ක්‍රිස්තු භක්තිකයන්ගේ පැරණි සහ නව තෙස්තමේන්තු සහිත බයිබලය, ඉස්ලාම් ආගමිකයන්ගේ කුරාණය, හින්දූන්ගේ වේද ග්‍රන්ථ, බොදුණුවන්ගේ ත්‍රිපිටකය යනාදිය සාමයික ග්‍රන්ථ වශයෙන් සැලකෙතත් ඒ එකිනෙකක් හා බැඳුණු සාහිත්‍යයක් ද පවතී. බොහොමයක් ආගමික ශාස්තෘවරුන් විසින් අනුමත කර ඇත්තේ මානවයාගේ හිත සුව පිණිස වන සාමකාමී පැවතුම් සහ සංකල්පයන් ය. එහෙත් 1920දී පමණ ජර්මනියේ ආරම්භ වූ නරක ආගමකැයි කිව හැකි නාසිවාදය කිසිසේත් ම මිනිස් සුබසෙත සඳහා වූවක් නොවන බවත්, යුදෙව් විරෝධී අන්තවාදයෙන් බලගැන්වුණු පූර්ණ පැසිස්ට්වාදී මිනීමරු න්‍යායවාදයක් බවත් ලොවම දනී. එය උත්කර්ශයට නංවමින්, මිනිස් ජීවිත මිලියන 85ක් බිලි ගත් දෙවන ලෝක යුද්ධය ආරම්භ කළ ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් යනු ලොව බිහිවූ කුරිරුතම පාලකයා බවද අපි දනිමු. ඔහු විසින් 1925 දී රචනා කළ “මෙයින් කැම්ෆ්” (Mein Kampf) නම් ස්වයං චරිතාපදානයෙන් විග්‍රහ කරන ලද්දේ ඔහුගේ යුදෙව් විරෝධී ආස්ථානය සහ දේශපාලන දර්ශනයයි. මේ කෘතියත්, එහි කර්තෘත් ජර්මනිය සම්පූර්ණයෙන් වෙනස් කොට, එය ලෝක ආධිපත්‍යය දිනා ගැනීම උදෙසා සටන් වදින උමතු දඩ බල්ලෙකු බවට පත් කරන ලදී.

මුලින් හිට්ලර්ට අවශ්‍ය වූයේ තම කෘතිය, “බොරු, මෝඩකම් සහ බියසුළුකම්වලට එරෙහිව අවුරුදු හතර හමාරක් තිස්සේ කළ අරගලය” ලෙස නම් කිරීමටය. එහෙත් ප්‍රකාශකයාගේ යෝජනාවක් අනුව එය “මගේ සටන” යන අර්ථය ඇති “මෙයින් කැම්ෆ්” ලෙස නම් කෙරිණි. පසු කලෙක හිට්ලර් විසින් සිදු කළ යුදෙව් සංහාරය (the Holocaust) පිළිබඳ මූලික අදහස් මේ කෘතියේ අඩංගුය. ඔහු ජර්මන් අධිරාජයා බවට පත් වූ පසු ‘මෙයින් කැම්ෆ්’ කෘතියට විශාල ඉල්ලුමක් ඇති කරන ලද අතර සටන් පෙරමුණේ සිටින සෑම සෙබළෙකුටම සහ අලුතින් විවාහ වන සෑම යුවළකටම ඉන් පිටපතක් බැගින් ලබා දෙන ලදී. සිය කෘතිය එසේ ජනගත කළ හිට්ලර්, ජර්මානු නාසි ශිෂ්‍ය සංගමය ලවා ‘පොත් ගිනිබත් කිරීමේ ව්‍යාපාරය’ ක්‍රියාත්මක කරමින් සියලු සමාජවාදී, විද්‍යා, ලිබරල්වාදී පොත් ඇතුළු ලෝ ප්‍රකට ලේඛකයන්ගේ පොත් දවා හළු කළේය.

යුදෙව් ජීවිත මිලියන හයක්ද, සෝවියට් සිවිල් වැසියන් සහ යුධ සිරකරුවන් මිලියන දහයක්ද, පෝලන්ත ජීවිත මිලියන දෙකක් හා සර්බියානු ජීවිත තුන් ලක්ෂයක්ද නසා දැමූ  හිට්ලර් අවසානයේ රතු හමුදාවන්ට මුහුණ දිය නොහැකිව සිය හිසට වෙඩි තබා ගෙන සිය ජීවිතයද අවසන් කරයි. දෙවන ලෝක යුද්ධය නිම වූ පසු ‘මෙයින් කැම්ෆ්’ කෘතියේ අයිතිය ලබා ගත් බාවේරියා ප්‍රාන්ත රජය එම පොත තහනම් කළේය. දශක හතකට පසු 2016දී එය නැවත මුද්‍රණය කිරීම ජර්මනිය තුළ යුදෙව් කණ්ඩායම්වල බලවත් විරෝධයටත්, මහජන වාද විවාද වලටත් හේතු විය.

