මම මෙයට මාස ගණනාවකට කලින් මගේ වැඩිමහල් දියණිය කැටුව හොරණ පිහිටි කොළඹ විශ්ව විද්‍යාලයයේ ශ්‍රීපාලි මණ්ඩපයට ගියෙමි- මගේ සිනමා මිත්‍ර ප්‍රියන්ත ෆොන්සේකා එහි කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කළේ ය- සිනමා මිත්‍ර යැයි වෙසෙස් කොට කීයේ අප දෙදෙනාගේ මිත්‍ර සන්ථවය බොහෝ දුරට සිනමාවට අදාළ කාරණා කේන්ද්‍ර කොටගෙන ගොඩ නැඟී පැවැති බැවිනි- දියණිය ඇය පැමිණි කාර්යයට යොමු කළ මම, සරසවි සිසුවියකගෙන් මගේ සිනමා මිත්‍රයා ගැන විමසීමි- “අර සිනමාව ගැන උනන්දු කථිකාචාර්යවරයා නේදැ”යි මගෙන් ඇසූ ඈ මගේ “ඔව්, ඔව්” පිළිතුරට ප්‍රතිචාර ලෙස “එයා දැන් මෙහේ නෑ- මාස්ටර්ස් කරන්න ඕස්ටේ්‍රලියාවට ගියා”යි කීවා ය- මේ මා කියන්නේ අමු ඇත්ත ය- එය ඇසීමත් සමඟ මසිත උපන් ක්ෂණික අදහස වූයේ “මේ මිනිහාත් උපාධි පස්සේ හඹා ගිහින් සුඛෝපභෝගී හිස් ජීවිතයකට ගොඩ වෙලා, සමාජ-මානව වගකීමෙන් ලිස්සලා – මඟ ඇරලා යයි වගේ” යන්න යි- එහෙත් මගේ ඒ අදහස සපුරා වැරැදි ය- එයට සාක්ෂි වනුයේ මේ දිනවල ‘අනිද්දා’ පුවත් පතට ඔහු ලියන ලිපි පෙළයි- ඒවා කුශාග්‍ර ය- සැලැකිල්ලෙන් කියැ වූ කල ඒ ලිපිවල හැම වචනයක් ම අප්‍රමාණ මානව සෙනෙහසකින් තෙත් ව ඇති වග ඔබට දැනෙනු ඇත- එහෙත්, කනගාටුව වනුයේ මේ කියැවීම් බොහෝ විට හුදු කියැවීම් පමණක් වීම ගැන ය- “අනේ ෂෝක් ලිපිය” නැතහොත් “අති විශිෂ්ට ලිපියක්” මානව දයාවෙන් පිරි ගත්කරුවකුගේ හෝ පුවත් පත් කලාකරුවකුගේ හෝ පරම අපේක්ෂාව තම ලිපියට පාඨක-විචාරක දෙපාර්ශ්වයෙන් ලැබෙන මෙවන් වර්ණනා නො වේ- ඒ ලිපියෙන් ප්‍රකාශිත සමුදයාර්ථය අවබෝධ කොටගෙන, ලෝක යහපත පිණිස එය ක්‍රියාවට නැංවීමට ජනතාව පෙළඹවීමේ හසරක් විවර වීම ය-
ලේඛන කලාවෙහි නියැළි මගේ සමකාලීන මිත්‍රයින් හා සමඟ සසඳන කල මා පෑන යළි අතට ගත්තේ දිගු කලක් ඇවෑමෙන් ය- මට ඒ පිළිබඳ ව විශාල පසුතැවීමක් වේ– “නුඹේ රටේ ප්‍රජාතන්ත්‍රය මරලතෝනි දෙද්දී – මනුෂ්‍යත්වය ගිනි ගෙන දැවෙද්දී – යුක්තිය යකඩ සපත්තුවලට පෑගෙද්දී නුඹ පෑන පසෙක දමා සිටියෙහි නො වේ දැ”යි මම් මට ම චෝදනා නඟා ගනිමි- එහෙත්, මම් දැන් පෑනත් සමඟ යළිත් අරගලාවතීර්ණ ව සිටිමි-
