අංග රචනා ශිල්පී
නාරද ධනංජි තොටගමුව

මුලින්ම අපි වේදිකා නාට්‍යය අතීතය ගැන කතාකරමු.
මම කළුතර බෝඹුවල මහා විද්‍යාලයට තමයි ගියේ. අපේ ඉස්කෝලේ හිටපු ගණිත ගුරුවරයා ඩී කුමාරගේ සර්, ඔහු ඩ්‍රාමා කළා. ඉතිං ඒ කාලේ ඉස්කෝලේ නාට්‍ය තිබුණා. ඒත් මම ඉස්කෝලෙදී නාට්‍ය කළේ නෑ. ඊට පස්සේ උසස්පෙළ කරන්න කළුතර තිස්ස විද්‍යාලයට යනවා. එහෙදි නම් දිගටම ඩ්‍රාමා කරනවා. ඔහොම තමයි වේදිකාවට ආවේ. ඊට පස්සේ, මේ ජීවිතේ වෙනස් වෙන්නේ 1999 ටවර්හෝල් නාට්‍ය පාසලට ආවාම. මුලින්ම එන්නේ අවුරුද්දක ඩිප්ලෝමා එකකට. පස්සේ ඒක අවුරුදු දෙකක හයර් ඩිප්ලෝමා එකක් වෙනවා. ඇත්තටම මම රඟපාන්න තමයි ටවර්හෝල් එන්නේ. මුලින්ම රංගනයට තමයි මගේ කැමැත්ත තිබුණේ. ඊට පස්සේ නළුවෙක් වුණා. ‘අන්දර වැට’ කියන නාට්‍යයේ රඟපෑවා. හැබැයි ඩ්‍රාමා ස්කූල් එකේදි මට මේකප්වලට ලොකු කැමැත්තක් තිබුණා. ඒ නිසාම මම තමයි ඩ්‍රාමා ස්කූල් එකේ මේකප් බොක්ස් එක හැදුවේ. ඊළඟට ඩ්‍රාමා ස්කූල් එකේ වැඩවල මේකප් කළා. ඩ්‍රාමා ස්‍කූල් එකෙන් අයින් වුණාට පස්සේ ඩ්‍රාමා ස්කූල් එකේ මගපෙන්වීම යටතේම මම ස්වාධීන රූපවාහිනියේ සහාය මේකප් ශිල්පියෙක් විදිහට අනුර ජයසිංහ එක්ක වැඩ කරනවා. මේ අතර බුද්ධික දමයන්ත එක්ක එයාගේ වේදිකා නාට්‍යවල වේදිකා පරිපාලක විදිහට වැඩ කරනවා. බුද්ධික දමයන්තගේ ‘මාස්ටර් හැරල්ඞ්’ නාට්‍යයේ වේදිකා පරිපාලක මම.

මේකප් ආටිස්ට් කෙනෙක් වෙන්න ඇයි හිතුණේ..
දවසක් ජයන්තා රණවක සර් ආවා අපේ ඩ්‍රාමා ස්කූල් එකේ මේකප් ගැන කියලා දෙන්න. ඒ වෙලාවේ සර් ලොකු මැජික් එකක් කරලා පෙන්නුවා. එතැනින් තමයි මේ ආසාව උපදින්නේ.

