පසුගියදා මාවනැල්ල ප්‍රදේශයේ එක්තරා උන්මත්තක කල්ලියක් විසින් බුද්ධ ප්‍රතිමා කිහිපයකට අලභාහානි සිදු කිරීම විශාල කලබැග ෑනියක් නොවී නීතිමය ක්‍රියා මාර්ගයන්ට අවස්ථාව විවර වීම සැනසිල්ලට හේතුවකි. එය එක්තරා ආකාරයකින් අපේ සමාජයේ පරිනත වීමක ලකුණු විද්‍යාමාන වීමකි. බෞද්ධ ජනතාව කුපිත කරවන මේ උන්මත්තක ක්‍රියාව සංවිධානාත්මක ව්‍යාපාරයක් නොව, මෙවැනි ප්‍රකෝපකාරී ක්‍රියාවක ප්‍රතිවිපාක පවා තේරුම් ගත නොහැකි සැඟවුණු මුග්ධ කල්ලියක වැඩක් බැව් පෙනෙන්නට ඇත. එමෙන්ම ප්‍රදේශයේ සිංහල බෞද්ධ ප්‍රජාවද එය තේරුම් ගෙන ඇති බවක් පෙනෙන්නට ඇත.
මුස්ලිම් සමාජයේ අති බහුතරයක්, සිංහල සමාජය සමග සහජීවනයෙන් වාසය කිරීමට කැමැත්තෝය. මුස්ලිම් ප්‍රජාව ආර්ථික වශයෙන් සාර්ථක වී ඇත්තේද බහුතර ප්‍රජාව සමග මිශ්‍රව ජීවත්වීම මත බව ඔවුන් අත්දැකීමෙන් වටහාගෙන ඇත. එසේ මිශ්‍ර නොවන මුස්ලිම් ප්‍රදේශ හා සැසදීමේදී මේ බව සනාත වනු ඇත. එක් පසෙකින් මෙරට මුස්ලිම් ප්‍රජාව ජානමය අතින් අර්ධ සිංහලයෝය. මක්නිසාද අතීතයේ මෙරටට පැමිණි මුස්ලිම් වෙළෙන්දෝ විවාහ වුයේ සිංහල කතුන් සමගය. මුස්ලිම් සමාජයේ එක්තරා සුළු කොටසක් අන්ධ භක්තිය හේතුවෙන් අන්තවාදී අදහස් සහිත පසුගාමී අය වෙත්. මේඅයගෙන් තවත් සුළු පිරිසක්, තම ආගම වෙනුවෙන් අන්‍ය-ආගමිකයෙකු විනාශ කිරීමේ නරුම තත්ත්වය දක්වා පෙළඹිවිය හැකි ‘හිස්ටීරියා ගොදුරු’ තත්ත්වයේ පසු වනවාද විය හැක. එහෙත් ස්වයං විනාශකාරී එවැනි දෙයකට නොයාමට ඔවුන් කරුණු තේරුම් ගෙන ඇත. එනිසා තම අන්ධ භක්තිය ගැටුම්කාරී ඉමකට ගෙනයාමට තරම් ඔවුන් අපරික්ෂාකාරී නොවේ. කෙසේමුත් එවන් ශික්ෂණයක් පවා නොමැති හුදෙකලා කල්ලියකට වුව බලවත් විනාශයක් කරා සමාජය ගිනි අවිලිය හැකි බවට ඕනෑවටත් වඩා පාඩම් මෑතක සිට අපට උගන්වා ඇත. ජාතිවාදී හා ආගම්වාදී ආතතිය මෙන්ම අපේ සමාජයේ ඇති සංස්කෘතික මලබද්ධයද යටිබිම් ගත බිම්බෝම්බයක් ලෙස අපේ සමාජයේ පවතී. එය පුපුරුවා ලීමට අවශ්‍ය ඩෙටනේටර් වන්නේ මෙවැනි සිදුවීමක් දෙකක් පමණි.