මගේ ම නිවසින් මම සටන අරඹමි- එහි හැම තැන ම සිට ටෝල්ස්ටෝයිලා, දොස්තොයෙවුස්කිලා, චාල්ස් ඩිකන්ස්, වික්ටර් හියුගෝ, තාගෝර්, බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්, ඛලීල් ජිබ්රාන්, කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින්ලා මගේ දියණියන් දෙදෙනා දෙස දයා දෑස්වලින් බලා හිඳිති; ඔවුනගේ සුබසට ඒ දෙදෙනා සවන් යොමන තුරු අප්‍රමාණ බලාපොරොත්තුවෙන් බලා හිඳිති- ඔවුන් දෙදෙනාගේ හදවත් මනුෂ්‍යත්වයෙන් පුරවන්නට – මස්තිෂ්ක ප්‍රඥාවෙන් දල්වන්නට සිහින මවති- එහෙත්, ඔවුහු තව ම ඔවුනට අභිමුඛ ව නැත්තාහ; පිටුපාම සිටිති- ඔවුහු උදේ පටන් රෑ දෙගොඩහරිය වනතුරු ජංගම දූරකථනවලින් දෑස් නොගෙන ම සිටිති- ඔවුනගේ දෑස් ඒවායේ ඇලවුණොත් ඇලවුණා මයි මැලියම්වලින් ඇලැ වී ඇත්තාක් මෙනි- මා පමණක් නො වේ- තරුණ ළමයින් සිටින කොයි මාපියනුත් අද මා මුහුණ දෙන මේ ගැටළුවට අඩු වැඩි වසයෙන් මුහුණ පා සිටින බවට සැකයක් නැත- මේ තරුණ පරපුර අද මලක සුවඳ ආඝ්‍රාණය කරනුයේ ෆේස් බුකයෙනි; තරුවක එළිය දකිනුයේ ෆේස් බුකයෙනි; කුරුලු ගීතයකට කන් දෙනුයේ ද ෆේස් බුකයෙනි- බසින හිරු ගෙනෙන සජීවී සෞන්දර්යය ඔවුහු නො දකිති- නැඟෙන සඳු ගෙනෙන සජීවී සෞන්දර්යය ඔවුහු නො විඳිති- ජංගම දූරකථනයේ තිරය මත කාම නදිය දර්ශනය කර වා ගන්නා ඔවුහු නෙත් ගිල්ව ගිල්වා එහි සිත් සේ පිහිනති- ඔවුනට ඒ ගැන දොස් පවරන්නට ගියහොත් ඔවුන් ගී ද මෝපසාංගේ දියමන්ති මාලය සොයාගෙන නො යති- ගෙයි පිටුපස වන කඹය ම සොයාගෙන යති- ඉවසීම නොහඳුනන ඔවුනගේ ජීවිත කල්පනාවට ද ආගන්තුක ය-
ඒ ජීවිතවල සංස්කෘතියට වෙන් ව ඇති කොටස තනිකර ම පිරෙන්නේ කුණුකන්දල්වලිනි- අපේ රූපවාහිනී සේවා නම් කුණු ලොරි තම මාධ්‍යවේදීන් නම් කසල එක් රැස් කරන්නන් ලවා රැස් කර වා ගන්නා අනේක ප්‍රකාර සංස්කෘතික කුණු, ගොඩ කරන තැන් බවට මේ කොටස අද පත් ව තිබේ- ඒ කසලවලින් ලොකු ම ප්‍රමාණය ටෙලි නාට්‍ය කසල ය- ඒවා ඉවක් බවක් නොමැති ව මෙසේ අප රටේ තරුණ පරපුරෙහි ජීවිතවල සංස්කෘතික කොටසෙහි ගොඩ කිරීමෙන් ඔවුනගේ ජීවිත සදා ආතුර වන සැටි – චරිත සදා කෙළෙසෙන සැටි අප බුද්ධිලෑ ඇත්තෝ නො දකිති; නො හඟිති-
