අටුළුගම ගැන ලියනවා යනු දැලිපිහියෙන් කිරි කනවා වැනි වැඩකි. චුට්ටක් එහෙට මෙහෙට වුණොත් සංහිඳියාවට කෙළවන්නට මානබලන ජාතිවාදී අමනයෙකු වන්නට පුළුවන් ය. එය එසේත් නැතිවුණොත් මුසල්මානුවන්ට කඬේ යන සංජීව මොහොමඞ් කෙනෙකු වෙන්නට පුළුවන් ය. එහෙත් සත්‍යය මගේ පැත්තෙනුත් වාර්තා කළ යුතුයැයි සිතෙයි. ඒ නිසා කරුණු සෙව්වෙමි. ඒ කරුණු මේ විදිහට එක පෙළට ඇමිණුවෙමි.


අබ්දුල් හසන් ෆාතිමා හයිෆාගේ කතාව


‘අපේ ගම් මෙහෙ නෙවෙයි බේරුවල මරදානේ. සුනාමියට ගෙවල් ලැබිලා බණ්ඩාරගම අටුළුගමට ආවා. මං කොළඹ රස්සාවක් කළා. එහෙම ඉන්නකොට තමයි 2005දී මට මගේ සිංහල මහත්තයා හමු වුණේ. අපි 2008දී විවාහ වුණා. ඊට පස්සේ අපි මගේ ගෙදර ගියා. මහත්තයා තඹුත්තේගම. ගෙදර ගියාම සිංහල කෙනෙක් බැඳලා ඉන්නෙ කියලා අපිට පල්ලියෙන් සෑහෙන්න කරදර ආවා. මහත්තයාට කිව්වා ආගම මාරු කරන්න කියලා. මහත්තයා කැමති වුණේ නෑ. මම කැමති උනෙත් නෑ එයා ආගම වෙනස් කරනවාට. එයත් කැමති උනේ නෑ මම මුස්ලිම් ආගම අතාරිනවාට. ඉතිං අපි දෙන්නා බඳින්න කලින් හිටියා වගේම හිටියා. ඒක පල්ලියට හරි ගියේම නෑ. ඊට පස්සේ අපිව එළවන්න හැදුවා. මහත්තයාට තර්ජනය කළා. ඊට පස්සේ අපි ඉන්න බැරිම තැන මාලබේ පදිංචියට ගියා. ඒත් දරුවා හම්බ වෙන්න එනකොට මට අටුළුගම අම්මා ගාවට එන්න උනා. ඊට පස්සේ මහත්තයා මාව බලන්න ආවේ ගමට හොරෙන් රාත‍්‍රියේ.


අපි සෑහෙන්න අමාරු කාලයක් ගත කළේ. අපි මේවා පොලිසියට පැමිණිලි කළත් පොලිසිය බැලූවේ නෑ. පස්සේ මහත්තයා රට ගියා. ඊට පස්සේ පල්ලියෙන් මට කිව්වේ මිනිහා අමතක කරන්න කියලා. දරුවෝ භාරගන්න සහ කසාද බඳින්න මුස්ලිම් කෙනෙක් හොයලා දෙන්නම් කියලාත් කිව්වා. ලොකු ලොකු හාජ්ජියාර්ලා පවා එක එක යෝජනා ගෙනාවා. මෙහෙම දිගටම කරදර වුණා. මම ඒත් ඉවසගෙන ජීවත් වුණා. මම කවදාවත් මූණ වහන්න උනන්දු වුණේ නෑ. බයික් පැද්දා. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නාම ගැහැනු ළමයි. එයාලා දෙන්නාම සිංහල ඉස්කෝලවලට යන්නේ. ඉතිං මම කළු ඇන්දෙ නෑ. පල්ලියට මේකත් ලොකු ප‍්‍රශ්නයක් වුණා. මම බයික් පදිනකොට අනික් මුස්ලිම් ගෑනුත් ඒවාට පෙළඹෙයි කියලා පල්ලිය බයවුණා.’

