මේනම් රම්‍යලංකාර දර්ශනයකි. පියෙවි නෙතට මාන වන ඒ රමණීය දර්ශනය විසිතුරු මනෝ චිත‍්‍රයක් බවට පත් වූයේ නිතැතිනි. ඒ හා සමගම කිසියම් පහන් හැඟීමක්ද සිත තුළ දීපනය වනු දැනිණ. යන්නට ගිය ගමන ගැන නිනව්වක් නැතිවා වාගේය. මම එක තැන නැවතී එදෙස බලාසිටියෙමි.

මා මේ සිටින්නේ මදුරාසි නගරයේ මැද හරියේය. හරියටම කියතොත්, ‘තවුසන්ඞ් ලයිට්ස්’ නමින් හැඳින්වෙන කුඩා ටවුමේය. ඊට යාවෙන ප‍්‍රධාන මාර්ගය ‘ග‍්‍රීම්ස් රෝඞ්’ නමි. මේ කියන වේලාවේ මා ගමන් කරමින් සිටියේ ඒ ප‍්‍රධාන මාර්ගය කරා දිවෙන පටු අතුරු පාරක් ඔස්සේය. ඒ අතුරු පාර කෙළවර වූ තැනය, මගේ මේ ගමන ඉබේටම වාගේ නැවතුණේ.

මා මේ දකින්නේ පින්තූරයක්ද? නැතිනම් හැබෑ දර්ශනයක්ද?

අතුරු පාර කෙළවර පාරෙන් එහා පැත්තේ වතුර පයිප්පයකි. ඒ දිගට පේළි ගැසී සිටින තරුණ ගැහැනු කට්ටියකි. ගණන් කළෝතින් විස්සකට වැඩි පිරිසකි. ඔවුහු දකුණු ඉන්දියානු මෝස්තරේට ඇඟට තදට හිරවෙන ලෙස දුහුල් සාරි ඇඳ සිටිති. ඔවුනගේ දෙපා ළඟ කළගෙඩියක් තරම් ලොකු පාට පාට ප්ලාස්ටික් සෙම්බුය. අතේ තවත් එවැනි කුඩා සෙම්බුවකි. ඔවුන් මේ බලා සිටින්නේ පයිප්ප කරාමයට කිට්ටු වන අවස්ථාව ලැබෙන තෙක්ය. පාට පාට ප්ලාස්ටික් සෙම්බු පේළියද, අනේකාකාර මෝස්තරයෙන් සහ පැහැයෙන් යුත් දුහුල් සාරි ඇඳි කාන්තා පිරිසද පියෙවි නෙතට හසුවන්නේ දීප්තිමත් වර්ණාලේපිත පීත්ත පටියක සෙයියාවෙනි. අත රැුඳි සෙම්බු දෙකට වතුර පුරවාගන්නා අයෙක් ඒවා රැුගෙන මඳක් එහාට වී බලාසිටින්නී, ඊළඟ කෙනාද සෙම්බුවට වතුර පුරවා ගන්නා තෙක්ය. ඊළඟට ඒ ළඟ සිටින කාන්තාවගේ වාරයයි. ඉනික්බිති ඊළඟට සිටින කෙනාය. මේ ගැහැනු කට්ටිය වතුර පයිප්පය ළඟ සිටිනතාක් වෙන කාටවත් මොන හදිස්සියකටවත් ඒ ළඟට කිට්ටුවනු බැරිය.

අත රැුඳි සෙම්බුවලට වතුර පුරවාගත් ඔවුන් ආපසු ගමන් යන්නේද එකටය, එක පේළියටය. ලොකු සෙම්බුව හිස මතය. කුඩා සෙම්බුව වමතේය. ඒ වටා ගිය වම් අතේ වාරුවෙන් එය ඉණට හිරවී ඇත. මේ ඇතැමෙකුගේ දකුණත ඉඳහිට ඉහළට එසැවෙනුයේ හිස රැුඳි සෙම්බුව වත්තම් කරනු පිණිසය.