ඇත්තටම මේකප් ආර්ටිස් කෙනෙක් වෙන්නේ කොතැනින්ද?
මම රූපවාහිනියේ වැඩ දෙකක තුනක විතරයි සහාය මේකප් ආර්ටිස්ට් කෙනෙක් විදිහට වැඩකළේ. මෙහෙම වැඩකරගෙන යනකොට මට පියල් යටවර ‘කම්මිත්ත’ කියන ටෙලිඩ්‍රාමා එකට කතා කළා. මේකප් ආර්ටිස්ට් විදිහට. එතකොට යාන්තම් බේස් එක ගාන්න පුළුවන්. ඊට එහාට තාක්ෂණික දැනුමක් නැහැ. ඒ ඩ්‍රාමා එකේ වැඩකරනකොට තමයි මට තේරුණේ මේකප් කියන්නේ මේක නෙවෙයි කියලා. ඒත් මම නාගන්නේ නැතුව ‘කම්මිත්ත’ ඉවර කළා. ඒත් එක්කම මගේ වාසනාවටද කොහේද ජයන්තා රණවක සර් මේකප් පාඨමාලාවක් පටන්ගත්තා. මම එතකොට ටෙලිඩ්‍රාමා දෙකක් භාර අරං. මම තීරණය කළා භාරගත්‍ත ටෙලිය කරනවා පාඨමාලාව ගැන අදහස අතඇරලා කියලා. ඒත් මගේ බිරිඳ කිව්වා නෑ කොහොමහරි මේක කරන්න කියලා. ඊට පස්සේ මේ ටෙලිඩ්‍රාමා දෙකේ සහාය අධ්‍යක්ෂකවරයා ප්‍රියන්ත ප්‍රනාන්දු කිව්වා නෑ අවුලක් වෙන්නේ නෑ, අපි කොහොම හරි ෂෙඩුල් එක හදාගෙන දෙකම කරමු කියලා. ප්‍රියන්ත ලොකු සහායක් දුන්නා. අන්තිමට මම ඩ්‍රාමාස් දෙකයි පාඨමාලාවයි දෙකම ගොඩදාගත්තා. ඒත් ජයන්තා සර් ඉගැන්නුවේ මේකප් කරන්න අවශ්‍ය මූලික තාක්ෂණය විතරයි. ඊට පස්සේ මම සොයාගෙන ගියා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේකප් ආර්ටිස්ට් කෙනෙක් වුණේ.

මේකප් ආර්ටිස්ට් කෙනෙකුයි, මේකප් ශිල්පියෙකුයි අතර වෙනස මොකද්ද?
මේක ඇත්තටම පුළුල් විෂයක්. මේකප් ආර්ටිස්ට්, බියුටිෂියන්, හෙයර්ඩේ‍රසරර් ප්‍රොපෙෂන් තුනක්. හැබැයි ඔය තුනටම පොදු ලක්ෂණත් තියෙනවා. නැති දේවලු‍ත් තියෙනවා. මේ තුන එකටත් වෙන වෙනමත් කරන අය ඉන්නවා. මේකප් ආර්ටිස්ට් කෙනෙක් කැරැක්ටර් එකක් ඩිසයින් කිරීම ගැන ඉගෙන ගන්න ඕනෑ. මේකප් ඕනෑ කෙනෙකුට කරන්න පුළුවන්, හැබැයි හරියට සිද්ධාන්ත ඉගෙනගෙන තාක්ෂණික කාරණා හරියට ඉගෙනගෙන ඒක ප්‍රයෝගිකව සාර්ථකව සහ ප්‍රශස්තව භාවිත කිරීම හැම කෙනෙකුටම කරන්න බැහැ.
ලංකාවේ කිසි කෙනෙකුට මේකප් ගැන නිවැරදි අදහසක් නෑ. ඒකට අවශ්‍ය දැනුම රට තුළ නිෂ්පාදනය කරන්න, ස්කූල්ස් වගේ ආයතන නැහැ. ඉතිං ඩිරෙක්ටර් කෙනෙකුට උනත් මේකප් ගැන අදහසක් නෑ. අපි මේ දේ හොඳට තේරුම් ගන්න ඕනෑ. මේකප් කලාව කියන්නේ වෙස්මුහුණු කලාව නෙවෙයි. අපිට හොඳ වෙස්මුහුණු කලාවක් තිබෙනවා. ඒක එහෙමයි කියලා අංග රචනා කලාවත් එහෙම වෙන්න බෑ. හැබැයි අද ගොඩාක් මේකප් ආර්ටිස්ට්ලා අංග රචනා කලාවෙන් කරන්නේ වෙස්මුහුණු කලාව. මේකප් කියන්නේ මුහුණ වෙස් මුහුණක් කරන එක නෙවෙයි.

