නට ඇතැයි සිතිය හැකි එහි බිමෙන් සැලකිය යුතු කොටසක් රබර් වගාවට යොදා ගැනුණේ සුද්දා රට කරවූ කාලයේදී ය. එවක පදිංචි කළ දෙමළ ජනයා සිරිගල, අලියාවත්ත වැනි හුදෙකලා ගම්වල අදත් අනන්ත දුකින් පරිපීඩිතව වෙසෙන්නේ පසුව ජනවසමෙන්ද අතහැර දැමූ වතුයායන් ඈලියාවට ගිය නිසා ය. එකල කන්දේ ඉතාම සිසිල් බෑවුමක සුද්දා ඉදිකළ ජී ලෝන් බංගලාව යැයි අද වහරන රමණීය නවාතැන දැන් පාලනය වනනේ ඌව පළාත් සංචාරක අමාත්‍යාංශය මගිනි. කිසිවෙකුට අවැසි නම් ඒ නිවහන වෙන් කරවා ගෙන මරගල සිරිය අත්විඳින්නට පුළුවන. එහෙත් මේ ඇරියුම නැවතුමට නොව ඒ රමණීය කවිය මතින් ඇවිද යමින් රස ස්පර්ශ කරන්නටය.


මරගල වැටියේ උසම තැන අඩි 2200ක් විතර උස ඇති කියලයි කියන්නේ. කෑගල්ල පැත්තෙන් එහෙම ආව ඇත්තො හුලංදාඔය ව්‍යාපාරය යටතේ ගොවිතැන් කරන්න ඉඩම්ලාභීන් වුණේ මරගලින් ඇදෙන හුලංදාඔයේ පිහිටෙන්. පානම් පත්තුවෙන් මුහුද ඉඹින හැඩඔය උපදින්නෙත් මරගල උල්පත්වලින් ම තමයි. ඇයි මොනරාගල ටවුමෙ කාටත් බොන්න පිරිසිදු වතුර දෙන්නෙත් මරගලින්ම තමයි. මොනරාගල දිස්ත‍්‍රික්කය වියලි කලාපීය දේශගුණ ලක්ෂණ පෙන්වද්දි, මරගල අවට මිලිමීටර් 2500කට වැඩි වාර්ෂික වර්ෂාපතනයක් උරුම කලාපයක් බිහිවීම සොබාදමේ ආශ්චර්යයක්. එහේ හරියට ලග්ගල පැත්ත වගේ. සමහරවිට එහෙම වෙන්න ඇත්තෙ නැගෙනහිර ලංකාවේ විශාලම ශේෂ කඳු පංතිය වුණු මේ කඳු මුදුනේ නිතර වැහි වළාකුළු ගැවසීම හින්දා වෙන්න ඇති. සොබා අසිරිය විඳින්න මරගල කන්දේ කරක් ගහන කාට වුණත් අතිපැරණි බෞද්ධ ආරාමවල නටබුන් දකින්නත් පුළුවන්. මොකද මේ තමයි පුරාණ මයුරගිරියත් පිහිටලා තිබුණු බිම. ගලබැද්ද කිට්ටුවට ගියාම ශ‍්‍රීපාන සුගලා දේවිගේ මාලිගා නටබුන් වගේම පුරාණ දාගැබ් එක්ක විසිතුරු බිසෝ පොකුණත් දකින්න පුළුවන්. මේ එක එකක් ගැන කියනවා නම් ආයෙ දෙකක් නෑ වෙන වෙනම කියන්න ඕනෑ.

මරගල ගමන්


මරගල තරණය අරඹන්න පිවිසුම් මාර්ග කිහිපයක්ම හොයාගන්න පුළුවන්. මොනරාගල ටවුමෙන්. වැලියාය පැත්තෙ මයුරගිරිය අසබඩින්. නැත්නම් මං වංගියක් කවුඩාවේ රංජිත් හොයලා දුන්න කොල්ලො නඩයක් එක්ක ගියා වගේ ජී ලෝන් බංගලාව මුණ ගැහෙන සාවියෙන් හරි කන්දෙ නොපෙනෙන බෑවුමකින් වුණත් පුළුවන්. අලියාවත්තෙන් සිරිගලෙන් ගොඩ වෙනවා නම් පහසු වෙයි මුදුන් ඉම ආසන්නෙටම ජනාවාස තියෙන හින්දා.


