ගෙදරක් ගොඩනැඟිල්ලක් කියපු සැනින් කාගෙත් හිත්වල මැවෙනව ඇත්තේ හරිම පිළිවෙලට චීස් වළින් කැපුව වගේ තියෙන වස්තුවක්. නූතන වාස්තුවිද්‍යා මිනුම් දඬුවලින් බහුල ලෙස අර්ථගැන්විලා තියෙන්නෙ එහෙම අදහසක්. සමාජ තත්වය ප‍්‍රකාශකිරීම, ආරක්ෂාව, අධික ලෙස මුදල් යටකිරීමේ හැකියාව හෝ තමන්ගේ පුද්ගලික මතිමතාන්තර විතරක් නෙමෙයි එකිනෙකා අතර තියෙන නොනවතින තරඟය වුණත් මේකට බලපානවා.

ඒත් හැම අතින්ම සර්ව සම්පූර්ණ ජීවිත අපි කාටවත් නැහැ. කඩතොළු, කැළැල්, තිත්ත වගේම හරිම රසවත්, ලස්සන, සෞම්‍ය අවස්ථාවලින් අපේ ජීවිත පිරෙනවා නැත්නම් පිපිරෙනවා. ඉතින් ඒ ජීවිත ස්ථාන ගතවෙන පසුබිමේ ප‍්‍රධාන කොටසක් වෙන ගොඩනැඟිලි හෝ නිවසක් ඒ වගේම වෙන එක තාමයි වඩාත් හොඳ. කොහොමත් ඇත්ත ජීවිතේදි සැබෑ නොවෙන පරමාදර්ශී සීමාවන් වාස්තු විද්‍යාව තුළින් ළඟා කරගෙන දිළිසෙන මාබල්, රන් රිදී හැඩ වැඩ, ග‍්‍රීක හෝ ඉතාලි මැඳුරු හරිම හුදකලා සහ අලස බවින් යුතුයි කියන එකයි මගේ අදහස.
ඒ ගැන අපි හැමෝම සෑහෙන්න කතාකරල තියෙන නිසා අමුතුවෙන් තේරුම් ගන්න දෙයක් නැහැ. මම මේ තව අඩියක් එහාට යන්නයි හදන්නේ. විශේෂයෙන් ගෙදරකට, ඒ කියන්නේ පුදගලික පරිහරණය සඳහා නිර්මාණයවෙන ගොඩනැඟිල්ලකට පූර්ව මතිමතාන්තර අදාළ නොවිය යුතුයි. අදාළ වියයුත්තේ, දේශගුණය, නිවැරදි වාතාශ‍්‍රය, හිරු එළිය, ආරක්ශිත බව, සුවපහසුව, ගොඩනැඟිල්ල ඉදිවන ප‍්‍රදේශය සහ ගොඩනැඟිල්ල තුළ පැවතිය යුතු ගතිසොබාව වගේ අත්‍යාවශ්‍ය කරුණු විතරයි. ඒ ඇරෙන්න අනික් සියලූ‍ම දේවල් වෙනස් ආකාරයේ පෙළඹවීම වියහැකියි. මම මෙතනදී වියදම ගැන සඳහන් නොකලේ වියදමෙහි අඩු වැඩි බව ගොඩනැඟිල්ලක මූල්‍යමය වටිනාකම වැඩිකිරීමට වඩා එහි ගතිසොබාව නැත්නම් මූඞ් එක තහවුරු කිරීම සඳහා භාවිතා කළයුතුයි කියන අදහසකින්. කොහොමත් අතේ තියෙන මුදල සීමිතනම් ‘‘‍ගෙයක්”‍ කියන අදහස සම්පූර්ණයෙන්ම ඔළුවෙන් ඉවත්කරගෙන ඉතාම කුඩා ප‍්‍රමාණයේ වෙනස්ම වෙනස් අපූර්ව ‘‘‍ගෙයක්”‍ නොවන දෙයක් නිර්මාණය කිරීම තමයි කළයුතු හොඳම දේ.

‘‘‍තුට්ටු දෙකට ගන්නත් ඕනෙ, අස්සයා ඉස්තාලෙට උඩින් පන්නනත් ඕනෙ”‍ වගේ එකක්නම් හරියන්නෙම නෑ. (මේක අපි වැඩකරන ඉන්ජිනේරුවෙක් නිතරම මතක් කරන කතාවක්). අස්සයෙක් ඉස්තාලෙට උඩින් පන්නන්න ඕනෙ නෑ, හොඳ වේගෙකින් දුවල කරල හිටියහම ඇති. ගොඩනැඟිල්ලකටත් එහෙම තමයි.

