දිනය ජූලි 4 වෙනිදා ය. වෙලාව හිරු මුදුන්වූ වෙලාවය. තැන ගාල්ල උපනන්ද ප‍්‍රථමික විදුහල් භූමියයි. ගාල්ල උපනන්ද ජාතික පාසලද, මේ ප‍්‍රථමික අංශයද තිබෙන්නේ එකම භූමියකය. සිදුවීමකි!! හදිස්සි නීතිය යටතේ සහරාන්ලාගෙන් පාසල් දරුවන් සුරක්ෂිත කරගන්නට පාසලේ මුරට හිටිය යුධ සෙබලා එම පාසලට පැමිණි පියෙකු වෙඩිතබා කෙහෙල්කඳක් සේ බිම හෙළන්නේ සිය දියණිය එක අතක එල්ලී සිටියදීමය. මේ ඒ කතාවය. රණ විරුවන් අධෝවාතයක් යැව්වත් ෂා සුවඳයි සුවඳයි කියන මිනිසුන් මේ කතාව සාවදනව කියවිය යුතුය.

ගාල්ල පින්න¥වෙන් හැරී අමුකොටුව, ගොඩකන්ද, පිලාන මලගෙදර සොයා අපි එහි ගියෙමු. ඒ පසුගිය ඉරු දිනයේදීය. අප එහි යනවිට මරාදමා තිබූ පුද්ගලයාගේ අවසන් කටයුතු නිමවී තිබුණේ ය. කඳු ගැටයක් මැද ගෙවල් පොකුරකට මැදිව තවමත් ඉදිවෙමින් තිබෙන නිවෙසක් මරණ සොවින් හැඩිවී තිබුණි. මියගිය තැනැත්තාට අවසන් ගෞරව දෙන්නට පැමිණි මිනිසුන්ට වතුර දීමට ප‍්‍රාදේශීය සභාවෙන් ගෙනා වතුර බවුසරය තවමත් එහිය. අප නිවෙසට පිවිසෙන්නට ඔන්න මෙන්න පඩි නඟින විට බල්ලා බුරාගෙන පනින්නට විය. ‘බල්ලා ගිය’ එකෙකු බල්ලාට සන් කළේය. අපි නිවසට ගියෙමු. හදිස්සි නීතියට මුවාවී පැමිණි වෙඩි උණ්ඩයට උදරය සිඳුරුව මිය ගිය උදය ප‍්‍රදීප් කුමාරගේ ප‍්‍රිය බිරිය අයේෂා දිමුතු මංජුලී අප ඉදිරියට පැමිණියා ය. ඇය අත පුංචි පුතෙක් ය. ඒ පුංචි දරුවා නිදිය. අප ඇය සමග සංවාදය ආරම්භ කළෙමු.

මහත්තයා ගියේ දරුවා ගේන්න..

‘මගේ මහත්තයා මෙහෙම මරලා දානකොට එයාට අවුරුදු හතලිහ පැනලා දවස් දෙකක් හෝ තුනක් ඇති. මගේ මහත්තයා නාවික හමුදාවේ බෑන්ඞ් එකේ අවුරුදු 12ක් ඉඳලා විශ‍්‍රාම ගිය කෙනෙක්. අපි දෙන්නා හමුවුණෙත් නාවික හමුදාවෙදි. මම නාවික හමුදාවෙ නැටුම් කණ්ඩායමේ හිටියා. අපිට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. පුතාලා දෙන්නයි. දුවයි. ලොකු පුතා ජාතික පාසලේ. ජාතික පාසලයි ප‍්‍රාථමික අංශයයි දෙකම එකට තමයි තියෙන්නේ. එදා මම දුවයි පුංචි පුතයි දෙන්නම ඉස්කෝලෙට දාලා වැඩට ගියේ. උදේ 10ට විතර ඉස්කෝලෙන් කෝල් කරලා මහත්තයට කියලා තියෙනවා දුවට අසනීපයි ගෙදර එක්කරගෙන යන්න කියලා. දුව ඉගනගන්නේ දෙකේ පන්තියේ. ඉතිං මහත්තයා දහයට විතර ඉස්කෝලෙට ගිහිං දුවව පාසලේ අත්සන් කරලා ගෙදර අරගෙන ඇවිත් තියෙනවා. ඊට පස්සේ මහත්තයා ආයි ගෙදර එක්කරගෙන ආපු දුවත් (මිනුකි දෙව්හාරා වයස 7යි* එක්කරගෙන එයාට බෙහෙත් ගන්නයි, 1 වසරේ ඉන්න චූටි පුතාව (හෙසඳු නිසලිත* එක්කරගෙන එන්නයි ගෙදරින් එළියට බැහැලා තියෙනවා. ඒ දවල් 12ට විතර. අපේ ගෙදර සීසීටීවී චෙක් කලානම් මේ වෙලාවල් හරියටම බලන්න පුලූවන් බොරුද කියලා. එහෙම ඇවිත් දුව එක්කම ඉස්කෝලේ ඇතුලට ගියා’ 

