ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන නියෝජනය කරන ශ‍්‍රීලනිප පාර්ශ්වය සහ ඒකාබද්ධ විපක්ෂ පාර්ශ්වය අතර දේශපාලන සන්ධානයක් ඇතිවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් රාජපක්ෂ හිතවාදී කණ්ඩායම අකැමැත්තක් දක්වන බව වාර්තා වෙයි.

අයවැය විවාදයේදී ආණ්ඩුව පරාජය කොට අගමැතිධුරය මහින්ද රාජපක්ෂ වෙත ලබාදීම සඳහා වන සැලසුම් සම්බන්ධයෙන්ද එම පාර්ශ්වය අකැමැත්ත පළ කර ඇති බවත්, එම සංවාදය කඩාකප්පල් කිරීම සඳහා එම කණ්ඩායම උත්සාහ කරමින් සිටින බවත් අනිද්දා සමඟ අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් ප‍්‍රකාශ කළේය.

අනිද්දා සමඟ අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතාට සමීප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රකාශ කළේ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ එක්වීම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට අවාසිදායක බවයි. ජනතාව පොදුජන පෙරමුණ සමඟ සිටින බව පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් හෙළිවූ බවත්, ඉදිරි මැතිවරණ ජයගැනීම සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිවෙකුගේ සහායක් අවශ්‍ය නොවන බවත් එම මන්ත‍්‍රීවරයා කීය. ඒ නිසා ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ජයගැනීම මිස, ශ‍්‍රීලනිපය සමග දේශපාලන සන්ධානයක් ඇතිකරගැනීම සුදුසු නොවන බවද ඔහු කීය. මෙම කණ්ඩායම මීට පෙර ශ‍්‍රීලනිපයේ 16 දෙනාගේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂයට එකතු කරගැනීම සම්බන්ධයෙන්ද විරෝධය දක්වා තිබුණි.

සැප්තැම්බර් 25 වැනිදාට නියමිතව තිබුණු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැුස්වීම නොපැවැත්වූ නිසා අයවැය පරාජය කිරීම පිළිබඳ සාකච්ඡුාව ඔක්තෝබර් 02 වැනිදා ඒකාබද්ධ විපක්ෂ පක්ෂ නායකයන්ගේ සාකච්ඡුාවේදී සිදුකරනු ඇතැයි අනිද්දා සමග අදහස් දැක්වූ පක්ෂ නායකයා කීය.

අනුරංග ජයසිංහ