■ අරුණ ජයවර්ධන

ඔබ කොහොමද කාර්ය බහුලත්වයත් එක්ක මේ තරම් ටෙක්නිකලි අප්ඬේට් වෙන්නේ?

මුල් කාලෙදි මම කැසට් පටවල තියෙන ඒවා අහලා ඒ වගේ ප්ලේ කරන්නේ කොහාමද කියලා හිතුවා.  එක එක ආකාරවල සංගීත ශෛලීන් මට කලින් හිටපු ප්‍රවීණ ශිල්පීන්ගෙන් ඉගෙන ගත්තා. ප්‍රවීණ වාද්‍ය ශිල්පී මහින්ද බණ්ඩාර සහ ප්‍රවීණ ගිටාර් වාදන ශිල්පියෙක්, සැක්සපෝන් වාදන ශිල්පියෙක් වන මගේ තාත්තා, පද්මසිරි පැස්කුවල් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ. ස්ටෑන්ඩර්ඞ් ඉන්ස්ට්‍රැමන්ට්ස් මම පුංචි කාලෙ ඉඳලා අහලා තිබුණා. මගේ කැමැත්ත වුණේ ඒ වාගේ සෙල්ලම් කරන්න. ඒ වාගේ හඬක් කොහොමද ගිටාර් එකෙන් මම වාදනය කරගන්නේ කියලා මම හිතුවා. ඒ ස්ටයිල් එක මෙහෙම වෙන්න ඇතියි කියලා හිතාගෙන ගහනවා ඇරෙන්න මේක තමයි හරි ටෙක්නීක් එක කියන්න මම ඇත්තටම දන්නේ නැහැ.

 

කුඩා කාලෙ ඉඳලා සංගීතයට සම්බන්ධ වෙන හැටි කියමු.

මට අවුරුදු 9දී වගේ හදිසි අනතුරක් සිද්දවෙලා මාස තුනක් විතර ප්ලාස්ටර් එක දාගෙන ඉන්න වුණා. හොස්පිට්ල් එකේ ඉන්න ඒ කාලය තුළ තාත්තා මට පුංචි ගිටාර් එකක් ගෙනත් දුන්නා. තාත්තා කියලා දුන්න කෝඞ් තුන තාමත් මතකයි. තාත්තාගෙන් ‘සඳ තාරකා හඬාවි’ ගීතය ඉගෙන ගත්තා. පාසලේදී සංගීතය විෂයක් හැටියට හැදෑරුවා. කලා භූමියේදී ලක්‍ෂ්මන් විජේසේකර, ආනන්ද විජේසිරි, රෝහණ වීරසංහ මගේ ගුරුවරු.

1986දී නන්දා මාලනී ‘සත්‍යයේ ගීතය’ අවසන් කරලා ‘පවන’ කියලා ප්‍රසංගයක් කරනවා. ඒකෙ සමූහ ගායනයට කට්ටියක් හොයනවා. අපේ බාප්පා (කීර්ති පැස්කුවල්) මට පණිවිඩය දුන්නා, ගිහිල්ලා ඔයාට පුළුවන්ද බලන්න කියලා. සමූහ ගායනයට තමයි ගියේ. සරත් දසනායක, ඔස්ටින් මුණසිංහ, ෂෙල්ටන් ප්‍රේමරත්න, සේන වීරසේකරගෙ සින්දුවල පොඩි ගිටාර් පාට්ස් ටිකක් තිබුණා. මේ ටික ගහන්න කවුරු හරි ඉන්නවාද කියලා හෙව්වා. මට සේන අයියා කිව්වා ‘මහි පොඞ්ඩක් අරන් බලන්නකො’ කියලා. මාව ගොඩක් උනන්දු කළේ මර්වින් පෙරේරා. මම ගිටාර් එක ගොඩාක් ප්ලේ කරන්න දන්නේ නෑ. වයර් දෙක තුනයි දන්නේ. ඒකෙන් ගහලා බැලුවා. පස්සෙ කෝරස් කරන්න ඕනෑ නෑ, එහෙනං ඔයා ගිටාර්ම ගහන්න කියලා බාරදුන්නා. එහෙම තමයි මුලින්ම මගේ සංගීත ජීවිතේ අත්දැකීම තියෙන්නේ.

 

මහා දැවැන්තයන් සමග වැඩකරන්න වාසනාව ඔබට තිබුණා බොහොම ළාබාල වාද්‍ය ශිල්පියෙක් හැටියට. දැන් ඉන්න නවීනයන් සමගත් ඔබ රෙකෝඩින්ස්වලට සහභාගි වෙනවා. ඒ අත්දැකීම් ගැන කියන්නකො..