මේකප් ආර්ටිස්ට් කෙනෙකුගෙ කැන්වස් එක තමයි මුහුණ. ඒක එහෙමනම් ‘බියුටි’ කියන එක ගැන ඔබේ අදහස..
මම ඔය වැඩමුළුවලට එහෙම ගියාම අහන කාරණා දෙකක් තියෙනවා. මේකප් එකක් දැම්මාම ඔයාලට වැඩිපුරම දැනෙන්නේ ඔයාලා ලස්සනයිද? නැත්තං මේකප් එක ලස්සනයිද කියලා.. අපි මඟු‍ල් ගෙවල්වල එහෙම ගියාම කාන්තාවන්ගේ මේකප් බලලා කියන්නේ, නියමයි මේකප් එක කියලා. ඒක තමයි ලංකාවේ මේකප්වල තත්ත්වය. ෂා ඔයා අද ගොඩාක් ලස්සනයි කියනවා හරි අඩුයි. ඇත්තටම වෙන්න ඕනෑ ස්වාභාවික ලස්සන එහෙම්මම රැකගෙන ඒක උද්දීපනය කරන එක. ඉතිං ඒ ලස්සන මතුකරන්නේ කොහොමද කියන එකේදි ලයිට් ඇන්ඞ් ෂේඞ්ස් කියන චිත්‍රයේ තිබෙන තියරිටිකල් දේවල් අපිට මේකප්වලත් භාවිත කරන්න වෙනවා. එතකොට අපි ඒ තාක්ෂණය ඉගනගෙන තිබෙන්න ඕනෑ.

රූපවාහිනිය, සිනමාව, වේදිකාව, ඡායාරූප කලාව මේ කලා මාධ්‍යයන් එක්ක මේකප් වෙනස් වෙන්නේ කොහොමද?
රූපවාහිනියයි සිනමාවයි අතර වැඩ කරනකොට ඉස්සරනම් ලොකු වෙනස්කම් තිබුණා. දැන් එහෙම නෑ. දැන් මේ මාධ්‍ය දෙකම ඩිජිටල් වෙලා. තිරයේ ලොකු කුඩා වෙනස තමයි මූලිකව තිබෙන්නේ. අනික් පැත්තෙන් ඉස්සර පටලපටය භාවිත කරනකොට මේකප් මීට වැඩිය ගොඩාක් වෙනස්. එතකොට පාවිච්චි කරන පටලපටය මොකද්ද කියන එකත් මේකප් එකට වැදගත් වුණා. ඊළඟට පාවිච්චි කරන ලෙන්ස් එක. මෝෂන් එක. ඡායාරූපවල දැන් රී-ටච් කියලා ක්‍රමවේදයක් තිබෙනවා. එතකොට එයට සරිලන්න තමයි අපි මේකප් කරන්න ඕනෑ. වේදිකාව මේ සියල්ලටම වැඩිය වෙනස්. ඒක සජීවීයි. එතකොට පළවෙනි පේළියේ ඉන්න ප්‍රේක්ෂකයා වගේම අවසාන පේළියේ ඉන්න ප්‍රේක්ෂකයාත් වැදගත්. ඒ කොට්ඨාස දෙකේම රස වින්දනයට බාධා නොවෙන්න මේකප් එක කරන්න ඕනෑ. හැබැයි මේ කොතැනදීත් කැරැක්ටර් එක ඩිසයින් කරන්න ඕනෑ කියන එක මූලිකයි. ඊට පස්සෙ තමයි අපි තීරණය කරන්නේ ඇප්ලයි කරන මේකප් එක මොකද්ද කියලා.

මේ කාරණා එක්ක අපි එමු ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය වෙත. අපි කතාකරමු කමල් අද්දරඅරච්චි රෝහණ විජේවීර කළේ කොහොමද කියලා.
පිටපත මුලින්ම ලැබුණාම ඒක හරහා අපිට චරිත මුණ ගැහෙනවා. ඊට පස්සේ ඒක ගැඹුරින් පරිශීලනය කළාම සහ අධ්‍යක්‍ෂවරයා සමග පිටපත පිළිබඳ සාකච්ඡා කළාම ඒ චරිතවල පෞරුෂය, සෞඛ්‍ය තත්ත්වයන්, හැසිරීම් මේ සේරම ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. ඒක අනුව තමයි චරිත ගොඩනැගීම් කරන්නේ. විජේවීරගේ චරිතය ලංකා සමාජය තුළ විවාදාත්මකයි. ඒ වගේම ගොඩක් දෙනෙක් විජේවීරව දැකලා තියෙනවා. රෙෆරන්ස් ගොඩාක් තියෙනවා. එතකොට පිටපත විතරක් නෙවෙයි අදාළ වෙන්නේ, මේක අභියෝගයක්. විජේවීර කියන චරිතය මේකප් ආටිස්ට් කෙනෙක් විදියට ගොඩනැංවීමේ අභියෝගය මම සාර්ථකව භාරගත්තා කියලා මට හිතෙනවා. අධ්‍යක්‍ෂවරයා සහ මේ චරිතය කළ කමල් අද්දරආරච්චිත් මගේ මේකප් එක ගැන තෘප්තිමත්.