ඔබ අපේ රූපවාහිනී චැනල පවත් වන සුපර් ස්ටාර් තරග නරඹා තිබේ ද? ළදරුවා පටන් හැට පැන්නා දක් වා තරග බිමට කැන්ඳා නටවන, ගයවන සුපර් ස්ටාර් තරග? ආචාර්ය, මහාචාර්ය, විශාරද ඈ නම් පටබැඳි පුහුදුන් විනිශ්චයකරුවන් විසින් විනිශ්චය කරනු ලබන සුපර් ස්ටාර් තරග? අර දැවැන්ත මන්දිරයක් – අති සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ ගිල් වා තරගකරුවන් තරගකාරියන් අධ්‍යාත්මික ඝාතනයට ලක් කරන සුපර් ස්ටාර් තරග? අවසන, කිරුළ පළඳින තරගකරුවන් තරගකාරියන් අධෝ මුඛයෙන් ජෝක්ස් අරින මාධ්‍යවේදී අඳ බාලයින්ගේ විසූක දස්සන විරඟ බිමට නග්ගවා පීචං කරවන රඟ ඒ රූපවාහිනී චැනලවලින් ම තිබේ ද නරඹා ඔබ?
ඔබ සිරිලක බස් රථවල ගමන් ගනිද්දී ‘කාන්තාවන් ලිංගික අතවරයට ලක් නො කරනු’යි එහි යන පිරිමිනට කියවන්නට අවවාද පාඨ අලවා තිබෙනු කොතෙකුත් දැක ඇති- එහෙත්, ඔබ කෙදිනකවත් ‘මෙහි ගමන් ගන්නා මඟීන් ශබ්ද අතවරයට නොහොත් ශබ්ද හිංසනයට ගොදුරු නො කරනු’යි යන අවවාද පාඨය, ඒ බස් රථයේ රියැදුරුට හා කොන්දොස්තරට පෙනෙන්නට ප්‍රදර්ශනය කර තිබෙනු දැක තිබේ  ද?
එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ධර්මිෂ්ඨ සමාජයෙන් සිව් දශකයක් ගෙවුණු තැන එළඹ ඇති මෛත්‍රී සමාජයේ සංස්කෘතික පාර්ශ්වයේ තතු බිඳකි මේ- ධර්මිෂ්ඨ සමාජයට පදනම වැටෙන විට තරුණයකු ව සිටි මම, මෛත්‍රී සමාජයට රට ගොස් ඇති මේ වකවානුව වන විට රැකියාවට යන දුවක ද සිටින පියෙකු බවට මෝරා සිටිමි-
යක්ෂයෝ ස්ව වාසය ‘යක්ෂ වාස’ යැයි නම් නො කරති- ‘දිව්‍ය වාස’ ලෙස ම නම් කරති- ඒ කුමක් නිසා ද යත්; යක්ෂයනට එළිපිට ප්‍රිය කරන කෙනෙක් සොයා ගන්නට නැත් මැයි! අපේ වත්මන් ලක් සමාජය එහි යථාර්ථය සලකා නාමනය කෙරුනි නම් නාමනය වන්නට තිබුණේ ‘වෛරී සමාජය’ නොහොත් ‘අමෛත්‍රී සමාජය’ යනුවෙනි- එහෙත්, එය මෛත්‍රී සමාජය ලෙස නම් කෙරුනි- දැන් එහි මෛත්‍රිය