ෆාතිමා හයිෆා තමාගේ කතාව මාධ්‍යට කියන්නේ මෙසේය. මේ කතාව මෙලෙස මාධ්‍ය ඉදිරියට එන්නේ බොදු බල සේනාවේ හෙළිදරව්වක් ලෙසය. එනිසා බොහෝ දෙනෙකු සිතුවේ මුස්ලිම් කාන්තාවක යොදාගනිමින් මුස්ලිම් සමාජයට මඩ ගැසීමට සහ අටුළුගමට ගිනි තැබීමට ඥානසාර හිමි ප‍්‍රමුඛ කණ්ඩායම මේ හරහා උත්සාහ කරන බවය. කාන්තා අයිතිවාසිකම්, මානව හිමිකම් පිළිබඳව ඕනෑම වෙලාවක හඬ අවදි කිරීමට බලාගෙන සිටින මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්ද මේ කාන්තාව වෙනුවෙන් සිට ගත්තේ නැත. ඒ බොදු බල සේනාව මේ කාන්තාව පිටුපස සැඟවී නූල් සූත‍්‍ර ආගමික අන්තවාදී දේශපාලනයක් කරනවා යැයි සාධාරණ සැකයකින් වන්නට ඇත. එහෙත් මේ ගමේ සිංහල කාන්තාවන් කණ්ඩායමක් යොදාගෙන මෙම කාන්තාවගේ ඇත්තට විරුද්ධ ඇත්තක් සමාජගත කරන්නට වූ විට මේ චිත‍්‍රයේ තවත් අඳුරු පැත්තක් එළියට ආවේය. ඒ පිළිබඳව කතාකිරීමට ප‍්‍රථම අප නැවත ෆාතිමාගේ කතාවට යා යුතුය.


‘2011 රට ගිය මගේ මහත්තයා ආවාට පස්සේ ආයිත් නිතරම පල්ලියෙන් සීඩි තැටි පොත් එහෙම ගෙනත් දීලා ආයිත් ආගමට එන්න කියලා බලපෑම් කරන්න පටං ගත්තා. අවුරුදු 33ක් පැවිදි වෙලා හිටපු හිමිනමක් ඉස්ලාම් ආගමට ඇවිත් පල්ලියේ පූජකවරයෙකු වෙලා ඉන්නවා කියා බලන්න කියලා සීඞී තැටියක් ගෙනත් දුන්නා. ඊට පස්සේ ඉතිං ආයිත් පුරුදු විදිහටම කරදර වුණා.


ඊට පස්සේ මේ මාර්තු 24 රාත‍්‍රියේ තමයි ලොකුම සිද්ධිය වුණේ. එදා දුව පන්ති ගිහිං ? අටට විතර තමයි එක්කරගෙන ආවේ. එදා ? පල්ලියේ පිරිස ගේ වටේටම ඇවිත් හිටියා. නිවෙසට තට්ටු කරලා දොර අරින්න පල්ලියෙන් ආවේ කියලා කෑගැහුවා. එයාලා කිව්වේ නීතිය කරන්න ආවේ කියලා. අපි හොඳටම බය වුණා, මමයි දුවලා දෙන්නායි අම්මයි ගේ ඇතුළට වෙලා ඇඬුවා. ඊට පස්සේ ගෙදර වහලෙන් එබිකම් කළා. අපි අඬන හැටි වීඩියෝ කළා. කොහොම හරි අපි අඬන හැටි වීඩියෝ කරන්න පිරිස ගේ ඇතුළට රිංගන්න ආවා. මං 119ට කෝල් කළා. පැය එකහමාරක් විතර ගියාට පස්සේ පොලිසිය ආවා.

පොලිසියත් එක්කම එළියේ හිටිය සෙනඟත් ගේ ඇතුළට ආවා. අපි බයට කාමරයට පැනලා දොර ලොක් කර ගත්තා. මම බය වැඩිකමට දොරට ජුකී මැෂිමත් තිබ්බා. ඒත් එයාලා කාමරයේ දොර කැඩුවා. කඩලා අපිව එළියට ඇදලා ගත්තා. පොලිසිය ඔහේ බලාගෙන හිටියා. ඊට පස්සේ මට හොඳටම ගැහුවා. මගේ ඇඳුම් ඉරුවා. අපි පාර දිගේ පයින් අරං ගියා. ඒ මිනිස්සු අපිව වීඩියෝ කළා. මගේ දරුවෝ දෙන්නා හොඳටම බයවෙලා. ඊට පස්සේ අපි ත‍්‍රීවිලර් එකක බණ්ඩාරගම පොලීසියට ගියා. මාව කූඩුවට දාන්නමයි හැදුවේ. ළමයි දෙන්නාගේ කෑගැහිල්ලටම තමයි මාව කූඩුවට දැම්මේ නැත්තේ.’


