රෝද පුටුවකට සිර වූ ජීවිතයකට අත්තටු පැළැන්දිය හැකි යැයි ඔබ සිතනවාද? දෙපයින් ඇවිද සැබෑ කරගන්නට හැකි හීන පවා උකසට තබන ලෝකයක, සීමාකම් සහිත දුෂ්කර ජීවිතයක උපදින අසීමිත වූ හැඟුම් සමුදායන්ට කවියෙන් සහ සිතුවමින් පණ දෙන අපූරු සොයුරෙක් සහ සොයුරියක් මට හමුවුණා, කොත්මලේ ප‍්‍රදේශයෙන්. අගනුවරට කොත්මලේ බොහෝ දුර විය හැකියි. නමුත් නවීන තාක්ෂණය ප‍්‍රමුඛ වූ විශ්ව ගම්මානය තුළ තවදුරටත් කිසිවකු දුරස්ථ වන්නේ හෝ ආගන්තුක හෝ වන්නේ නැහැ. මුහුණුපොත ප‍්‍රමුඛ සමාජ මාධ්‍ය, මානව පැවැත්මට කළ සාධනීය බලපෑම් අතර, කැලේ පිපි මල්වල රුව ගුණ, සුවඳ ලෝකයා හමුවට ගෙන ඒමට විවර කළ සියදහසක් වූ නව දොරටු විශේෂයෙන් සිහිපත් කළ යුතුයි.


ඔහු කවියෙක්. නමින් ගයාන් ඉන්දුල කොඩිතුවක්කු. ෆේස්බුක් මෙන්ම කවි පත්ඉරු අතරත් නිරන්තරයෙන් හමුවන කවිය සමඟ හෘදයංගමව ගනුදෙනු කරන නිර්මාණකරුවෙක්.
ඇය සිත්තරාවක්. සිතුවම් කලාවට වගේම සාහිත්‍යයටත් ළැදි අපූරු රසිකාවක්. නමින් වරුණි ගයානි කොඩිතුවක්කු.
නිකිණි මහ ඇරඹෙන්නෙම මේ සොහොයුරාගේත් සොහොයුරියගේත් නිර්මාණ කාර්යයන් සහෘද සමාජයට තිළිණ කරමින්. නැගණිය වරුණි කොඩිතුවක්කුගේ කුළුඳුල් ඒකපුද්ගල සිතුවම් දැක්ම ”එක තිතක් එතැන් සිට” නමින් අගෝස්තු 01 දින උදෑසන 9 සිට පසුදින ප.ව. 7 දක්වාත්, සොහොයුරු ගයාන් ඉන්දුල කොඩිතුවක්කුගේ දෙවන කාව්‍ය සංග‍්‍රහය ‘‘මටසිලිටි සිහිනයකි‘ එළිදැක්වීම අගෝස්තු 02 වනදා සවස 3ටත් කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේ දී කෙරෙනවා.


”එක තිතක් එතැන් සිට’’ සිතුවම් දැක්ම සමඟ අප හමුවන වරුණි සමඟ මුලින්ම කතා කරමු.
වරුණි කොහොමද සිතුවම් කලාව ඔබේ ජීවිතයට සමීප වෙන්නෙ?
සිතුවම් කලාව මට සමීප වෙන්නේ මගේ ජීවිතේ අසීරුම කාලෙකදි. ඒ කියන්නේ මම කුඩා අවධියේම. මම පාසලේදී විෂයක් විදිහට චිත‍්‍ර තෝරා ගන්නේ අනෙකුත් සෞන්දර්ය විෂයන් වුණ නැටුම්, සංගීත විෂයන් එක්ක වැඩ කරන්න ප‍්‍රායෝගික අසීරුකම් රැුසක් මට තිබුණ නිසා. කල් යද්දී චිත‍්‍රය ඇතුළේ මට මාවම අධ්‍යයනය කරන්න හැකි වුණා. මං තුළ හිරවෙලා, තෙරපිලා තියෙන පීඩනය එළියට දැම්මේ චිත‍්‍රය තුළින්. චිත‍්‍රයක් ඇඳලා ඉවර වුණාම දැනෙන නිදහස මට වෙන කිසිම දේකින් ලැබෙන්නේ නෑ. අදටත් මට චිත‍්‍රයක් අඳින්න හිතෙන්නෙ හිතට ලොකු පීඩනයක්, දුකක්, වේදනාවක් දැනුණ වෙලාවට.