මේ කට්ටිය අතර මේ සියලූ දෑ බොහෝ විට සිදුවන්නේ එකවරය. කිසියම් ලතාවකටය. හරියටම මනාව පුරුදු පුහුණු වූ සරඹ ඉසව්වක නියැලි පිරිසකගේ අභිනයක් වාගේය. එය හිතාමතා කරන්නක් නොවන වග පැහැදිලිය. සෑහෙන කාලයක් මුළුල්ලේ මෙසේ එකට යෑම-ඒම හේතුවෙන් පුරුද්දට කෙරෙන්නක් විය යුතුය. කිසිදු වාරුවක් නැතිව දිය පිරි සෙම්බුව හිස දරා තවත් දිය කළගෙඩියක් අතින් ගෙන සීරුවෙන් සමබරව පා තබා යන මේ පිරිස දෙස මම හුන් තැන නැවතී බලාසිටියෙමි. ඒ මනරම් දර්ශනය කුඩා පටු පාර දිගේ ඈතට ඇදී ගොස් කුඩා තිතක් සේ පෙනෙන තෙක් මම හුන් තැන නැවතී බලා සිටියෙමි.

බලාන යන විට මෙය තවෙකෙකුට කිව යුතු තරම්  දෙයක් නොවේ යැයි විටෙක මට සිතේ. එනමුත් ඒ දසුන දුටු අවස්ථාවේ මා අත්විඳි විචිත‍්‍රත්වය සිතේ කාවැදුණකි. ඒ නම් රම්‍යලංකාර දර්ශනයකැයි මා කලින් කීවේ එබැවිනි. වර්ණවත් සාරි ඇඳගත් ඒ ගැහැනු කට්ටිය දිය පිරි පාට පාට සෙම්බු හිස මත රඳවා තවත් එවැනි සෙම්බුවක් ඉණට තුරුලූ කරගෙන සීරුවට පා තබා ගමන්ගත් ලාලිත්‍යය… මේ නම් කැමරා ඇසින් නොව පියෙවි ඇසින් ගත් සේයාරුවකි.

වතාවක මම පොන්ඩිචෙරි නගරයේ සිට මදුරාසිය බලා එමින් සිටියෙමි. ඒ උදේ වරුවකය.

පොන්ඩිචෙරි-මදුරාසි අධිවේගී මාර්ගයට ඇතුළුවන තෙක් පාර දෙපස පෙනෙන දෑ ගමරට සිහිවන්නකි. තාප්ප, බිත්ති, කඩපිල්වල දේශපාලනඥයන්ගේ විරිත්තන මුහුණු පෙන්වන පෝස්ටර්ය. හන්දියක් ගානේ දැවැන්ත කටවුට්ය. පාර අයිනේ බිම තැබූ මාළු වට්ටි ළඟට වී වෙළෙඳාමේ යෙදෙන මාළුකාරියෝය. තවත් තැනෙක එක යායට පොල් වතුය. කඳු ගැසූ කුරුම්බා ගොඩවල්ය. තවත් තැනෙක මල් වෙළෙන්දියෝ පේළියකි. මඟ හමුවන හන්දියක රාජකාරියේ නිරත තනි සුදු නිල ඇඳුම සහ රතු හිස්වැස්ම පැළැඳි පොන්ඩිචේරි පොලිස් නිලධාරීහුය. ‘එස්ටීඞී’ සහ ‘අයිඑස්ඞී’ ¥රකථන පහසුකම් ඇතැ’යි සඳහන් කහ-කළු පැහැති දැවැන්ත නාම පුවරු සවිකළ පොල්අතු මඩුය.