ඇයගේ කතාවට අනුව මෙම සිද්ධිය වන අවස්ථාවේ මෙම ස්ථානයට, ඇයගේ නිවසට පොලිස් නිලධාරීන් 4 දෙනෙකු පැමිණ ඇත. ඒ ඇය 119ට කළ දැනුම් දීමටද නැතිනම් අටුළුගම මාරාව පල්ලියේ මෙම මෙහෙයුම පිළිබඳ දැනුවත් කිරීමට දැයි අප දන්නේ නැත. කෙසේ හෝ පොලිස් නිලධාරීන් පැමිණියත් රාජකාරි කර ඇත්තේ ඇයගේ නිවසට බලහත්කාරයෙන් පැන්න දාමරිකයෝය. එම අවස්ථාවේ නිවස ඇතුළත සිදුවන සියල්ල වීඩියෝ ගතකළ පිරිසට පිංසිදුවන්නට ඒ සියල්ල ඕනෑම කෙනෙකුට නැරඹිය හැකිය. එහෙත් මොකද්දෝ කරුමයකට බොදු බල සේනාව මෙම සිද්ධිය අතට ගන්නා තෙක් බණ්ඩාරගම පොලීසිය සිට ඇත්තේ හොර නින්දකය.


‘මගේ මහත්තයා පාන්දර දෙක වෙනකොට පොලිසියට ආවා. ඒත් ගෙදර යන්න දුන්නෙ නෑ. එදාම හවස දෙකටයි ඇප දුන්නේ. ඒත් පල්ලියේ කට්ටිය ගෙදර වට කරගෙන හිටපු නිසා අපි මගේ යාළුවෙකුගේ ගෙදර දවස් හතරක් ගිහිං හිටියා. මම මේ ගැන පොලිසියේ පැමිණිලි නවයක් දැම්මා. ඒ කිසිම පැමිණිල්ලක් විභාග කළේ නෑ. මං ගියා ඒඑස්පී ඔෆිස් එකට තුන්පාරක්. ඊට පස්සෙ අපේ‍්‍රල් 6 වැනිදා තමයි මුල් වරට පැමිණිල්ල විභාග කළේ. එදා මායි, මහත්තයායි අම්මායි ළමයි දෙන්නායි අපි කට්ටියම ගියා. පල්ලියේ භාරකාර හතර දෙනෙක් ඇවිත් හිටියා. ඕඅයිසීි මහත්තයා ගම් සභාවක වගේයි තමයි ප‍්‍රශ්නය කතා කළේ. එයාලා කිව්වේ 28,000ක් දෙන්නම් කැඩිච්ච ගෙවල් දොරවල් හදාගන්න කියලා. එතනින් ඒක ඉවරයි. අන්තිමට ජූනි 20 තමයි පොලිසිය මේක ගැන හරියට බලලා මොනවා හරි කළේ.’


ඇයගේ කතාව මේකය. හාමුදුරුකෙනෙකු තර්ජනාත්මකව මාධ්‍ය හමුවක් තබා මුළු රටේම අවධානය මෙම කාන්තාවගේ දෙසට යොමුකරන තුරු බණ්ඩාරගම පොලිසිය කළේ හොරගල් ඇහිඳීමය. දැන් පොලිසිය හරිම උනන්දුය. මෙම කාන්තාව එම බිහිසුණු සිදුවීම වෙන අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයන් විසිදෙදෙනෙකු පිළිබඳව පොලිසියට තොරතුරු ලබා දී ඇත. ඒ අනුව පොලිසිය ක‍්‍රියාත්මක වී ජූනි 19 වැනි දිනයේදී මුස්ලිම් ජාතිකයින් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසු දින අධිකරණයට ඉදිරිපත් කරන්නට කටයුතු කළේය. එහෙත් ප‍්‍රධාන සැකකරුවා සමග ඉතිරි පුද්ගලයන් අත්අඩංගුවට ගන්නට බණ්ඩාරගම පොලිසියට හැකියාව ලැබෙන්නේ නැත. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පිරිස පාන්දුර මහේස්ත‍්‍රාත් චන්දන කලන්සූරියගේ නියෝග ප‍්‍රකාරව ජූලි 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවී පසුව දැඩි ඇප කොන්දේසි මත ඇප ලබා ඇත.