විහිදෙනුයේ සමාධි බුදු පිළිමයේ අඩවන් දෙනෙතින් පමණකියි විටෙක මට සිතේ- බලය පිණිස වන වෛරී – අමෛත්‍රී තරගයට මැදි ව මෙහි ප්‍රජාතන්ත්‍රයේ හුස්ම හිරවන්නට ගොසින් වැඩි කලක් නැත- මෛත්‍රී සමාජයේ මුදල් කළ හැකි ලෙහෙසි ම දෙය බලය ය- එහෙයින් මෙහි දේශපාලන බල පොරය අද මහා බලු පොරයක් බවට පත් ව තිබේ-
රටක් මෙවැනි බල බලු පොරයකට ඇද වැටුණු විට සිහි බුද්ධියෙන් නැඟී සිටින පළමු පාර්ශ්වය එ රට කලාකරුවන් කලාකාරියන් ය- සංස්කෘතික සේවීන් සේවිනීන් ය- කෙසේ ද යත්; ස්වාධීන ව ය- තම කලා කෘති නම් අවි අමෝරා ගෙන ය- අප රටෙහි මෙබන්ඳෝ ද මෙවැනි අවස්ථාවල නැඟී සිටිත් මැයි- කෙසේ නැඟී සිටිත් ද යත්; අසුවල් අසුවල් පක්ෂ නියෝජනය කරන්නන් කරන්නියන් හැටියට ය- ඒ මිස ස්වාධීන ව නැඟී සිටින්නට කොන්ඳක් ඔවුනට නැත! ස්වාධීන ව නඟන්නට හඬක් ද ඔවුනට නැත් මැයි!
මෙරට සමහර තරුණ කලාකරුවන් පුවත් පත්වලට දෙන සම්මුඛ සාකච්ඡා පිළිබඳ ව මොහොතකට අවධාන වුව මැනැවි- “මම දැන් වෘත්තීය ලේඛකයෙක්- මගේ අලුත් ම නවකතාවට මෙවර රාජ්‍ය සම්මානයකුත් හිමි වුනා- ඒ නවකතා පොත් විකිණීමෙන් මං දැනටමත් රුපියල් ලක්ෂ දහයක් හොයලා ඉවරයි-” මට නම් මේවා ඇසෙන විට “තුහ්” කියැවෙයි- “චිහ්” කියැවෙයි- ප්‍රජාතන්ත්‍රයේ අඬු කඩන ආණ්ඩුවකින් ලබන රාජ්‍ය සම්මාන!
“අපෙ හිස් වටකොට කාර් බාර් සැප මන්දිර වැට බැඳලා ඒ හිස්වලට උඩින් කාසි සිහින දැල් ඇදලා අහෝ දුකයි ඇත්ත යුත්ත වෙඩි වැදිලා
හඬා වැටෙයි; ප්‍රාණ අදියි-”
අපේ ඊනියා කලාකරුවන් තව ම ගරා වැටුනු වලව්වල මකුළු දැල්වල පැටලෙමින් ද වවුල් තටුවල හැපෙමින් ද ජාති, කුලමලවල ඇලෙමින් ද දඟලති- වත්මන් සංකීර්ණ සමාජය කියවන්නට නොදත් ඔවුන් දන්නා – පුරුදු ජාතක කතාවලින් ම අන්දර පාති! ඔවුන්ගෙන් සමහරුන් ඩී- එච්- ලෝරන්ස්ගේ ලොකු අප්පොච්චිලා වන්නට කැසකවන රඟ ඔවුන් මහිලාවන්ගේ යෝනි දෑල්වල අතරමං වීමෙන් විශද ය- සංසර්ගය වදන් මධ්‍යයට ගෙන එන්නට තමනට වුවමනා නම් එය කරන කලාත්මක, සුශික්ෂිත විලාසය හැමට කලින් ඉගෙන ගනු- ඒ කවර හෙයින් ද යත්; ලෝකයේ පවත්නා ආස්වාදාත්මක ම – මධුරතර ම විෂයයන්ගෙනුත් ඉහළ ම ස්ථානය භජනය කරන විෂයය එය බැවිනි-