කමල් අද්දරආරච්චි රෝහණ විජේවීර දක්වා වෙනස් කිරීම කළ අංගරචනා තාක්ෂණය ගැන අපි ටිකක් කථාකරමු..
මේ වගේ වැඩ කරනකොට ලෝකයේ ගොඩක් මේකප් ආටිස්ට්ලා පාවිච්චි කරන්නේ ප්‍රොස්තටික් මේකප් තාක්ෂණය. මම මුලින්ම හිතුවා ප්‍රොස්තටික් එකකට යන්න වෙයි කියලා. විජේවීරගේ පෙනුම දිහා බැලුවාම පෙනෙන සුවිශේෂ දේ තමයි ඔහුගේ දත්වල තිබෙන හැඩය. එතකොට අපි ඒක හදා ගන්න ඕනෑ. අපි ඒක හදාගත්තාම අපිට තේරුණා මුහුණට රැවුල ඇප්ලයි කරනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න නැහැ කියලා. හැබැයි මුහුණට අවශ්‍ය හැඩය ගන්න අපි මුව ඇතුළතින් දේවල් වෙනස් කළා. අපි උඩු ඇන්දට සහ යටි ඇන්දට සමාන්තරව තවත් ලේයර් දෙකක් පාවිච්චි කළා. ඒ අනුව අපි දහ සැරයක් විතර දත් නැවත සකස් කළා. අන්තිමේදී අපි සාර්ථක වුණා. අපිට හිතුණා ප්‍රොස්තටික් එකකට යන්න ඕනෑ නැහැ කියලා. රැවුල ඇප්ලයි කිරීමේදීත් නවීනම තාක්ෂණය පාවිච්චි කළා. නෙට් එකක රැවුල අලවා මුහුණේ ඇලවීම වෙනුවට අපි රැවුල් ගස් මුහුණ මත ඇලෙව්වා. ඇත්තටම රැවුල ගැන විශේෂයෙන් සැලකිලිමත් වුණා. මොකද මේක විශේෂිත රැවුලක්. තිරයට එනකොට රැවුලක් දාලා කියලා පෙනුණොත් අපි ෆේල්. අනික රැවුල නිවැරදිව දැමීම මඟින් රඟපාන ශිල්පියාට තමන්ගේ රංගනයට පිවිසෙන්නට අවශ්‍ය පූර්ණ නිදහස ලබාදෙනවා. මම හිතන්නේ මම ඒ නිදහස කමල් අද්දරආරච්චිට දුන්නා. ඔහු ඒ ගැන තෘප්තිමත්. මොකද රැවුල ගැලවෙනවාද නැද්ද කියලා හිතන්න දෙයක් නැහැ. අනික් පැත්තෙන් රැවුල් ගස් මේ විදියට මුහුණේ අලවන කොට මුහුණේ ආරක්‍ෂාව ගැන හිතන්න ඕනෑ. ඊට පස්සේ කන්ටිනිවිටි රැකෙන්න ඕනෑ. මොකද අවුරුදු 12ක විතර කාල පරාසයක් චිත්‍රපටය තුළ තිබෙනවා. ඒ නිසා මේක ලේසි වෙන්නේ නැහැ.

කමල් අද්දරආරච්චි මේ චරිතයට තෝරා ගන්න ඔහුගේ ශරීර ලක්ෂණ බලපෑවාද?
මේ තෝරා ගැනීම කළේ අනුරුද්ධ ජයසිංහ. මා සමගත් කථාකළා. කොහොම වුණත් මේකප් ආටිස්ට් විදියට ඒ වෙලාවේ කවුද මට දෙන නළුවා කියන එක මට එතරම් වැදගත් නැහැ. කවුරු දුන්නත් අධ්‍යක්‍ෂවරයාට අවශ්‍ය ස්වරූපය අරන් දෙන එක මගේ වගකීම. ඇත්තටම කමල් අද්දරආරච්චි විජේවීරට වැඩිය උසයි. මේ චරිතයට කමල්ව තෝරා ගැනීමේදී වැඩිය වැදගත් වුණේ ඔහුගේ රංගන පෞරුෂය සහ නළුවෙකු විදියට ඔහුගේ කැරිස්මාව.