හැබැයි මම නම් කැමතිම, ආයෙ වංගියක් යනවනම් යමු කියන මංපෙත තියෙන්නෙ කොළොන්වින්නෙ ගල්ගෙඩියාව පැත්තෙන්. මොකද ඒ ඉසව්වෙ ඉන්නෙ කාලයක් බඩ රස්සාවට කරක් ගහද්දි මාත් එක්ක බිතුසිතුවම් රූ වගේ මිත‍්‍ර සන්ථවයෙන් බැඳිච්ච මිනිස්සු. මොනරාගල අම්පාර පාරේ 31 හන්දියෙන් බැහැලා ගමට යද්දි දැක්ක හුඟක් දේවල් දැන් වෙනස් වෙලා. මොකද එතකොට නොතිබ්බ ලයිටුත් ලැබිලා. ඒත් තවම දළ බෑවුම තරණය කරලා මරගල මුදුනෙ ගිමන් හරින්න කැමති වෙන මිනිස්සු හොයාගන්න අමාරු වෙන්නෙ නැහැ.
මගේ ගමන් සගයො වුණේ ගල්ගෙඩියාවෙ දිසායි තව කොල්ලො කිහිප දෙනෙකුයි. හුඟක් දවස්වල මං අම්පාර බස් එකෙන් බහිද්දි දිසා පරණ බයිසිකලෙත් අරන් 31 හන්දියට ඇවිල්ලා ඉන්නවා. අපි බයිසිකලය පැදගෙන යන්නෙ මරගල කන්දට සමාන්තරව.


වැහි කාලෙක නම් බෑවුමෙන් ඇදෙන දිය සීරාවන් හීන්දෑරි දිය ඇලි වගේ ඉර අවුවට දිළිසෙනවා. මගදි පේ‍්‍රමදාස මාමා මුලිච්චි වුණොත් රුපියල් පහක් දෙන්ඩ වෙනවා බීඩි බොන්ඩ. ඒ පරිසරයෙ මං වැඩියෙම්ම ආස කරපු ගහ බකිණි. බකිණි ගස් හරිම ගුප්ත නිහඬ බවක හැමවෙලාවෙම වෙලිලා හිටියා. විරුද්ධ පැත්ත බැලූවාම මට පේනවා විජයාබලිය. ඒකත් හුදෙකලා කන්දක්. වේවැල් රැුහැන්වල එල්ලිලා අතකින් ගිනි හුලකුයි පත් ලීයයි වාරු කරගෙන ඉණේ එල්ලගත්ත ලබු කැටයක් එක්ක පහළට බැස්ස ගම්මු විජයාබලියෙ බඹර වද කපාපු කතා දිසා මට කිව්වෙ හුළං කපාගෙන බයිසිකලය පදිද්දි. ඒ ගමන්වලට මිනිස්සු ගියේ මස්සිනාකමට මිස යාළුකමට නෙවෙයි.


පස්සෙ දවසක මේ කතාවල සෞන්දර්යයෙන් වශී වෙච්ච මට ඒ පරම්පරාවේ ඉතිරිවෙලා හිටපු අන්තිම දෙතුන් දෙනා බඹර මලිකි ගයනවා අහගෙන ඉන්න ලැබුණෙ ධර්මෙ අයියා බෙහෙත් තියාපු කිතුල්මලක පැහිච්ච සාරෙත් බීලා. ඉස්සරවෙලාම වංගියක ලෝලලෙහෙල ආරණ්නෙ බලන්න ගියාට පස්සෙ තමයි අපි මරගල නගින්ඩ කතිකා කර ගත්තෙ. ඒ වෙනකොට මේ ආරණ්ණෙත් මරගල වාගෙම කැලෑවක්. ආරණ්ණෙ කැලෑ වැදුණෙ තාඹුගල ආනන්ද හාමුදුරුවො මරා දැම්මට පස්සෙ කියලයි ගම්මු කිව්වෙ. හැබැයි ඒ අව්අස්සෙ ගල් බෙයඳ පළලා නිධන් ගත්තු තැනුත් ගම්මු මට පෙන්නුවා.