මේ අතර අපේ රියැදුරා මට අතින් සන් කළේ තමාට යමක් පානය කරන්නට අවශ්‍ය බවය. පාර අයිනේ නතර කළ වාහනයෙන් එළියට බට හෙතෙම පාරෙන් ටිකක් එහාට වන්නට සෙනග සිටි තැනකට ඇවිද ගියේය. එතැන සිටියේ කිරි වෙළෙන්දෙකි. කස්ටමර්ලා දහදොළොස් දෙනෙක් ඔහු වටා උන්හ. කිරිකාරයාගේ වෙළඳාම බලන්න ලස්සනය. ගහකට හේත්තු කළ බයිසිකල් ලගේජයේ ඇලූමිනියම් මුට්ටියකි. බිම වතුර බාල්දියකි. බයිසිකලයේ මැද පොල්ලේ දෙපැත්තට සමබරව එල්ලා ඇති රෙදි බෑගයකි. එය මසා තිබුණේ තේ බොන වීදුරු දෙපැත්තට වන්නට වෙන වෙනම දැමිය හැකි ආකාරයටය. කාකි රෙද්දෙන් මැසූ මුදල් පසුම්බිය බයිසිකල් හැඬලයේ ගැට ගසා තිබිණ. රෙදි බෑගයෙන් වීදුරුවක් එළියට ගන්නා වෙළෙන්දා, සිහින් දිග යකඩ අඬුවක් සවිකළ බෙලෙක් කෝප්පයක් කිරි මුට්ටියට දමා ගන්නා කිරි කෝප්පය වීදුරුවට වක්කරන්නේ සීරුමාරුවටය. අත් දෙක ඈත් කර බෙලෙක් කෝප්පයෙන් වීදුරුවටත් වීදුරුවෙන් බෙලෙක් කෝප්පයටත් කිරි දැමීම හේතුවෙන් කිරි වීදුරුවේ උඩ පෙණ පිඬු මතුවෙයි. එය කිරි වීදුරුවට ප‍්‍රසන්න පෙනුමක් ලබා දෙන්නකි. බිම තබා ඇති වතුර බාල්දිය හිස් කිරි වීදුරු සේදීම සඳහාය. එද බාල්දිය ඇතුළට වීදුරුව දැමීමෙනි. එලෙස බාල්දියෙන් ගන්නා තවත් වීදුරුවකට පෙණ නගින සේ කිරි පුරවා තවෙකකුට දෙයි.

මේ කිරි වෙළෙන්දාගේ ස්වභාවය දකින මට මතක් වූයේ අපේ ළමා කාලයේ පාසල් ගේට්ටුව ළඟ උදේ වරුවේ සිටි සව්කන්ජි වෙළෙන්දාය. ඔහු එකල සිටියේද මේ වාගේම සුදෝසුදු වේට්ටියක් ඇඳගෙනය. ඔහු හිස් සව්කන්ජි වීදුරු සේදුවේද මෙයාකාරයටය. හිස් වීදුරුව වතුර බාල්දිය ඇතුළට දමා එසැණින් ආපසු පාවිච්චියට ගැනීමය.

අපේ රියැදුරා කිරි වීදුරුව තොලගාන ආකාරයෙන් එය උණුසුම් බවත්, හොඳ රසට ඇති බවත් මට අනුමාන කළ හැකිය. මටත් කිරි වීදුරුවක් අවශ්‍යදැයි හස්ත මුද්‍රාවෙන් ඔහු මගෙන් ඇසීය. මම හිස දෙපසට වැනීමි. එය හිතාමතා නොව ඉබේට සිදුවූවකි.

අපේ රියැදුරා තලූමරමින් දිවකට තොලගාන හැටි දකින විට මට හිතුණේ අපරාදේ.. මටත් කිරි වීදුරුවක් බොන්ට තිබුණා නේද කියාය. ඒ වන විට අපි මදුරාසිය කරා දිවෙන අධිවේගී මාර්ගයට පිවිස සිටියෙමු. කැමරා පාවිච්චිය ගැන මගේ එතරම් උනන්දුවක් නැත. එසේ වුවද, මෙවැනි ගමනකදී දකින දෙයක් නෝට් පොතක සඳහන් කර ගැනුම නම් අනිවාර්යයෙන් සිදුවන්නකි. මේ ගමනේ අතරමග දුටු අනම් මනම් නෝට් පොතේ කුරුටු ගාමින් යන අතරවාරයේ පොඩි නිදිමතක් මට දැනිණ.