සිදුවීම සිදුවන්නේ මෙතනින් පසුවය. රණවිරු වන්දනයේ යන මාධ්‍ය මේ පියාගේ පළමු පාසල් ගමන පිළිබඳ කතා කරන්නේ නැත. ඔහු උදේ 10ට පමණ පාසලට පැමිණ කිසිදු කරදරයකින් තොරව තම අසනීප දියණිය ගෙදර ගෙනියන්නේය. ඉන්පසුව ඔහු දෙවන වර පස්වරු 12ට පමණ පාසලට පැමිණියේ බෝම්බයක් බඬේ බැඳගෙනද? අපි හමුදාවෙන් ප‍්‍රශ්න කරන්නෙමු. නැත ඔහු දෙවනවර පාසලට පැමිණියේ තම අසනීප දැරියද අතේ එල්ලාගෙනය. උදය ප‍්‍රදීප් කුමාර පළමුවර පාසලට පැමිණෙනවිට මේ මිනීමරු රණවිරුවා සිටියේ කොහිද? ඔහු ගේට්ටුවේ රාජකාරියේ නොසිටියේද?.. සිටියානම් දෙවනවර පැමිණෙන විට උදේ 10ට පාසලට පැමිණි උදය ප‍්‍රදීප් සහරාන් සේ පෙනුනේ ඇයි?.. ඒ රණවිරු උණුසුම නිසාද?..

එළියට ආවේ මැරිලා

‘මේ ඉස්කෝලෙට ගේට්ටු දෙකක් තියෙනවා. පළවෙනි ගේට්ටුවේ ඉඳලා දෙවෙනි ගේට්ටුව අතර පරතරය මීටර් දෙසීයක් විතර ඇති. මගේ මහත්තයා දුවත් එක්ක පළවෙනි ගේට්ටුවෙන් ඇතුල් වෙලා තියෙනවා. එතනදි මේ ගේට්ටුවේ මුරට හිටපු හමුදාවෙ එක්කෙනා අපේ මහත්තයාට මොනවා හරි කියලා තියෙනවා. ඊට පස්සෙ දෙන්නා කතාවෙලා. දුව කියන විදිහට මහත්තයා කියලා තියෙනවා දැන් මම දහයට විතර ආවා එතකොට ගේට්ටුවේ බලූ බල්ලෙක් හිටියේ නෑ කියලා. කොහොම හරි ඔහොම කතාවෙවී තමයි දෙවෙනි ගේට්ටුව දිහාට තුන්දෙනාම (ප‍්‍රදීප්, හමුදා සෙබලා, දියණිය* ගිහිං තියෙන්නේ. ඔය දෙවෙනි ගේට්ටුවේ ඉඳලා ප‍්‍රාථමිකේ ප‍්‍රින්සිපල්ගේ කාර්්‍යාලයට එච්චර දුරක් නෑ. එතනදි තමයි ‘හිටහං මම මේක මිස්ට රිපෝට් කරනවා’ කියලා මහත්තයා මිස්ගේ රූම් එක අස්සට ගිහිං තියෙන්නේ. ඒ ගිහිං එනකොට අර හමුදා සෙබලා මගේ මහත්තයාගෙ අතින් ඇදලා තියෙනවා. එතකොට වැටෙන්න ගිහිං. ඒ එක්කම වෙඩි තියලා. ඊට පස්සේ මහත්තයා ඒ වෙඩි පාරට බිම වැටිලා. එයා දුවට කතාකරන්නේ ‘චූටික්කි’ කියලා. ‘චූ’ කියලා කියන්න වෙලා නෑ දුව අත අල්ලනකොට අත කඩාගෙන වැටිලා. දුව තමයි මේවා කියන්නේ. ඉස්කොලේ වැඩ බලන ප‍්‍රින්සිපල් කෙනෙක් ඉන්නේ, එයත් මේක දැකලා තියෙනවා ඒත් දැන් කවුරුත් මේ ගැන කතාකරන්නේ නෑ. දැන් මගේ මහත්තයා තමයි වැරදිකාරයා වෙලා තියෙන්නේ. මම අහන්නේ වෙඩි තියන්න කලින් මගේ චූටික්කි දැක්කහම වත් හිතුණේ නැද්ද මේ කරන්න යන්නේ අපරාදයක් කියලා’ නැවතත් ඈ කතා කරන්නීය. ඇය කියනා ලෙස දැන් මේ සිද්ධිය දෑසින් දකිනු ලැබූ එකම සාක්ෂිකාරිය තම දියණිය පමණි. ඇය තාත්තාට තමන්ගේ දෑස ඉදිරිපිට වූ දෙයක් තවත් කෙනෙකුට කියන්නට තබා ඒ ගැන සිතන්නටවත් පුළුවන් දැයි මට සැක සිතෙයි. ඈ ඒ තරමට පුංචිය. ඇය තවම දෙක වසරේ ය. ඇයට දැන් වයස අවුරුදු 7ක් ය. ඒ බියකරු මොහොත සමග ඇයට ඇයගේ ඉතිරි ජීවිත කාලයම ගෙවා දමන්නට සිදුවී ඇත. මින්පසු අනාගතයේ කවදාහෝ දිනෙක ඇයට සුව නින්දක් හෝ ලැබෙනු ඇතැයි සැක සහිතය. මා හට උතුරේ දරුවන් මතකයට නැගේ.  එහෙත් ඈ බෝහෝ තොරතුරු තම මවටද, පරීක්ෂණ සඳහා පැමිණි පොලීසියටද පවසා ඇත. එහෙත් තවමත් නීතිය සහ සාධාරණය වියරු හමුදා සෙබලා පැත්තේය.