එහෙත් මෙම සැකකරුවන් අත්අඩංගුවට පත්වූ පසුවද මෙම කාන්තාවගේ නිවසට ගල් ප‍්‍රහාරයන් එල්ලවී ඇත. එම සිදුවීම පිළිබඳව පැමිණිලි පාර්ශ්වය අධිකරණය දැනුවත් කර ඇති අතර ඒ අනුව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතේ ප‍්‍රතිපාදනයන්ට අනුව කටයුතු කරන්න යැයි අධිකරණය බණ්ඩාරගම පොලිසියට උපදෙස් ලබා දී ඇත. ඇයගේ කතාව මෙලෙස කියවෙන විට සහ අප එම කතාව මෙලෙස ලියන විට අටුළුගම ගමේ කතාව කුමක්ද?..


අටුළුගම ගමේ කතාව


බොදු බල සේනා සංවිධානයේ මෙම ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවට පසුව මෙම කතාවේ ඇත්තම ඇත්ත මේක යැයි නොයෙක් වීඩියෝ සමාජ මාධ්‍යට නිකුත්වන්නට විය. ඊට අමතරව අටුළුගම ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලිවල මව්ලවිතුමන්ලාද විශේෂ මාධ්‍ය හමුවක් තබා, ඇත්තම ඇත්ත මේකයැයි කීවෝය. ඒ ඇත්ත කුමක් ද? අපි සොයා යමු.


මොකද්ද ඇත්ත? ‘මේ ගෑනි රස්සාවට කළේ ඇඟ විකුණන එක. මිනිස්සු ගෙදරට ගෙන්න ගත්තා. මෙයා මොනා කිව්වත් මෙයා ඉස්සර මුස්ලිම් කෙනෙක් බැඳලා හිටියා බේරුවල ඉන්නකොට. ඊට පස්සේ ඒක අතෑරලා තමයි මේ සිංහල කෙනාව බැන්දේ. ඒ බැඳලාත් ඒ මනුස්සයා ඉන්නකොටම වෙන මිනිස්සු ගෙදරට ගෙන්න ගත්තා. අපිට අපේ ළමයි හදාගන්න ඕනෑ. මේ මනුස්සයා ගමේ හිටියොත් ඒක කරගන්න බෑ. අනික ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නේ. මේ ළමයි ලොකු වෙනකොට අපිට අපේ පිරිමි ළමයි වුණත් පරිස්සම් කරගන්න බැරිවෙයි. අපි මේ දේවල් අතාරින්න කියලා මේ මනුස්සයාට කටකැඩෙනකම් කියලා ඇති. ඔය සිද්ධිය වුණේ, එදා ගමේ අයට ආරංචි වුණා මනුස්සයා නැති අතරේ මේ ගෑනි වෙන මනුස්සයෙක් ගෙදරට ගෙන්නගෙන කියලා. ඊට පස්සෙ තමයි ගමේ අය එකතුවෙලා ගේ වට කළේ. ඊට පස්සේ ගේ ඇතුළේ මොකද වෙන්නේ කියලා බැලූවා. ඒ මනුස්සයා ඒ වෙලාවෙ ගේ ඇතුළේ හිටියා. පොලිසිය ආවාට පස්සේ හූ තියතියා තමයි අරං ගියේ. පොලිසියට කෝල් කරලා පොලිසිය ගෙන්නුවා. ගෙදරින් එළියට ගන්නකොට පොඩි ප‍්‍රශ්නයක් වුණා තමයි. ඒත් ඔය කියන තරම් හිරිහැරයක් නම් වුණේ නෑ. පොලිසියට වුණත් ජීප් එකේ නෙවෙයි එක්කරගෙන ගියේ. ත‍්‍රීවිලර් එකක තමයි එක්කරගෙන ගියේ. අපි ළඟ ඒ වීඩියෝ සේරම තියෙනවා ඕනෑනම් පෙන්නන්න පුළුවන්’.


