මිනිමැරීම, සොරකම, බොරුව, වංචාව, ස්ත‍්‍රී දුෂණය, ළමා අපචාර, මත්ද්‍රව්‍ය වෙළඳාම යනාදිය රටක නීති පද්ධතිය අනුවත් ඕනෑම ශීලාචාර ආගමකට අනුවත් වැරදිය. විචාර බුද්ධිය මෙහෙයවා කල්පනා කරන කෙනෙකුට අනුවත් එය එසේමය. විවෘත ආර්ථිකයේ ආගමනයත් සමඟ ආරම්භ වූ මහා පරිමාණව සිදුවන එවැනි අපරාධ පසුගිය කාලයේ උච්ඡුස්ථානයටම පත්වී තිබුණි. වර්තමානයේද එම තත්ත්වයේ වැඩි වෙනසක් නැත. සුළු පරිමාණයෙන් තනි සිද්ධි වශයෙන් සිදුවන අපරාධ ද වැඩි වෙමින් තිබේ.

අපේ රටේ ඉතිහාසය තුළ එකවර වැඩිම ප‍්‍රමාණයක් මනුෂ්‍යයන් ඝාතනයට ලක් වූ යුද්ධය හඳුන්වනු ලබන්නේ මානුෂික මෙහෙයුම නමිනි. එයට මුවාවී රටේ සම්පත්වලින් විශාල ප‍්‍රමාණයක් දුසැරිය හරහා සොරකම් කළ අය සදාකාලික දේශපේ‍්‍රමීන්ය. දේශපාලන පක්ෂ හැටියට ඉදිරිපත් කරන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සිට පළාත් පාලන මට්ටමේ දේශපාලකයා ගමේ දියුණුවට විවිධ දේ කරනවා යයි දෙනු ලබන පොරොන්දුද දක්වා වැඩිමනත් බොරුය. එහෙත් මොවුහු ගරුකටයුතු දේශපාලකයෝය.

පිච්චමල් පූජාව, නිසැක ධාතු වන්දනා සිය දහස් නමකට කෙරෙන දානමාන යනාදි මෙගා (මහා පරිමාණ) පුද පූජාය. ප‍්‍රාතිහාර්ය දේව මෙහෙය හා ආශීර්වාද පූජා වැනි ඒවා පවත්වනු ලබන්නේ දහස් ගණනකගේ සහභාගිත්වයෙනි. පිටරටින් දේශකයෝ පූජකයෝ පැමිණති. විවිධ මුහුණුවර ගත් මෙගා යාඥා මෙහෙයයන්ද තිබේ. පෙරහැර, වේල් උත්සව වසරින් වසර ප‍්‍රසාරණය වෙමින් තිබේ. බොහෝ විට මෙගා ආගමික උත්සවවලට මෙගා ලෙවල් අපරාධකරුවෝ අනුග‍්‍රහය දක්වති. ඒවා හරහා වරප‍්‍රසාද, වරදාන ලබා ගන්නා පූජකකාරකආදින් ඔවුන්ට ගැතිය. ‍

රටේ නීතියට අනුව තමුන් කරන වැරදිවලට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක වුවහොත් ලැබෙන දඬුවම් කවරාකාරදැයි මෙගා අපරාධකරුවෝ හොඳාකාරවම දනිති. එමෙන්ම ලෝකයේ ආගම හා බැඳි වැඩිම ජන ප‍්‍රතිශතයක් සිටින රටවල් කීපයෙන් එකකි ලංකාව. එනිසා මෙහි සිටින මෙගා අපරාධකරුවෝද තමන් කරන අපරාධවලට ලබන ආත්මයේ හෝ මේ ආත්මයේ තමන්ටම නැතහොත් තම දරුමුණුබුරන්ට විඳවන්නට සිදුවෙතැයි විශ්වාස කරති. එනිසා පව් පටිසන් දීමෙන් වැළකීමේ ආරක්ෂක ක‍්‍රමවේදයක් ලෙස ඔවුන් මෙගා පූජාවල ආයෝජනය කරති. මෙම තමුනට වාසිදායක වාතාවරණය යටතේ ගැති පූජකයෝ මෙගා අපරාධකරුවන් විසින් කරනු ලබන විවිධාකාර වූ අපරාධ; වැරදි බව වත් දේශනා කරන්නේ නැත. එමෙන්ම එසේ නොකරන්නැයි රහසින්වත් අවවාද කරන්නේ ද නැත.