මේ අතර පාසල අසල සමහරුන් කියන්නේ ඔහු පාසලට පැමිණෙන විට එක පන්තියක් ඇර තිබුණ බවය. අයේෂාද එම තොරතුර තහවුරු කරමින් කියන්නී, 1 වසර ඒ පන්තිය ඒ මොහොත වනවිට නිමාකර තිබී ඇති බවය. ඔවුන්ගේ පුංචි පුතා සිට ඇත්තේ 1 වසර බී පන්තියේ ය. එම පන්තියද නිමාකිරීම සඳහා දරුවන් පෝලිම්කර සිට ඇත. තත්ත්වය මෙයනම් ඇයි ප‍්‍රදීප් ඝාතනය කළේ? ප‍්‍රශ්නාර්ථයකි. අනික් පැත්තෙන් ඔහු මෙම සෙබලාගේ තුවක්කුව පැහැරගන්නට වලිකෑවේනම් එම කලබලයේ තරම නිසා හෝ පාසලේ දරුවන් සහ ගුරුවරුන් එම ස්ථානයට පැමිණෙන්නේ නැතිද?.. එක දරුවෙක් අතේ එල්ලාගෙන ආයුධ සන්නද්ධ සෙබලෙක් සමග ඔට්ටුවෙන්නට තරම් මේ හිටපු නාවික සෙබලා මෝඩයෙක් ද? අපිට එන සාධාරණ ප‍්‍රශ්න  ඕවාය. පාසල මුර කරනවානම් මුර කරන්නේ පළමු ගේට්ටුව අබියස එයින් පිටතය. එය එහෙමනම් මෙම පුද්ගලයා ගේට්ටුවෙන් කුඩා දැරියක් ද සමග ඇතුලූ වී මීටර් සීයක් පමණ යනකම් මේ සෙබලා අල තැම්බුවේද?.. පාසලේ ආරක්ෂාව සඳහා වෙඩි තැබුවේනම් ඔහු වෙඩි තැබිය යුත්තේ පළමු ගේට්ටුව ළඟදී නොවේද? හිටපු නාවික සෙබලා බෝම්බයක් බඬේ බැඳගෙන පැමිණියේනම් මේ වෙඩි හඬත් සමග එය පුපුරවාගනු නියතය. ඒ ඔහු තමන්ගේ ඉලක්කය තුළට ඒ වනවිටත් පැමිණ තිබුණ නිසාය.

අපේ සෙබලා වැරදි නෑ..