හිට්ලර්ගේ චරිතාපදානය ගැන ඉහත විස්තර කියන්නට සිදු වූයේ ඒ යුගය හා සම්බන්ධ තවත් චරිතාපදානයක් ඒ ළඟ තබා විමසීම වැදගත් වන බැවිනි. වසර පණස් හයක් ජීවත් වූ හිට්ලර් මිය ගියේ 1945 අප්‍රියෙල් මාසයේදීය. ඊට මාස දෙකකට පමණ පෙර වසර පහළොවක් ජීවත් වූ ඇනලීස් මාරි ෆ්‍රෑන්ක් හෙවත් ඈන් ෆ්‍රෑන්ක් මිය ගියේ ‘බර්ගන්-බෙල්සන්’ නම් යුදෙව් සමාහරණ කඳවුරේදීය. ඈන් ෆ්‍රෑන්ක්ගේ දින සටහන් හෙවත් “දැරියකගේ දින පොත” (The Diary of a Young Girl) ලෝකයේ සෑම වැසියෙකුම කියවිය යුතු පොතකි. හිට්ලර්ගේ අන්තවාදයට බිලි වූ ඇගේ පවුලෙන් දිවි ගළවා ගත් එකම තැනැත්තා වූ ඇගේ පියා, මොටෝ ෆ්‍රෑන්ක් විසින් ඇගේ සංවේදී දිනපොත පළ කරනු ලබන්නේ නාසි උමතුවෙන් සැඟවී සිටිමින් ගත කළ භීම සමය පිළිබඳ සිය මිය ගිය දියණිය තැබූ සටහන් මානවවාදී ලෝකයකට දායාද කරමිනි.

දෙවන ලෝක යුද්ධ වටපිටාවේ මිය ගිය මිලියන ගණනක ජනකාය අතර ඈන් ෆ්‍රෑන්ක් සදානුස්මරණීය චරිතයක් බවටත් පත් කරන ලද්දේ ඇගේ පෞද්ගලික දින සටහන්ය. 1999දී ටයිම් සඟරාව විසින් ඇයව විසිවන සියවසේ වැදගත්ම පුද්ගලයන් ලැයිස්තුවට ඇතුළත් කරනුයේ මෙවන් සඳහනක්ද සමගිනි. “කුටීරයක රහසින් තබාගත් කුඩා දිනපොතකින් ඇය නාසීන්ට පහර දී ඇත්තේ මානව ගරුත්වය උදෙසා කෙරෙන සටන වෙනුවෙන් ප්‍රබල හඬක් නංවමිනි.” අද වන විට ඇය වෙනුවෙන් තැනුණු ස්මාරක, සැමරුම් නිවෙස්, ඇය ගැන ලියවුණු පොත්, තැනුණු චිත්‍රපට  යනාදිය බොහෝය.

සිය පවුල, මිතුරියන්, අධ්‍යාපනය, මිනිසුන්ගේ හැසිරීම, තමා අත්විඳින පාළුව සේම ඒ ඛේදනීය යුගය දහතුන් හැවිරිදි යුදෙව් දැරියකට දැනුණු ආකාරය පිළිබඳවද අතිශය අවංක ප්‍රකාශනයක් වූ ඇගේ දිනපොත මනාව ගොඩ නැගූ නවකතාවක් සේ ආකර්ශනීය වූ සේම කටුක සත්‍යය මගින් අනුවේදනීය බවටද පත් විය. සත්‍යය බව දනිමින් එය කියවීම වේදනාත්මක අත්දැකීමක් බව සැබෑය. එහෙත් එය කියවන්නැයි නොකියවූවන්ගෙන් ඉල්ලමින් ඇගේ ලියවිල්ලෙන් බිඳක් මෙහි තබන්නට හැකිවීම සතුටකි.

“1942 අගෝස්තු 21 දැන් අපේ රහස් ඇනෙක්සිය ඇත්තටම රහසක් වෙලා. හංගපු බයිසිකල් හොයන්න ගොඩක් ගෙවල් පරීක්ෂා කරන හින්දා අපි ඉන්න තැනට ඇතුල්වෙන දොරට පොත් රාක්කයක් හරස් කරන එක හොඳ බව කුග්ලර් මහතා හිතුවා. ඒක සරනේරුවලින් දොරක් වගේ එළියට ඇරෙන එකක්. ඒක හැදුවෙ වොස්කුජිල් මහතා. අපේ පවුලේ හත්දෙනාම හැංගිලා ඉන්න බව එයාට කවුදෝ කියලා. අපට වැඩියෙන්ම උදව් කරන්නෙ එයා තමයි.”

ලක්ශාන්ත අතුකෝරල