අමුතු විදිහේ අපූර්ව එහෙමත් නැත්නම් පිස්සුම පිස්සු ගොඩනැඟිල්ලක් නිර්මාණය කිරීමට මුල්වෙන්නේ ආකිටෙක්ට් කෙනෙක් නෙමෙයි, එම ගොඩනැඟිල්ලේ හිමිකරුයි. බොහෝවෙලාවට වෙන්නේ, ගොඩනැඟිල්ලක් හදන්න එන කෙනා සමාජය විසින් ආකෘතිගත කරන ලද අදහසක් හෝ අදහස් සමුදායක් සමග ආකිටෙක්ට් ළඟට යන එකයි. ඉතින් නිර්මාණකරුවා පැන්සල අතටගන්නෙම පිස්සුවක් කරන්න නෙමෙයි. තවත් සාමාන්‍ය නිවසක් සැළසුම් කරන්න. සාමාන්‍ය තැනකින් පටන් අරන් අතිසාමාන්‍ය නිර්මාණයක් කරනවට වඩා, පිස්සුම පිස්සු තැනකින් පටන් අරන් ටිකක් සාමාන්‍ය පැත්තට බරවෙන එක කොච්චරනම් හොඳයිද?

මෙතනදී නිවසක හෝ ගොඩනැඟිල්ලක ආකෘතිය, අභ්‍යන්තර අවකාශවල පිහිටුවීම, ප‍්‍රමාණය, වර්ණ, හැඩතළ, නිවසෙහි භාවිතය ගැන පවා වෙනස් කෝණයකින් බැලීම ඉතාම වැදගත්. විශේෂයෙන් ගොඩනැඟිල්ල ඉදිකරන්න වෙන්නේ අවම මුදලකින් නම් ඉහත කරුණු ගැන වඩ වඩාත් සැළකිළිමත් වීමට වෙනවා. සෑම පිළිගත් ක‍්‍රමයකට හෝ මතයකට වඩා වෙනස් ක‍්‍රම සහ මත ඕනෑම දේකට තියෙන්න පුලූ‍වන්. ඒ වෙනස හොයාගෙන නිවැරදිව භාවිතා කිරීම තමයි වැදගත්.

මෙහිදී ඉතාම ආශ්වාදජනක සහ නිර්මාණාත්මකම කොටස තියෙන්නේ අමුද්‍රව්‍ය භාවිතය තුළ. කපරාරු කර පිළිවෙල කරන ලද බිත්ති වෙනුවට, මැටි ගඩොල් පෙනුම, දළඹ මදින ලද ස්ලැබ් මතුපිට වෙනුවට රළු කොන්ක‍්‍රීට් පෙනුම, ජනෙල් වෙනුවට යකඩ ග‍්‍රිල්, ටයිල් වෙනුවට සාමාන්‍ය සිමෙන්ති, වීදුරු වෙනුවට ලී පටි ලැටිස් වගේම, බිත්ති වෙනුවට බිත්ති නැති බව, ජනෙල් දොරවල් වෙනුවට ජනෙල් දොරවල් නැති බව, පාට වර්ණක වෙනුවට ඒ ඒ අමුද්‍රව්‍ය වල ස්වභාවික පෙනුම ඉතුරුකිරීම වගේ විවිධ අත් හදා බැලීම් කල හැකියි. සරලව කිව්වොත් තමන්ට නොමිලයේ හෝ ඉතා අඩු මුදළට සපයා ගත හැකි කන්ටේනර්, ලෑලි පෙට්ටි, තහඩු, සිල්පර කොට, විදුලි රැහැන් කණු, කළු ගල්, වැනි මෙකී නොකී ඕනෑම අමුද්‍රව්‍යයක් භාවිතා කර ගොඩනැගිල්ලක්, නිවසක් ඉදිකළ හැකියි. අවශ්‍ය එකම දෙය, සම්මතය අභිබවා සිතීම, නිර්මානශීලී බව සහ නිර්භීත බවයි.

මේ කරුණු ඔක්කොම එකතු වුණාම ඒක එක වචනෙකට ගත්තොත් එන්නේ RUSTIC වගේ අදහසක්. ඒක තමයි වාස්තුවිද්‍යා වචන ගොනුවෙන් හොයාගන්න පුලූ‍වන් වචනය. නිකමට RUSTIC වචනයේ තේරුම ගූගල් ට‍්‍රාන්ස්ලේට් එකෙන් අහල බැලූ‍වොත් ඒකට එන සුන්දර සිංහල වචනය ඔබටත් හොයාගන්න පුලූ‍වන්.

සුමුදු අතුකෝරල