මිනිසුන් දහස් ගණනක් මරාදැමීමට වගකිවයුත්තන් වීරයන් ලෙස සමාජ ගතකරන්නටත්, බිලියන ගණන් ජනතා ධනය සොරකම් කළ අය සත්ගුණවත් දානපතියන් කරන්නටත්, කුඩු මුදලාලිලා සමාජ ශෝධකයන් ලෙස හඳුන්වන්නටත් සෑහෙන මෙහෙවරක් මෙවැනි ගැති පූජක පක්ෂය කරති.

එහෙත් ඔවුන්ගේ දේශනාවලදී කුඩා පරිමාණ අපරාධකරුවන් එල්ලන්නට, හිටිපස් ගැහීම වැනි රජකාලයේ දඬුවම් දෙන්නට යෝජනා කරති. හදිසි කෝපයට හෝ ආත්මාරක්ෂාවට ගැසූ පහරකින් මරණයක් වුවහොත් ඒ පුද්ගලයා දරුණු මිනීමරුවෙකි. සතුන් දඩයම් කරන අය හා වගාවටත් තම ජීවිතවලටත් හානි කරන සතුන් මරාදමන අය මහා පව්කාරයෝය. නැති බැරිකමට හෝ ඇබ්බැහියට සොරකම් කරන අය මහා හොරුය. කසිප්පු පෙරන මිනිසුන් මහා සමාජ විරෝධීහුය. මොවුන් කරන අපරාධවල ප‍්‍රතිඵල විඳිනුයේ සුළු පිරිසක් නිසා ඔවුන් කුඩා පරිමාණ අපරාධකරුවන්යැයි හැඳින්වූවාට වරදක් නැත. උසස් හා මධ්‍යම පන්තික ජීවන රටාවක් ඇති මහා පරිමාණ අපරාධකරුවා සත්ගුණවත් පිංවතෙකු ලෙස හඳුන්වන ගැති පූජකයාට අනුව සාමාන්‍ය හෝ පහත් ජීවන රටාවක් ඇති කුඩා පරිමාණ අපරාධකරුවා මෙලොව පරලොව දෙකම නැති කරගන්නා සමාජයෙන් අතුගා දැමිය යුතු එකෙකි. ගැති පූජකයන්ට අනුව ලොකු එවුන් ලොකු අපරාධ කළාට කමක් නැත. පොඩි එවුන් හොඳට හිටියොත් සේරම හරිය. කුඩා පරිමාණ අපරාධකරුවන්ට දඬුවම් දෙන්නට, එල්ලන්නට කථා කරන පූජ්‍ය පක්ෂය මතු ආත්මවලදී පවා ඉන් ලැබෙන ආදිනවද චිත‍්‍රණය කරමින් අවවාදාත්මක (තර්ජනාත්මක) දේශනා ද පවත්වති. මෙම පිරිසගේ හැම කටයුත්තක් දෙසම විචාරශීලීව බැලූ‍වොත් ලියන්නට කියන්නට වන්නේ මෙවැනි දේවල්මය.

කෙසේ වුවද කිසියම් හෝ අවබෝධයක් ඇති රටේ බහුතර ගිහි ජනතාව මහා පරිමාණ අපරාධකරුවන් හෝ කුඩා පරිමාණ අපරාධකරුවන් රකින්නට වත් දෙගොල්ලන්ට දෙයාකාරයකින් සලකන්නට වත් යෝජනා කරන්නේ නැත. කුඩා පරිමාණ අපරාධකරුවන් දහස්ගණනක් රටට කරන හානිය මෙන් කීප ගුණයක, කීප ආකාරයක, දිගුකල් පවත්නා හානි එක් මහා පරිමාණ අපරාධකරුවකු විසින් කරන බව නම් ඔවුහු දනිති. එනිසා ඒවාට එරෙහිව හැකි තරමින් ඔවුන් ක‍්‍රියා කරති.

පි‍්‍රයදර්ශනි ආරියරත්න