රෝහණ වීරසිංහ මහත්මයාගෙ රෙකෝඩිං එකකට මම මුලින්ම යනවා. ඒ කාලෙ නිර්මාණ කරන අතරේම අලුත් අලුත් දේවල් කරන්න ඕනෑය කියන අදහසට ඔවුන් වැඩ කරනවා. උදාහරණයක් ගත්තොත් ‘සප්ත කන්‍යා’ චිත්‍රපටියේ ‘සුවඳ දැනී’ ගීතය වෙනම විදියකින් කරන්න ඕනෑය කිව්වාම, රෝහණ සර්ගෙ ඔළුවෙත් ඒක වැඩ කරනවා. ප්ලේයර්ස්ලා ටිකත් ඒකට එකතු වෙනවා. වෙන වෙන ශබ්ද විදි, සංගීත රටා හොයනවා. සංගීත අධ්‍යක්‍ෂවරයෙක්ගෙ හිතේ පහළවෙන නිර්මාණයට මොනවද අලුතෙන් මම ඇතුළු කරන්නේ කියා හිතන කොට, පුංචි කාලේ ඉඳලා ඇහුණු සංගීත රටා එහෙම විශේෂයෙන්ම බලපෑවා. අද තාක්‍ෂණය එක්ක වැඩකරන බොහෝ අය ඉන්නවා. ඒ අය, ‘මේ මෙහෙම කෝඞ් එකක් තියෙනවා’ කියලා ගහලා පෙන්නනවා. මං ඒ වෙලාවෙම ඒ අයගෙන් ඒක ඉගෙනගන්නවා. මගේ අත්දැකීමෙන් ලබාගත්ත දැනුමයි, ඒ අයගේ දැනුමයි එකතු කරමින් තමයි මම හැමදාම  මේ කටයුතුවල යෙදිලා ඉන්නේ.

 

ඔබ සුපර් ෆෝචූන්ස් කණ්ඩායමේ, සිහ ශක්ති කණ්ඩායමේ ලීඞ් ගිටාර් වාදන ශිල්පියෙක් හැටියට හිටියේ. ඊට පස්සේ ක්ලැසිකල් ගිටාර් කියන පැත්තට යොමුවෙනවා. ලීඞ් ගිටාර් එකේ, ගඞ් ගිටාර් එකේ ස්වීට්නස්, ඒ ක්‍රියෙටිවිටි එක අපේ සුභාවිත ගීතයත් එක්ක අරගෙන යන්න ශිල්පීන්ගේ අඩුවක් තියෙනවානේ. ඔබ ඇයි ඒ බැට්න් එක අතෑරලා තියෙන්නේ?

ක්ලැසිකල් ගිටාර් එක බොහෝ විට වාදනය කළේ නෙවිල් ප්‍රනාන්දු වගේ කැලිප්සෝ කණ්ඩායම්වල අය. බොහොම කලාතුරකින්, ඇත්තටම නැති තරම්, ගඞ් ගිටාර් එකේ තියෙන සවුන්ඞ් එක අපේ සාමාන්‍ය ගීතවලට යොමු කර ගත්තේ. ඕනෑම රෙකෝඩිං එකකට මම මේ ගඞ් ගිටාර් එක තමයි අරගෙන යන්නේ. පොද්ගලිකව මම මේ හඬට කැමතියි. නිර්මාණවලට මේක අරගෙන කාලයක් ගියාම මිනිසුන්ට මේක ඕනෑවෙනවා. ඉතින් ඒකටම සමහර විට මාව එකතු කරගන්නවා. මම එක අතකින් සතුටු වෙනවා, ක්ලැසිකල් ගිටාර් එකේ හඬ සාමාන්‍ය ගීත නිර්මාණවලට එකතු වීම ගැන. සංගීතය ගැන කිසියම් අවබෝධයක් තියෙන අයට තේරෙනවා, ‘ආ මේ මහේන්ද්‍ර තමයි සෙල්ලම් කරලා තියෙන්නේ’ කියලා. මටම හිතුණා මේකේ හඬ ලස්සනයි, මේක එකතු වීමෙන් අලංකාරයක් එනවා, මේක තමයි මගේ ජීවිතේ කියලා. මේක අතට ගත්තු ගමන් මම කිසි දේකට බය නෑ.

මහින්ද බණ්ඩාර වැනි ශිල්පියෙක් අත්දැකීම් ඉතාම බහුල කෙනෙක්. එයාට ආවේණික වෙච්ච ඒ හඬ, එයා මේ ක්‍ෂෙත්‍රයේ හොඳ තැනක තියලා තියෙනවා. අපි දෙන්නා අවබෝධෙන් යන්නෙ. ක්ලැසිකල් පාට් එකක් අවශ්‍ය වෙලාවට ඔහු කියනවා, ‘මහි, ඔයා ප්ලේ කරන්න’ කියලා. නමුත් මම තාම ඒ බැට්න් එක ගන්න කල් වැඩියි. මම තාම ඉගෙන ගන්නවා.

 

මහින්ද බණ්ඩාර කියන්නේ ලෙජන්ඞ් කෙනෙක්. එතැනට සමාන කිරීමක් නෙවෙයි, ඒ පාරෙ යන ගිටාර් වාදන ශිල්පීන් අඩු බවයි මම අදහස් කළේ.