මේ ගමේ කතාවය. මේ කතාවත් දැන් කියන්නේ බේරුවල මුහුද අයිනේ සිට සුනාමිය නිසා අටුළුගමට පැමිණි පවුල් 12ක් පමණ වන සිංහල ගෙදරක කාන්තාවක් ය. ඇයගේ මේ කතාවට සමාන බොහෝ කතන්දර දැන් සමාජ මාධ්‍යයේ ඕසෙට හුවමාරු වෙමින් තිබෙන්නේය. ඒ හැම වීඩියෝ එකකම අවසාන බලාපොරොත්තුව මෙම වින්දිත කාන්තාව ලිංගික ශ‍්‍රමිකයෙකු කියා ගැරහීමය. සල්ලිවලට ඇඟ විකුණනවා යැයි කියා සමාජය ඉදිරියේ ඇයට අවමාන කරන මේ සිංහල ගැහැනුන් ද මුස්ලිම් ගැහැනුන් ද කණ්ණාඩියක් ඉදිරියට ගොස් තමන්ගේ හදවත සමග සංවාදයක් ඇරඹිය යුතුය. පොලිසියද මෙම ගමේ ගැහැනුන්ගේ සහ පල්ලියේ පූජකයන්ගේ මග යමින් මේ ගැහැනියට උපදෙස් දී ඇත්තේ වහාම පදිංචිය මාරු කරන ලෙසය. අහෝ පොලිසියට ගිය කල!!


මගේ කතාව


ෆාතිමා හයිෆා, ඇය කියන විදිහට ඇය දැන් බොහෝ කාලයක් අටුළුගම මුස්ලිම් පල්ලිය සමග තමන්ගේ පුද්ගලික ජීවිතයේ නිදහස වෙනුවෙන් සටන් කරන්නීය. ඇය තමන්ට ජීවත්වන්නට රිසි මිනිසෙකු තමන්ගේ ආගමට පිටතින් සොයා ගන්නීය. ඊට අමතරව මුස්ලිම් ආගමේම සිටිමින් බෞද්ධ ආගමේ පිරිමියෙකු සමගින් සිය ජීවිතය බෙදාහදා ගන්නීය. පල්ලිය කියන ලෙස ඇය කළු අඳින්නේ නැත. මුහුණ වහන්නේද නැත. පල්ලියේ දැඩි විරෝධය නොතකමින් යතුරු පැදියක්ද පදින්නීය. ඇය කියන්නේ ඇයගේ මෙම සටන නිසා පල්ලිය ඇයට පහර පිට පහර ගැසූ බවය. නින්දා අපහාස උපහාස හිරිහැර කළ බවය. පල්ලිය මේවාට දෙන උත්තරය කුමක් ද? ඔවුන් කියන්නේ මෙම කාන්තාව බොහෝ පිරිමින් ඇසුරු කරන දුෂ්චරිතවත් ගැහැනියක නිසා ගමක්ම එකතුකර ඇයට තරවටු කළ බව නොවේද?


පල්ලියේ පිළිතුරද ගමේ පිළිතුරුද කදිමය. ගැහැනියක තමන්ගේ නිවසේ තමන් කැමති පිරිමියෙකු සමග ලිංගිකව හැසිරුණායැයි කියමු. තත්ත්වය එය වනවිට ඒ ගමේ මිනිසුන්ට හෝ පල්ලියට හෝ පොලිසියට ඒ ගෙදරට කඩා පැන වහලයේ උළු කැට ඉවත්කර ඒ ගෙදර ඇතුළත වෙන දේවල් වීඩියෝ කරන්නට පුළුවන්ද? ඊටත් එහාට ගොස් දොරවල් කඩා නිවසට ඇතුළු වී ඒ කාන්තාවට සහ පුරුෂයාට දඬුවම් කරන්නට ඔවුන්ට තිබෙන අයිතිය කුමක් ද? ඒ කඩා වැදීම වීඩියෝ කර සමාජ මාධ්‍යයට අතෑරීමට පුද්ගලයෙකුට තිබෙන අයිතිය කුමක් ද?.. 119ට කතා කළ පමණින් පැමිණ නිවසක් තුළට හාර පන්සීයක සෙනඟක් සමග ඇතුළු වීමට පොලිසියට තිබෙන අයිතිය කුමක්ද? මෙම සිද්ධිය සමාජය මතට ගෙන එන බරපතළ ප‍්‍රශ්න මේවාය. අටුළුගම මාරාව මුස්ලිම් පල්ලියද ඒ පල්ලිය වටා ගොනුවී සිටින මුස්ලිම් ප‍්‍රජාවද, ඒ ගම සිටින සුළුතර සිංහල ප‍්‍රජාවද, බණ්ඩාරගම පොලීසියද මෙම කාන්තාවගේ ඕනෑම ප‍්‍රදේශයක නිදහසේ ජීවත්වන්නට, රැුකියාවක් කරන්නට, ආගම අදහන්නට තිබෙන අයිතිය සාමූහිකව කෙළෙසා ඇත. මෙම සිද්ධිය දෙස කුමන කෝණයකින් බැලූවත් ඇත්තම ඇත්ත එයයි.