මුස්ලිම් සාමජයටද මෙහිදී වඩා පරීක්ෂාකාරී වීම අපි අපේක්ෂා කරමු. ඒ සමාජයේ සිටීන බුද්ධිමත් සමාජ-දේශපාලන ක්‍රියාධරයින් මෙවැනි අන්තවාදී හා නරුම අදහස් ඇති අය හඳුනාගත යුතුය. එවැනි අයගෙන් වියහැකි සමාජ විරෝධී අනතුරුදායක විපත් කෙරෙහි විශේෂ අවධානයකින් පසුවීම එක් පැත්තකින් විය යුතු පෙර සුදානමකි. අනෙක් අතට (බොහෝ ආගමික සාහිත්‍යයන් තුළ ඇතිවාක් මෙන්) මුස්ලිම් ආගමික සාහිත්‍යයේ ඇති මානව ශිෂ්ටාචාරයට එරෙහි දේවල් වඩා මානවවාදී ලෙස ප්‍රතිසංස්කරණය කිරීම වඩා ඵලදායක ප්‍රවේශය වනු ඇත.
අපි වරින් වර අවධාරණය කරන තවත් කාරණයක් වන්නේ බුර්කාව වැනි සමාජයෙන් සැඟවෙන, සමාජ විකර්ෂක ඇඳුම් විසින් ජනවර්ග කණ්ඩායම් අතර සුහදශීලී සමනුයෝජනය වලකාලන බවයි. අතීතයේ අපට දක්නට නොතිබුණු මේ ප්‍රවනතාවය අනතුරක් සේ අවබෝධ කරගෙන, ඒ සම්බන්ධව නූතනවාදී- මානවවාදී ප්‍රතිසංස්කරණයකට එළඹිය යුතු බව අපි උදක්ම යෝජනා කරමු. රටේ ජනවර්ග ප්‍රජාවන් අතර සංස්කෘතික පරතරයක් ගොඩනගන්නේ මෙවැනි සමාජ-විකර්ෂක ප්‍රවණතා විසිනි. එනිසා දිගුකාලීන ස්ථාවර සාම්‍යයක් සමාජය තුළ ගොඩනැගීමට සංස්කෘතික පරතරයන් පියවා ගත යුත්තේ මානව සම්බන්ධතා යහපත් කරගනිමිනි; සංස්කෘතික අනන්‍යතා යනු මිනිස් වටිනාකම් උත්කර්ෂයට නන්වන්නාවූ යමක් මිස එහි විලෝමය නිර්මාණය කරන දෙයක් නොවිය යුතුය. සමාජ-සමානුයෝජනය වලකාලන වහන්තරා අපි ගලවා දැමිය යුතුය.
යම් වාර්ගික ගැටුමකින් අනතුරුව වාර්ගික සංහිඳියාව පිළිබඳ වාගාලාප දොඩනු වෙනුවට නරක ප්‍රවණතාවයන්ට එරෙහි සාර්ථක මැදිහත්වීමක් අපි අපේක්ෂා කරමු. එමෙන්ම එම වෑයම තුළින් මුස්ලිම් සමාජය තුළ යහපත් වෙනසක් රෝපනයවූ බව මහා සමාජයට පෙනෙන්නට තිබිය යුතුය.
(මේ වර්ග තාන්ත්‍රික රාජ්‍ය සැකැස්මේ) කුඩා පිරිසක් විසින් අන්තර් වාර්ගික, අන්තර් සාමයික සංහිඳියාවක් ප්‍රාර්ථනා කරන හා ඒවෙනුවෙන් අන්තවාදයට එරෙහි දුෂ්කර අරගලයක් කරන මොහොතකි මේ. ඒඅනුව සියලු‍ පාර්ශවවලට පෙන්වාදීමට කැමැත්තේ, අන්ධ භක්තිය විසින් ප්‍රජාවන් එක් කරනු වෙනුවට අප වෙන්කරනු ලබන බවයි. රටේ ‘නායකයින්’ ද උත්ප්‍රේරණය සපයන්නේ මේ ආධානග්‍රහිත්වය පෝෂණය කිරීමට මිස සමාජයේ බුද්ධිය, විචාරශීලිත්වය පුබුදුවන්නට නොවේ; අපේ ‘නායකයින්ගෙන්’ රටවැසියාගේ බුද්ධිමය පර්යාය විකසිත කරවන ඵලදායක දේවල් අසන්නට ලැබෙන්නේ කලාතුරකිනි. එසේම ජනමාධ්‍ය විසින් සමාජයට සන්නිවේදනය කරන්නේද බුද්ධිමතුන්ගෙන් උකහාගත් වටිනා යමක් නොව හුදී ජනයා කුල්මත් කරවන අවර ගනයේ දේවල්ය. ■

■ තාරක වරාපිටිය