නැවත ඇහැ ඇරුණේ අපේ රියැදුරා එකවර තිරිංග තද කර වාහනය නතර කළ ගැස්මටය. වම් පස ඇසට පෙනෙන මානයේ වූයේ මුඩුබිමකි. දකුණු පස ඈතින් මුහුදය. මහා මාර්ගයත් මුහුදු වෙරළත් අතර වූයේ තැනින් තැන නිල්ල ගැහුණු විසල් බිම් තලාවකි. පාර හරහා එම බිම් තලාව පැත්තට යාම සඳහා එළු පට්ටියක් මාන බලමින් අප ඉදිරියේ සිටිනු පෙනිණ. රියැදුරා හදිසියේ එකවර වාහනය නතර කැර තිබුණේ ඒ එළු පට්ටියට පාර හරහා යන්නට ඉඩ දෙනු පිණිසය. එළු පට්ටිය ආම්බාන් කරමින් ඒ පිටුපස ගමන් කරන්නී, දිස්නය කඩා හැළෙන සාය හැට්ටයක් හැඳි යෞවනියකි. කෙවිටක් ඈ අත විණි. කනගාටුයි.. සමාවන්න.. වාහනය නතර කළාට බොහොම ස්තූතියි කියන්නාක් වැනි දයානීය බැල්මකින්  ඕ තොමෝ අපට සංග‍්‍රහ කළාය. එසැණින් ආපසු හැරී ලාලිත්‍යමය ගමනින් එළු පට්ටියද සමග පාර පැන යන්නට ගියාය. එළු පට්ටියක් සමඟ මහපාර මැද හදිසියේ දුටු ඒ යුවතිය සකල නාරි ලාලිත්‍යයෙන් සපිරි සුරූපිනියකි. විසල් දෙනෙත- දිගැටි නාසය- තිලකය තැබූ නළල-පැහැබර දොකොපුල. කාන්තිමත් පෙනුමකි ඈ වෙත වූයේ. අපේ රියැදුරාට වාහනය ක‍්‍රියාත්මක කිරීම අමතක වූූවා සේය. ඔහුද ඇය නොපෙනී ගිය ඉසව්ව දෙස තවත් විනාඩියක්, දෙකක් බලා සිටියේය.

ලංකාවට ආපසු පැමිණ සෑහෙන දවසක් යන තෙක් මේ ශෝභමාන දර්ශනය වරින්වර චිත‍්‍ර ගැන්වෙමින් තිබිණ. මා ලියූ සංචාරක කතා එකතුවක ප‍්‍රවිෂ්ටයක් හැටියට මේ සිදුවීම සඳහන් කරන්නට උත්සුක වූයේද ඒ ශෝභමාන දර්ශනයේ විචිත‍්‍රත්වය හේතුවෙනි.

මා ඉන්දියාවට යන්නට-එන්නට පටන් ගත් මුල් කාලයේ ගුවන් මගීන් අතර විසිතුරු ගුවන් තැපැල් පත් බෙදාදීම සිරිතක්ව තිබිණ. පසු කලෙක වූයේ ඒවා ඉල්ලූ විට පමණක් ලබාදෙන තත්ත්වයකි. ගුවන් යානයට ගොඩ වූ විගස ගුවන් සේවිකාවක අමතා එවැනි තැපැල් පතක්-දෙකක් දෙන ලෙස ඉල්ලීම ඒ කාලයේ මගේ පුරුද්දක් විණි. ‘පික්චර් පෝස්ට්කාඞ්’ නමින් හැඳින්වුණු ඒවායේ වැඩිපුර යමක් ලියන්නට ඉඩක් නොවීය. තැපැල් පතේ එක පැත්තක එරට කිසියම් රමණීය දර්ශනයක පින්තූරයකි. එහි පිටුපස තැපැල් පත යවන්නාගේ නම සහ යායුතු ලිපිනය සඳහන් කළ යුතු තීරුවකි. ගුවන් යානයට ගොඩ වූ විගස එවැනි ගුවන් තැපැල් පතක් පුරවා අපේ ගෙදරට යැවීම පිණිස බාරදීම එකල මට මහත් ආස්වාදයක් ගෙනදුන්නකි. එවැනි ඇතැම් තැපැල් පතක් ගෙදරට ලැබෙනුයේ මා ඒ ගමන ගොස් ආපසු ගෙදර පැමිණ තවත් දවස් කිහිපයක් ගතවු පසුවයෟ

ඉන්දියාවට ගිය අවස්ථාවක දුටු ඇතැම් සුවිශේෂ දර්ශනයක් සිතේ සිත්තම් වී ඇත්තේ මෙවැනි ‘පික්චර් පෝස්ට්කාඞ්’ එකක දැක්වෙන පින්තූරයක් වා ගේය. මදුරාසියේ ‘තවුසන්ඞ් ලයිට්ස්’ හි දුටු පාට පාට සෙම්බු අතින් ගත් ගැහැනු කට්ටියද, පොන්ඩිචෙරි සිට එමින් ගමන පාර මැද දුටු එළු පට්ටියක් සමග සිටි යෞවනියද ඒ සිත්තම් පේළියේ වෙති.