එනිසා වරිග සභාවක් ලෙස රැුස්වී මෙම කාන්තාවගේ ජීවත්වීමේ අයිතිය උදුරාගත් මුස්ලිම්වරුන් පිළිබඳව මෙන්ම මෙම සිද්ධිය යටගසා පල්ලියට ඕනෑ විදිහට කටයුතු කළ බණ්ඩාරගම පොලිස් ලොක්කාට විරුද්ධවද නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර කියන්නේ දැනටමත් මෙම සිද්ධියේදී බණ්ඩාරගම පොලීසියේ හැසිරීම පිළිබඳව විශේෂ විමර්ශනයක් පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය කරන බවය. මේ කියන මාර්තු 24 වෙනි දින මෙම නිවසට කඩා පැන්න සුචරිතවත් මිනිස් හමුදාවද වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාතමක කළ යුතුය. පොලිසිය නිවැරදි නම් මෙම පුද්ගලයන්ට විරුද්ධව අයි.සී.සී.පී.ආර් පනත යටතේ කටයුතු කළ යුතුය. එහෙත් පොලිසිය එහෙම කටයුතු කරන්නේ ශක්තික සත්කුමාර වැනි අසරණයන්ට විරුද්ධව පමණි.


මුස්ලිම් පල්ලියේ මවුලවිතුමන්ලාද මාධ්‍ය හමු තබමින්, මෙම කාන්තාවගේ ජීවිතය සුචරිතවත් නොවීම සහ එයට ගම්මුන් දැක්වූ ප‍්‍රතිචාරයක් ලෙස, මෙම සිද්ධියට වෙනත් මානයක් දෙමින් තම ආගමික සංස්ථාව බබාලාගෙන් සැදුම්ලත් අහිංසකයන්ගෙන් ආරාමයක් බවට රූපාන්තරණය කරමින් ඇත. ඒ සඳහා තමන්ගේ කැත වසාගන්න නොයෙක් ආලේපන අත්හදා බලමින් සිටින්නේය. මීට ප‍්‍රථමද පල්ලියට විරුද්ධව යන්නන්ට මෙලෙස සලකා ඇති ආකාර පිළිබඳව නිදර්ශන ඇත. එනිසා මවුලවිතුමන්ලා ප‍්‍රශ්නය දෙස නිවැරදිව බලමින් තමන්ගේ ආගමික සංස්ථාව මීට වඩා පිරිසිදු තැනක් කරගන්නට මහන්සි ගත යුතුය.


නැතිනම් අප සියල්ලන්ටම සදාකාලිකව හාන්සිවන්නට සිද්ධවෙනු ඇත.

………………………………………………………………………………………….