ඔබගේ සිතුවම්කරණයට බලපෑම් කළ පුද්ගලයන් හෝ සිතුවම් ආරක් තියෙනවාද?
මාව චිත‍්‍ර කලාවට මුලින්ම යොමු කළේ මගේ මගේ පාසලේ චිත‍්‍ර ගුරුතුමිය. ඇය තිලකා පොඩි මැණිකේ ගුරුතුමිය. ඇය සාමාන්‍ය පෙළ දක්වා මට චිත‍්‍ර විෂය ඉගැන්නුවා. එතනින් එහාට මට මේ සම්බන්ධයෙන් වැඩිදුර ඉගෙන ගන්න ලැබුණේ නැහැ. මම දකින සහ මට අත්හදා බැලිය හැකි සෑම දෙයකින්ම මම චිත‍්‍රය පිළිබඳ අධ්‍යයනය කළා තනියෙන්ම. කොහොම වුණත් වැංගෝගේ සහ ෆ‍්‍රීඩා කාලෝගේ චිත‍්‍රවලට මම දැඩි කැමැත්තක් දක්වනවා. ඒ අධ්‍යයනයන් එක්කම චිත‍්‍රය තුළ විවිධාකාරයේ ආරයන් අත්හදා බලමින් ඉන්නවා. මගේ සිතුවම් එකම රටාවකට සීමා වෙලා නැහැ. ඒ හැම ආරක් තුළම මම සිතුවම කියන දේ විඳිනවා.

ඔබේ චිත‍්‍ර නිර්මාණ අතර ස්ත‍්‍රියට විශේෂ තැනක් හිමිවන බව පේනවා. ඒ වගේම හුදෙකලාව සිතුවම්වල ප‍්‍රමුඛ තේමාවක් වී ඇති බවත් පැහැදිලියි. ඒ ඇයි?
්මම ‘හුදෙකලා ස්ත‍්‍රියක්‘. සමහර විට මටත් නොදැනීම එය මගේ සිතුවම්වලින් කියවෙනවා වෙන්න ඇති. කොහොම වුණත් මගේ ජීවිතේ මුහුණ දෙන්න වුණු අභියෝග අතරේ ස්ත‍්‍රියක වීම නිසාම මුහුණ දෙන්න වුණ අභියෝග වගේම හුදෙකලාව තුළ ජීවිතය ඉදිරියට තල්ලූ කරගෙන යාම පිළිබඳව මුහුණ දෙන්න වුණු අභියෝග මට මානසිකව දැඩිව බලපෑවා. චිත‍්‍ර ඇඳීමෙන් ඒ මානසික පීඩනය පිට කළා වගේම, මම එහි තිබෙන සුන්දරත්වය අත්විඳීමටත් යොමු වුණා. දැන් මම ඉතා සතුටින් ජීවිතයේ හුදෙකලාව විඳිනවා, ඒ නිදහස මට ලැබුණේ සිතුවම්කරණය හරහා ලැබුණු පන්නරය මගින්.


සොහොයුරා කවියට සමීප වෙද්දී, ඔබ සිත්තමට පෙම් බඳිනවා. තෙලිතුඩ සහ පන්හිඳ අතර වන සබැඳියාව ඔබ දකින්නෙ කොහොමද?
කලාව කියන දේ මිනිස් හදවත සංවේදී කරනවා. කලාව තුළින් විය යුත්තේද එයයි. මගේ සොහොයුරා සමාජය ආමන්ත‍්‍රණය කරන්නේ කවියෙන්. මම සිතුවමෙන්. ඒත් අප දෙදෙනාම කරන්නෙ කලාව තුළින් අපේ හදවත්වල ‘නිවීම’ හොයාගෙන යන ගමන් ඒ නිවීමේ තියෙන සුන්දරත්වය අනෙක් අය හා බෙදා ගැනීම. මම විශ්වාස කරන්නේ තෙලිතුඩක් සහ පන්හිඳක් එක් වුණ තැන මිනිසෙකුගේ හදවතේ අභ්‍යන්තරයම ස්පර්ශ කරන්න පුළුවන් කියලා.
…………………………………………………………………………………………………………………………………………….
”මට සිලිටි සිහිනයිනි” කාව්ය සංග‍්‍රහය සමඟ සහෘද සංවාදයකට එළඹෙන ගයාන්ගේ හඬට සවන් දෙමු.

‘‘විරාමයකට පසුව හමුවෙමු.’ කියූ ඔබ දෙවන කාව්‍ය සංග‍්‍රහය වෙනුවෙන් දිගු විරාමයක් ගත්තා නේද?

