මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සහයෝගය දෙන ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දුමින්ද දිසානායක, මහින්ද අමරවීර ඇතුළු පිරිසක් විසින් එජාපයේ නායකයන් කිහිපදෙනෙකුගෙන් කරන ලද ඉල්ලීම ඔවුන් ප‍්‍රතික්ෂේප කර ඇත.
එජාපයේ බලාපොරොත්තුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ 20 වන සංශෝධන යෝජනාවට සහාය දැක්වීම බවත්, එය අසාර්ථක වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන බවත්, එහිදී එජාපයේ නායකයන් පෙන්වාදී ඇත.

මංගල සමරවීර ඇමතිවරයා ප‍්‍රමුඛ එජාප නියෝජිතයන් පිරිසක් එජාපය නියෝජනය කරමින් එම සාකච්ඡාවලට සහභාගි වී ඇත.
මේ පිළිබඳව කළ විමසීමකදී අනිද්දා සමඟ අදහස් දැක්වූ ශ‍්‍රීලනිපයේ ප‍්‍රබල ඇමතිවරයෙකු ප‍්‍රකාශ කළේ, වත්මන් ආණ්ඩුව ඉදිරියට ගෙනයෑම සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ සහ එජාපයේ නායකයන් අතර සතිපතා සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. එම සාකච්ඡුා පැවැත්වෙන අවස්ථාවලදී කිහිප වතාවක්ම මේ යෝජනාව ඉදිරිපත් කළ බව ශ‍්‍රීලනිප නායකයා කීය.

කෙසේ වෙතත් එම සාකච්ඡා අවසාන තීරණයක් ගැනීම සඳහා වන සාකච්ඡාවක් නොවන බව ඔහු කීය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවත් 2015 ජනවාරි 08 වැනිදා ඔහුට සහයෝගය දුන් කණ්ඩායම්වල සහයෝගය 2019දීත් බලාපොරොත්තු වන බවත් එම නායකයා කීය. ඉදිරියේදී එජාපයේ සහයෝගය මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාගැනීම සඳහා විධිමත් සාකච්ඡුා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද එම නායකයා වැඩිදුරටත් කීය.