මේ ලියුම්කරු යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක සුමිත් අතපත්තු වෙත කතා කළේය. ඒ මෙම සිදුවීම පිළිබඳව යුධ හමුදාව පැත්තේ කතාව විමසා දැනගැනීමටය. ඔහුව සම්බන්ධ කරගන්නට නොහැකි විය. එහෙත් නම සඳහන් කරනවාට අකමැති වෙනත් නිළධාරියෙක් ඔහු වෙනුවට මෙම ලියුම්කරු වෙත තොරතුරු ලබාදුන්නේය. ‘ගාල්ල කොටුව ගැමුණු හේවා රෙජිමේන්තුවට අනියුක්තව රාජකාරි කරපු ලාන්ස් කෝප‍්‍රල් ඉන්දික කියලා සෙබලෙක් තමයි මෙම වෙඩි තැබීම සිදුකරලා තිබෙන්නේ. දැනට යුද්ධ හමුදාව මේගැන පරීක්ෂා කරන්න මූලික පරීක්ෂණ උසාවියක් පත්කරලා තිබෙනවා. ඊට අමතරව යුද්ධ හමුදා පොලීසියත් මේ ගැන පරීක්ෂණයක් කරනවා. දැනට මෙම සෙබලා 581 බලසේනාවේ විවෘත අත්අඩංගුවට ගැනීම කියන තත්ත්වයේ රඳවලා තිබෙනවා. ඒ සේනාංකාධිපතිගෙ අධීක්ෂණය යටතේ. දැනට අපි කරපු පරීක්ෂණවලින් ඔප්පුවෙලා තිබෙනවා මේ සෙබලා වැරැුද්දක් කරලා නෑ කියලා. ඔහුගෙන් තුවක්කුව උදුරාගෙන පාසලට බලෙන් ඇතුල් වෙන්න හැදුවා කියන එක තමයි දැනට අපි සතු තොරතුරු කියන්නේ’. ඇතුල්වෙන්න උත්සාහ කළා කියන්නේ කොහොමද මේ පුද්ගලයා පාසලට ඇතුල් වෙලා තමන්ගේ දියණිය එක්ක මීටර් 100ට වඩා ගිහිං තිබෙනවා නේ, ඊට පස්සෙනේ වෙඩි තියලා තියෙන්නේ? මේ ලියුම්කරු යුද්ධ හමුදා මාධ්‍ය ප‍්‍රකාශක විදිහට කතා කළ නිළධාරියාගෙන් විමසුවේය.

එවිට ඔහු ප‍්‍රකාශ කළේ තවමත් යුද්ධ හමුදා පරීක්ෂණ අවසන් නැති බවය. පොලීසියට අවශ්‍ය නම්  ඕනෑම අවස්ථාවක භාර දෙන්නට හැකි බවය. යුද හමුදාව නිසි පරීක්ෂණයක් කරනවා යැයි කීවත් එම පරීක්ෂණ කණ්ඩායමේ කිසියම් නිළධාරියෙක් හෝ තවම තම නිවසට පැමිණියේ නැතැයි මරා දමනු ලැබූ ප‍්‍රදීප්ගේ බිරිඳ කියන්නීය. ඇය කියන පරිදි පොලීසියනම් පැමිණ එම අවස්ථාවේ තම සැමියා සමග සිටි පුංචි දියණියගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ගිය බවය. මෙම ලියුම්කරු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකරට කතා කළේය. එහෙත් ඔහු සම්බන්ධ කරගන්නට නොහැකි විය. පොලිස් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ පොලීසියද මේ පිළිබඳව පරීක්ෂණයක් කරන බවය. ඔවුන්ගේ නිගමනය ද මෙම සෙබලා නිවැරදි බවය. අහෝ!! හදිස්සි නීතිය තිබුණ පමණින්, ඔහු කලහකාරී ලෙස හැසිරුණා කියමු එය එසේනම්, එසේ වූ පමණින් මෙලෙස පපුවටම නැතිනම් බඩට වෙඩිතබා මිනිසෙකු මරා දැමිය හැකිද?.. දණිස්සෙන් පහළට වෙඩි තබන්න යැයි කියන්නේ නිකං සොමියටද?.. 