බණ්ඩාරගම පොලිස් හැසිරීම

ෆාතිමා හයිෆාගේ සිද්ධියට අදාළව 2008 වැනි ඈත කාලයක සිට බණ්ඩාරගම පොලිසියේ හැසිරීම ප‍්‍රශ්නකාරිය. ඇය 2008 තරම ඈතක සිට ඇයට මුස්ලිම් පල්ලියෙන් සිදුවෙන අඩත්තේට්ටම් පිළිබඳව පොලිසියට පැමිණිලි දමා ඇත. මෙම එකුදු පැමිණිල්ලක් හෝ පොලිසිය විභාගයට ගෙන නැත. අඩුම තරමින් දෙපාර්ශ්වය ගෙන්වා මෙම සිද්ධිය සමථය සඳහා හෝ උත්සාහ කර නැත. 2019 අවුරුද්දේ මුල් කාලය තුළ ද 03/03, 03/25, 03/26, 03/30, 03/29, 05/24, 06/12, යන දින තුළ ඇය පොලිසියට මේ හිරිහැර පිළිබඳව පැමිණිලි කර ඇත. පොලිසියේ මෙම හැසිරීමට හේතුව බණ්ඩාරගම පොලිසියේ ඉහළම නිලධාරියාගේ සිට නිලධාරීන් කිහිප දෙනෙකු මෙම අටුළුගම ප‍්‍රදේශයේ ධනවත් හාජ්ජියාර්ලා දෙතුන් දෙනෙකු කිට්ටුවෙන් ඇසුරු කිරීමය.

මෙම සිද්ධියට අදාළව 6 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගැනීමත් ප‍්‍රශ්නකාරීය. 22 දෙනකුගේ නම් පොලිසියට දී තිබියදී එම ගොනුවේ සිටින දුබලයන්ම තෝරා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වින්දිත කාන්තාවගේ මවට බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙකු වන ඉමිටියාස් නැමැත්තෙකු තර්ජනය කර ඇත. එම පුද්ගලයා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය පොලිසියට කියද්දී අධිකරණයේ විභාග වන නඩුවකට බලපෑම් කළායැයි වෙනත් නඩුවක් අටවා එම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසිය කටයුතු කර ඇත. පොලිසියේ මෙම හැසිරීම විවෘත අධිකරණයේ දී දෝෂ දර්ශනයට ලක්කර ඇති පානදුර මහේස්ත‍්‍රාත්වරයා මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ බණ්ඩාරගම පොලිසියෙන් ඉවත්කර මිරිහාන පොලිසිය වෙත පැවරීමට කටයුතු කර ඇත. ඉන්පසුව වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සුරැුකීමේ පනත යටතේ ඉමිටියාස් නැමැත්තා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

ගෙදර මනුස්සයෙක් සිටියා

මාර්තු 24 සිද්ධිය පිළිබඳව අදහස් දක්වන ගම්මුන් කියන්නේ එදින මෙම නිවස ඇතුළත ආගන්තුක පිරිමියෙකු සිට ඇති බවය. ඔහු මෙම කාන්තාවගේ අනියම් සැමියෙකු බවය. එදින මෙම නිවස ඇතුළත සිට අත්අඩංගුවට පත්වෙන පුද්ගලයා බණ්ඩාරගම පොලිසියට ප‍්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ තමන් පොලිස් නිලධාරියෙකු බවය. විමර්ශන කටයුත්තකට පැමිණි අතරතුර වූ සිදුවීමක් නිසා මෙම නිවස තුළට ගිය බවය. මේ පිළිබඳව අදහස් දක්වන ෆාතිමා හයිෆා කියන්නේ මේ පුද්ගලයා ද මෙම පල්ලියේ ප‍්‍රබලයන් විසින්ම තමන් උගුලක සිරකිරීමට සැලසුම් සහගතව නිවසට එවනු ලැබූ පුද්ගලයෙකු විය හැකි බවය. මෙම පුද්ගලයා නිවසට පැමිණීම සහ ගම්මුන් මෙම නිවස වැටලීම අතර කාලය ඉතාමත් කෙටි බව ඇයගේ එම සිතීමට හේතුව ලෙස දක්වන්නීය. ෆාතිමා පිළිබඳව මාධ්‍යට අදහස් දක්වන සිංහල ගැහැනුන් පිළිබඳව ෆාතිමාගේ පාර්ශ්වයේ අයට තිබෙන්නේ මෙවැනි අදහසක් ය. ‘පවුල් 12ක් විතර තමයි සිංහල අය ඉන්නේ. ඒ අය අන්ත අසරණ දුප්පත් මිනිස්සු. එයාලට මේ හාජ්ජියාර්ලා පල්ලිය සෑහෙන්න උදව් කරනවා මේ වෙලාවෙ. ඉතිං හාජ්ජියාර්ලට ඕනෑ දේවල් තමයි ඔවුන් කියන්නේ.’