“ප්‍රේමය නම් වෙණ වැයුමට ඔබ සුසැදුනු සඳ වෙණ තත් මාගේ දිවිය වුනා වේ- වෙණ නද මාගේ සිහින වුනා වේ-
ඒ සිහින මුදු මුදුවේ ඔබ තොල් සිසිලේ තැවරුනා වේ- තන් මෙලෙකේ ගිලී ගියා වේ- දඟ යුග දෙමැදේ මැදී ගියා වේ- දෙ නයන පියැවී සිහින ලිහී සරාගය කෙඳිරී කෙඳිරී ඇවිලුනා වේ-
ඒ සරාගයේ මා හෙමි හෙමින් නිවී ගියා වේ-” කලාකරුවා තම සිතෙහි සිහිනය තමන් ප්‍රගුණ කළ මාධ්‍යයට පෙරළයි- එහෙත්, ඔහු මතක තබාගත යුතු වැදගත් ම දෙය මෙය යි- ඔහුගේ ඒ සිහිනයට පාඨකයාට ශිෂ්ටසම්පන්න මනුෂ්‍යයකු ලෙස ඇතුළු වීමේ සියලු අවස්ථා පාදන්නට ඔහු වග බලාගත මනා ය- කලාවේ උත්තම පරමාර්ථය වන මානව දයාවේ සැබෑවට බැසීමේ දිව්‍ය අවකාශය ද ඒ සිහිනයෙන් විවෘත ව තබන්නට ඔහු සාධු ගුණෝපේත විය යුතු ය- තමන් ලියූ දේවලින් සමාජය කෙලෙසෙතැයි බියෙන් තමන්ගේ මරණයෙන් මතු ඒවා පුළුස්සා දමන ලෙස බැගෑපත් ව ආයාචනය කළ කලාකරුවන් ලෝක කලා ඉතිහාසයෙන් අපට හමු වේ- ඒවා ඇත්තෙන් ම පුළුස්සා නො දැමිය යුතු, ලෝකය පවත්නා තාක් කල් මනුෂ්‍ය අධ්‍යාත්ම පෝෂණය උදෙසා රැක ගත යුතු අමිල සංස්කෘතික දායාද වග ඒ කලාකරුවන්ගේ ආයාචනා නොතකා ඒවා පළ කිරීමෙන් පසු, පාඨක ලෝකය හඳුනා ගත්තා ය-
වැරැදි කිරීම ස්වාභාවික යැයි පිළිගත් විට ශල්‍ය වෛද්‍යවරයකුගෙන් සිදුවන එවැනි වරදකට ගොදුරු වන්නේ එක් තැනැත්තකු පමණකින් පවසන එක් විචාරකයෙක් ගත්තරුවකු අතින් සිදුවන එවැනි වරදකින් ඒ ගත කියවන බොහෝ දෙනකු අධ්‍යාත්මික ආතුරයට – අධ්‍යාත්මික මරණයට පත් වන්නට පුළුවන් බවත්, එය පළමුවැන්නට වඩා ඉතා අනර්ථකර ද හානිකර ද තත්ත්වයක් බවත් පෙන් වා දෙයි-
ඉතින්, අප පෑන අප හැම මොහොතක ම භාවිත කළ යුත්තේ හිස මානව වගකීම පිළිබඳ ගැඹුරුතම හැඟීමෙන් බර කොටගෙන ය- අප අද වෙසෙන මෛත්‍රී සමාජය කුණු වී ඕජස් ගලන අමෛත්‍රී සමාජයකි- එය සැබෑ මෛත්‍රී සමාජයක් බවට පෙරැළීමට සැබෑ එක් කලාකරුවකුට වුව පුළුවන- ඒ කලාකරුවා අප ලක් දෙරණ තෙලෙහි නුදුරේ ම පහළ වේවා!■

■ ෆරීන් බූසෝ