බිරිඳගේ ආයාචනය

‘හරි මගේ මහත්තයා මේ සෙබලා එක්ක කටගහගෙන ආවා කියමු. රාජකාරියට බාදා කළා කියමු. ඒත් හත්දෙයියනේ මෙහෙම පපුවටම කොකා ගස්සලා මරලා දානවද? මගේ මහත්තයා දුව එක්ක ඉස්කෝලෙට ගියේ, යකෝ බෝම්බයක් බැඳගෙන ආවනම් ඔහොමද එන්නේ? දැන් සේරම වෙලා. මමයි මගේ දරු පවුලයි අනාථ වුණා. මහත්තා නේවි එකෙන් අයින් වුණාට පස්සේ අපි පපර බෑන්ඞ් එකක් ගහලා තමයි ජීවිතය රැුකගත්තේ. ජීවිතේ අමාරු නිසා මම ළඟකදි ඉඳලා ගාමන්ට් යනවා. ඉතිං මම ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මගේ දරුවන්ගේ ඉදිරි අනාගතය වෙනුවෙන් ආධාරයක් කරන්න පිහිට වෙන්න කියලා විතරයි. මේ සෙබලා පෝරකයට ගෙනිච්චා කියලා මට මගේ මහත්තයා ආයි ලැබෙන්නේ නෑ. ඒනිසා මම වැදලා ඉල්ලන්නේ මේ දරුවන්ගේ අනාගත වෙනුවෙන් මොනවා හරි කරන්න කියලා. අනික තමයි රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙහෙම පිස්සෝ ඉස්කෝල මුරකරන්න දාන්න එපා කියලා මම ඉල්ලීමක් කරන්න කැමතියි. දැන් චුට්ටක් හිතන්න මගේ චූටික්කි කොහොමද තමන්ගේ තාත්තා මරලා දාපු ඉස්කෝලෙට යන්නේ? මට දැන් තියෙන ප‍්‍රශ්න මේවා..’ ඇය හැඬු කඳුළින් කියන්නීය. එසේ කියන ඇය තවදුරටත් කියන්නේ පොලීසියේ පරීක්ෂණ ක‍්‍රියාවලිය දෙස තමන් බලාසිටින බවය. තමන් ඊළඟ නඩුවාරයට නීතිඥයෙක් තමන්ගේ ස්වාමියා වෙනුවෙන් ඉදිරිපත් කරන්නට බලාපොරොත්තුවන බවද ඇය කියන්නීය.

දැනගන්නට තිබෙන ලෙස අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයෙන් පසු ඇතිවූ තත්ත්වය මත පාසල් ආරක්ෂාව සඳහා සෙබළුන් 9000කට ආසන්න ප‍්‍රමාණයක් තවමත් පාසල් ගේට්ටු අබියස රඳවා ඇත. අධ්‍යාපන අමාත්‍ය නියමයෙන් දැන් පාසල් ගේට්ටු මුර කිරීම සඳහා හමුදා සෙබලූන්ට අමතරව දෙමාපියන් යොදවන්නේ නැතිබව දැනගන්නට ලැබේ.

මෙලෙස පාසලක් තුළට දරුවෙක් රැුගෙන යන්නට පැමිණි පියෙක් වෙඩිතබා මරාදැමීමෙන් සමාජයක් ලෙස අපිට ඉගනගැනීමට තිබෙන පාඩම් මොනවාද?.. රට හදන්නට හමුදා පාලනයක් ඉල්ලන, හමුදා ලේකම්ලා ඉල්ලන රට වැසියන් තමන්ගේ ඉල්ලීම දෙස නැවත විචාරශීලීව බැලිය යුතුය. යුද්ධය දිනූ රණවිරුවන් නේ කියමින් රණවිරු වන්දනයේ යන පුද්ගලයින්ටද අඳුරෙන් ආලෝකයට එන්නට මේ ඝාතනය හොඳ අවස්ථාවක් ය. අනෙක් පැත්තෙන් උතුරේ යුධ අපරාධ වුණේ නෑ යැයි කියමින් උදේ සවස පොළවේ හැපෙන සිංහල බෞද්ධ පිංවතුන්ටද තමන්ගේ දැහැනින් මිඳී දැන් යථාර්තයට පැමිණිය හැකිය. එලෙස පැමිණ ඒ පීඩිතයින් දෙස සානුකම්පිත දෑස් දැල්විය හැකිය. ඒවා එලෙස වුණොත් මේ ඝාතනයෙන් රටක් වශයෙන් අපි පාඩමක් ඉගනගත්තා වෙනු ඇත. හදිස්සි නීතිය යනු මිනී මරණ්නට ලැයිසමක් නොවන බව හමුදා සෙබළුන් ආරක්ෂ අංශ දැනගත යුතුය. එය ඔවුන්ට දැනවීමටනම් ඝාතනය කරනු ලැබූ ප‍්‍රදීප් හට යුක්තිය සාධාරණය ඉටුවිය යුතුය. ඒ අනුව ඝාතකයාට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. x