දොළ දිගේ මරගලට


දිසාලයෙ ගෙදර හිටියෙ සුළුපටු සෙනඟක් නෙවෙයි. ඒ හින්දා පවුලෙ හත් අට දෙනාම එකතු වෙලා ඇතිමලේ වැවට මෙපිට හේන් කුඹුරු කෙරුවා අක්කර දහයක විතර. කොහොමත් මේ හැමෝම කැලේ කොළේ හොඳට දන්න මිනිස්සු. දිසාලගේ තාත්ත කාලෙකට කලිං එගං වෙලා තිබ්බෙත් මරගල පාවුලේ කැලේ කරක් ගහද්දි වෙඩිල්ලක් පත්තු වෙලා. දණිහෙන් උඩ බිඳිලා යන්ඩ පත්තු වෙච්ච ඒ වෙඩිය ගෝණෙකුට අටවලා තියෙන්ඩ ඇති කියලා දිසා කියව්වා. වෙඩි බඳින ඉසව් ගැන හෙම හොඳටම දන්න දිසා වගේ හාදයෙක් තමයි මේ ගමනටත් පෑහෙන්නෙ. අනික ගස්ගල්වල ලැගලා ඉන්න කුණකට්ටො හෙම ඈත තියා දකින හොඳ ඇහැකුත් දිසාට තියෙනවා. ඒකත් පරිස්සමට හොඳයි.


ගමනට කලිං දවසෙ මං ගිහිල්ලා නැවතුණේ දිසාලයෙ ගෙදර. ඒ මට පුරුදු ලැගුම්පොළක්. එදා රත්නායක මාමාලා අහ මුට්ටිවල පිරෙන සුදුපාට පොල්වතුර ගෙනැල්ල තිබ්බා. කාගෙ හරි ගඩොල් පෝරණුවක ගිනි දාන්ඩ උදව්වට එන නඬේට දෙන්ඩ පෙරාපු හැළි අරක්කු ඉතිරියකුත් එක්ක. ඒ ? කාපු කැකුළු බත මට කවදාවත් අමතක වෙන්නෙ නෑ. ළපටි හේන් වැටකොළු වෑංජනේ කිරට, බණ්ඩක්කා තෙල් දාලා තිබ්බෙ වේලපු ඌරු කරවල දාලා. ඇඟ හයිය වෙනවා කියන ලී මෑ මැල්ලූමකුත්. ලී මෑ මැල්ලූම් කනවානම් අශ්වගන්ධ අරිෂ්ඨය බොන්ඩ ඕන කාරණාත් ඉෂ්ඨ වෙනවා කියනවානෙ.


පහුවදා උදේ මරගල නඟින්න අපි තෝරගත්තෙ මරගලින්ම ගලන දොළ ඉමක් දිගේ දිසා දන්න පාරක්. පෙර මා උපදෙස් තමයි ගස්ගල් අතපත ගාද්දි පරිස්සමෙන් කුණකට්ටො ඉන්න පුළුවන්. පාරෙන් පිට යන්න නරකයි වෙඩි බැඳලා ඇති. එහේ වෙඩි බැඳිල්ලට කිව්වෙ ‘කඳන් බඳිනවා’ කියලා. මේක අඩුම තරමෙ පැය දෙක තුනක ගමනක් වුණාට කන්ඩ දෙයක් මිස වතුර වුවමනා නැහැ. එතකොටත් ගමම බිව්වෙ දොළේ වතුර. මේ පැත්තෙ කන්ද උඩ ගෙවල් නැහැ. ඒ හින්දා වතුර පිරිසිදුයි එවේලෙ බෝතල් කරන්ඩ තරම්.


මේ දොළ පාරවල අපිට ආවේණිකයි කියලා හිතන්න පුළුවන් මසුන් වගේම කළු පාට ඉස්සො ජාතියකුත් ඉන්නවා. දිසා දක්ෂයි ඒවා ගැන වංහුං කියන්නත්. අපි මේ පාරෙන් නො ආවා නම් පරිසරය විඳගන්න බැරි වෙන තරම් පුරාණ නටබුන් ගැන විස්තර හොයන්න සිද්ධ වෙන්න ඉඩ තිබ්බා. ටික දුරක් ගිහිං දිසා පෙන්නනවා මිදි ගෙඩි වාගේ වටකුරු ඵලයක්. දන්නවාද මේ මොනවද? කියලා. දිසා ඇහුවාට මං දැනගෙන හිටියේ නැහැ. ඒ තමයි වේ ගෙඩි. ඒ කියන්නෙ වේවැල්වල ඵල. ඒවා වන ඵලයක් විදිහට භුක්ති විඳින්න පුළුවන්. එදාම තමයි ඇටිකෙහෙල් කියලා දිසා පෙන්නපු වන ඵලයක් රස බලන්නත් මට පුළුවන් වුණේ. ටික දුරක් ගියාම දොළ මතුවෙන්නෙ පොළව යටින්. අඩි හැට හැත්තෑවක් එහෙම උමං දොළක් ගලනවා. ඒකත් හරිම විසිතුරුයි. ගමන ඉස්සරහට යද්දි බෑවුම වැඩියෙන් ශීීඝ‍්‍ර වෙනවා. සමහර තැන් ඉලූක අල්ලගෙන නඟින්න වෙනවා.


