වින්සන්ට් වැන් ‍ගෝගේ සිතුවම් සහ ඔහුගේ වේදනාත්මක ජීවිත කතාව පිළිබඳව අලුතින් කිව යුතු යමක් නැති බව සැබෑය. එතෙකුදු වුව තවත් එක වරක්වත් ඔහු ගැන ලියන්නට සිදු වන බව මම දැන සිටියෙමි. වර්ණ සංයෝජනයෙන් මනස්කාන්ත වූත්, ආවේණිකත්වයෙන් පුදුම උපදවන්නා වූත‍් එවන් රිද්මයානුකූල චිත්‍ර ශෛලියක් ඉපැද්දවූ ජීවිතයකට වදනකින් හෝ යම් සාධාරණයක් ඉටුකිරීමට ඇත්නම් එය සතුටකියි මට හැඟේ. සිය මියුරු හඬින් ලොවක් වශීකෘත කළ ඩොන් මැක්ලේන් හට ද මේ සිතුවිල්ලම පහළ වී තිබිණි. ඔව්! කලා ලෝකය විසින් උන්මන්තකයෙකු ලෙස හඳුන්වන වැන්ගෝ ඒ ඉතිහාසගත අපහාසයෙන් මුදවාලිය යුතුයැයි තරුණ වියේ දවසක ඔහු කල්පනා කළේය.

මැක්ලේන් ඒ දවස සිහි කරන්නේ මෙසේය. “1970 වසරේ හේමන්තයේ දිනෙක, එවක පාසලක ගුරුවරයෙකු වූ මම පන්ති කාමරයේ ගිටාරය වැයීමට පුරුදුව සිටියෙමි. එක්තරා උදෑසනක මම වැරැන්ඩාවේ වාඩිගෙන වැන්ගෝගේ ජීවිත කතාව කියවූයෙමි. හදිසියේම මට සිතුණේ ඔහු පිස්සෙකු නොවන බවට තර්ක කරමින් ගීතයක් ලිවිය යුතු බවයි. ඔහුටත්, ඔහුගේ සහෝදරයාටත් උමතුවක් නොව යම් වෙනත් අසනීපයක් තිබෙන්නට ඇතැයි මම විශ්වාස කළෙමි. මගේ අදහස වූයේ එනිසා ම කාන්තාවක වෙතින් ප්‍රතික්ෂේප වීම වැනි සිදුවීමකින් උමතුවක් ලෙස පෙනී යන යම් චිත්ත විපර්යාසයකට ඔහු ලක්වන්නට ඇත කියායි. ඉතින් මම ‘ස්ටාරි නයිට්’ සිතුවමේ පිටපතක් ගෙන වාඩි වී මගේ කොල කැබලි මිටිය ළං කරගෙන ඒ ගීතය ලියන්නට පටන් ගතිමි.”

එලෙස ලියැවුණු “Starry Starry Night” ගීතය කෙතරම් ජනප්‍රිය වීද යත් එය වහාම ඇමරිකානු ඒකල ගීත දර්ශකයේ අංක එකට නම් කෙරිණි.  ගිටාරයේ සහ මාරිම්බාවේ මිහිරි නාද ඛණ්ඩ සමග ඉතා සැහැල්ලු ලීලාවකින් ගැයෙන ළගන්නා සුළු පදවැලක් වූ එය අද පවා ලෝක ප්‍රකට ගීතයකි; වැන් ගෝ වෙනුවෙන් කඳුළක් නංවන, මැක්ලේන් යනු කවරාකාර කලාකාරයෙකුද යන්න පහදවන ගීතයකි.

තාරුකා තාරුකා රාත්‍රියේ                                                                                                                                            පාට කරන් ඔබෙ සිත්තම් පුවරුව                                                                                         නිල් සහ අළු පාටින්                                                                                                                                  මගේ ආත්මේ අඳුර අඳුනනා දෙනෙතින්                                                                                                                             පිටත බලනු මැන දවසක වසන්තයේ

කුරුටු ගානු මැන කඳු මත හෙවනැලි   තුරු සහ ඩැෆඩිල් මල්         

 හසු කරගෙන වෛවර්ණෙන් හිම බිම   නලරැල් සමගින් හේමන්තේ සිහිලැල්     

ගීතය ඇරඹෙන්නේ වැන්ගෝ නැවතී සිටි සේන්ට්-රෙමී උපස්ථානාගාරයේ කවුළුවෙකන් පිටත ‘Starry Night’ සිතුවමට පාදක වූ දසුන් පථය සිහිපත් කරමිනි. ගායකයාගේ ශෝකයට හේතුව සිත්තරාව හරි හැටි වටහා ගන්නට සියවස් ගණනක රසික සමාජයට තවමත් හැකි වී නොතිබීමයි. ඒ සිතුවමට අමතරව ගීතය පුරා වැන්ගෝගේ විවිධ සිතුවම් සිහිපත් කරන යෙදුම් අපට හමු වේ. ‘Sunflowers’ සිතුවම් මාලාව, ‘Wheat fields with Crows’, ‘The Potato Eaters’ යනාදී සිතුවම් පිළිවෙළින් අපට සිහිපත් කරන “දිලෙමින් ඇවිළෙන මල්”, “කහ පැහැ උදා ධාන්‍ය බිම්”, “පීඩිත මුහුණු” යනාදී යෙදුම් ඒ සඳහා නිදසුන්ය.