කමල් අද්දරආරච්චි රෝහණ විජේවීර බවට පත්කිරීමට කො පමණ කාලයක් ගියාද?
මේ මේකප් එකට පැය 4ක් විතර යනවා. මොකද රැවුල් ගස් අලවද්දී කන්ටිනිවිටි තියාගන්න ඕනෑ. ස්ක්‍රින් ටෝන් එකත් එහෙමයි. ඇඳුම් ඇඳලා ඉවර වෙනකොට පැය 4කට වැඩිය යනවා. කමල් අද්දරආරච්චි මට ලොකු සහායක් දුන්නා. මුලින් කිව්වා වගේ අපි දත් හදන්නම දහදොළොස් වතාවක් ගියා. මේකප් ටෙස්ට් පස් හය වතාවක්ම කළා. මොකද අපි ප්‍රොස්තටික් අවශ්‍ය මූලික අංග ගෙදර ලැස්තිකරගෙන තිබුණේ. ප්‍රොස්තටික්. එකක් ඕනේ නැහැ කියලා තීරණය කළේ දත් ටික හදලා මුහුණේ කාස්ටින් එකක් කළාට පස්සේ. අපි ස්කල්ටීන් එකකුත් කරලා බැලුවා. එහෙම කරලා බැලුවහම විජේවීරගේ 50%ක් ඇවිල්ලා තිබුණා. රැවුල දාලා මුහුණේ ස්කීන් ටෝන් එක වෙනස් කළාම ඉතුරු ටික හරිගියා. ඊට පස්සේ ලයිට් ඇන්ඞ් ෂේඞ් පාවිච්චි කළා. මේ සේරමත් එක්ක තමයි අද කමල් අද්දරාච්චි රෝහණ විජේවීර විදියට පෙනී සිටින්නේ.

අපි එකෝඩින් ටු මැතිව් ෆිල්ම් එක ගැනත් ටිකක් කථා කරමු.
මැතිව් පීරිස්ගේ කථාව ගත්තොත් අපිට රෙෆරන්ස් තිබුණා. අනික අධ්‍යක්‍ෂකවරයාගේ පවුලේ පූජකවරයා තමයි ඔහු. එතකොට ඒ චරිතය ඩිසයින් කරන්න අපිට පුළුවන් වුණා. මේ චරිතය නිරූපණය කරපු ඇල්ස්ටන් කොච්ගේ ස්වරූපය ගත්තත් මැතිව් පීරිස් වගේමයි. ඒ නිසා අපිට ලොකු වෙනස්කම් කරන්න ඕන වුනේ නැහැ. ඇත්තටම තිබුණේ රැවුල අවශ්‍ය විදියට හදාගන්න එක. ඇල්ස්ටන් කොච්ගේ රැවුල මැතිව් පිරිස්ගේ රැවුලට වඩා ටිකක් කෙටියි. නමුත් ඒක එතරම් බලපෑවේ නැහැ.

‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ සෙසු චරිත ගොඩ නැංවීම ගැනත් කථා කරමු.
ඔව් මේ ගොඩක් චරිතවලට රෙෆරන්ස් තිබුණා. ඉතින් ඒ රෙෆරන්ස්වලට අනුව තමයි අපි මේ චරිත ගොඩ නැගුවේ. හොඳම උදාහරණය තමයි විජේවීර ඇතුළු පිරිස කැළයට ඇතුල්වෙන දර්ශනය. එතන කැළයට ඇතුල් වෙන්න කළින් ගත්ත සමූහ ඡායාරූපයක් තියෙනවා. ඒ ඡායාරූපයෙයි, අපේ චිත්‍රපටයේ ඡායාරූපයේයි වැඩි වෙනසක් නැහැ. ගමනායකගේ චරිතය ගන්න ඒකත් එහෙමයි. ගමනායකගේ දත් ටිකක් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි ඒ ගැන එච්චර සැලකිලිමත් වුනේ නැහැ. ඒ මොකද ගමනායක එච්චර පෙනෙන්න හිටි චරිතයක් නෙවෙයි. ඔහු පිළිබඳව තියෙන එකම පින්තූරය තමයි විජේවීරගේ යාපනය කථාව වෙලාවේ ගත්ත පින්තූරය. ඒ පින්තූරයයි අපේ ඒ කතාවට අදාළ පින්තූරයයි සන්සන්ඳනය කළොත් ඔබට එතරම් වෙනසක් පේන එකක් නැහැ. අපි ඒ විදියට මේ චරිත හැම එකක් ගැනම හොඳට හදාරලා ඒවා නිර්මාණය කළා.■