ගමනෙ මැද තැන්නකදි අපි ආවෙ හේනකට. අතහැරල දාපු හේනකට. විශ්වාස කරනවාද ඒ හේනේ නෙලාගෙන තිබ්බෙ ත්‍රෛලෝක විජයාභ පත‍්‍ර අස්වැන්නක්. ගස්වල ඉතිරි නටු තිබ්බා. පැල්කොටේ එහෙන් මෙහෙන් කාගෙ හරි පරිභෝජනයට ටිකක් එකතු කරගන්නත් පුළුවන් තරමට වේලිච්ච ඒවා තිබ්බා. හැබැයි අපි එක්කහු කරගත්තෙ ඒවා නෙවෙයි. දිරච්ච දඹ කොටේක පිපිලා තිබ්බ ලේන හතු ඔඩොක්කුවක්. එදා ? ආපහු පල්ලම් බැස්ස අපිට තලප කන්න දිසාලයෙ අම්මා බිම්මල් වෑංජනයක් හැදුවෙ ඒවයින්.


හේනෙ ගිමන් නිවද්දි දිසා අමුතු කතාවක් කිව්වා. ඒ දඩයමේ ගියපු කාණ්ඩෙකට මුලිච්චි වෙච්ච ගෝනෙක් ගැන. ඒකා බිම දපලා හිටියෙ මස්වෙන්ඩම. එක වෙඩිල්ලක්වත් පත්තු කරන්ඩ ඕන වුණේ නැහැ. අන්තිමට මස් කරද්දි බොක්ක පලලා බැලූවම පිරෙන්ඩ බෙහෙත් අහවල් අවුසදේ. මේකා මත්වෙලා ඉඳලා තියෙන්නෙ. දිසා මතක මල්ල ලිහලා අමුතු කතාව මට දුන්නා. දැන් මං මේ ලිව්වෙ ඒක.


පාන්දරින් ආව හින්දා ඉර මුදුන් වෙන්න කලියෙං කුරු නෙල්ලි ගස් පහු කරලා මරගල මුදුනෙ තැන්නට නගින්න පුළුවන්. ඒ අතරෙ දිසා ඇඟිලි අතරෙ ළපටි දලූ පොඩි කරලා ලාකඩ ගස් ගැන පාඩමක් කියා දෙනවා. තවත් ගහ කොළ ගැන පාඩම් ගොඩක්.


ඇත්තටම ඒ ගිරි මුදුන වැඩි තැන් තැනි බිම්. ලොකු කුඩා ගල් කුළු පලාවන් තෘණ ගොල්ලට මැදි වෙලා. දිය සීරාව තියෙන තැන් එමට. මට හිතුණෙ ඒ මුදුන් තැන්න පරිසරකාමීන්ට කදිම කඳවුරු බිමක් කියලා. ඉහළ සිට දකින්න පුළුවන් දසුනත් පුළුල්. කට්ටිය කිව්වෙ ඉවසලා හිටියොත් පානම් පත්තුව පහුකරලා මුහුද දකින්න පුළුවන් කියලා. ඒක ඇත්ත මොකද නැගෙනහිර වෙරළ ඉම වෙනකම් ආයෙ කඳු නෑ. මොනරාගල මැද්දෑවෙ බණ්ඩාරවෙලක් තියෙනවා කියලා දැනෙන්නෙ මරගල නැග්ගම. දිසා කිව්වෙ ඇවිල්ලා ?ක ඉමු මැළයක් පත්තු කරගෙන කියලා. මැළෙන් ගල රත් වුණාම ගලේ උයාගන්න රොටී කන්නත් පුළුවන්.


ආයෙ දවසක එහෙම යන්න නම් මරගල රැුකෙන්න ඕන. ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයිති වැඩිපුර භූමියත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරුවොත් එහෙම ගමනක් යන්න මරගල පරිස්සම් වෙයි.x

x ලසන්ත ද සිල්වා