ඔබ මට කීමට තැත් කළ දේ දැන් වැටහෙයි            පියවි සිහිය වෙනුවෙන් ඔබ කෙතරම්  සෝ ගිනි වින්දේදැයි  ඒවා ඉවතට ලන්නට ඔබ තැත් කළේ කෙසේදැයි   සවන් නොදෙන්නට ඇති ඒවා      කරනා හැටි එය නොදත් නිසා     සමහර විට දැන් සවන් දෙමින් ඇතී        

තාරුකා තාරුකා රාත්‍රියේ           දිලෙමින් ඇවිළෙන මල් මල් අග්නි දලූ     දම් පැහැ මීදුම මැද සුළි වලාකුළූ                                                                                                                                ඔබගේ දෑසේ චීන නිලේ ඇඳිලා                       වෙනස් වර්ණ නගනා     උදා ධාන්‍ය බිම් කහ පැහැයේ දැවෙනා                                                                                                                                        පීඩිත මුහුණු ද පැලුම් නැගූ වේදනා ආදර සිත්තර අත් යට යයි සුව වීලා  

මුළු ගීතයම වැන්ගෝ නමැති මහා සිත්තරාට සංවේදී ලෙස පුද කෙරෙන ගෞරවයකි.  තමා ජීවත් වූ අවට විසූ, දුක්ඛිත ජීවිත ගත කළ ජනතාව වැන්ගෝගේ සිතුවම් තුළින් අපට හමු වේ. උඩු මහළේ චිත්‍ර ශිල්පියෙකු නොවූ ඔහු මිනිසුන් අතර තිරුඟු පිටියේ, ගං ඉවුරේ බැස සිටිමින් ඔවුන්ව සිතුවමට නගන්නට ඇත්තේ ඔවුන් කෙරේ තිබූ යම් සුහද හැඟීමක් පෙරදැරිවය. එහෙත් ‘සිනා නොසෙන පිස්සෙකු’ ලෙස හඳුන්වමින් ඒ අසල් වැසියෝ ඔහුව බැහැර කළහ.

ඔබට ආදරය නොකෙරූ ඔවුන් කෙරේ                                                                                                                                ඔබේ ආදරය අද පවා පුද කෙරේ                    පැතුමක් හිත යට නොතිබුණු මොහොතක                                                                                                                   තාරුකා තාරුකා රාත්‍රියේ                                                                                                                       ප්‍රේමවන්තයන් නිතරම කරන ලෙසේ     ඔබම ඔබේ ජීවිතයයි අරන් ගියේ

ඩොන් මැක්ලේන්, ඔහුගේ ආදරය කෙළින්ම වැන් ගෝ වෙත පුද කර සිටී. වැන්ගෝ ඇන්දේ ඔහුගේ දෙනෙතින් ලෝකය දුටු ආකාරයයි. ඒ දෑස ලෝකයකට අමතක කරන්නට නොහැකි දෑසක් බවට පත් ව හමාරය. ඔහුගේ අපැහැදිලි දිවියත්, අනර්ඝ කලා හැකියාවත් ලෝකයා විසින් නොතකා හරින ලදුව බිඳී විසිරී ගිය ආකාරය ඉඟි කරමින්  මැක්ලේන් විසින් නමැති මේ ගීය නිම කරන්නේ විශිෂ්ට කලා කරුවෙකු පිළිබඳ ශෝකී කාංසාවක් ඉතිරි කරමිනි.

එනමුත් වින්සන්ට් මා මෙය කිව යුතු වේ   මේ ලොව ඔබ හට මෙන්  සොඳුරුව                                                                                                                                   වෙන කෙනෙකුට දැනී නැතේ   

ආලේඛ චිත්‍ර එල්ලෙයි හිස් ශාලා දිගේ                                                                                                                                              රාමු නොමැති හිස් – නම් නැති බිතු මත්තේ     දෑසක් සමගින් ලෝකය දකිනා                          අමතක කළ නොහෙනා

වැරහැලි හැඳ ගත් වැහැරුණු මිනිසුන්                                                                                                                               ඔබ හට හමු වූ නන්නාඳුනන්නන් සේ   රිදී ඔටුන්නක් ලේ පැහැ රෝස මලක්     කන්‍යා හිම මත බිඳී වැටී ඇත්තේ

ලක්ශාන්ත අතුකෝරල