ටෙක්නික් එක ඕනෑ සුළු ප්‍රමාණයක්. ඉතුරු ටික තියෙන්නෙ තමන්ගේ හදවතේ. ගහන නෝට් එකෙන් ෆීලිං එකක් තමා දෙන්න ඕනෑ. ‘මට ස්පීඞ් ගහන්න පුළුවන්, මම ගොඩාක් තාක්‍ෂණය භාවිතා කරනවා’ කියන කිසි දෙයක් වැඩක් නැහැ. නෝට් එකක් ගහන මූඞ් එක තමයි රසිකයාගේ හදවත ගන්නේ. ඒකෙ අඩුව නවක ශිල්පීන්ගේ බොහෝවිට තියෙනවා. තාක්‍ෂණය වැඩිපුර ගත්තාම සාමාන්‍යයෙන් හදවතේ තියෙන සිතුවිල්ල පහළට යනවා.

 

ප්‍රවීණ සංගීත අධ්‍යක්‍ෂවරුන් පවා, සවුන්ඞ් ඉංජිනියර්ස්ලා පවා, ඔබ ට්‍රැක් එකක් ප්ලේ කරලා ගියාට පස්සෙ, මම දැකලා තියෙනවා, අනික් ට්‍රැක්ස් ටික ඔක්කොම මියුට් කරලා, ‘මේ මහියා ගහපු එක පොඞ්ඩක් අහලා බලමු’ කියලා, ඔයාගේ ට්‍රැක් එක විතරක් තියලා සින්දුව අහලා බලනවා, වචනත් නෑ, මොකුත් නෑ. නිකං මහී ගහපු රිදම් ට්‍රැක් එක. ඒක ගලන ගඟක් වගේ ලස්සනයි. එකිනෙකට වෙනස්. ඔබ ඒ සින්දුව ගහන රිදම් පැටර්න් එක ආයෙ මම හිතන්නේ නැහැ ඔබටවත් ගහන්න පුළුවන් කියලා. එහෙම යුනික් පැටර්න් එකක් සින්දුවකට ගහන්නේ ඇයි? ලයිව් ප්‍රසංගයක වෙන කාට හරි ඒක ගහන්න බැහැ. ඇයි එහෙම කරන්නෙ?

ජීවිතේ වාදනයෙන් ලබපු අත්දැකීමයි, මේකට අලුත් දෙයක් එකතු කරන්න ඕනෑය කියන සිතුවිල්ලයි හරහා කෝඞ් සවුන්ඞ් එකට අලුත් අලුත් දේවල් එකතු කරන්න පුළුවන් වීම එක හේතුවක්. ඒක මට වුණත් ආයෙ ගහන්න බැරිවෙන්නේ, ඒ වෙලාවෙ සිතුවිල්ල වෙනස්. ඒ වෙලාවට ඒ ලෝකේ. තව කෙනකුට ඒක ගහන්න අවශ්‍ය නම්, කළ යුතු එකම දේ පුහුණුවීම තමයි.

 

ක්ලැසිකල් ගිටාර් එකක් ගත්තොත් ඒ පාට්ස් ගණන ඒ සින්දුවට අවශ්‍ය නම්, ඒ බාර්ස් ගානට ඒ මියුසික් ඩිරෙක්ටර් මොකුත් ක්‍රියේට් කරන්නේ නැහැ. ඒකට ඉඩ තියලා ඔබට දෙනවා. සාර්ථකම ප්‍රතිඵලය ගන්න පුළුවන්, එහෙම හිස්තැනක් තියලා බාර්ස් ගාන ඔබට දුන්නොත්ය කියලා, මියුසික් ඩිරෙක්ටර්ස්ලා හිතනවා.

මම ඉස්සෙල්ලාම හිතන්නේ මුළු නිර්මාණය ඇතුළෙම ඇහෙන සවුන්ඞ් එක මොකක්ද කියලා. මට හිතෙන දෙයක් මේකට එක්කහු කරලා හරියන්නෙත් නැහැ. ඒකට අර ඇසූ පිරූ තැන් ටික ඕනෑමයි. මං හැම තිස්සෙම කැමතියි නිදහස් වාදන ශිල්පියෙක් වෙන්න. එක අතකින් හොඳ නැති දෙයක්. තව අතකින් හොඳයි. සංගීත අධ්‍යක්‍ෂවරයා මට නිදහස දීලා තියෙනකොට මං මගේ ලෝකයට ඇතුළු වෙනවා. අන්න මං අර කොටස එක්කහු කරනවා. ඒක මම හරිම කැමැත්තෙන් කරනවා. ඒක කළාම බොහෝ අය දන්නවා, ‘මහි අයියා තමයි ප්ලේ කරලා තියෙන්නේ’ කියන මගේ අනන්‍යතාව. සහ ඒ හඬ. මේ ගිටාර් එකම තමයි ගහලා තියෙන්නේ.■