මුල් වතාවට ඉන්දියාවට ගිය ගමනේදී මා අත පත් ‘පික්චර් පෝස්ට්කාඞ්’ එකේ වූයේ මදුරාසියේ ‘මැරීනා බීච්’හි දැකුම්කළු ඡුායාරූපයකි. මදුරාසියට ගිය අවස්ථාවන්හි එහි ‘එළියට් බීච්’, ‘ගෝල්ඩන් බීච්’ වැනි වෙරළබඩ ස්ථානයන්ට පා තැබූ නමුදු ‘මැරීනා’ වෙරළ තීරුවට යන්නට මට ඉඩ ලැබුණේ බොහෝ කාලයක් ගත වූ පසුවය.

මේ කියන මැරීනා බීච් නම් වූ මදුරාසි වෙරළ ඉන්දියාවේ දීර්ඝතම වෙරළ තීරුව ලෙස සැලකේ. එය මදුරාසියේ සෙන්ට් ජෝර්ජ් කොටුව ළඟ සිට බෙසන්ත් නගර් දක්වා විහිදුණකි. වෙරළ අද්දර මුහුදු රැුලි පාගන්නට  ඕනෑ නම් මහ පාරේ සිට සෑහෙන දුරක් වැල්ලේ ඇවිද යන්නට  ඕනෑය. පාරට මුහුද පෙනෙන්නේ නැති තරම්ය. ඈතට පෙනෙන්නේ විසල් වැලි තලාවත්, ඉහට ඉහළ නිල්-සුදු අහසත් එකට බැඳුණු ආකාරයකි.

මම මුල් වතාවට මැරීනා බීච් ගියේ මගේ මදුරාසි මිතුරා ජෝශප් සමගය. මේ කියන දවසේ උදෑසන හතට පමණ අපි එතැනට යන්නට පිටත්වීමු.

‘මේ වගේ වේලාවක නෙවි, හැන්දෑ වරුවේ එතැනට ගියෝතින් ඔහේ පුදුම වේවි. කානිවල් එකක් වාගෙ. සති අන්තවල එහෙමත් නැතිනම් නිවාඩු දවස්වල එතැන මොන සෙනඟක්ද? මේ රටේ මොනයම් මුහුදු වෙරළකටවත් මෙච්චර සෙනඟක් එකතුවෙන්නේ නැතුව ඇති.’යි ඔහු මා එහි කැඳවාගෙන යන අතරතුර පැවසීය.

ප‍්‍රසිඩන්සි කොලීජිය, මදුරාසි විශ්වවිiාලය, මහත්මා ගාන්ධි ප‍්‍රතිමාව වැනි ඓතිහාසික ස්ථාන පසුකර අපි මැරීනා වෙරළ තීරුවට ළඟාවීමු. ඒ වේලාවේද සෑහෙන සෙනඟක් එතැන විය. කණ්ඩායම් වශයෙන් බස්-වෑන් ආදියේ පැමිණි පිරිස බොහෝය. ඒ ඇතැමකු මුහුදු වෙරළ පසුතලය කැර සමූහ ඡුායාරූප ගත්තේත් මුහුදු රැුල්ල පාගන්නට ඈතට දිවගියේත් ඔට්ටුවට වාගේය. වෙරළේ තැනෙක උදෑසන ව්‍යායාම සඳහා පැමිණි උදවියය. වැල්ලේ ඇතිරූ කාඞ්බෝඞ් පලූවක තවමත් නිදා සිටින උදවියය. උක් යුෂ විකුණන වෙළෙන්දෝය. සංචාරකයන් කලින් දවසේ දමාගිය කඩදාසි-රොඩු-කුණු-හිස් බෝතල් ලට්ට ලොට්ට එකතු කරන කසළ ශෝධකයෝය. වෙරළේ තවත් තැනෙක ක‍්‍රිකට්, පාපන්දු ආදිය ක‍්‍රීඩා කරන ළමයි සහ තරුණයෝය. කුඩ යට ඉබි ගමනින් වැල්ලේ ඇවිදින තරුණ ජෝඩුය.