මගේ පළමු කාව්‍ය සංග‍්‍රහය මීට අවුරුදු හතරකට උඩදීයි පළවුණේ. ඒ කවි පොතට මං හිතුවාටත් වඩා සාර්ථක පාඨක ප‍්‍රතිචාර ලැබුණා. ඉන්පසු මට අවශය වුණේ දෙවැනි කාව්‍ය සංග‍්‍රහයකට ඉක්මනින් යනවාට වඩා පුළුවන් තරමින් සාහිත්‍ය විෂය ගැන, කාව්‍යකරණය ගැන මීට වඩා හැදෑරීමක් කරන්න. වැඩිපුරම වෙලාවක් ගත්තේ කියවීමට. ඔය අතරෙ ලියවෙච්ච කවි ටිකක් එකතු වුණා. ඉතින් මට හිතුණා, ඒ කවි එකතුවක් විදියට එළිදක්වන්න දැන් තමයි හොඳම කාලය කියලා. ”මට සිළිටි සිහිනයිනි” එළිදකින්නේ ඔය විරාමයේදී මට දැනුණු දේවල මට රිදුණු දේවල ප‍්‍රතිඵලයක් විදියටයි.

ඔබ අඛණ්ඩව කවි ලියනවා. කවිය සමඟ ජීවත් වෙනවා. මේ බැඳීම ගොඩනැගෙන්නේ සහ පවත්වාගන්නෙ කොහොමද?

ඕනෑම මනුස්සයෙක් ජීවත් වෙන්නෙ අරමුණක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන. ඒත් ඒ කිසිවක් නැති මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා. ඉතින් මං හිතන්නේ සාහිත්‍යයෙන් මිනිස්සුන්ට නිවෙන්නත් සැනසෙන්නත් පුළුවන්. මං ඒක අත්වින්දා සහ අත්විඳිමින් ඉන්නවා. මට අනුව කවිය මගේ හිත නිවාගන්න ලැබුණු සාර්ථකම මෙවලමක්. ජීවිතේ දුෂ්කරතාවලට මුහුණ දෙන්න පන්නරය දෙන සංවේදී මාවතක්. මට කවියක් ලියලා ඉවර උනාම පුදුමාකාර සැනසීමක් දැනෙනවා. ඉතින් මං ඒ සැනසීමට දැන් ඇබ්බැහි වෙලා.

මට සිලිටි සිහිනවලට අද සමාජය තුළ වලංගුභාවයක් තියෙනවා කියල ඔබ හිතනවද?

සිහින දකින්න තියා හිතන්න ඔලූවක් තියෙන, දැනෙන්න පපුවක් තියෙන කිසිම මනුස්සෙකුට මේ රටේ මේ මොහොත කිසි ප්රසන්න හඟීමක් ඇති කරයි කියල මං හිතන්නෙ නෑ. ඒත් අපි ඒ කියලා හීන දකින එක අතෑරියොත් තත්වය මීටත් වඩා දරුණු අතට හැරේවි. ඉතිහාසයේ අපි මීටත් වඩා දරුණු තැන්වලින් ගොඩ ඇවිත් තියෙනවා. හැබැයි එහෙම වෙලා තියෙන හැම මොහොතකම අපි සමාජයක් විදියට එකට ඉඳලා තියෙනවා. දැන් සමාජය ඉතා දරුණු විදියට කොටස්වලට කැඩිලා බිඳීලා ගිහින්. ඉතින් මේ රටට සැබෑ කර ගන්න ලොකූ හීනයක් තියෙනවා ආදරයෙන් සහෝදරත්වයෙන් අත්වැල් බැඳගෙන. මං නිතරම ඒ හීනය දකිනවා.

ඔබේ නැගණිය සිතුවමට සමීප වෙද්දි, ඔබ කවියට පෙම් බඳිනවා. පන්හිඳ සහ තෙලිතුඩ අතර පවතින සහෝදරත්වය ඔබ අර්ථ දක්වන්නේ කොහොමද?

කවිය හා සිතුවම අතරෙත් එක්තරා සහෝදර බැඳීමක් තියෙනවා. මේ විෂයන් දෙකම ලෝක ඉතිහාසයේ ඉතා දීර්ඝ කාලයක් මනුෂ්‍ය හෘදය සාක්ෂියට, රසාස්වාදනයට, අධ්‍යාත්මයට වඩාත් ප‍්‍රබලව ආමන්ත‍්‍රණය කළ මාධ්‍යයන් දෙකක්. මං ගොඩක් සතුටු වෙනවා අපි දෙන්නට මේ නිර්මාණ ක්ෂේත‍්‍ර හරහා දකින්නාට, අසන්නාට, ආමන්ත‍්‍රණය කිරීමට හැකිවීම ගැන. එය කොතරම් දුරට සාර්ථකද අසාර්ථකද යන්න තීරණය කිරීම සහෘද සමාජය සතු කාර්යයක්. ඒත් මේ නිර්මාණයන් තුළ අපේ ජීවිතත්, එය ජීවත් කරවූ හුස්මත් තියෙනවා

  • තරංගනී රෙසිකා