සුනාමි අවස්ථාවේ මැරීනා මුහුදු වෙරළේ සිදුවූවක් ගැන මගේ මිතුරා පැවසුවේ අප දෙදෙනා කාරයට හේත්තුවී වෙරළ දෙස බලා සිටියදීය.

‘හැම ඉරිදාවකම වාගෙ සුනාමි දවසේත් ක‍්‍රිකට් සෙල්ලම් කරන්ට ආපු ළමයින්ගෙන් මේ වෙරළ පිරිලා තිබුණා. වෙරළේ තැන් තැන්වල කෝටු තුනක් විකට්ටු හැටියට සිටුවාගෙන ක‍්‍රිකට් සෙල්ලම් කරන එක මේ පැත්තේ කොල්ලන්ගේ සිරිතක්. ඉරිදා උදේට මේ වෙරළ දිගටම ක‍්‍රිකට් තරග. ගණන් කරලා ඉවර කරන්න බැහැ. එදා උදේ වෙරළට පැමිණි සුනාමි රැුල්ලට අසුවුණේ මේ වගේ අහිංසක ජීවිත.’

එසේ කී මිතුරා මදෙස බැලීය. ඉනික්බිති හැඟීම්බර ස්වරයෙන් මෙසේද කීය. ‘මට කෙනෙක් කීවා, එදා සුනාමි එන වෙලාවේ ක‍්‍රිකට් සෙල්ලම් කරමින් උන්නු ළමුන් කට්ටියක් පණ බේරාගන්නට පුළුවන් තරම් වේගයෙන් මහපාර පැත්තට දුවගෙන ආවාලූ. එහෙම දුවගෙන එන අතරවාරේ එක ළමයෙක්ව පය පැටලිලා වැටිලා තියෙනවා, අතේ තිබුණු බැට් එකත් එක්ක. ඒ ළමයා නැගිටලා දුවන්න ලෑස්තිවෙලා ආයෙත් හැරිලා තියෙනවා බිම වැටුණු බෑට් පිත්ත ගන්න. පාත්වෙලා ඒක අතට ගත්තාලූ. එච්චරයි… එදා ඒ සුනාමි රැුල්ල මේ මහපාර ළඟටම ඇවිත් තියෙනවා.’

මේ ගමනට පසු මම තවත් කිහිප අවස්ථාවක මැරීනා වෙරළ තීරුව පසුකර ගොස් ඇත්තෙමි. සුනාමි දවසේ මේ මුහුදු වෙරළේ ක‍්‍රිකට් සෙල්ලම් කරමින් සිටි ළමයින් ගැන මගේ මදුරාසි මිතුරා පැවසූ කතාව ඒ සෑම විටෙකම මට මතක් විණි. සිතේ ඇඳුණු ඒ සිතුවම කෙසේ අමතක කරන්නද?

පැහැපත් දවසක උදෑසන වෙරළේ කෝටු තුනක් සිටුවා මහත් උද්‍යෝගයෙන් -සන්තෝසයෙන් ක‍්‍රිකට් ගසන ළමයින් පිරිසක්. හදිසියේ මුහුද දෙසින් එන මහා ගෝසාවක්. පණ බේරගන්නට ඔවුන් පාර පැත්තට දිවූ දිවිල්ල. කෝ අර බෑට් පිත්තක් එක්ක බිම වැටුණු යාළුවා. බෑට් පිත්ත ආපහු අතට අරන් දුවගෙන එන්නට ලෑස්ති වුණා විතරයි. මහා ගෝසාවක්.

මගේ සිතේ ඇඳුණු සිතුවම එපමණි. ඉන් එහාට කිසිවක් සිතන්නට මට සිත් නොදේ.

මදුරාසිය ගැන සිතට දැනෙන මොනවා හරි විස්තරයක් කියවන්නට අසන්නට ලැබුණු දවසක මට එපුරවරයට ගිය සංචාර ගැන මතක් වෙයි.  ඒ සමගම එවැනි ඇතැම් සංචාරයක මතක සටහන් වෛවර්ණ පින්තූර ගොන්නක් ලෙස සිතේ පෙළගැසෙයි. මතකයේ රැුඳුණු මේ පින්තූර ගොන්නට තවත් එවැනි අලූත් පින්තූර කිහිපයක් එකතු කැර ගන්නට නැවත කවදා නම් ඉඩ ලැබේවිද?x

x නීල් විජේරත්න